ලක්බිමේ නම තැබූ දියණියෝ
- ගුරු වැටුප් ප්‍රශ්නය විසඳන්න පත්කළ සුබෝධනී කමිටුවේ මූලිකයාත් ඇයයි
- වැඩිහිටි ලේකම් කාර්යාලයේ අත්දැකීම් නිසා විවාහ නොෙවන්න තීරණය කළා
සිය උගත් දැනුම අභිභවා කාර්යක්ෂමතාව සහ කැපවීමෙන් පරිපාලන සේවයේ ඉහළට ගිය තවත් සුවිශේෂී කාන්තාවක් වෙනුවෙන් ‘ලක්බිමේ නම තැබූ දියණියෝ’ විශේෂාංගය තුළින් අදත් අප ඉඩක් වෙන්කළා. ඇය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන) සිථිලා සුබෝධනී මහත්මියයි.
ගුරු පවුලක දෙමාපියන්ට දාව උපත ලැබූ පවුලේ එකම දරුවා වූ ඇය කුඩා කල සිට අධ්‍යාපනයට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටද උපන් හපන්කම් දැක්වූවාය.
පානදුර වඳුරාමුල්ල සිය මවගේ උපන් ග්‍රාමයේ කුඩා කල සිට ජීවිතය ගත කරන ඇයගේ සුන්දර ළමා කාලය මෙන්ම තරුණ වියද වැඩිකාලයක් ගෙවන්නේ සිය මිත්තණිය ඇසුරේය.
මේ දිනවල ගුරු වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කතා බහට ලක්වෙන චරිත අතර ඇයද සිටින්නේ පෙරමුණේය. ගුරු වැටුප් විෂමතා පිළිබඳ පැන නැගී ඇති ගැටලුවට විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ සභාපතිධුරය දැරුවේ ඇයයි. එය ප්‍රකටව ඇත්තේ සුබෝධනී වාර්තාව නමින්ය.
‘‘මගේ තාත්තා පී.කේ. ජයසිරි, අම්මා ඩබ්ලිව්.ඒ.ඩී. විජේසූරිය, අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ගුරු මාරුවීම් එක්ක අම්මටයි තාත්තටයි නිතරම ලංකාව වටේම යන්න වුණා. මාවත් අරන් ගියොත් මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වේවි කියලා අම්මා ගොඩක් බයවුණා. ඒ නිසා මම පුංචි කාලේ ඉඳලා හැදුනේ මගේ ආත්තම්මගේ ගෙදර. අම්මාගේ මහගෙදර නිසා අම්මාගේ අනෙක් සහෝදර සහෝදරියන්ගේ සෙනෙහස මැද්දේ තමයි මම හැදුණේ. පවුලේ එකම දරුවා නිසා හැමෝගෙම ආදරය මට ලැබුණා. තනියම හැදුන නිසාද මන්දා මම පුංචි කාලේ ඉඳල ටිකක් විප්ලවකාරී චරිතයක්.
ඇත්තටම ජීවිතේට තව එක සහෝදරයෙක් හරි සහෝදරියක් හරි හිටියා නම් හොඳයි කියලා සිතුන අවස්ථා අනන්තයි. හැබැයි අත්තම්මාගේ ගෙදර පිරිස මැද්දේ හැදුන නිසා ලොකු තනිකමක් දැනුනෙත් නැහැ.
මගේ අම්මාගේ පවුලම ගුරු පවුලක්. ඒ ඇසුරේ මම හැදුනට මට කවුරුවත් පාඩම් කරන්න කියලා බල කළේ නැහැ. ඒ නිසා මගේ ළමා කාලය හරිම සුන්දර විදිහට මම ගතකළා. මට අරමුණු තිබුණේ නැහැ විභාග පාස්වෙන්න කියලා. මහා බරපතළ දේවල් මගේ දෙමාපියෝ ඔළුවට දැම්මේ නැහැ. මම සාමාන්‍ය පෙළ වෙනකම් කිසිම ටියුෂන් පන්තියකට ගිහින් නැහැ. හැබැයි මම හරියට පොත් කියෙව්වා. අරයා වෙනවා මෙයා වෙනවා කියලා මට හීන තිබුණේ නැහැ. අපේ අම්මාට ඕනැ වුෙණ් මාව ලොකු පුටුවකට යවන්න නෙමෙයි. එයාට ඕනැ වුණේ මාව සමාජයේ හොඳ පුරවැසියක් කරන්න විතරයි.
අධ්‍යාපනයට ඇලුම් කළ ඇය අධ්‍යාපන කඩඉම්ද ඉතා විශිෂ්ට ලෙස සමත් වූවාය. විද්‍යාව විෂයන් ආශ්‍රිතව උසස් පෙළ විභාගයට පෙනී සිටි ඇයට තිබූ එකම සිහිනය වූයේ වෛද්‍ය විද්‍යාලයට ප්‍රවේශ වීමය.
‘ඇත්තම කියනවා නම් මට හීන තිබුණේ නැහැ. වෛද්‍යවරියක් වෙන්නත් ආසාවක් තමයි තිබුණේ. වෛද්‍යවරියක් වෙන්න ආසාව තිබුණට මොකද මම පාඩම් කරන්න එච්චර කැමති ළමයෙක් නෙමෙයි. හිත තිබුණෙම සෙල්ලමයි බාහිර වැඩවලටයි තමයි. කොච්චර සෙල්ලමට බර වුණත් ඉගෙන ගන්න ඕනැ කියන එක හිතේ කොනක තිබුණා.
මම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ පානදුර. මම බෞද්ධ වුණත් යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ඉගෙන ගනිද්දී ඒ පරිසරය මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කළා. මගේ දෙමාපියන්ගෙන්, මගේ අත්තම්මාගෙන් පස්සේ ජීවිතේ ගොඩක් දේවල් මට ඉගැන්නුවේ යහපත් එඬේරාගේ කන්‍යාරාමය. එතැනින් එක කාලෙකදී මම එනවා පානදුර බාලිකා විද්‍යාලයට. යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් පානදුර බාලිකාවට ගියාම මට දැනුණේ මාව හිරකූඩුවකට දැම්මා වගේ හැඟීමක්. එහිදිත් මට රත්තරන් ගුරුවරු පිරිසක් ලැබුණා. මම ශිෂ්‍යත්වය ඉහළින් සමත් වුණා. ශිෂ්‍යත්වය සමත් වෙලා එතනින් මට කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. සාමාන්‍ය පෙළත් මම විශිෂ්ට ලෙස සමත් වුණාම උසස් පෙළ විෂයන් තෝරා ගනිද්දී මගේ කැමැත්ත අනුව මම ජීව විද්‍යා අංශය තෝරා ගත්තා. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කළේ මම වෛද්‍ය විද්‍යාලයට යන්න ලොකු බලාපොරොත්තුවක් එක්ක. වෛද්‍ය විද්‍යාලයට යන්න සුදුසුකම් නොලැබුවත්, විද්‍යාවේදී උපාධියට මට විශ්වවිද්‍යාලයකට යන්න අවස්ථාව ලැබුණා. ඒත් මම ඒකට යන්න කැමති වුණේ නැහැ.
අත්තම්මා ගහකොළ පරිසරයට ගොඩක් බද්ධ වෙලා ඉඳපු කෙනෙක්. ඇය මටත් ඒ ආභාසය දුන්නා. මම හරිම ආසාවෙන් ඉගෙන ගත්ත විෂයක් තමයි උද්භිද විද්‍යාව, ඔහොම ඉන්නකොට උද්භිද විද්‍යා විෂය එක්ක මම නැවතත් උසස් පෙළට මුහුණ දුන්නා. ඒ ප්‍රතිඵල වලින් කෘෂිකර්ම විද්‍යාවේදී උපාධිය කරන්න මම රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම උපාධිය අවසන් කළ ඇය ඉන්පසු ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර සම්පත් දායකයකු ලෙස සේවයට එක්වන්නේ පළමු රැකියාව ලෙසය.
‘ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරන අතරතුර මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යාව පිළිබඳව විද්‍යාපති උපාධියක් හැදෑරුවා. ඔය අතරේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ලෝක බැංකු ව්‍යාපෘතියක් තිබුණා. ඒකේ කෘෂිකර්ම නිලධාරිවරියක් ලෙස මම අවුරුද්දක් සේවය කළා. මහවැලි අධිකාරියේ ව්‍යාපෘතියේ ඉන්න කාලේ මම ගොඩක් තරඟ විභාගවලට ලිව්වා. රැකියාවලට අයැදුම් කළා. ඒ අතර ලියපු එක තරඟ විභාගයක් තමයි පරිපාලන සේවයේ තරඟ විභාගය. පරිපාලන විභාගය සමත් වෙලා මුලින්ම පරිපාලන සේවයට මම එකතු වෙන්නේ 2000 වසරේදී පරිපාලන සේවයේ අවුරුද්දක පුහුණු කාලය අවසන් කරලා බස්නාහිර පළාත් සභාවේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් හැටියට අවුරුදු 7ක් සේවය කළා. එතැනින් තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයට ආවා. එතැනින් වාරිමාර්ග සැලසුම් අමාත්‍යාංශයේ වගේම සමාජ සේවා අමාත්යාංශෙය අධ්‍යක්ෂ ලෙස වසර කිහිපයක් සේවය කළා. අමාත්‍ය මණ්ඩල කාර්ය මණ්ඩලය වගේම වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉඩම්) විදිහටත් විවිධ වූ තනතුරු දරන්න ලැබුණා. ඉතින් මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන) ලෙස මම සේවය කරනවා.
මීට වසර 21කට පෙර පරිපාලන සේවයට එකතු වෙන ඇය බොහෝ ඉහළ තනතුරු දරමින් රාජකාරිය දේවකාරියටත් වඩා උනන්දුවෙන් උත්සාහයෙන් කැපවීමෙන් විනයානුකූලව සිදුකළාය. ඇයට ඉතා කෙටි කාලයක් තුළ අමාත්‍යාංශ ගණනාවකට ඉහළ තනතුරු හොබවන්නට අවස්ථාව ලැබිණි. කාන්තාවකට පරිපාලන ක්ෂේත්‍රයේ ඉදිරියට යාමේදී එල්ලවෙන අභියෝගද අති විශාලය.
‘මුලින්ම මම පරිපාලන සේවයට එනකොට අධිෂ්ඨාන කර ගත්ත දෙයක් තමයි මොන බාධක ආවත් රැකියාවෙන් යන්නේ නැහැ කියන එක. රැකියාවටම වඩා තනතුරු දැරීමේදී කාන්තාවකට මුහුණ දෙන්න වෙන අභියෝග වැඩියි. ඒ අභියෝග එක්ක හැප්පෙන්න ආත්ම ශක්තිය මට තිබුණා. මම නිතර වැඩ කරන්නේ ශක්තිමත් පදනමක් ඇතුව. රාජ්‍ය සේවයේ තියෙන ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි සංග්‍රහය කියන මේ පොත් දෙකට කියන්නේ නෑ පොතයි බෑ පොතයි කියලා. හැබැයි ඒ පොතේ නෑ බෑ කියන වචන නැහැ. ඒ පොත් දෙකේ තියෙන්නේ කළ හැකිය, කළ යුතුය කියන වචන දෙක පමණයි. මගේ වුණත් හැමදාම තිබුණේ කළ හැකිය, කළ යුතුය කියන වචන දෙක විතරයි.
තනතුරු කියන දේවල් තාවකාලිකයි. අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. හැබැයි මනුස්සකම් කියන දේවල් සාදාකාලිකයි. මම මගේ ළඟට එන සාමාන්‍ය මිනිස්සුන්ට එයාලගේ ප්‍රශ්නවලට පිළිතුරක් දීමට නොහැකි වුණත් මම බෑ කියලා හරවලා යවන්නේ නැහැ. විකල්ප මාර්ගයක් හරි පෙන්වන්න මම උත්සාහ කරනවා.
අාදරය අපි හැමෝටම අවශ්‍ය දෙයක්. හැමදේම ලැබිලත් ඔබ විවාහයක් ගැන නොසිතීම ජීවිතේ එක අඩුවක් කියලා තියෙන්නේ නැද්ද? මම විමසුවෙමි.
‘‘සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නැහැ. ඇත්තටම මම විවාහ නොවීම ජීවිතේ අඩුපාඩුවක් විදිහට කිසිම වෙලාවක දකින්නේ නැහැ. විවාහය කියන්නේ තමන්ගේ අභිමතය පරිදි විය යුතු දෙයක්. වයස යනවට කවුරුත් කියනවට විවාහ වෙන්න අවශ්‍ය නැහැ. මගේ තරුණ වියේදිවත් මට විවාහයක් ගැන බලාපොරොත්තු තිබුණේ නැහැ. පවුලේ එකම දරුවා නිසා මට විවාහ වෙන්න කියලා අම්මයි තාත්තයි හරියට බලපෑම් කළා. ඒත් විවාහය කියන දේ මනාලියක් වෙන්න ඕනැ කියන ඒවා මගේ හීනෙකවත් තිබුණේ නැහැ. මට සහෝදර සහෝදරියෝ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ නිසා ප්‍රේමයේ අඩුව මට කොතැනකදිවත් දැනිලා නැහැ.
මම වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ විදිහට වැඩ කරද්දී මොන තරම් නීති තිබුණත් කොයිතරම් සංස්කෘතික වටපිටා තිබුණත් දවසකට ඒ කාර්යාලයට සෑහෙන ප්‍රමාණයක් අම්මලා තාත්තලා එනවා. දරුවෝ සලකන්නේ නැහැ කියලා අපෙන් පිහිටක් පතාගෙන. දරුවෝ පහර දීලා තුවාල කරලා. කන්න දීලා නෑ. සමහර අම්මලා තාත්තලාගේ කතා කියද්දී තනතුරක් දරාන අඬන්න බැරිකමට බොහොම අමාරුවෙන් ඒ කතා අහගෙන ඉඳපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මගේ ළඟට ආපු ගොඩක් දෙමාපියෝ දරුවන්ට දේපළ ලියලා පාරට වැටුණු අය. දරුවෝ හොඳ වෙන්න පුළුවන් ඒත් දරුවන් විවාහ වුණ අයගේ පෙලඹීම් මත දෙමාපියන්ට නොසලකා හරින දරුවෝ අද වැඩියි. ඒව නිතර නිතර දකිනකොට මට විවාහ වෙන්න හිතුනෙම නැහැ. වැඩිහිටි ලේකම් කාර්යාලයේ වැඩ කරද්දී මට ඒ අත්විඳින්න අහන්න ලැබුණ දේවල් එක්ක තමයි මම විවාහ වෙන්නේ නැහැ කියලා තීරණය කළේ.
අද මගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ. හැබැයි දුවෙක් විදිහට මගෙන් වියයුතු සියලු යුතුකම් මම කළා. පසු කාලීනව මට හිතුනා විවාහ නොවී ඉන්න ගත්ත තීරණය හරි කියලා. මෙහෙමයි කෙනෙක් විවාහ නොවී ඉන්නවා නම් අපි අනාගතේ ගැන සැලසුම් සහගත විය යුතුයි. මම ඒ සැලසුම මේ වෙනකොට හදලා ඉවරයි. මම හරිම සරල සුන්දරව මගේ ජීවිතේ මම විඳිනවා.
දවසක මට විශ්‍රාම දිවියට අරගන්න තියෙන්නේ මිනිස්සුන්ගේ හොඳ හිත විතරයි. මට අවසානයේ කියන්න තියෙන දේ තමයි කොයි තරාතිරමේ හිටියත් තමන්ගේ දෙමාපියෝ ජීවිතේ පළමු රාජකාරිය කර ගන්න. මොකද අපි මේ හැඩ වැඩ දාන්නේ එයාලා අපට දුන්නු ජීවිතය නිසා.
නදීෂා අතුකෝරළ