හොංකොං රටේ ඇරඹි ලෝපුරා ගිය බැංකුව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

 

  • ලෝකයේ රටවල් 67 ක පමණ ව්‍යාප්තව ඇති HSBC සතු ශාඛා සංඛ්‍යාව හාරදහසකට ආසන්නය
  • HSBC ඉදිරිපිට ඇති සිංහ ප්‍රතිමා දෙක හැඳින්වෙන්නේ, ස්ටීවන් සහ ස්ටිට් යනුවෙනි
  • 1865 දී මෙම බැංකුව බිහි කිරීමට පුරෝගාමී වූයේ, ස්කොට්ලන්ත ජාතික තෝමස් සදර්ලන්ඩ් විසින්
  • HSBC එදා ස්ථාපිත වූයේ යුරෝපය සහ ආසියාව අතර වෙළෙඳ කටයුතුවලදී මූල්‍යමය සේවාවක් ලබාදීමටයි

 ඉතාම සරල සංකල්පයක් ඇතිව මීට ශත වර්ෂ එකහමාරකට පමණ පෙරදී බැංකුවක් ස්ථාපිත විය. මෙම බැංකුව නම් වූයේ එච්.එස්.බී.සී. (HSBC) යන කෙටි නාමයෙනි. හොංකොං රාජ්‍යයේදී 1865 දී ස්ථාපිත වූ මෙම බැංකු ආයතනයෙහි මූලික අරමුණ වූයේ, ආසියාවේ බැංකු කටයුතු වෙනුවෙන් නව මාවතක් විවර කරදීමය. එනම්, ආසියාව සහ යුරෝපය අතර මූල්‍ය ගනු දෙනු සඳහා නව දොරටුවක් විවර කර දීමේ අරමුණ ඇතිවය. එලෙසින් ඇරඹි HSBC බැංකුව මූල්‍ය ආයතන ද්විත්වයක එකතුවීමෙන් සැදුම් ලද ආයතනයකි. 1865 දී හොංකොං රාජ්‍යය පැවැතියේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙසය. එනිසා එදා හොංකොං හැඳින්වූයේ ‘‘බ්‍රිටිෂ් හොංකොං’’ යනුවෙනි. හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්ක් නමින් 1865 මාර්තු 3 වැනිදා ස්ථාපිත කෙරුණ මෙම ආයතනය 1866 දී ද හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්ක් කෝපරේෂන් ලෙස සංස්ථාගත කෙරිණි. එලෙසින් සේවා ඇරඹි "HSBC" වසර එකසිය පණහකට වැඩි කාලයක් තිස්සේ සක්‍රීයව ගෝළීය බැංකු ක්ෂේත්‍රයේ නිරතව සිටින අතර, රටවල් 67 කදී පමණ ව්‍යාප්තව තිබේ. පෞද්ලික ගනුදෙනුකරුවන් මිලියන හතළිහයක් පමණ (කෝටි හතරක්) පමණ HSBC ආයතනය හා බැඳී සිටින වග වාර්තාවල සඳහන් වේ. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ HSBC ආයතනයේ තවත් විස්තර අද අපි කියවමු. 

 
බැලූ බැල්මට එච්.එස්.බී.සී.

   
ලෝකයේ ප්‍රමුඛතම මූල්‍ය හා බැංකු ආයතන 8000 ක් අතරින් හොඳම බැංකු 10 අතරට ඒමට මෙම හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුවට හැකිව තිබේ. ලොව අගනාම බැංකු 10 අතරින් ඔවුන් පසුවන්නේ 9 වැනි ස්ථානයේය.   
HSBC හෝල්ඩිංග්ස් මූලස්ථාන ගොඩනැගිල්ල ස්ථාපිත කර ඇත්තේ ලන්ඩනයේදීය. එදා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව තිබූ අවදියේදී හොංකොං නගරයේදී ස්ථාපිත වූ මෙම මූල්‍ය ආයතනයෙහි හොංකොං ගොඩනැගිල්ල ස්ථාපිත වූයේ 1901 වසරේදීය. ඊට පෙර 1865 සිට ශාඛා විවෘතව පැවතියේ ෂැංහායි බැංකුව නමින් චීනයේ ෂැංහායි නුවරදීය. අද වන විට එය ලන්ඩනයේ සිට පාලනය වන්නේ HSBC Holdings PLC නමිනි. එනම් මව් සමාගම්හි කොටස් පාලනය කෙරෙන අතර, මහජනතාව අතර කොටස් අයත් සමූහයක් හැටියටය. වාර්තාවල සඳහන්වන පරිදි හොංකොං ඇන්ඩ් ෂැංහායි බැංකුවේ ප්‍රථම කාර්යාලය 1865 මාර්තු 3 වැනිදා හොංකොං නගරයේදී ස්ථාපිත වූ බව සඳහන්ය. 1900 එළැඹි පසු ලෝකයේ රටවල් 16 කදී පැතිරී ගිය අතර, වත්මනෙහි ලෝකයේ රටවල් 67 කට ආසන්න සංඛ්‍යාවකදී ශාඛා 3900ක් පමණ ව්‍යාප්ත වී තිබේ.   

 


HSBC සිංහ රූප   


එලෙස ස්ථාපිතව ඇති HSBC ගොඩනැගිලි බොහොමයක ඉදිරිපිට සිංහ ප්‍රතිමා ද්විත්වයක් ඔබට දැකගත හැකිය. එය එම බැංකු වෙත ආරක්‍ෂාව සපයන සංකේතයක් යැයි පෙනී යන දෙයකි. මෙම සිංහයින් දෙදෙනාගෙන් එක් අයෙක්, නමින් ස්ටීවන්ය. (Stephen). අනෙක් සිංහයාගේ නම ස්ටීට් (Stitt) ය. මේ විදියට සිංහ ප්‍රතිමා යොදා ගැනීම මුල්වරට සිදු කළේ 1923 දී චීනයේ ෂැංහායි බැංකුව ඉදිරිපිටදීය. මෙම ස්ටීවන් සහ ස්ටීට් යන සිංහයින් දෙදෙනාගේ වර්ණ තැනින් තැනදී වෙනස් විදියට දැකගත හැකිය. ඒ අතරින් හොංකොංහි ප්‍රධාන ආයතනය ඉදිරිපිට සහ ලන්ඩනයේ සමූහ මූලස්ථානය ඉදිරිපිට තබා ඇති සිංහ ප්‍රතිමා ජනතාව අතර වඩා ප්‍රචලිතව ඇත්තේ ඒ වෙනුවෙන් යොදාගෙන ඇති වර්ණ නිසාය. මෙකී ස්ථානවලට පැමිණෙන ලෝ පුරා සංචාරකයින් මෙම වර්ණවත් සිංහ ප්‍රතිමා දැක ගැනීමට උනන්දුවන බව කිව හැකිය. එතරම්ම ඒවා වර්ණවත්ය.   


• චීන ජනතාව අතර මෙම බැංකුව ප්‍රචලිතව ඇත්තේ වේෆුන් (Wayfoong) යන නාමයෙනි. සමෘද්ධිය හෙවත් වත් පො​හොසත්කමේ දැක්ම යන්න එහි අරුත වේ.   


• හැක්සගන් හෙවත් ඍජු පැති සහ කෝණ හයක් සහිත පෙනුමකින් යුතු මෙම බැංකු ආයතනයෙහි ධජය නිර්මාණය කර තිබෙන්නේ ස්කොට්ලන්ත රාජ්‍යයේ ධජයට සමානවය. ඊට හේතුව වන්නේ, HSBC බිහි කිරීමට මුල් වූයේ ස්කොට්ලන්ත ජාතික තෝමස් සදර්ලන්ඩ් වීම නිසාය.   


• තායිලන්තයේ බැංකු ක්ෂේත්‍රයේදී ප්‍රථම වරට ස්ථාපිත වූ වාණිජ බැංකුව ලෙස සඳහන් වන්නේ HSBC බැංකු ආයතනයයි. එය තායිලන්තයේ ඕනෑම බැංකු ආයතනයක් අතරින් ස්ථාපිත වූ ප්‍රථම බැංකුව ලෙස සඳහන්වන අතර, තායිලන්තයේදී HSBC එලෙසින් විවර වූ​යේ 1888 වසරේදීය.   


• ඇමෙරිකාවේ ප්‍රථම වතාවට HSBC බැංකු ආයතනයක් ස්ථාපිත වූයේ, 1955 වසරේදී කැලිෆෝනියාවේදීය. ඉන්පසුව නිව්යෝක් නුවර ආක්‍රමණය කළේය.  


• 1985 දී ලොව මිල අතින් වටිනාම ගොඩනැගිල්ල ලෙස සඳහන් වූයේ හොංකොංහි මූලස්ථාන ගොඩනැගිල්ලය. එවකට එය තැනීම සඳහා මිලියන 668ක් වැය වූ බව වාර්තාවල සඳහන් වේ.   


• දෙවැනි ලෝක යුද සමයේදී යුද්ධය නිසා සිරගතව සිටි බොහෝ දෙනා හට පසුව රැකියා අවස්ථා ලබාදීමට මෙම බැංකු ආයතනය කටයුතු කළ බැව් සඳහන් වේ.  


• සේවයට එක්වී දස වසරක් ගතවන තෙක් විවාහ නොවන පො​රොන්දුව (ගිවිසුම) අනුව මෙම බැංකු ආයතනයන්හි සේවය කිරීමට සිදු​වේ යැයි සඳහන් වේ. කෙසේ වෙතත්, සමහර කණිෂ්ට සේවකයින් හොර රහසේම විවාහ කර ගන්නා බවද සඳහන් වේ. වත්මනෙහි මෙම තත්ත්වය කෙසේ දැයි යන්න දැන ගත යුතු කරුණකි.   


• ජගුවාර් ෆෝමියුලා, මෝටර් රථ ධාවන ශූර කණ්ඩායම වෙනුවෙන් වසර හතක් පමණ අනුග්‍රාහක දායකත්වය සපයා ඇත්තේ HSBC යැයි සඳහන් වේ.   


• පැන්ඩෝරා පත්‍රිකා සමග මේ දිනවල ලෝකයේ ​බොහෝ ප්‍රබල යැයි කියා ගන්නා චරිත අසරණව සිටින බව කිව හැකිය. මුදල් විශුද්ධිකරණය හෙවත් මනි ලොන්ඩරින් වෙනුවෙන් එච්.එස්.බී.සී. ලා 2012 දී ලන්ඩන්හි බැංකු ආරක්‍ෂණ පනත යටතේ ඩොලර් බිලියන 1.9 ක පමණ විශාල දඩ මුදලක් ​ගෙවීමට සිදුවූ බවත් එය මෙවැනි දෙයක් වෙනුවෙන් මූල්‍ය ආයතනයක් ගෙවූ විශාලතම දඩ මුදල බවද සඳහන් වේ.   


• ඒ කෙසේ වුවද යුරෝපයේ වාණිජ බැංකු ආයතන අතරින් දෙවැනියට පොහොසත්ම බැංකු ආයතනය ලෙස සඳහන් වන්නේ එච්.එස්.බී.සී. ලාය.   


HSBC නිර්මාතෘ   


එක්දහස් අටසිය පනහේ දශකයේ අග භාගය වන විට ස්කොට්ලන්ත ජාතික තෝමස් සදර්ලන්ඩ් සේවය කරමින් සිටියේ හොංකොංහි ස්ථාපිතව තිබූ විශාල නැව් සමාගමකය. ඒ වනවිට ඔහු සතුව බැංකු ගිණුමක් නොතිබිණ. 1864 දී පමණ දකුණු චීන මුහුදු තීර​යේ ගමනාන්තයේ යෙදෙමින් සිටි අතරේදී ස්කොට්ලන්තයේ බැංකුකරණය සම්බන්ධයෙන් වූ ලිපියක් කියවීමට තෝමස් හට හැකිවිණි. 

 
බැංකුකරණය ගැන ඔහු හට ​ෙපළඹවීමක් කිරීමට සිත්වූයේ එය කියැවීමෙන් පසුවය. දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් කළමනාකරණය කළ හැකි බැංකු ආයතනයක් පිහිටුවීමට තෝමස් සදර්ලන්ඩ් පියවර ගත්තේ ඉන් පසුවය. ඒ වෙනුවෙන් හොංකොංහි එවකට තිබූ ශක්තිමත් ආයතන 14 ක පමණ සහාය ඔහුහට ලැබිණි. ඒ අනුව සදර්ලන්ඩ් හොංකොං බැංකුව එදා පටන් ගත්තේ හොංකොං ඩොලර් මිලියන 5 ක මූල්‍ය ප්‍රාග්ධනයක් ඇතිවය. ඊට හොංකොං ඩොලර් 250 කින් යුතු කොටස් 20,000ක් ඇතුළත් විය. හොංකොං ඇන්ඩ් ෂැංහායි බැංකුවේ උපත සිදුවූයේ එලෙසිනි. එයට ජන්මය ලබාදුන් තෝමස් සදර්ලන්ඩ් කවුද?   


1834 අගෝස්තු 16 දා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හිදී තෝමස් සදර්ලන්ඩ් උපත ලැබීය. රොබට් සදර්ලන්ඩ් සහ ක්‍රිස්ටියන් වෙබ්ස්ටර් යුවළගේ පුතුණුවන් වූ තෝමස් උසස් අධ්‍යාපනය ලැබූවේ ඇබර්ඩීන් සරසවියෙනි. තෝමස් සදර්ලන්ඩ් වෘත්තීය ජීවිතයට පිවිසියේ ලන්ඩන්හි නාවික කටයුතු කළමනාකරණය කළ සමාගමක ලිපිකරුවකු වශයෙනි. එම සමාගම 'P&O' පී ඇන්ඩ් ඕ නමින් හැඳින්විණි. එහි ක්ලාර්ක් හෙවත් ලිපිකරුවකු ලෙස කටයුතු කරමින් වැඩ පෙන්වූ නිසා, ටික දිනකින් ඔහු ‘‘සුපිරින්ටෙන්ඩන්ට්’’ හෙවත් අධිකාරි තනතුරකට පත්විය. පසුව මෙම සමාගමේ මෙහෙයුම් කටයුතු කළමනාකරණය කිරීම වෙනුවෙන් කළමණාකරු ලෙස පත්කොට හොංකොං වෙත ඔහු යැවීය. චීනය සහ යුරෝපය අතර වෙළඳ කටයුතුවලදී මූල්‍ය කටයුතු උදෙසා ආයතනයක් නිර්මාණය කළ යුතු බැව් ඔහුට ඒත්තු ගැන්වුණේ, පෙර සඳහන් කළ පරිදි මෙම නැව් සමාගමේ සේවය කරමින් සිටියදීය. ‘‘පී ඇන්ඩ් ඕ’’ ෂිපින් (නැව්) සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වූ තෝමස් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ලිබරල් පක්‍ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරයකු ලෙස පත්විය. දැඩි ලිබරල්වාදියකු වූ තෝමස් 1900 දක්වා දේශපාලන ක්‍රියාකාරකම්වලට සක්‍රීයව දායකත්වය ලබාදුන් බව සඳහන් වේ.   


1880 දී ඔහු විවාහ වූයේ, ඇලිස් මැක්නවුට් සමගය. ඇය ත්‍රිත්ව (Trinity) පල්ලියේ පූජකවරයාගේ දියණිය වූවාය. මේ යුවළ හට පුතුන් දෙදෙනෙකු සහ දියණියක සතු වුණි. දියණිය චිත්‍ර කලාව හා බැඳී සිටි චරිතයක් මෙන්ම එහි පුනරුදය වෙනුවෙන් ධන පරිත්‍යාග කළ තැනැත්කියක වූවාය. කෘතහස්ත දේශපාලනඥයකු සහ ලෝකයට නව බැංකු මාවතක් විවර කරදුන් ශ්‍රීමත් තෝමස් සදර්ලන්ඩ් 1922 දී ජීවිතයේ සමුගෙන ගියේ ලෝකයට අරුත්බර වූ තවත් මිනිසකු ලෙසය. ශ්‍රීමත් හෙවත් සර් යන ගරු නාමයෙන් පිදුම් ලැබූ ඔහු වෙනුවෙන් හොංකොංහි Shung wan මාවත සදර්ලන්ඩ් ස්ට්‍රීට් (Southerland Street) ලෙස නම් කර තිබේ.  


වැටීම් සහ නැගිටීම්   


එච්.එස්.බී.සී. බැංකු ආයතනය ලෝකය ග්‍රහණය කර ගනිමින් පෙරට ආවේ මටසිලුටු මාවතක නොවීය. මෙම බැංකු ආයතනය හොංකොංහිදී එදා 1866 දී ස්ථාපිතව තිබියදී එවකට හොංකොංහි තිබූ විදේශ බැංකු 11 න් 6 ක්ම බිඳ වැටිණි. කළමනාකරණයෙහි වූ දුර්වලතා අනුව එලෙස බැංකු බිඳ වැටෙද්දී, අලුතින් නිර්මාණය වී තිබූ එච්.එස්.බී.සී. ගැනද මිනිසුන්හට අවිශ්වාසයක් ඇතිවිණි. මෙනිසා තම තමන්ගේ ගිණුම්වලින් වහාම මුදල් ආපසු ගැනීමට බොහෝ දෙනා පෙළැඹිණි. ‘‘වේෆුන්’’ බැංකුව නමින් චීන ජනතාව නම් කළ එච්.එස්.බී.සී. කඩා නොවැටුණේ ආර්ථීක ප්‍රවර්ධනය කෙරෙහි දැක්වූ ආකල්ප නිසාමය. 

 
නමුදු 1910 - සිට 1950 කාල පරිච්ඡේදය යනු ලෝකයේ අනෙකුත් සමාගම් මෙන්ම HSBC එකද දැඩි දුෂ්කරව ගත කළ සමයකි. ලෝකය ලෝක යුද්ධ දෙකකට මැදිව තිබීම ඊට හේතු විය. කෙසේ වෙතත් පළමු ලෝක යුද්ධයෙන් පසුව ආසියානු කලාපයේ රබර් සහ ටකරන් වෙළඳ අංශයේ ගනු දෙනු සඳහා වඩාත් පුළුල් පියවරක් ගැනීම නිසා, ප්‍රාග්ධනය ශක්තිමත්ව තිබුණද, ජනතාව අතර යුදබිය සහ අවිනිශ්චිත භාවය තිබූ නිසා, ගනුදෙනු ඔවුන් සිතු ආකාරයට සිදු නොවීම නිසා දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නේය. අනෙකුත් බැංකුවලට වඩා එදා ඔවුනට ගොඩ ඒමට හැකිවූයේ කළමනාකරණයෙහි තිබූ දූරදර්ශී දැක්ම නිසාය.   


පළමු ලෝක යුද සමයේදී ලන්ඩන් HSBC ශාඛාවේ සේවය කළ සේවකයින් 169 දෙනෙකු පමණ බ්‍රිතාන්‍ය හමුදාවට එක්වී කටයුතු කළ අතර, ඉන් 40 දෙනෙක් අතුරුදන් වූහ. මෙලෙසින් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් ඉදිරියට ආ HSBC සමූහය. ගෝලීය බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් බවට පත්ව සිටින්නේ ඔවුනටම ආවේණික ප්‍රතිපත්ති සහ කළමනාකරණ කටයුතු නිසාය.   


1998 දී, තනි ගෝලීය වෙළඳ නාමයක් යටතේ රතු සහ සුදු ෂඩාස්‍රයකින් සමන්විත ලාංඡනයක් HSBC භාවිතා කරයි.  


අපගේ අරමුණ අපගේ ගණුදෙනුකරුවන් සඳහා නව ආකාරයේ අවස්ථා විවර කරදීමයි. අප සමග බැඳී සිටින ගනුදෙනුකරුවන්ට මෙන්ම ආයෝජකයින් ඇතුළු සියලු ප්‍රජාවට ප්‍රමුඛත්වය දෙමින් යහපත් ලෝකයක් - ශක්තිමත් ලෝකයක් නිර්මාණය කිරීම යැයි HSBC සමූහයේ ප්‍රතිපත්තිය වේ.

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ
[email protected]