(රන්ජන් කටුගම්පොල)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ "කුමන්ත්‍රණය" නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා  ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වැනි දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණ.

එහිදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා විසින් ඩේසි ෆොරස්ට් නමැති කාන්තාව සමග එක්ව කුමන්ත්‍රණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළේය.