(රෝෂන් තුෂාර)

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්ජරුවකු යැයි සැක කෙරෙන මනෝජ් සුරංග ලියනගේ හෙවත් බටුවත්තේ චාමර නමැත්තාගේ සුඛෝපභෝගී වාහනයක් සහ ලක්ෂ 400ක තෙමහල් නිවසක් ඇතුලු දේපළ ක්‍රියා විරහිත කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින් අද පැවසීය.

සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එසේ පැවසීය.

වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ උපයා ගත් ආකාරය හෙළි කර නොහැකි සංවිධානාත්මක අපරාධවලින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් සැකකරු වත්කම් උපයා ඇති බවට කරුණු අනාවරණය වන බැවින් මේසේ දේපළ ක්‍රියා විරහිත කළ බවය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනය ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේය.