1978 දී ජේ. ආර්. ජයවර්ධන විසින් සකසන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව 1982 වසරේ දී මෙරට ප‍්‍රථම ජනාධිපතිවරණය පැවැත්විණි. ඒ විධායක බලතල සහිත එක් පාලකයෙක් තෝරාගැනීම සඳහාය. ඒ අනූව ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන ද, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ද, සම සමාජ පක්‍ෂයෙන් කොල්වින් ආර්. ද සිල්වා ද, ජනතා විමුක්ති පෙරමුණෙන් රෝහණ විජේවීර ද, නව සම සමාජ පක්‍ෂයෙන් වාසුදේව නානායක්කාර ද සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් කුමාර් පොන්නම්බලම් ද තරග කළහ.
මෙහි ප‍්‍රධානතම ප‍්‍රතිමල්ලවයන් වූයේ ජේ. ආර්. ජයවර්ධනත්, හෙක්ටර් කොබ්බෑකඩුවත් ය.
ජේ. ආර්. ජයවර්ධන ට සෙසු අපේක්‍ෂකයන් ගෙන් අභියෝගයක් නොවූ අතර, සෙසු සිවු දෙනාගේ ම අභියෝගය වූයේ හෙක්ටර් කොබ්බෑකඩුව ය. කෙසේ වුවද, ජනාධිපතිවරණයෙන් කොබ්බෑකඩුව පරාජයට පත් වුවද, ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළින්ම චෝදනා නැඟුණේ සභාපති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත්, අනුර බණ්ඩාරනායක ටත්ය.
“මැතිවරණයේ දී ඔවුන් කකුලෙන් ඇද්ද බවට” ඔවුන් ට එල්ල වූ චෝදනාවයි.
එමෙන්ම කොල්වින් ආර්. ද සිල්වා ගේ ප‍්‍රකාශයක් ද කොබ්බෑකඩුව ගේ පරාජයට හේතු වූ බව කතාබහ ඇති විය. එනම් සම සමාජ පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ ප‍්‍රකාශයක් පදනම් කර ගනිමිනි.
“මෙතන අපේ පක්‍ෂයට පොට්ට චාන්ස් එකක් තියෙනවා. මොකද, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සිරිමාවෝ බණ්ඩාරනායක දැන් අවලංගු කාසියක්. ඇයට ප‍්‍රජා අයිතිය නෑ. ඒ ප‍්‍රජා අයිතිය නැති නායිකාව සභාපති තනතුරේ සිටියදීම තමයි හෙක්ටර් කොබ්බෑකඩුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ. එය නීති විරෝධීයි. මේ හේතුව නිසා කොබ්බෑකඩුවගේ නාම යෝජනා පත‍්‍රය අවලංගු වෙනවා. ඊළඟට ඉන්න ප‍්‍රබලම පක්‍ෂය අපියි. රටේ පිළිගැනීම අපේ පැත්තට පෙරළෙනවා. එහෙම වුණාම අපි පොදු අපේක්‍ෂකයා බවට පත්වෙනවා. එතකොට මේ ජනාධිපතිවරණය දිනන්නේ අපියි. ඒ නිසා මම ඉදිරිපත් වෙනවා.”
මේ අයුරින් කොල්වින් ආර්. ද සිල්වා මධ්‍යම කාරක සභාවට තම ඉලක්කය පැහැදිළි කළේය. නමුත් එම පක්‍ෂයේ තවත් පිරිසක් එම තර්කය පිළිගත්තේ නැත. අනිල් මුණසිංහ සහ පර්සි වික්‍රමසිංහ ඒ පිරිසට නායකත්වය දුන්හ. පසුව ඔවුහු “මේ පක්‍ෂය සිහින සාප්පුවක්”යැයි කියමින් සම සමාජ පක්‍ෂයෙන් ඉවත්ව ශ‍්‍රී ලංකා සම සමාජ පක්‍ෂය නමින් නව පක්‍ෂයක් පිහිටුවා ගෙන කොබ්බෑකඩුව ට පක්‍ෂව ජනාධිපතිවරණ සටනට එකතු වූහ. කෙසේ වුව ද කොබ්බෑකඩුවගේ නාම යෝජනා මැතිවරණ කොමසාරිස් භාර ගත්තේය. එසේ වුවත් එම නීති තර්කය අත හරින්නට කොල්වින් ආර්. ද සිල්වා සූදානම් වූයේ නැත. ඔහු එය මැතිවරණ වේදිකාවේදී ද ප‍්‍රකාශ කළේය.
“වටිනා ඡන්දයක් අපතේ හැරගන්න එපා. කොබ්බෑකඩුව ට දෙන ඡන්දය අපතේ යෑමක්. ඔහු දිනුවාට වැඩක් නැහැ. ඔහුගේ නාම යෝජනා අත්සන් කර තිබෙන්නේ ප‍්‍රජා අයිතිය අහෝසි වූ සභාපතිනියක්. ඒ නිසා එයා දිනුවත් ඒ දිනීම වලංගු නෑ.”
කෙසේ හෝ කොබ්බෑකඩුවගේ පරාජයේ රැල්ලේ කෝපය මෝරන්නට පටන් ගත්තේ, විජය කුමාරතුංග කණ්ඩායමත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් අතරය. එය තාවකාලිකව යටපත් වූයේ ඒ සමගම ගොනු වූ නඩු දෙකක් සමගය. එනම් “නැක්සලයිට් නඩුව” සහ “හාල් පොත්” නඩුවය. රාජ නීතීඥ බන්ටි සොයිසා ඒ අවධියේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ නීතීඥයාය. මෙම නඩු දෙකම සැලසුම් කරන ලද්දේ ඔහු විසිනි. නැක්සලයිට් නඩුව වූයේ, ජේ. ආර්. ජයවර්ධන මෙම ජනාධිපතිවරණය ජය ගතහොත් ඔහුට දිවුරුම් දෙන්නට ඉඩ නොතබා ඝාතනය කරන්නට සැලසුමක් තිබුණ බවට ය. එය නරුම අයුරින් සිදුවන කටයුත්තක් බවත්, එම ඝාතනය සිදු කෙරෙන්නේ ජනාධිපති ලෙස දිවුරුම් දීමට රතු පලස දිගේ එන විට ඒ රතු පලස ලෙයින් තෙත් කොට මෙම ඝාතනය සිදුකිරීමට සැලසුම් කර තිබුණ බවත්ය.
හාල් පොත් නඩුව ද රට පුරා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රාදේශීය නායකයන් රිමාන්ඩ් භාරයට පත් නඩුවක් විය. හාල් පොත යනුවෙන් එදා හැඳින්වූයේ රටේ ජනතාවගේ පරිභෝජනයට සහල් යම් කිසි ප‍්‍රමාණයක් නොමිලේ ලබා දීමේ කූපන් පතකි. 1977 ජේ. ආර්. ජයවර්ධන රජය මෙම සහල් කූපනය අහෝසි කළේය. එසේ අහෝසි කළ හාල් පොත් සංඛ්‍යාව හැත්තෑපන් ලක්‍ෂයකි. මෙසේ අහෝසි කළ සහල් කූපනය තමා බලයට පත්වූ විට නැවත ලබා දෙන බවට හෙක්ටර් කොබ්බෑකඩුව මැතිවරණ වේදිකාවල ප‍්‍රකාශ කළේය. කොබ්බෑකඩුව ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රචාරක අංශය බාරව කටයුතු කළේ ඔසී අබේගුණසේකර ය. ජනතාව ගෙන් අහෝසි වූ හාල් පොතක ආකෘතියක් ඔසී මුද්‍රණය කළේය. එය සැබෑ හාල් පොතක අනුරුවක් ලෙස මුද්‍රණය කර රට පුරා බෙදා හැරුණද, එය සැබෑ හාල් පොතක් නොවන බව එහි පැහැදිළිවම මුද්‍රණය කර තිබුණේ ය. එහෙයින් එය කිසිසේත් ම නීති විරෝධි ක්‍රියාවක් නොවන බව පක්‍ෂයේ නීතීඥ මණ්ඩලයේ ද අදහස විය. මුද්‍රණය කරන ලද කූපන් පොත් රට පුරා බෙදා දීම සිදුකරනු ලැබූවේ තමන් ළඟ තිබී අහිමි වූ හාල් පොත රටේ ජනතාවට නැවත සිහි ගැන්වීමට ය.
කොබ්බෑකඩුව ගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැස්වීම් අතරතුර දහස් ගණනින් බෙදා හරින ලද එම හාල් කූපන් පොතේ අනුරුව පාක්ෂිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වූයේ, ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව ධාන්‍ය රාත්තල් අටක් දෙන බවට පොරොන්දු වී කාලයක් තිස්සේ තිබු හාල් කූපන් පොත ද උදුරා ගත් බැවිනි. එක්සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවන් පවා කොබ්බෑකඩුව ගේ ජනාධිපතිවරණ රැස්වීම්ව ලදී බෙදා හරින ලද එම හාල් කූපන් පොතේ අනුරුව අතට ගෙන මහත් වූ උනන්දුවෙන් බලන අයුරු නොයෙක් විට පෙනෙන්නට තිබුණි.
“ජේ. ආර්. ජයවර්ධන මහත්තයා තමුන්නාන්සේ ලා අත තිබු හාල් කූපන් පොතත් උදුරගත්තා. ඒත් මෙදා සැරේ අපේ කොබ්බෑකඩුව මැතිතුමා ජනාධිපතිවරණයෙන් ජය ගත්තට පස්සේ අපි ඒ හාල් කූපන් පොත නැවතත් ලබා දෙනවා.”
යැයි කියමින් කොබ්බෑකඩුව ගේ ඡන්ද ප‍්‍රචාරක රැස්වීම් දෙවනත් කළ කථිකයන් අතර විජය කුමාරතුංග, ඔසී අබේගුණසේකර සහ රත්නසිරි වික්‍රමනායක යන නායකයන් ඉහළින්ම කැපී පෙනුනා හ. එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව මණ්ඩලයේ බහුතරය හාල් කූපන් පොතේ අනුරුවට ලැබුණු ජනතා ආකර්ෂණය ගැන දැඩි ලෙස බියට පත්ව සිටියහ.
කෙසේ වුවද හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් සහිතව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළේය. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව තම පරාජිත ප‍්‍රතිවාදියා ගෙන් පළිගැනීම ආරම්භ කළේ ඉන්පසුවය.
“කොහොම ද කොබ්බෑකඩුව ගේ ඡන්ද රැස්වීම්වලදී හාල් පොතක් බෙදුවේ? ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධි වැඩක්. වහාම ඒ ගැන සොයා බලන්න.” යැයි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පොලිස්පති ගේ මාර්ගයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. බෙදා හරින ලද්දේ සැබෑ හාල් කූපන් පොතක් නොවන අතර, එය හාල් කූපන් පොතක අනුරුවක් පමණකැයි එහි ඉතා පැහැදිලිව සඳහන්ව තිබියදීත්, ජනාධිපතිවරයා කළ එම නියෝගය පදනම් විරහිත බවත් පරීක්‍ෂණ පැවැත්වීම විහිළුවක් බවත් එවක නීති විශාරදයන්ගේ මතය විය.
එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වීමෙන් පසුව නැක්සලයිට් චෝදනාව පදනම් කර ගනිමින් ද එහි කුමන්ත‍්‍රණකරුවන් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් රත්නසිරි වික්‍රමනායක, විජය කුමාරතුංග, දේව බණ්ඩාර සේනාරත්න, වික්ටර් බණ්ඩාර සේනාරත්න, කරුණාසේන ජයලත්, කමලා රණතුංග, මර්වින් සිල්වා, ජගත් නාරම්බැද්ද, එල්. එස්. පෙරේරා, හබරාදුව සරත් ඩයස්, ෆීලික්ස් පෙරේරා හා වයි. පි. ද සිල්වා යන අය අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරන ලදී. තව ද කොබ්බෑකඩුව ද පොලිස් මූලස්ථානයේ හතරවැනි තට්ටුවට කැඳවා පැය ගණනාවක් තිස්සේ ප‍්‍රශ්න කරන ලදි. තව ද එවකට වෙෙළඳ අමාත්‍යවරයා වූ ලලිත් ඇතුලත්මුදලිගේ පෞද්ගලික ලේකම්වරයාව ද, කොබ්බෑකඩුව පාර්ශ්වයට මුද්‍රණය කර බෙදාහැරීම සඳහා සැබෑ හාල් කූපන් පොතක බ්ලොක් තහඩුවක් ලබා දුන්නා යන චෝදනාව යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලදී. එමෙන්ම මෙම සිදුවීමට අදාළව පෙර ආණ්ඩුවේ හිටපු දේශපාලනඥයන් විසි දෙනෙකුට අධික පිරිසකගෙන් ද, රහස් පොලිසිය ප‍්‍රශ්න කරන ලද අතර රට පුරා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රාදේශීය නායකයන් රිමාන්ඩ් බාරයට පත් කරන ලදී. මෙම ප‍්‍රශ්න කිරීම්වලදී නඩු නිමිත්තක් අනාවරණය කර ගැනීමට සෑහෙන උත්සාහයක් ගන්නා ලදී. මාධ්‍ය වලින්ද ප‍්‍රචාරය වූයේ හොර හාල් කූපන් පොත් මුද්‍රණය කර බෙදා හැරීම පිළිබඳව වූ පුවත් ය. අවසානයේ දී මෙහි නඩු නිමිත්තක් නොමැති බව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගේ නීතී උපදේශකවරුන්ගේ මතය විය. වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයක් යටතේ අවසානයේ දී නඩුව ඉවත් කර දැමීමට සිදුවිය.
එම්. තාරික්