පින්නවල අලි වසුරු ඉවත්කොට අලි නෑවීමට සංචාරකයන් පන්සිය අසූපස් දෙනෙකු පසුගිය වසර දෙකක කාලයේදී අලි අනාථාගාරයට පැමිණ ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පශු වෛද්‍ය ආර්. චන්දන රාජපක්ෂ පැවසීය.
සංචාරකයන්ට නවමු අත්දැකීමක් ඇති කරමින් අලි ඇතුන් පිළිබඳව අධ්‍යයනයක යෙදීමට හැකිවන පරිදි කැපකරු මාපිය නම් වැඩසටහනක් අනාථාගාරයේ ක්‍රියාත්මකව ඇත.
පින්නවල අලි අනාථාගාරයට වාර්තා වී ඇති කැපකරු මාපියන් පන්සිය අසූපස් දෙනාගෙන් 2024 වර්ෂයේ දෙස් විදෙස් සංචාරකයන් 389ක් වාර්තා වී ඇති අතර 2025 වර්ෂයේ 190ක් වාර්තා වී ඇත.
ඒ අනුව පින්නවල අලි ඇතුන් රැක බලා ගනිමින් එහි සේවය කරන සංචාරකයන්ට මාපිය කැපකරු ක්‍රමය යටතේ අගනා සහතික පත්‍රයක් ලබාදීමද සිදු කෙරෙනු ඇත.
පින්නවල අලි අනාථාගාරයට යම් මුදලක් ගෙවා අලි ඇතුන්ගේ සුබ සාධනයට කැපකරු ක්‍රමය යටතේ දායක වීමෙන් පසු අලි ඇතුන්ගේ රාජකාරි කටයුතු සංචාරකයන්ට පැවරෙයි.
තම විවේකී දින ගණනට අනුව කැපකරු වැඩසටහන වෙන්කරගත හැකිය.
මෙම කැපකරු මාපිය ක්‍රමය යටතේ අලි නෑවීමට එක් වූ විදෙස් සංචාරකයන් අතර වැඩිදෙනෙක් තරුණ තරුණියන් වීම විශේෂත්වයකි.
සිය නිවාඩුව විවේකීව ගත කරන්නට ලංකාවට පැමිණි ගමනේදී අලි ඇතුන් රැක බලාගැනීම වෙනුවෙන් කාලය වෙන් කිරීම අගය කළයුත්තක් බව චන්දන රාජපක්ෂ පවසයි.
ඇතැම් සංචාරකයන් සිය කෙටි නිවාඩුව අලි ඇතුන් මාපිය කැපකාරත්වයට වෙන්කිරීම දක්නට ලැබෙන්නකි.
ඒ අනුව අලි ඇතුන් සිටින අලිහලේ ඇති අලිබෙටි ඉවත් කර නවාතැන් සේදීම, හීලෑ අලි නෑවීමට සහාය වීම, ඔවුන්ට ආහාර දීම, වැනි ක්‍රියාකාරකම් කැපකරු ක්‍රමය යටතේ පැවරෙන රාජකාරි ය.
දේශීය සංචාරකයන් අතරද තරුණ ප්‍රජාව කැපකරු මාපිය ක්‍රමය සඳහා යොමුවීම දක්නට ලැබෙන්නකි.
රේඛා තරංගනී ෆොන්සේකා