මල්වාන පැණි රඹුටන්වලටත්, නාවල අන්නාසිවලටත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අද ඊයේ නොව ඈත අතීතයේ සිටය. බිබිලේ පැණි දොඩම්වලටද තිබුණේ එවැනිම ප්‍රසිද්ධියකි. ඒ ඈත අතීතයේදීය. එහෙත් විවිධ වූ හේතු නිසා අද වෙන විට බිබිලේ පැණි දොඩම් නැත්තටම නැතිවී ගොසිනි. බිබිලට පැණි දොඩම් අහිමිවීම ගැන කතා බොහෝය.
ඒ නිසාම අද මේ රටේ බොහෝ ප්‍රදේශවල මෙන්ම බිබිලේ වෙළෙඳසල්වල ඇත්තේද වස විෂ පිරුණු ආනයනික නාරන් හා දොඩම් වර්ගයන්ය.
අප මේ කියන්නට යන්නේ බිබිලට දොඩම් අහිමිවීමේ කතාව ගැන නොවේ. ජපන් රජයේ අනුග්‍රහය ඇතිව එරට විද්‍යාඥයන් පිරිසකගේ හා මෙරට කෘෂිකර්ම බලධාරීන්ගේ උත්සාහය මත යළි මෙරටදී පණ ලබන බිබිලේ පැණි දොඩමට සෑම අතකින්ම නෑකම් කියන ‘එහිමි’ නම්වූ ජපානයේ බහුලව වගා කරන නාරං විශේෂයක් පිළිබඳ කතාවකි.
ජපානය යනු විශේෂයෙන්ම පැඟිරි කුලයේ පලතුරු බහුලව වගා කරන රටක් වන අතර එහි ඇති විවිධ රසයෙන් හා ගුණාත්මක බවින් යුත් දොඩම් හා නාරං ප්‍රභේද සංඛ්‍යාව අතිවිශාල ය.
කලකට පෙර මෙහි පැමිණි දොඩම් ගැන වැඩි සැලකිල්ලක් දැක්වූ ජපන් රජයේ විද්‍යාඥයන් පිරිසකටද බිබිලේ දොඩම්වල රස බැලීමේ අවස්ථාව උදාවූ අතර එහි රසයෙන් ඔවුහු අපරිමිත සතුටක් ලැබූහ. එහෙත් මෑතකදී යළි පැමිණි ඔවුන්ට අසන්නට ලැබුණේ බිබිල දොඩම් වගාව විනාශ වී ඇති කතාවකි.
ජපන් රටට ආවේණික වූ ‘එහිමි නාරං’ වගාව මෙරට ප්‍රචලිත කිරීමට මං පෙත් සැකසෙන්නේ මේ කතාව පසුබිම් කරගෙනය.
උපත හොරණින්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පලතුරු පර්‌යේෂණ හා සංවර්ධන ආයතනය මගින් ජපන් රජයේ උදව් ඇතිව එහිමි නාරං ‘හොරණ එහිමි’ නමින් 2006 වසරේදී ගොවි ජනතාවට හඳුන්වාදෙනු ලබන්නේ එම වැඩපිළිවෙළේ පළමු අදියර යටතේය. කෙසේ වෙතත් මෙම නාරං වර්ගය එම ප්‍රදේශයටත් වඩා ඉතා සරුවට උඩරට අතරමැදි කලාපයේ බණ්ඩාරවෙල සහ වැලිමඩ කලාපවල වගා කළ හැකි බව මෙරට කෘෂිකර්ම බලධාරීන් වටහා ගනු ලබන්නේ ඒ පිළිබඳ ඔවුන් ලබන ප්‍රායෝගික අත්දැකීමක් ලෙසිනි. ඒ සඳහා ජපන් රජයේ හා එරට විද්‍යාඥයන්ගේ අනුග්‍රහය ද නොඅඩුව ලැබිණ.
එහි ඊළඟ අදියර යටතේ මෙම නාරං ප්‍රභේදයේ පැළ 24000ක් පමණ ඌව පළාතට අයත් බණ්ඩාරවෙල සහ වැලිමඩ කලාප දෙකෙහි තෝරාගත් ගොවීන් 400ක් සම්බන්ධ කර ගනිමින් වගා කරනු ලැබූ අතර මේ වන විට එම වගාවන් ඉතා සාර්ථකත්වයට පත්ව අස්වනු නෙළීමද ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නාරං ප්‍රභේදයේ රසය, වර්ණය මෙන්ම සෙසු ගුණාංගද ජපානයේ එහිමි නාරං ප්‍රභේදයට අතිශයින් සමානකමක් දක්වන බව මේ සම්බන්ධයෙන් තව දුරටත් පර්යේෂණ පවත්වන ජපන් විද්‍යාඥයන් මෙන්ම මෙරට කෘෂිකර්ම බලධාරීහුද පවසති.
ජපන් රජයේ විද්‍යාඥයන් ඇතුළු දූත පිරිසක් ඉකුත් සතියේ මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද සමග බණ්ඩාරවෙල, පෙරහෙට්ටිය සහ වැලිමඩ රහංගල ප්‍රදේශයේ වගාබිම් නිරීක්ෂණ චාරිකාවකට එක්වූවේ තම රජයේ අනුග්‍රහය ඇතිව ලක් පොළොවේ අතිසාර්ථකව වැවෙන එහිමි නාරං වගාවන්හි සාර්ථකත්වය පිරික්සීම සඳහා ය.
ඉහළ අස්වැන්නක්
එහිමි නාරංවලට අවශ්‍ය පාරිසරික සාධක ප්‍රදේශයෙහි පැවැතීමත් ගොවි මහතුන්ගේ මෙන්ම කෘෂිකර්ම බලධාරීන්ගේ දැඩි කැපවීමත් හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශවල එහිමි දොඩම් වගාව ඉතා සාර්ථකව කරගෙන යන අයුරු එහිදී නිරීක්‍ෂණය විය. වගාවන් ඉතා සරුසාරව පවත්වාගෙන යනු ලබන අතර, ඉතා ඉහළ අස්වැන්නක් ලැබෙන බව ද වගා බිම් භාර ගොවීහු නිලධාරීන් හමුවේ කියා සිටියහ . එසේම ඒ සඳහා පාරිභෝගික ජනතාව අතර ඉහළ ඉල්ලුමක් පවතින අතර හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වී ඇති බව ද ඔවුහු පැවසූහ.
එහිදී අදහස් දැක්වූ රහංගල කෘෂිකර්ම පර්‌යේෂණ ස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සුනන්ද සේනානායක මහතා මෙසේ කීය.
මීට වසර ගණනාවකට පමණ පෙර ජපන් රජයේ විද්‍යඥයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදී බිබිල පැණි දොඩම්වල රස බලා තිබෙනවා. එහිදී ඔවුන් බිබිල පැණි දොඩම් ඉතාමත්ම රසයෙන් යුත් දොඩම් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ නිසාම ඔවුන්ට ජපන් රටේ වැවෙන එහිමි නම්වූ දොඩම් ප්‍රභේදය මෙරටට හඳුන්වාදීමට අවශ්‍යවීම නිසා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා එම නාරං ප්‍රභේදය මෙරටට හඳුන්වාදීමට කටයුතු කළා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පලතුරු පර්‌යේෂණ හා සංවර්ධන ආයතනය මගින් 2012 වර්ෂයේ දී මෙරට ගොවි ජනතාවට හඳුන්වා දුන් හොරණ එහිමි නාරං ප්‍රභේදය උඩරට අතරමැදි කලාපවල ඒ කියන්නේ බණ්ඩාරවෙල වැලිමඩ කලාපවල ගොවීන්ට හඳුන්වා දුන්නා. එහිදී මෙම කලාප දෙකේ ගොවීන් දෙසීයක් බැගින් තෝරාගෙන ඔවුන්ට පැළ 24000ක් ලබාදුන්නා. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව තමයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ. එම වගාවන්හි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමට අපි අද ආවේ. ඇත්තටම කියන්න සතුටුයි වගාව මේ වන විට සාර්ථකව සිදුකෙරෙනව.
එහිමි නාරං වගාව නිරීක්ෂණය කරන අයුරු
මේ වගාව කරන ගොවි මහත්තයෙක් තමයි පෙරහෙට්ටිය කපිල මහත්තයා. අපිට මේ වගාව දිහා බැලුවම තේරෙනවා මේ නාරංවල ජපානේ එහිමි නාරං ප්‍රභේදයට ආවේණික සියලුම ලක්ෂණ තියෙනවා කියන එක . රසය, ගුණය, වර්ණයෙන්ම හැම එකක්ම සමානයි. හොඳ ගුණාත්මක අස්වැන්නක් ලැබිලා තියෙනවා.
කොළ පැහැය වෙනුවට ඔරේන්ජ් පැහැය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නොරුව ප්‍රධාන කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (පර්‌යේෂණ) ජේ.ඒ. සුමිත් මෙසේ කීය.
“කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලොකු උත්සාහයක් දරනවා මෙරට ජනතාවගේ පලතුරු පරිභෝජනය ඉහළ දමන්නට. ඒ සඳහා පලතුරු නිෂ්පාදනය ඉහළ දැමිය යුතුයි. පලතුරු වර්ග ප්‍රමාණය ඉහළ දමන්න අවශ්‍යයි. ඒ වගේම ජනතාව බලාපොරොත්තු වෙනවා ඔරේන්ජ් කීවම ඔරේන්ජ් පැහැය. මේ හැමදේම මෙම එහිමි ප්‍රභේදයේ තියෙනව.
ඒ අනුව තමයි තමයි මේ එහිමි දොඩම් වගාව ආරම්භ කළේ. මේක ජපානයේ තියෙන බොහොම ජනප්‍රිය දොඩම් ප්‍රභේදයක්.
මේ වර්ගය අපේ රටේ ප්‍රචලිත කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රමුඛ වුණා. ජපාන රජයේ නියෝජිතයෝ මෙරට නිලධාරින් එක්ක සම්බන්ධවෙලා තමයි ව්‍යාපෘතිය ආරම්භ කර පවත්වාගෙන යන්නේ. එරට පිරිසක් පැමිණියේත් මේ වගාව බලන්න.
ලංකාවේ වගා කරන හුඟාක් දොඩම් කොළ පැහැයෙන් යුක්තයි. නමුත් මෙහි ඔරේන්ජ් පාට ලබාගැනීමේ හැකියාව තියෙනවා. අවශ්‍ය දේශගුණ තත්ත්වයත් මේ කලාපයේ තියෙනවා. ඒ නිසා වගාව සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ජනතාවත් මීට ආකර්ෂණය වේවි.
මේක අපි තවදුරටත් ගොවීන් අතර ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වෙනවා. අද ජපානයේ කණ්ඩායමක් අප සමඟ ඇවිත් මේ වගාව නිරීක්ෂණය කළා. සාකච්ඡා කළා. මෙරට ගොවීන් අතර වගාව තවදුරටත් ප්‍රකට කිරීමට ඒ අය බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපිට ප්‍රවාහනය සඳහා යන වියදම් වගේම විදේශ රටවලින් දොඩම් ආනයනය කිරීමට යන විශාල විදේශ වීනිමයත් මෙරට ඉතුරු කර ගැනීමට හැකිවෙනවා”.
චාරිකාවට එක්වූ ජපානයේ එහිමි දොඩම් ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා තොරිකෝ ඔමොරි මහත්මිය මෙසේ පැවසුවාය.
එහිමි නාරං වගාව නිරීක්ෂණය කරන අයුරු
“එහිමි කියන්නේ අපේ රටේ ඉතා ජනප්‍රිය නාරං ප්‍රභේදයක්. ඒ වගේම ගුණාත්මක බවින් ඉතා ඉහළ පලතුරක්. බිබිල දොඩම් කියන්නේ ලංකාවේ තිබුණු ඉතා රසවත් දොඩම් වර්ගයක්. හරියට අපේ රටේ එහිමි නාරං වගේමයි. හැබැයි අද වන විට බිබිල දොඩම් මේ රටේ නැහැ. ඒ නිසා තමයි අපි අපේ රටේ මේ නාරං ප්‍රභේදය මේ රටට හඳුන්වා දුන්නේ. ඒ විතරක් නෙමෙයි මේ රටේ ගොවි ජනතාවගේ ආදායම ඉහළ නැංවීමත් අපේ පරමාර්ථයක්. දෙවැන්න තමයි රටවල් අතර ප්‍රවාහනයේදී වැයවෙන වියදම් අඩුකර ගැනීම.
මේ දොඩම් වර්ගය හරි රසයි. ඇඹුල් නැහැ. පැහැය ප්‍රියමනාපයි. මේ දොඩම් ප්‍රභේදය අපි මෙරටට හඳුන්වා දුන්නේ 2006 වසරේදි. ලබන වසරේ අපි 20 වන සංවත්සරය සමරනවා. අපි ඉදිරියේදී මෙරට තවදුරටත් වගාව ව්‍යාප්ත කරවීමට මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරනව.
අපි රහංගල, බණ්ඩාරවෙල ප්‍රදේශවල චාරිකා කරමින් වගා නිරීක්ෂණය කළා. එම වගාව ඉතාම ඉහළ තත්ත්වයේ පවතිනවා. ඒක අපේ සතුටට කරුණක්. අපේ බලාපොරොත්තුව තමයි මේ රටේ හැම පුරවැසියෙකුටම මෙම පලතුරේ රස බැලීමේ අවස්ථාව ලබාදීම. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් පිටරටට යන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතුරු කර දීමටත් අපට හැකිවේවි”.
ජපානයේ එහිමි දොඩම් ව්‍යාපෘතියේ සභාපති සෙයිචි ඔබයයි මෙසේ කීය.
“අපේ රටේ මෙවැනි නාරං වර්ග රාශියක් තියෙනව. අපි මේ රටට නාරං වර්ග 09 ක් පමණ හඳුන්වා දුන්නත් එහිමි ප්‍රභේදය තමා සාර්ථකව වගා කරන්න පුළුවන් වුණේ. මේ රටේ හොඳ දේශගුණයක්, පරිසරයක් වගේම වගා පවත්වාගෙන යා හැකි දක්ෂ නිලධාරි පිරිසක් ඉන්නව. ඒ අයගේත් සහාය ඇතිව ලංකාවෙහි ඉදිරියටත් මේ වගාව ජනප්‍රිය කරන්න අවශ්‍ය සහයෝගය ලබාදෙන්නට අපි කටයුතු කරනවා.
වියලුව නිශාන්ත කුමාර