ඊමේල් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මූල්‍ය වංචා කිරීමක් හරහා ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධ විමර්ශන පුළුල් කරමින් ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ලබා ගැනීමට විමර්ශකයින් පියවර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. මීට අමතරව, ඊමේල් හැකින් සහ තොරතුරු සොරකම් කිරීම් (Phishing) හඳුනා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති ඇමරිකානු සයිබර් ආරක්ෂණ සමාගමක සහාය ද විමර්ශන සඳහා ලබාගෙන තිබේ.

මෙම වංචනික ඊමේල් පණිවිඩ ආරම්භ වූ ස්ථානය, වංචා කරන ලද මුදල් මේ වන විට පවතින ස්ථානය හෝ මෙම මංකොල්ලය පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ද ඒ පිළිබඳ තොරතුරු සොයමින් සිටියි. දැනටමත් ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහාය ද මීට ලැබෙමින් පවතින බැවින් මෙය ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් දක්වා වර්ධනය වී තිබේ. පසුගිය ජනවාරි මාසයේදී මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටියද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මාර්තු 28 වනදාය.

භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ විදේශ ණය පියවීමට අදාළ ලේඛන කිහිපයක් ද මෙම සයිබර් අපරාධකරුවන් විසින් සොරාගෙන හෝ පිටපත් කර ඇති බවට දැඩි සැකයක් පවතින බවයි. මේ හේතුවෙන් මින් ඉදිරියට ඕනෑම මුදල් හුවමාරුවකට පෙර ඊමේල් පණිවිඩ සහ අනෙකුත් දත්ත දැඩි ලෙස පරීක්ෂා කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇත. මේ අතර, පසුගිය සතියේ පුවත්පතක පළ වූ ප්‍රංශ ණය ලේඛන අතුරුදන් වී ඇති බවට වන පුවත මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇති අතර, ණය හිමියන් සමඟ නිසි සන්නිවේදන කටයුතු පවත්වා ගනිමින් නියමිත පරිදි ණය වාරික ගෙවන බව එම අමාත්‍යාංශය අවධාරණය කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ මෙම ඩොලර් මිලියන 2.5 ක අතුරුදන් වීම සහ තවත් මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇත්ද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වන බවයි. මෙම දැවැන්ත සයිබර් මංකොල්ලය පිළිබඳව සොයා බැලීම සඳහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.

  • දමිත් වික්‍රමසේකර  (ද සන්ඩේ ටයිම්ස්  )