ආසියානු කුසලානය අවසන් වූයේ මහත්වරුන්ගේ ක්‍රීඩාව යැයි කියන ක්‍රිකට් ක්‍රීඩාවට මහා කළු පැල්ලමක් එක් කරමිනි.
බලයෙන් ධනයෙන් ඔළුව උදුම්මවා ගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ආසියානු කුසලානය හිමිකර දෙමින් තරගාවලිය නිමා වුව ද, තවමත් අවසන් තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී සිදුවූ දෙය ගැන කතාවක් නැත.
සමස්ත තරගාවලිය පුරාම ඉන්දීය කණ්ඩායම දක්ෂතා දැක්වූ බව සැබවි. එහෙත් පළමු වටයේ ඕමානයට එරෙහි තරගයෙන් පසුව ඉන්දියාව පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් නොවන බව පෙනෙන්නට තිබුණි. ශ්‍රී ලංකාව ඒ ආසන්නයටම පැමිණියේය. අවසන් තරගයේ දී ද පාකිස්ථානයට ජයග්‍රහණයක් සඳහා අවශ්‍ය තරම් ඉඩ තිබුණි. විශේෂයෙන්ම අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂ ඉතාම හොඳින් ජස්ප්‍රීට් බුම්රා හමුවේ ක්‍රීඩා කරන පාකිස්ථානයට අවසන් තරගයේ දී වැඩි ලකුණු ප්‍රමාණයකට ගමන් කළ හැකිව තිබුණි. අනෙක් අතින් තමන් රැස් කළ ලකුණු 147 ආරක්ෂා කර ගැනීමට ද අවස්ථාවක් තිබුණි. ඔවුන්ගෙන් තරගය ගිලිහුණේ නායකයා ගේ අත්දැකීම් අඩු ක්‍රීඩා විලාසයෙනි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ තරගාවලියේ හොඳම තරගය ලෙස බොහෝ දෙනා දක්වති. මේ තරගයෙන් ශ්‍රී ලංකාවට ජයගත හැකි බව අප පැවසුවේ තරගාවලිය ආරම්භයේ දීය. ශ්‍රී ලංකාව ජයග්‍රහණය ආසන්නයටම පැමිණියේය. තරගය ගිලිහුණේ අංක 04 ක්‍රීඩකයා ලෙස චරිත් අසංලක සහ අංක 05ලෙස කමිදු මෙන්ඩිස් යන දෙදෙනා පිටියට එවීම නිසාය. මේ දෙදෙනා පන්දු 16 ක දී රැස් කළේ ලකුණු 8 කි. අංක හතර ක්‍රීඩකයා ලෙස දසුන් ශානක නොපැමිණියේ ඇයි යන්න දන්නේ සනත් ජයසූරිය පමණි. අනෙක් අතින් 20 වැනි ඕවරයේ පැතුම් දැවී ගිය විට ජනිත් ලියනගේ පැමිණියේ ඇයි ද යන්න දන්නවා ඇත්තේ ද ජයසූරිය පමණි. පීඩනයක් යටතේ තීරණ ගැනීමට වර්තමාන නායකයාටත් පුහුණුකරුටත් බැරි බව පැහැදිලිව දැක ගත හැකි විය. සුපිරි ඕවරයට පැමිණීමට පැතුම් නිස්සංකට නොහැකි තරම් ආබාධයක් තිබුණේ දැයි අපි නොදනිමු. එහෙත් අංක 03 ක්‍රීඩකයා විය යුත්තේ කමිඳු නොව වනිඳු හසරංගයි. ඕනෑම අවස්ථාවක පිටියට පිවිසි සැණින් පහරවල් ගහන්නේ හසරංගයි. මේ ආකාරයෙන් අමුතු වැරදි ශ්‍රී ලංකාව අතින් සිදුවිය.
ඇතැම් විට කුල්දීප් යාදව් පන්දු යවමින් සිටි නිසා චරිත් පැමිණියා විය හැකිය. ඒ දසුන් සාමාන්‍යයෙන් පා දඟ හෝ චයිනමන් පන්දු යවන්නන්ට අපහසුවෙන් මුහුණ දෙන නිසාය. අනෙක් කාරණය ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකරන මෝඩම ක්‍රියාව වන වමත් සහ දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු එකවර තණතිල්ලේ රඳවාගැනීමට උත්සාහ කිරීමයි. මෙය කරන්නට ගොස් අතේ තිබූ තරගයක් නැති කර ගත්තා නම් ඒ ඉන්දියාවට එරෙහි තරගයයි. දසුන් ශානක යනු ඉන්දියාව හමුවේ බය නැතිව ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකි. ඔහුගේ විස්සයි20 ක්‍රීඩා දිවිය දෙස බැලූ විට ඔහු ඉන්දියාවට එරෙහිව ඉතා හොඳින් ක්‍රීඩා කරයි. අසියානු කුසලානයේ ඉන්දියාවට එරෙහි තරගයට පෙර ඔහු ඉන්දියාවට එරෙහිව විස්සයි20 ලකුණු 430 ක් රැස් කර තිබුණි. සාමාන්‍ය 26.87 කි. පහර දීමේ වේගය 140.52 කි. ඉන්දියාව හමුවේ මේ තරම් විශ්වාසයෙන් ක්‍රීඩා කරන පිතිකරුවෙකු පිටියට නොඑවා මේ වනවිට රිද්මයෙන් බැහැරව සිටින අසලංක පහර දීමට එවීමට යමෙකු සිතන්නේ ඇයි? මේ ක්‍රීඩකයන් සම්බන්ධ දත්ත ගබඩාවේ භාරකරුවන් ඒ අවස්ථාව ගැන නොසිතන්නේ මන්ද?
ඉන්දියාව සමග තරගයෙන් පසුව බොහෝ කතා කියැවුණි. තව චුට්ටක් තිබුණා නම් තව ටිකයි හදා ගන්න තිබෙන්නේ වැනි කතා බොහෝය. එහෙත් මේ තරගය තීරණය වන්නේ ද පැතුම් සහ කුසල් මෙන්ඩිස් ගේ අතිනි. මේ දෙදෙනා නොසිටින්න ශ්‍රී ලංකාවට ඉන්දියාව හමුවේ ඇපත් නැතිය. ශ්‍රී ලංකාව තවමත් විස්සයි20 හොඳ කණ්ඩායමක් නොවන්නේ මේ නිසාය. හොඳ කණ්ඩායමක් ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන් දෙදෙනෙකු මතින් නොවේ. තමන් ගේ හොඳම ප්‍රහාරකයන් දෙදෙනා සහ විශ්වාසවන්ත ආරම්භක පිතිකරු දැවී යාමෙන් පසුව ඉන්දියාවේ සැම්සන්, තිලක් වර්මා සහ ශිවම් ඩූබේ යන තිදෙනා ඉන්දීය ඉනිම ඉදිරියට ගෙන ගියේ දැඩි විශ්වාසයකිනි. ඒ අක්සාර් පටේල් දක්වා විශ්වාසය තැබිය හැකි නිසාය. ශ්‍රී ලංකාවේ පිතිකරු ලැයිස්තුව එසේ විශ්වාසය තැබිය හැකි එකක් නොවේ. මේ නිසා සාම්ප්‍රදායිකව විස්සයි20 තරගවල දී ඉන්දියාව හමුවේ හොඳින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ දීත් ජයග්‍රහණය ආසන්නයටම ආවා කියා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ කණ්ඩායමක් වෙන්නේ නැත.
මේ තරගාවලිය පුරා අවශ්‍ය මොහොතේ දී පැතුම් නිස්සංක ක්‍රියාත්මක වූයේය. එය දැන් කාලයක සිටම සිදු වෙන දෙයකි. ඔහු ඉන්දියාවට එරෙහිව ශතකයක් ද රැස් කළේ තමන් ගේ හැකියාවේ තරම පෙන්වමිනි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට දිගින් දිගටම පැතුම් නිස්සංක මත රැඳෙන්නට බැරිය. පැතුම්ට ද රිද්මය ගිලිහෙන කාලයක් පැමිණිය හැකිය. මෙය තේරුම් ගන්නට බැරි තරම් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය අවුලක නැතැයි අපි විශ්වාස කරමු. අනෙක් අතින් ලකුණු 200 ක් හඹායාමේ දී පැතුම් සහ කුසල් පෙරේරා තමන් වෙනදා ක්‍රීඩා කරනවාට වඩා අවදානමක් ගෙන පන්දුවට පහර දෙනු දැක ගත හැකිවිය. වර්තමාන විස්සයි20 ක්‍රිකට් යනු මෙයයි. එය ලකුණු 200 ක් එළවා ගියත් පළමුවෙන් පන්දුවට පහර දුන්නත් එකම ආකාරයය. එය ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රගුණ කළ යුතු තත්ත්වයකි. එසේ නොවුණොත් විස්සයි20 ලෝක කුසලානයේ දී ද ශ්‍රී ලංකාවට අත්වන්නේ ආසියානු කුසලානයේ දී අත්වූ ඉරණම විය හැකිය.
ආසියානු කුසලානයට පළමු විනාශය කළේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පළමු තරගය අවසානයේ දී ඉන්දීය ක්‍රීඩකයන් අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමෙනි. එය අවසන් වන්නේ තමන්ට හිමි කුසලානය ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති සහ පාකිස්ථනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති මොෂින් නක්වි අතින් ලබා ගැනීමට ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමත් සමගිනි. එම ප්‍රතික්ෂේප කිරීම සාධාරණය. එහෙත් එයින් පසු ඉන්දියාවේ හැසිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ ඔවුන් ගේ බලය සම්පූර්ණයෙන්ම තමන්ට අවශ්‍ය ආකාරයට යොදාගැනීමක් ලෙස දැක්විය හැකිය.
අප අමතක නොකළ යුත්තේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර මේ තරම් වෛරයක් ගොඩනැගී ඇති අවස්ථාවක තමන්ව ප්‍රතික්ෂේප වන බව දැන දැනම පාකිස්ථාන අමාත්‍යවරයා ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණීමයි. මාධ්‍ය වාර්තා කළේ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති ඛලිඩ් අල් සරූනි අතින් කුසලානය ලබා ගැනීමට ඉන්දියාව කැමැත්ත පළ කළ බවයි. එහෙත් එයට නක්වි එකඟ වී නැත. සිද්ධිය එය එතැනින් නතර වන්නේ නැත. ඉන්දියාව තමන් කුසලානය ලබා ගත්තාය යන අනුකරණයෙන් සැමරීම් කරමින් සමස්ත ත්‍යාග ප්‍රදානෝත්සවය හාස්‍යයක් බවට පත්කර ගනිමින් රඟන්නට පටන් ගැනීම ඉන්දියාවේ තත්ත්වය ලොවට පෙන්වූ අස්ථාවක් විය. තමන් ගේ අතින් කුසලානය ලබාගැනීමට නොපැමිණි කණ්ඩායමට කුසලානය නොදී එය නැවත රැගෙන යෑමට ආසියානු ක්‍රිකට් කවුන්සල සභාපතිවරයා කටයුතු කළේය. ඉන්දීය මාධ්‍ය අල්ලා ගත්තේ මේ කෑල්ලයි. ඔවුන් කීවේ නක්වි ආසියානු කුසලානය අරන් ගියා කියාය.
කුමකින් කුමක් වුවත් මේ සිදුවීමට ඉන්දීය කණ්ඩායමට දඩ කන්නට වෙන්නේ නැති බව පැහැදිලිය. ඒ නිසාම අනුශූරයන්ට හිමි චෙක්පත වීසි කළ පාකිස්ථාන නායකයාට ද දඩ කන්නට සිදුවන්නේ නැත. මීට මාස කිහිපයකට පෙර ඇති වූ ඉන්දු - පාකිස්ථාන යුද්ධයේ දී ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා කඩා වැටෙන ආකාරය ප්‍රේක්ෂකයන්ට පෙන්වූ හරිස් රාවුෆ් මීට පෙර තරගයේ දී දඩ කෑවේය. මේ සියල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ඇති ඉන්දීය බලපෑමයි. මේ සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු ක්‍රීඩකයෙකු වන රෂිඩ් ලතිෆ් අපූරු කතාවක් කියා තිබුණි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන ක්‍රියාකාරී නිලධාරී, වාණිජ ප්‍රධානී, උත්සව සහ මාධ්‍ය ප්‍රධානී යන සියලුම ප්‍රධාන තනතුරුවල ඉන්දීය ජාතිකයන් සිටිය දී ඉන්දීය කණ්ඩායමේ හැසිරීමට කිසිදු දඬුවමක් නොලැබෙන බව ඔහු කියා තිබුණි. මෙය සියයට සියයක් නිවැරදිය. මේ කටයුත්ත වෙනත් කණ්ඩායමක් කළා නම් - ‘ක්‍රීඩාවේ ජීව ගුණය විනාශ කළේ’ යැයි මේ වනවිට නඩුත් අසා දඩත් ගසා අවසන්ය. එහෙත් ‘නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ’ තත්ත්වයක් ඇති විට කිසිවක් නොවන බව ඉතිහාසය පෙන්වා දෙයි. ඒ නිසා සුද්දා ගේ ක්‍රිකට් සාම්බාරු වූ බව නම් ලියා තැබිය යුතුය.
ඉන්දියාව ගැන කතා කරද් දී කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ඇරඹීම පසුගිය සතියේ තවත් සුවිශේෂ සිදුවීමක් විය. පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අතර මේ තරගයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාවට හොඳ තරගයක් දුන්නේය. එහෙත් ලකුණු 124 කට කඩුලු 6 ක් වැටුණු අවස්ථාවේ දී 7 වැනි කඩුල්ලට ලකුණු 103 ක සබඳතාවක් පැවැත්වීමට ඉන්දීය කණ්ඩායමට ඉඩදීම නිසා ශ්‍රී ලංකාව තරගය පරාජයට පත්විය. අනෙක් කාරණය පන්දු රැකීමයි. අංක 8 පිතිකාරිණිය ලෙස පිටියට පිවිස ලකුණු 57 ක් ලබා ගැනීමට අමන්ජොට් කෝර් හට හැකි වූයේ ඇය ලබා දුන් උඩපන්දු 3 ක් අත්හැරීම නිසාය. තවත් එක් උඩපන්දුවක් ගිලිහුණු අතර එය අසීරු එකකි. ඒ හරහා ලකුණු 250 සීමාවට ඉක්ම යෑමට ඉන්දියාවට හැකි විය. මෙයින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන තරග 4ක් ඇත්තේ ශ්‍රී ලංකාවේදී ය. මේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම උපරිමයෙන් ගත යුතුය. ඔබ මේ සටහන කියවන ඔක්තෝබර් 04 දා ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව සමග ක්‍රීඩා කරයි. එම තරගය අතිශය අසීරු තරගයක් වුවද ඉන්දීය තරගයේ පරාජය වසාගැනීමට ශ්‍රී ලංකාවේ දී උපරිමයකට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවනු ඇත. පිරිමි කණ්ඩායම පහසු දේ අනාගනිද්දී ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක 06 ස්ථානයේ සිටින කාන්තා කණ්ඩායමට ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් යමක් කළ හැකි නම් එය අස්වැසිල්ලට කරුණක් වනු ඇත.
කාංචන දසනායක