සොරකමේ විපාක කියාදුන් බුදුහිමිගේ පිළිමයත් සොරාගත් නිරි සත්තු


ථූපාරාම දාගැබේ නිධන් කොට තිබුණු බුදු පිළිම කීපයක් සූක්ෂම ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ලබා ගෙන ඒවා තවත් තැරැව්කරුවන් කීපදෙනෙකු හරහා අලෙවි කරන බවට විශ්වාසවන්ත අයකුගෙන් තොරතුරක් මාධ්‍යවේදියෙකුට ලැබී තිබිණි.   


 කෝටි ගණන් මිල කරමින් රත්තරන් බුද්ධ ප්‍රතිමා කිහිපයක් මේ වනවිටත් අලෙවි කොට තිබෙන බවද, දැනට අලෙවි කිරීමට ඇත්තේ කිලෝ විසි දෙකක් පමණ බරැති බුදු පිළිමයක් බවද එම තොරතුරේ සඳහන් ව තිබුණු අතර එම බුද්ධ ප්‍රතිමා වහන්සේ රුපියල් ලක්ෂ පනහකට අලෙවි කරන බවද දැනගන්නට ලැබී තිබුණි.   
 ඒ අනුව මෙම තොරතුරු ඔස්සේ බුදු පිළිමය මිලදී ගැනීම් සඳහා අවශ්‍ය වටපිටාව සූදානම් කිරීමට මාධ්‍යවේදියා ඇතුළු තවත් කීප දෙනෙක් සූදානම් වූහ. 

 
ජංගම දුරකථන හරහා අවස්ථා ගණනාවක් මාස තුනකට වැඩි කාලයක් ගනුදෙනුව පිළිබඳව ජාවාරම්කරුවන් සමග සබඳකම් පැවත්විණි.   


 එක් අවස්ථාවක එම නියෝජිතයෙකු බුදු පිළිම මිලදී ගන්නා අයගේ නියෝජිතයෙකු බව පවසමින් ඔවුන් සතුව ඇති බුදු පිළිම දැක බලා ගැනීමට අවශ්‍ය පරිසරය සකසා ගැනීම සිදු කරනු ලැබූවේ බුදු පිළිම අලෙවිකරන කිහිප දෙනාගේ සැක දුරු කර ගැනීම සඳහාය.   


 කහටගස්දිගිලිය කෝමාරිකාවල ප්‍රදේශයේ උදේ හවස බුදුන් වඳින එමෙන්ම බාබර් සාප්පුවක් පවත්වාගෙන යන අයෙකු අතරමැදියා විය. ඔවුන්ගේ නිවසේ දී බුද්ධ ප්‍රතිමා වහන්සේ පෙන්වීම, අලෙවි කිරීම ආදී කටයුතු සිදු කර ගැනීමට අවැසි පරිසරය සකසා ගනු ලැබුවේ මෙය අලෙවි කරන අනෙක් තිදෙනා ප්‍රදේශ තුනක ජීවත්වන අන්‍යාගමික පිරිසක් නිසාවෙනි.   


 පසුව ඉතා සූක්ෂම ලෙස මෙම බුදු පිළිම ජාවාරම නීතියේ රැහැනට හසුකර දීම සඳහා අවැසි වටපිටාව සකසා ගැනීම සිදු වූයේ කන්තලේ පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයේ නිලධාරීන් හට මෙම තොරතුරු ලබා දීමෙන් අනතුරුවය.   

 

 ගනුදෙනුව සිදු කළ කෝමාරිකාවැව නිවස  

 


 ඒ අනුව පොලිසියේ විශේෂ කාර්යාංශ ඒකකයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ඉතා සූක්ෂම ලෙස කන්තලේ මෙන්ම අනුරාධපුර විශේෂ කාර්යාංශ ඒකකයේ නිලධාරීන් එක්ව මෙම තොරතුරු පිටුපස ඉව අල්ලා දින කිහිපයක් කහටහටගස්දිගිලිය හොරොව්පතාන ආදී ප්‍රදේශවල සැරිසරමින් ගනුදෙනුවට අවැසි පාර කපා ගත්හ.   


 පසුගියදා සැලසුම් කරගත් පරිදි විදේශ රටක වැඩසිටින හිමිනමක් සඳහා මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ මිලදී ගන්නා තැරැව් කරුවන් පිරිසක් ලෙස වෙස්වලාගත් පිරිස බුදු පිළිම වහන්සේ මිලදී ගැනීම් සඳහා යද්දි රුපියල් ලක්ෂ පනහේ වටිනාකම රුපියල් ලක්ෂ 60 දක්වා වැඩි කරන්නට ජාවාරම්කරුවන් තීරණය කොට තිබිණි . ඔවුන් එසේ කරන්නට වුයේ තවත් කීපදෙනෙකුට මුදල් බෙදා ගැනීමට අවශ්‍ය බව පවසමිනි.   
 මේ පිළිබඳව අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්යාංශය ඒකකයේ තොරතුරු අනුව සූදානම් වූයේ ලබාදුන් තොරතුර සමගය. බුදු පිළිමය මිලදී ගැනීම සඳහා අපිද ගමනට එක්වීමු.   


 වාහන දෙකකින් සූදානම් වූ කණ්ඩායම් දෙකක් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයට පිටත් විය.   
ඒ සඳහා රුපියල් ලක්ෂ 60 ක මුදල වෙනුවට සූක්ෂම ලෙස සකසා ගත් මුදල් පෙට්ටිය ද එක් වාහනයක විය. අනෙක් වාහනයේ වූයේ බුදු පිළිම වහන්සේ නැවත නිවැරදිව දැක බලා ගැනීම සඳහා යන හාමුදුරුවන්ගේ ගෝලයන් පිරිසකි.   


දිවුල්වැව, මහපොතාන, කෝමාරිකා වල ප්‍රදේශයට පෙරවරුවේ ළඟාවූ කණ්ඩායමට පැය හතකට වැඩි කාලයක් එක දිගට මෙම රංගනයේ යෙදීමට සිදුවූ අතර ඒ අතර සිදුවූ හා හුවමාරු වූ තොරතුරු අපමණය, පිරිස එතරම් විශ්වාසය ගොඩ නගා ගැනීම සඳහා අන්තිම මොහොතේද උත්සාහ දැරූහ.   
 වෙස්වලාගත් පොලිස් කණ්ඩායම් දෙකක් දෙවිදිහකට මෙම බුදු පිළිමය රැගෙන එන බව කියන කෝමාරිකාවල නිවස ආසන්නයට ගොස් පැය 7ක පමණ කාලයක් එම නිවස ආසන්නයේ රැඳී සිටීමට සිදු වූයේ බුදු පිළිමය අලෙවිකරන ජාවාරම්කරුවන්ගේ සියලු‍ සැක දුරු වෙන තුරුය.   
ඔවුන් සැක දුරුකර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කළ අතර ඒ සියල්ලටම ඉතා ඉවසීමෙන් කටයුතු කිරීමට සිදු විය.   


 ඒ අනුව බුදු පිළිමය මිලදී ගැනීම සඳහා වෙස්වලාගත් පොලිස් කණ්ඩායම සහ මාධ්‍යවේදීන් ද මහමග රැඳී සිටින අවස්ථාවන්හිදී දිවුල්වැව පොලිසියේ නිල ඇඳුම් හැඳගත් දෙදෙනෙකු මෙන්ම ස්ථානාධිපතිවරයා යැයි කියා ගත් අයෙකු ද පැමිණ අවස්ථා කිහිපයක්ම පරීක්ෂාකොට අන්‍යතාව පිළිබඳව සොයා බැලීමට දැඩි උත්සාහයක නිරත වීමද ද විශේෂත්වයකි.   


 පසුව රුපියල් ලක්ෂ 60 ක මුදල ලබා දී බුදු පිළිම වහන්සේ රැගෙන යන්න යි සැකකරුවන් පැවසීමත් සමග ස්කූටර් වර්ගයේ යතුරු පැදියක පාපුරුවේ තබාගෙන පැමිණි බුදුපිළිම වහන්සේ ගැනුම්කරුවන්ට බුදුන් වඳින පුදන නිවසක් තුළ පෙන්වීමත් සමඟ අතරමග රැඳී සිටි මුදල් සහිත මෝටර් රථයට ඇමතුමක් ලබාදී දිවුල්වැව පොලිසියට ආසන්නයේ නිවස තුළදී පුද්ගලයන් තිදෙනාගේම දෑත් වලට මාංචු දැමීමට පොලිස් කණ්ඩායමට හැකි විය.   


පොලිස් භාරයට ගැනුණු බුදු පිළිමය කිලෝ විසිදෙකක් බරැති අඟල් 18 ක් පමණ උසැති පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ පෞරාණික වටිනාකමකින් යුතු පෙනුමක් පවතින බව පොලිසිය කියයි.   


 විවිධ ප්‍රශ්න කිරීම් වලදී මෙම පිරිස කියා සිටියේ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ථූපාරාමය දාගැබෙන් ලබාගත් එකක් නොව වෙනත් පුද්ගලයකු මාර්ගයෙන් ලබාගත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් බව ය.   
මෙම බුදු පිළිම වහන්සේ සහ පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන දිවුල්වැව ප්‍රදේශ පොලිසියේ නිල ඇඳුම් හැඳගත් නිලධාරීන් මෙම මිලදීගැනීම සඳහා පැමිණි පුද්ගලයන් පරික්ෂා කිරීමට අවස්ථා කිහිපයක්ම උත්සාහ කිරීම පිළිබඳව වැටලීමට ගිය පොලිස් නිලධාරීහු සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළහ. 

 

 සිවිල් ඇදුමෙන් සැරැසී යතුරු පැදියෙන් පැමිණි දිවුල්වැව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස

 


 එම සැකකරුවන් එක් අවස්ථාවක කියා සිටියේ පවතින සැකය නිසා මාර්ගයේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් එසේ පරික්ෂා කරන්නට ඇති බවය. දිවුල්වැව පොලිසියේ ස්ථානාධිපතිවරයා හඳුනන නිසා සොයා බලන්නට ඇතැයි ද පැවසූ අතර නැවත ඔවුන් කියා සිටියේ එම පොලිස් නිලධාරින්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවය.   


 අත්අඩංගුවට ගත් බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම සැකකරුවන් තිදෙනා අනුරාධපුර පොලිසිය වෙත රැගෙන යෑමට මෝටර් රථයට දමාගන්නා අවස්ථාවේ පෙරවරුවේ නිල ඇඳුමෙන් සැරසී ජනමාධ්‍යවේදීන් සහ වෙස් වලාගෙන සිටි පොලිස් කණ්ඩායම පරීක්ෂාකළ දිවුල්වැව පොලිසියේ ස්ථානාධිපතිවරයා හා අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනාද යතුරුපැදි වලින් එම ස්ථානයට අහම්බෙන් මෙන් පැමිණියහ.   


ස්ථානාධිපතිවරයා විමසා සිටියේ ‘‘වැඩේ කරගත්තාද යන්න”‍ය. එහිදී අප සමග සිටි පොලිස් නිලධාරියකු ‘‘කවුද ඔයාලා”‍ යන්න විමසීය. එවිට පිළිතුරු දුන්නේ ‘‘ඇයි මතක නැද්ද, මම උදේ ඇවිල්ලා ඔයාලා පරික්ෂා කරලා ගිය ඕ.අයි.සී. මහත්තයා”‍ යනුවෙනි.   


මෙතන සිටින්නේද පොලිසිය බව අප සමග සිටි පොලිස් නිලධාරියකු පෙරලා පොලිස් කණ්ඩායමට දැන්වීමත් සමග තමන් වෙනත් රාජකාරියකට ගමන් කරන අවස්ථාවේ පැමිණි බව පවසමින් යතුරුපැදිවලින් පවනට බඳු වේගයෙන් පිටත් වූයේ කාට හෝ බැණවදිමිනි.   


 මෙසේ අත්අඩංගුවට පත් වූයේ නූර්දීන් අජ්මුල්කාන් (43) (කනදරාව කටුකැලියාව), සහබ්දීන් ඉර්ෆාන් (40) (මුකිරියාව කහටගස්දිගිලිය), කාදර් තස්ලීම් (44) (කයිපිටියාව) යන තිදෙනාය.   
මෙම පිරිස අනුරාධපුර පොලිසියේ කොට්ටාශ අපරාධ විමර්ශන අංශය වෙත රැගෙන ගියහ.   
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසීම සඳහා සහ අප මුහුණදුන්/ අමිහිරි අත්දැකීම් කීපයක් නිවැරදි කර ගැනීම සඳහා අප මුලින්ම දුරකථන ඇමතුමක් මගින් කතා කළේ කහටගස්දිගිලිය දිවුල්වැව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුර මහතාටය.   


ප්‍රශ්නය : බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් ඍජුව හෝ වක්‍රව ඔබතුමාගේ සහයෝගයක් තිබුණද යන්න අපට සැකයක් මතු වුණා. එය නිවැරදි කර ගැනීම සඳහායි කතා කළේ.   


පිළිතුර : මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම වෙනත් රාජකාරියකට ගමන් කරන අතරතුර පෙරවරුවේ මම හඳුනන්නෙ නැති මෝටර් රථයක් පාර අයිනේ නවත්තලා තියෙනවා දැකලා තමයි කතා කළේ. මේ සොයා බැලු‍වේ මෝටර් රථයේ ඉන්න අයගේ පින්තූර ගත්තේ, මෝටර් රථයේ පින්තූර ගත්තේ යම්කිසි අපරාධයක් වෙනවාට කලින් වළක්වා ගැනීමටයි. ඉන් එහාට මම මොනවාත් දන්නේ නැහැ. 

 
ප්‍රශ්නය : ඒ ගනුදෙනුව අවසන් කරනකොට සිවිල් ඇඳුමෙන් සැරසිලා මෙම කණ්ඩායම පැමිණීමත් ඔබතුමා ට අමතරව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ වෙස් වලාගෙන රැඳීසිටි කණ්ඩායම පරීක්ෂාවට ලක් කිරීමත් අතර සම්බන්ධයක් නැද්ද?   


පිළිතුර : එහෙම සම්බන්ධයක් නැහැ, අපි පස්වරුවේ සෝදිසි මෙහෙයුම් සිදු කරනවා. අත්‍යවශ්‍ය කාරණාවකට සිවිල් ඇඳුමෙන් සැරසිලා පාරේ ගමන් කරන අතර තමයි වාහන කිහිපයක් සහ පිරිසක් ඉන්නවා දැක්කේ. කවුද කියලා බලන්න අපි නැවතුනේ. ඒ වෙලාවේ තමයි දැක්කේ පෙරවරුවේ මහ පාරේ ඉඳලා මගේ නිරීක්ෂණයට ලක් වුණු පිරිස තවත් මේ ස්ථානයේ ඉන්න වග. ඒ නිසයි මම සොයා බැලු‍වේ.   


 මගේ අනෙක් පොලිස් නිලධාරින් පෙරවරුවේ ඔය පිරිස පරික්ෂා කළා කියලා මම දැනගෙන හිටියේ නැහැ. මම ඒ අයට නියෝගයක් කරලා තිබුණෙත් නැහැ. මං ඒ ගැන හොයල බලන්නම්. හැබැයි ඒ වෙලාවේ මට කීවා නම් ඔය අය මාධ්‍යවේදීන්. මේ වගේ වැඩකට ආවා කියලා මගෙ සහයෝගය ලබා දෙන්න තිබුණා.”‍   

 

 

 

සටහන/ ඡායාරූප 
දඹුල්ල කාංචන කුමාර ආරියදාස