සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය


දෙසැම්බර් 16 වන දිනට යෙදෙන මෙරට ගුවන්විදුලියේ ශත සංවත්සරය නිමිත්තෙනි 

 

ගුවන් විදුලිය සමග දවස අරඹා ගුවන්විදුලිය සමගම දවස නිමා කළ ජන සංස්කෘතික උරුමයක් අප සතුව විය. සැබැවින්ම ගුවන් විදුලිය අලු‍ත් දවසකට පාර කිව්වේය. මෙරට පණ ගැහෙන හදවත්වල යසෝ ගීතය බවට ගුවන්විදුලිය පත්විය. එකල් හි උදා වූ හැම දවසකම නොතිත් බලාපොරොත්තුවක් බවට ගුවන්විදුලිය පත්විය. බුදුදහමින් ශික්ෂණය ලද ජාතියක පෙරගමන්කරුවා විය. හේනට, පැලට, කුඹුරට නෑගම් ගියේය. එයින් මතු තවත් දින කිහිපයක් ගත වූ තැන්හි මෙරට ගුවන්විදුලිය ශත සංවත්සරය සපුරයි. 

මේ දෙසැම්බරයේ 16 වැනිදා වන විට මෙරට ගුවන්විදුලිය වසර සියයකින් වියපත් වෙයි. 1925 වසරේ දෙසැම්බර් මස16 වැනිදා ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන දිනයක් ලෙස සනිටුහන් කරමින් ලංකා ගුවන් විදුලි සේවය ආරම්භ විය. යුරෝපා ගුවන් විදුලි සේවය ආරම්භ වී වසර තුනක් ඉක්ම යන්නට මත්තෙන්, ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවය ආරම්භ වීමත්, එය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ආසියානු රටක ප්‍රථම ගුවන් විදුලි සේවය වීමත්, හේතුවෙන් මෙම සිදුවීම වඩාත් සුවිශේෂි විය.

එහෙත් රාජ්‍ය ගුවන්විදුලි මාධ්‍ය ඒකාධිකාරයක් අද නැත. අවැසි වේලාවක ශ්‍රවණය කළ හැකි නාළිකාවල අඩුවක් ද නොමැත්තේය. කුමන යහපත පාවා දී හෝ මුදල් ඉපයීමේ මාවතට අන් සියලු මාධ්‍යයන් සේම ගුවන්විදුලිය ද වැටී තිබේ. මුදල්, හාල් තුනපහ, එළවළු මලු‍ ආදිය දී අස්සවන තැනට ගුවන්විදුලිය හෑල්ලු‍ වී තිබේ. රූපවාහිනි මාධ්‍යය ලාංකීය රසික ජන සමාජයේ බහුතරය ග්‍රහණයට ගෙන ඇතැයි යන්න පැහැදිලිය. සමාජ මාධ්‍ය අධිපති ධාරාවේ හැම මාධ්‍යයක්ම අභිභවමින් පෙරමුණ ගෙන ඇති සෙයක් මේ වෙන විට විද්‍යාමාන වෙමින් තිබේ. 

ප්‍රවීණ ගීත නිබන්ධක, කිවිවර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ගුවන්විදුලිය අද කළ යුත්තේ කවරක් ද යන්න පිළිබඳ සිය අදහස් මෙසේ අනාවරණය කළේය. 

“පාසලේ තිබුණ රේඩියෝ සමාජය හරහා තමයි අපි මුලින්ම ගුවන්විදුලිය අහන්න හුරු වුණේ. අපිම හදාගත්ත ඉයර්ෆෝන් ගුවන්විදුලි යන්ත්‍ර වලින් තමයි අපි රේඩියෝ එක ඇහුවේ. ඒ කාලේ අපි පාසල් යන්නෙත්, රැකියාවලට පිටත් වුණෙත් උදේ ගුවන්විදුලියට සවන් දීලා. ඒ ප්‍රභේදය අනුව  තමයි අපි නිර්මාණකරනයට යොමු වුණේ. ඒ කාලේ ගුවන්විදුලි නිවේදකයන් සහ අපි අතර ඉතා කිට්ටු සම්බන්ධයක් තිබුණා. ඇත්තටම ගුවන්විදුලිය සැබෑ අර්ථයෙන්ම සරසවියක් බවට පත්වෙලා තිබුණා. අදටත් මං කොහොම හරි ගුවන්විදුලියට සවන් දෙන්න කාලය හොයා ගන්නවා. ඒක අවියෝජනීයව ජීවිතයට බැඳී පවතිනවා. තාමත් මං සතුටු වෙන එක කාරණයක් තමයි ජාතික ගුවන්විදුලිය අදටත් සාපේක්ෂව භාෂා හැසිරවීම යහපත් තැනෙක පවත්වාගෙන යන එක. අනිත් එක ගුවන්විදුලිය විචිත්‍රකරණය කරන කොට අනිත් නාළිකා කරන දේම ජාතික ගුවන්විදුලිය කරන්න ඕන කියලා එකක් නෑ. ඒ අය එක්ක තරග කරන්න හෝ අභිභවා යන්න උවමනාවක් නෑ. ජාතික ගුවන්විදුලිය සතු සාර සම්පත් වෙනත් කිසිම නාළිකාවක් සතුව නෑ. ඉතිං ඒ සම්පත් යොදාගෙන අනාගතය සැලසුම් කරන්න ඕන තරම් අවස්ථාව තියෙනවා.” 

ප්‍රකාශිත එම අදහස් අභිභවමින් ගුවන් විදුලිය නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොවේ යන්න - පහසුවෙන් දමා ගැසිය හැකි කරුණක්ව පවතී. මේ අනුව මෙරට සංස්කෘතික ජන සමාජයේ වටිනාකම්, ජන සම්ප්‍රදායන්, ආචාර සමාචාර විධි, සුභාවිත කලා රස විඥානය හෝ මුදල් තෝරා ගැනීමේ තීරණාත්මක කඩඉමකට අද ගුවන්විදුලිය පැමිණ ඇති බව දැකිය හැක්කේය. ඒ කෙසේ වෙතත් මේ කටුක, නීරස, විපරීත සමාජ සන්දර්භය තුළ තරගයකට මෙන් ඇරඹුණු පෞද්ගලික ගුවන්විදුලි නාළිකා සාපේක්ෂව යම් පමණක හෝ ස්ථාවරත්වයක් ගොඩනඟා ගෙන ඇතත්, රජයේ ගුවන්විදුලි නාළිකා මුල්‍යමය හා ශ්‍රාවක අවගමනයක ගිලී ඇත්තේ ඇයි ද ? යන්න විමර්ශනාක්ෂියෙන් බැලිය යුතු විමසුමට ලක් කළයුතු විශේෂිත කරුණක් වී තිබේ. 

මෙම ප්‍රස්තුතයට අදාළව නිරන්තරයෙන් මග හැරෙන හෝ  හිතාමතා සාහසිකව අමතක කර දමන කරුණක් වී ඇත්තේ - සාතිශය බහුතරයක් පෞද්ගලික ගුවන්විදුලි නාළිකා යනු, ව්‍යාපාර ජාලයක තවත් එක උපාංගයක් පමණක් ය යන්නය. අධිපති මාධ්‍ය හිමිකරුවන්ට, මාධ්‍ය යනු - ඔවුන්ගේම නිෂ්පාදන, සේවාවන් හෝ දේශපාලන අභිලාෂ පොදු ජනවිඥානයට නික්ෂේපණය කරන ව්‍යාපාරික මෙවලමක් පමණි. එහෙත් රාජ්‍ය ගුවන්විදුලිය සතුව ජාතික අභිමතාර්ථ රැසක් පවතින අතර, ප්‍රමුඛ සහ එකම ආදායම් උත්පාදන මාර්ගය ගුවන් කාල අලෙවිය පමණක් ව තිබේ. 

ප්‍රකට ජනශ්‍රැති පර්‌යේෂක, සාහිත්‍යවේ දී මහින්ද කුමාර දළුපොත ගුවන් විදුලියේ කාර්ය භාරය පිළිබඳව වන සිය අදහස් අප සමග ගොනු කරන්නට යෙදුණේ මෙපරිද්දෙනි.

“ගෙවුණු සියවසක කාලය තුළ ගුවන්විදුලිය මගින් අපේ රටට පුරුදු පුහුණු කරපු සංස්කෘතියක් තියෙනවා. ගුවන්විදුලිය සහ ශ්‍රාවකයා අතර තියෙන බැඳීම සොබාදහමේ රිද්මයත් එක්ක බැඳිච්ච එකක්. ඇත්තටම ජාතික ගුවන් විදුලිය භාවිත කෙරුවේ මෙන්න මේ ස්වභාදහමේ රිද්මය. ඒක ඉරේ රටාවත් එක්ක බැදිච්ච එකක්. ගීත, වැඩසටහන් වගේ දේවල් සැලසුම් කෙරුවේ ඒ අනුව. අපි පැලේ, හේනේ, කමතේ දුක්ඛ දෝමනස්ස අකා මකා දමන්ට කවි කියපු ජාතියක්.  ඇත්තටම ඒ අනුව බලන කොට ගුවන් විදුලිය කියන්නේ මනෝ චිකිත්සක සංනිවේදන මාධ්‍යයක්. අද වෙන කොට බොහෝ ගුවන්විදුලි නාළිකා වෙතින් මේ මනෝ චිකිත්සක කර්තව්‍යය විතැන් වෙලා තියෙනවා. රසයෙන් පිරිච්ච සැබෑ සංස්කෘතික මිනිසෙක් බිහිකිරීමේ ක්‍රියාවලියේ දී ගුවන්විදුලියට පැවරෙන කාර්ය භාරය අතිමහත් එකක්. ඒක අවරගණයේ වැඩසටහන් මගින් කරන්න පුළු‍වන් දෙයක් නෙමෙයි. මේ වෙලාව ඒ ගැන සමාජ කතිකාවක් ඇති කරන්න හොඳම අවස්ථාව.” 

ගුවන්විදුලි මහ ගෙදර එදා

 

ලංකා ගුවන්විදුලියේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනෙනුයේ බ්‍රිතාන්‍ය ජාතික එඩ්වඩ් හාපර් ය. ඔහු පූර්ණ ගුවන්විදුලි මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය උපකරණ ලබාගෙන මෙරට ගුවන්විදුලි සේවය විවෘත කිරීමට මූලික වී ඇත. 1922නොවැම්බර් 24 වැනිදා කොළඹ දී බිහි වූ  ලංකා ආධුනික ගුවන්විදුලි සංගමය - මෙරට ගුවන්  විදුලිසේවය පිහිටුවීමට විශාල කාර්ය භාරයක් ඉටුකොට ඇත. සංගමයේ දැඩි උනන්දුව සහ අන්ව‌ර්ත උත්සාහය හේතුවෙන් ගුවන්විදුලි සේවාවක් පිළිබඳව සොයා බැලීමට එවක යටත් විජිත පාලකයන්ට සිදුව ඇත. 

අතරමංව අබලන්ව තිබු ජර්මානු සබ්මැරීනයකින් ගලවාගත් පණිවුඩ හුවමාරු කිරීමේ යන්ත්‍ර කොටස් ද උපයෝගි කොට ගෙන කිලෝ වොට් එකක ධාරිතාවකින් යුතු මෙරට ප්‍රථම ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය වැලිකඩ ප්‍රදේශයේ ඉදිකොට ඇත. එවක මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ් 1925දෙසැම්බර් 16 වැනිදා මෙම සම්ප්‍රේෂණාගාරය විවෘත කිරීමෙන් අනතුරුව -  ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය නිල වශයෙන් ඇරඹී තිබේ. මෙම නව සම්ප්‍රේෂණාගාරය විවෘත කිරීමෙන් පසු ආණ්ඩුකාරවරයා සිය කතාව පවත්වා ඇත්තේ තම කාර්යාලයේ සිටය. එවක් පටන් සතියේ සෑම දිනකම ගුවන්විදුලි වැඩසටහන් ප්‍රචාරයවීම ආරම්භ වී ඇත.

ගුවන්විදුලි ශිල්පියෙකු හා කලාවේදියෙකු වන සෝමරත්න බෝගස්වැව එවක ගුවන්විදුලිය හා පැවැති ළතෙත් බැඳීම පිළිබඳව - මෙසේ කරුණු කීවේය.  

“උදේ පාන්දර පිරිත් දේශනාවලින් ආරම්භ වෙලා ධම්මචින්තා, දවසේ සිතුවිලි , අරුණ උදයේ ඇහෙන ප්‍රබුද්ධ ගීත වගේ දේවල් අපි ශ්‍රවණය කෙරුවා. දිගටම ගුවන්විදුලියත් එක්ක මේ සම්බන්ධතාව තිබුණා. නව පදමාලා, ගුරු කුලය, කනිටු සරසවිය, රසෝද්දීපනි, මධුවන්ති, සන්ධ්‍ය සේවය, විනෝද සමය, කෙටි කතාව, ස්වර වර්ණ, කල්පනා වගේ සමහර වැඩසටහන්වලට අපි නිර්මාණ යොමු කෙරුවා. මේ සියල්ලකගෙන් අපේ රසඥතාව පෝෂණය වුණා. ශික්ෂණය ප්‍රවර්ධනය වුණා. ඇත්තටම ගුවන්විදුලි ධර්ම දේශනාවලින් පවා අපේ ජීවිතවලට අලු‍ත් දේවල් එකතු කරගත්තා. ධර්ම දේශනාවලින් එකතු ගත්ත සටහන් තාමත් මං ළඟ තියෙනවා.  ගුවන්විදුලි නාට්‍ය හරහා වෙනම සංස්කෘතියක් සමාජය තුළ ඇති කරලා තිබුණා. විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් එක්ක ඇති වෙච්ච සමාජ පරිවර්තනය අද වෙන කොට ගුවන්විදුලියටත් බලපෑම් කරලා තියෙනවා.” 

වර්ෂ1965ජුලි 21 වැනිදා පත් කෙරුණු ගුවන්විදුලි කොමිෂන් සභාව ලංකා ගුවන්විදුලියේ ඉදිරි අනාගත ගමන තීරණය කිරීමෙහි ලා ඉතා සාධනීය බලපෑමක් සිදුකොට ඇත. හර්බට් හුළුගල්ල ගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු මෙම කොමිෂන් සභාව “හුළුගල්ල කොමිසම” යන නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. 

අද ජාතික ගුවන්විදුලි පරිශ්‍රය

 

 

1966 අප්‍රේල් 15 වැනිදා නිර්දේශ 12 කින් සමන්විතව නිකුත් කෙරුණු කොමිෂන් සභා වාර්තාව තුළ ප්‍රධාන යෝජනා දෙකක් විය. එතෙක් දෙපාර්තමේන්තුවක් ලෙස පැවැති ලංකා ගුවන්විදුලිය සංස්ථාවක් බවට පත් කළ යුතුය යන්න ඉන් එක් යෝජනවකි. ඒ අනුව යමින් වර්ෂ1967 ජනවාරි 05 වැනිදා එතෙක් පැවැති ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව නිල වශයෙන් ලංකා ගුවන්විදුලි සංස්ථාව යන අනුප්‍රාප්තික නිලනාමය ලද්දේය. 1972පළමු ජනරජ ව්‍යාවස්ථාව - 1972මැයි 22 වැනි දින සිට බලාත්මක වීමත් සමග අපගේ ජාතික ගුවන්විදුලිය‌, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෙස හැඳින්වීම ඇරඹුණි . 

ඉනික්බිතිව හුළුගල්ලේ කොමිෂන් සභා වාර්තාව මගින් මතුකළ යෝජනා අනුව යමින් ප්‍රාදේශීය වශයෙන් විසිරී සිටින ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලමින් මෙරට ප්‍රථම ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය ලෙස රජරට සේවය 1979 අප්‍රේල් 12 වැනි දින ඓතිහාසික අනුරාධපුරය කේන්ද්‍ර කොට ගෙන ආරම්භ වී ඇත්තේ ඒ අනුවය. අනතුරුව1980 පෙබරවාරි 03 වැනි දින දකුණේ මාතර නගරය කේන්ද්‍ර කොටගෙන රුහුණු සේවය සහ ඓතිහාසික මහනුවර පුරවරය කේන්ද්‍ර කොට ගෙන කඳුරට ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය ආරම්භ වී ඇත්තේ 1983 අප්‍රේල් 13 වැනිදා කය. 

කලක් ගුවන්විදුලි ශිල්පියකු ලෙස ද කටයුතු කර ඇති ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන් දිසානායක ගුවන්විදුලිය අද කළ යුත්තේ කවරක් ද? යන්න පිළිබඳ සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය. 

“ගුවන්විදුලි සංගීත පර්‌යේෂණ අංශය හරහා අතීතයේ සිද්ධ වුණ මෙහෙවර අතිමහත් එකක්. වර්තමානයේ ඒක මග හැරිලා තියෙනවා. සී. ද එස්. කුලතිලක, ඩබ්ලිව්.බී. මකුලොළුව වගේ මහත්වරු ගුවන්විදුලිය හරහා කරපු සේවය අමතක කරන්න බෑ. අපේ ජනනාද මාලා, ජන සංගීතය හොයා ගෙන ඒ අය ගමින් ගමට ගියා. මේ වගකීම අද අපිට මග හැරිලා තියෙනවා. මේක සිද්ධ වෙලා තියෙන්නේ අලු‍තින් නිර්මාණය වෙච්ච ගුවන්විදුලි සංස්කෘතිය ඇතුළේ. ඉතින් මගේ අදහස නම් ගවේෂණ, පර්‌යේෂණ කරලා අපේ දේවල් ජනගත කෙරුවොත් මිනිස්සු ඒවා අහයි. දැන් හැම නාළිකාවක්ම වගේ එකම පීල්ලකට වැටිලා පොදි කනවා. ජාතික ගුවන්විදුලිය එතැනට වැටෙන්න උවමනාවක් නෑ. මුදල් හොයන එක දෙවනුව කරන්න පුළු‍වන්. කවුරු මොනව කිව්වත් මේ අවරගනයේ සංස්කෘතික පරිසරය ඇතුළේ මිනිස්සු හති වැටිලා ඉන්නේ. මේක තමයි ආපහු හැරෙන්න හොඳම කාලේ.”  

නුතන ගුවන්විදුලි මාධ්‍යයන් තුළින් විශද කෙරෙන ජුගුස්සාජනක ගුවන්විදුලි සම්ප්‍රදායට වඩා අගනා, වටිනා සම්ප්‍රදායක් සහ ඉතිහාසයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට හිමිව තිබිණි. ඒ වගට දෙස් දෙන ජීවමාන සාධක බොහෝ වෙති. සංස්කෘතික සහ සමාජ පරිණාමයේ සුවිශේෂතා මෙන්ම ගතිස්වභාවයන් හඳුනාගැනීමට හා පර්‌යේෂණ කිරීමට තුඩු දෙන තැටි ගබඩාව, භාෂා විද්‍යාගාරය, සංරක්ෂණාගාරය ආදී බොහෝ දේ ගුවන්විදුලි මහගෙදර සතුව අද ද ශේෂව පවතී. එහෙත් රජයේ රැකවරණයෙන් ඔබ්බට මෙම  වටිනාකම් තවදුරටත් රැකගැනීමේ අභියෝගයට වත්මනෙහි ගුවන්විදුලිය මුහුණ පා ඇත. මේ පසුබිම තුළ ශතකය සපුරන ජාතික ගුවන්විදුලිය මේ ගයනුයේ ඔවුනගේ යසෝ ගීතය ද ළසෝ ගීතය ද යන්න ඉතා නුදුරු අනාගතය විසින් තීන්දු කරනු ඇත. 

බුල්නෑව ප්‍රදීප් රණතුංග

 

අතීතයේ ගුවන්විදුලි මැදිරි පටිගත කිරීමක්

 

 

මෙරට පළමු ප්‍රාදේශීය නාළිකාව රජරට ගුවන්විදුලි සේවය

 

 හේනට, පැලට නෑගම් ගිය ගුවන්විදුලිය

 අතීතයේ ගුවන්විදුලිය සමග දවස ඇරඹු අන්දම

 

 ගමට ගිය ගුවන්විදුලිය