(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දේශපාලන නායකයන් දූෂණයෙන් තොර, අවංක පුද්ගලයන් විය යුතු යැයි සමාජය අපේක්ෂා කරන්නේ නම්, එවැනි නායකත්වයක් බිහිවීම සඳහා සමස්ත සමාජය තුළ ද අවංකභාවය හා සදාචාරාත්මක වටිනාකම් තහවුරු විය යුතු බව  නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ශාලාවේදී පසුගියදා පැවති වැල්ලවත්ත සෛව මංගයර් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළේය.

රටේ දේශපාලනඥයන් තෝරා පත් කර ගනු ලබන්නේ සමාජයෙන්ම බව පෙන්වා දුන් ඒ මහතා, අනාගත නායකයන් වන ශිෂ්‍ය ප්‍රජාව පාසල් අවධියේ සිටම අවංකභාවය, සදාචාරාත්මක වටිනාකම් සහ වගකීම්සහගත හැසිරීම ප්‍රගුණ කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

වැල්ලවත්ත සෛව මංගයර් විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමේ අරමුණින් එම විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙහිදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (ජනාධිපති අරමුදල) සුභාෂ් රෝෂන් මහතා විසින් ජනාධිපති අරමුදල හරහා සිසුන්ට සහ මහජනතාවට ලබා දෙන සේවාවන් පිළිබඳව පැහැදිලි කරන ලදී.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ආ.සර්වේෂ්වරන් මහතා මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සිසුන් දැනුවත් කළේය. 

එමෙන්ම, පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරී ටී.එන්.එම්.පී. ෂහීඩ් මහතා විසින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.