
මිනිස් ජීවිත සිය ගණනක් බිලිගනිමින් තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් කරමින් රටක් විනාශ කළ ඒ මහා ව්‍යසනය දිට්වා සුලි කුණාටුව සිදුවූයේ ඉකුත් 27දා පස්වරුවේය. කඳුකර ප්‍රදේශවල නාය යැම් සහ ගංවතුර තත්වයන් නිසා මිනිසුන් මුහුණ දුන් සෝචනීය සිදුවීම් මේ මොහොත වන විටත් වාර්තා වීම් නිමක් නැත.
ව්‍යසනය හමුවේ සැඩපහරට, මඩ ගොහොරුවලට හසුව ගසා ගෙනයාමෙන් දිවි අහිමිවූ සැලකිය යුතු පිරිසකගේ සිරුරු මේ වන විටත් ගොඩගනිමින් තිබුනත් තවත් බොහෝ දෙනකු ඇත්තේ අතුරුදන් ලේඛනයේය.
තමුන්ගේ අතින් අත ඇරී ඒ මහා නාය යාමට ගොදුරුවූ සිය ආදරණීය දියණීය තම ගෙවත්තේම කොතැනක හෝ පස් කන්දක් යට සිරවී ඇතැයි විශ්වාස කරමින් ඇය සොයා දෙන්නැයි හඬා වැටෙන මවක් වන කේ. එම්. බණ්ඩාරමැණිකා (50) අපට හමු වූයේ බදුල්ල, වියලුව, කන්දකැටිය, පල්ලේකන්ද ගම්මානයේදීය.
ඇය මෙන්ම ඇගේ වැඩිමහල් දරුවාද සැඩ පහරට හසුව මීටර් විසිපහක් පමණ ගසාගෙන ගියද ඇය සිය දරුවාද සමග දිවි ගලවාගෙන ඇත්තේ එම දරුවාගේ පිහිටෙනි. මෙම සිදුවීමෙන් බදුල්ල, කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාගොල්ල ගම්මානයේ එම්. ජී. ගයත්‍රී කාවින්දි රාජපක්ෂ නම්වූ විසි එක් හැවිරිදි තරුණිය අතුරුදන්ව සිටින අතර ඇගේ සීයා එම්. ජී. නේද්‍රිස් (83) සහ ආචිච් අම්මා ඩී. ඒ. පියසීලී දිසානායක (72) යන අයද සිද්ධියෙන් මිය ගොස් ඇත.
එම ගම්මානයේ පදිංචි ව සිටි ආර්. ඩී. ජේන් (74) සහ ආර්. ඩී. තනේරිස් (65) යන අයද සිද්ධියෙන් පස් කඳුවලට යටවී ජීවිතක්ෂයට පත්වූහ. සිය මව්පියන් අහිමිවීමෙන් හා දියණියට සිදුවූ දෙයක් දැන ගන්නට නොලැබීමෙන් තමා මේ වන විට පටාචාරාවක තත්වයට පත්ව සිටින බව මේ මව පවසයි.

අතුරුදන්ව සිටින එම්. ජී ගයත්‍රී කාවින්දි රාජපක්ෂ
නොසිතූ මොහොතක එකවරම ගමේ ඉහළ ප්‍රදේශයෙන් ආ සැඩ පහරට හසු වී තම ඇස් පනාපිටම මව ගසාගෙන ගියේ ඇයට කිසිවක් සිතාගන්නට පවා ඉඩ නොතබමින්ය. පදිංචිව සිටි නිවසේ පස් කන්දක සිරවී සිටියදී තම පියා ගොඩ ගනු ලැබූවත් ඔහු සුළු මොහොතකින් සිය හුස්ම පොද වා තලයට මුදා හැරියේ ගස් ගල් සේ සිටි මවත් පියාත් දෙනොම එකවර ඇයට අහිමිකරමිනි. ඒ මොහොතේම තමුන් සමග එකටම අත අල්ලාගෙන හුරතල් වෙමින් සිටි දියණියද රුදුරු සැඩ පහරේ සැගව ගියේ ඇය පටාචාරාවක් බවට පත්කරමිනි.
සිද්ධියෙන් මිය ගිය ඇයගේ මවගේ මළ සිරුර අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් විසිපහක් පමණ පහළින් බදුලුඔයේ කිරිකෝන්තැන්න ප්‍රදේශයේදී දැව කඳන් කීපයක් අතර රුඳී තිබියදී හමුවිය. එහෙත් සිදුවීමෙන් සති දෙකකට අධික කාලයක් ගතව ඇතත් ඇයගේ දියණීය සම්බන්ධයෙන් තවමත් කිසිදු හෝඩුවාවක් නැත.
අතුරැදන්ව සිටින එම්. ජී. ගයත්‍රී කාවින්දි රාජපක්ෂ අධ්‍යාපන කටයුතුවලදී මෙන්ම බොහෝ පොදු කටයුතුවලදී ද සුවිශේෂ හැකියා පෙන්වූ දක්ෂ දියණියකි. ඇය විද්‍යා පීඨයට ඇතුළුවීමේ අපේක්ෂාවෙන් සිටියාය.
මේ වන විට සිද්ධියෙන් සති දෙකක කාලයක් ගතව ඇතත් තම දියණියගේ සිරුර දැක ගන්නට නොලැබීමෙන් ඇයගේ මව තවමත් ඇය මිහිදන්ව ඇතැයි සැලකෙන ඔවුන්ගේ දෙමව්පියන් පදිංචි නිවස අසලට දිනකට තිස් හතළිස් වතාවක් ගොස් විපරම් කරයි.
ඇය තමන් මුහුණ දුන් බිහිසුනු සිද්ධිය ආවර්ජනය කළේ මෙලෙසය.
“මගේ අම්මා, තාත්තා, දුව පුතා අපි පස් දෙනා හිටියෙ යාළුවො වගේ. අම්මයි තාත්ත යි අපේ ගෙදරට පොඩ්ඩක් එහායින් හදපු ගේක හිටියේ. හැබැයි අපි පස් දෙනා කෑවෙ බීවෙ එකට. මහත්තය එස්.ටී.එෆ්. එකේ. එයා ගෙදර හිටියෙ නැහැ.
පහුගිය 24 වෙනිදා වැස්ස පටන්ගත්ත. දවස් තුනක් තිස්සෙම එක දිගට වැස්සා. 27 වෙනිදාත් උදේ ඉඳන් හරිම මූසල විදිහට තමා දවස ගෙවුණේ. සිද්ධිය වුණේ එදා. මායි පුතයි දුවයි හිටියේ උඩහ ගෙදර. සිද්ධිය වෙද්දි දුවයි මායි අම්මලගෙ ගෙදර ළඟ තමයි හිටියේ. තාත්තා ගෙයි ඇතුළෙ හිටියා. පුතා කුඹුර පැත්තට ගියා. හවස තුන හමාර විතර වෙද්දි තමයි මේ සිදුවීම වුණේ .මේ හැමදේම වෙන්ඩ විනාඩි දහයකට පහළොවකට වඩා ගියේ නෑ. අපට එක පාරම ගල් පෙරලනවා වගේ සද්දයක් ඇහුණා. අපි ගුවන් යානයක් යනවද කියල උඩ බැලුවා. ඒ එක්කම පොළොව එහෙට මෙහෙට වැනෙන්නයි කැරකෙන්නයි පටන් ගත්තා. දුවත් කැරකෙන්න පටන් ගත්තා. එයාට ඒක විනෝදයක් වගේ දැනුණ. හයියෙන් එයා හිනා වුණා. මොකක් හරි වෙනව අම්මා නායක් තමයි එන්නේ කියලා දුව මටත් කතා කරගෙන දුවන්න ගියත් අපිට දුව ගන්න බෑ. පොළොව කැරකෙන විදිහට අපි වැටි වැටී තමයි දුවන්න පටන් ගත්තේ. ඒ එක්කම කන්ද උඩින් ආව සැඩ පහර මගේ ඇඟටත් උඩින් ගහගෙන ගියා. මට හිතන්නවත් වෙලාවක් තිබුණෙ නැහැ. මට දුව අත ඇරුණා. මමත් වතුරේ ගහගෙන ගියා. ඒ යද්දි මගේ පුතා දුවගෙන ඇවිල්ලා මාව ගොඩට ගත්තා. අනේ මගේ දුව බේරගන්න බැරි වුණා.

මං හොඳටම දන්නවා එයා වැඩිදුර ගිහින් නෑ. එයා මේ ගේ තිබ්බ තැන පස් යට අඩි දෙක තුනක් යටින් ඉන්නවා කියලා මට හොඳටම විශ්වාසයි. මටත් කලින් ගෙදරින් එලියට පැන්නේ එයා.
ඊට පස්සේ තාත්තා ගෙදර කාමරයක යට වෙලා ඉද්දි එළියට ගත්තා. රෝහලකට ගෙනියන්න ක්‍රමයක් තිබුණේ නැහැ. හැම තැනම යට වෙලා. පැය කීපයකට පස්සේ තාත්තාගෙත් හුස්ම ටික ගියා.
"එයා මැරෙන්න කලින් අපේ පවුලම ඉවරයි පුතේ. කෙල්ල හොයාගනින් කියලා මට කිව්වා.”
මම උඩහට දුවලා ගිහින් මගේ දරුවා හොයලා දෙන්න කියලා මං හැමෝටම බැගෑපත් වුණා. කෑ ගැහුවා. කීප දෙනෙක් ඇවිත් හෙව්වා. ඒත් රෑ වුණා කියලා ඒ අය දරුවා හොයන එක අතෑරලා දැම්මා. දැන් සති දෙකක් වෙනවා. මං මෙතෙන්ට සිය දහස් පාරක් ඇවිල්ල ඇති මහත්තයෝ. දරුවාගේ සලකුණක් හරි තියෙනවද කියල බලන්න. ඒත් මට දරුවා හොයාගන්න බැරි වුණා. කවුරු හරි ඇවිල්ල මේ තියෙන ගස් ගල් ටික අයින් කරලා බැලුවොත් මගේ දරුව මෙතන ඉන්නවා කියලා මට හොඳටම විශ්වාසයි.
ඇගේ වැඩිමහල් දරුවා වන නවීන් ප්‍රභාත් රාජපක්ෂ (25) නොවන්නට බණ්ඩාර මැණිකාටද අත්වන්නේ සිය දියණියට හා දෙමව්පියන්ට අත් වූ ඉරණමය. සැඩ පහරේ හඬ ඇසී අසල ඇති කුඹුරේ සිට දිව පැමිණි ඔහු සැඩ පහරේ ගසාගෙන යන තම මව දුටු සැනින් වතුරට පැන්නේ සිය ජීවිතය නොතකමිනි. “මට කිරි දුන්න අම්මා මම මැරෙන්න දෙන්නේ නැතැ”යි පවසමින් සැඩ පහර සමග පොර බදන නවීන් ප්‍රභාත් කෙසේ හෝ සැඩ පහරෙන් ගොඩට පැමිණියේ සිය මවද සුරක්ෂිතව රැගෙන එමින්ය.
නවීන් ප්‍රභාත් එම වික්‍රමය මෙසේ විස්තර කළේය.
‘‘මම කුඹුරට ආවෙ වැස්ස නිසා. වගාවට මොකද වෙලා තියෙන්නේ කියල බලන්න. හැබැයි මට වෙනද නැති සද්දයක් උඩහ පැත්තෙන් ඇහුණා. මේ සද්දෙ ඇහිලා මං නාය යන පැත්ත බලනකොට මඩ වතුරත් එක්ක විශාල ගස් ගල් පාවෙලා එනවා දැක්කා. ඒ එක්කම මං දැක්කා මගේ අම්මා ගහගෙන යනවා. එයාගේ ඔළුව විතරයි මම දැක්කෙ. මම එක පාරටම පැනල අම්මා අල්ල ගත්තා.අපි දෙන්න එක පොදියට පහළට ගහගෙන යන්න උනා. සෑහෙන දුරක් ගියා මම වෙරදාල අම්මත් ඇදගෙන ගොඩට ආව. හැබැයි නංගි දැක්කේ නෑ. අම්මා ඇදලා උඩට අරන් වත්තට දාලා නංගිව හෙව්වා. ඒත් මට හොයාගන්න බැරි වුණා. ඒ හයිය මට කොහෙන් ආවද දන්නෑ. මගේ නංගි හරිම දක්ෂයි! ඉගෙන ගන්න වගේම ගමේ පොදු වැඩවලදිත් පන්සලේ වැඩවලදිත් හරිම දක්ෂයි. එයා විද්‍යාපීඨ යන්න තමයි හිටියේ. ඒත් අපිට සියල්ල නැති වුණා.
බණ්ඩාර මැණිකා මහත්මිය සේම ගමේ අසූවකට ආසන්න පවුල් සංඛ්‍යාවක් නාය යෑමේ අත්දැකීමට මුහුණ දුන්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ නිවාස තිබූ තැනකවත් දැක ගන්නට නැත.
ඔවුන්ගේ ඉඩකඩම්වලට ජලය සැපයූ ඇළ අමුණු තිබූ තැනකවත් දැක ගන්නට නැත. ගමට එන මාර්ග සියල්ලද කැඩී ගොසිනි. තවමත් විදුලි සැපයුම්ද ලැබී නැත. ගම්මානයට ඉහළින් පිහිටි කඳු වැටිය කොයි මොහොතක හෝ නාය යෑමේ ලකුණු තවමත් පහව ගොස් නැත. ආරක්ෂිත ස්ථාන කරා යන්නට කීවද එසේ යන්නට කියා තැනක්ද ඔවුන්ට නැත. වැස්සක් එද්දී ඔවුහු බියෙන් සලිත වෙති. තවමත් ඔවුන් අනාරක්ෂිතය. ජීවත් වෙන්නේ මරණය හිස මත රඳවාගෙනය.
වියලුව නිශාන්ත කුමාර

නිවස තිබූ ස්ථානය

