සංචරණ නීති නොතකන මිනිස්සු


 පොලිස් මාර්ග බාධකයක පොලිසියෙන් පරික්ෂා කිරිම්

 

 

  • පුත්තලම නගරයේ රාජකාරි කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ පුත්තලම නගරයේ පිරිස් කිසිදු ලෙසකින් සංචරණ නීති තුට්ටුවකට මායිම් නොකරන බවයි.

 

පනවා ඇති සංචරණ නීති තුට්ටුවකට මායිම් නොකරන පුත්තලම නගරයේ මිනිසුන් හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සේම සෞඛ්‍ය අංශ ද අසීරුතාවයට පත්වී සිටියි.


කොරෝනා වසංගතයෙන් ආසාදිතයන් ශීඝ්‍ර ලෙස වැඩි වීමත් සමග සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් සැලකිල්ලට ගනිමින් රජය මගින් සංචරණ නීති පැනවීමට කටයුතු කෙරුණි.


නමුත් එම සංචරණ නීති කිසිදු සැලකිල්ලකට නොගන්නා පිරිස් පිළිබඳව දිවයිනේ ප්‍රදේශ රැසක සැරිසරමින් සිටින අයුරු මාධ්‍ය නිරන්තරයෙන් වාර්තා කිරීමද දැකගත හැකි විය.


රට පුරා එසේ වෙද්දී පුත්තලම නගරයද එයට නොදෙවෙනි ලෙස සිදුවීම් ගණනාවක් වාර්තා විය.
ඒ අතරින් බරපතළම සිදුවීම වූයේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතා විසින් තම හිතවතුන් වෙත ලබා දුන් සංචරණ බලපත්‍රය මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වීමය.


පුදුමය දනවන්නේ සංචරණ කාල සීමාවලදී දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පමණක් ලබාදිය හැකි සංචරණ බලපත්‍ර මන්ත්‍රීවරයා විසින් නිකුත් කරනු ලැබීමය.


මන්ත්‍රීවරයා තම හිතවතුන්ට ලබා දුන් ලිපි අතර පුත්තලමේ සිට මන්නාරමට ගමන් කිරීමට ද අදාළ ලිපි මගින් අවසර ලබා දුන් බවට සහතික කර තිබීම බරපතළම කරුණකි.
පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරයකු මෙසේ රට තුළ පවතින වසංගත තත්ත්වයක් තේරුම් නොගැනීමද බරපතළය.


ඇතැම් විටක මන්ත්‍රීවරයා දැන හෝ නොදැන කළ මෙම කටයුත්ත ප්‍රාදේශීය ලේකම්වරුන් සේම පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ද අපහසුතාවයට පත් කර තිබුණි.
ඒ සමගම මන්ත්‍රීවරයා නිකුත් කළ එම ලිපිය රැගෙන ගමන් කරන අය ආරක්ෂක මාර්ග බාධක හෝ වෙනත් ස්ථානයකදී පරීක්ෂාවකට ලක්වූ විට ඇමතීමට මන්ත්‍රීවරයාගේ පෞද්ගලික දුරකථන අංකය සඳහන් කර තිබීම ද දැකගත හැකි විය.


ඒ සමගම මෙම ලිපියේ අනෙක් බරපතළම කරුණ වූයේ පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ජංගම දුරකථන අංකය හා නම සඳහන් කර පෙර සදහන් කළ ලෙසම මාර්ග බාධකවලදී පරීක්ෂා කරන නිලධාරීන්ගේ අවධානයට යොමු කර තිබීමය.
අඩුම තරමින් මෙම ලිපි නිකුත් කිරීමේදී තමන් කරන කටයුත්ත නිවැරදි දැයි කිසිදු රාජ්‍ය නිලධාරියකුගෙන් මන්ත්‍රීවරයා විමසා නොතිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
කෙසේ නමුත් මන්ත්‍රීවරයාගේ ලිපි රැගෙන ගමන් කළ බොහෝ දෙනකු පොලිස් මාර්ග බාධකවලදී ආපසු හරවා යැවීමට නිසි සිහි බුද්ධියෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන් ක්‍රියාකර තිබීම පැසසිය යුතුය.
කෙසේ නමුත් මන්ත්‍රීවරයා විසින් ලබා දුන් මෙම ලිපිය සම්බන්ධව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.


මෙම සිදුවීමෙන් පසු අලි සබ්රි රහිම් මන්ත්‍රීවරයා පුත්තලම පොලිසිය සමග යම් උරණ වීමක් පවා ඇති කරගෙන තිබූ බවට වාර්තා විය.
සිද්ධිය එසේ වෙද්දී අලි සබ්රි මන්ත්‍රීවරයාගේ ආධාරකරුවකු රෝහලට ගොස් එ්මේදී නොරෝච්චෝල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු රියදුරු බලපත්‍රය රඳවා ගනිමින් එය ලබා දීමට රුපියල් 2000ක අල්ලසක් ගැනීමක් පිළිබඳව මන්ත්‍රීවරයා මාධ්‍ය හමු පවා තබමින් පොලිසියට චෝදනා එල්ල කරන්නට විය.


එයින් පසු අදාළ සිද්ධියට පසු අල්ලස් ගත් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වැඩ තහනමට ලක්කිරීමට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහ මහතා කටයුතු කළේය.
අදාළ සිදුවීම වී තිබුණේ නොරෝච්චෝල පොලිස් මාර්ග බාධකයකදීය. නමුත් මන්ත්‍රීවරයා පුත්තලම පොලිසියේ සියලු‍ම දෙනා දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කරමින් පොලිසිය හොර ගුහාවක් යැයි මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණි.

 

සංචරණ නීති කඩන පුත්තලමේ මිනිස්සු

 


සොයා බැලීමේදී හෙළි වූයේ මන්ත්‍රීවරයා සංචරණ කටයුතුවලට තම හිතවතුන්ට නිකුත් කළ ලිපි පුත්තලම පොලිසියේ නිලධාරීන් තුට්ටුවකට මායිම් නොකිරීමට පළිගැනීමක් ලෙස මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති බවයි.
මේ වනවිට මන්ත්‍රීවරයාට විරුද්ධව පුත්තලමේ ජනතාවම ඔහුට චෝදනා නගමින් පවතින බවට වාර්තා වෙයි.
ඒ සමග සංචරණ නීති රීති කඩකරමින් පුත්තලම නගරය හරහා විවිධ කටයුතුවලට ගමන් ගන්නා පිරිසෙන් බහුතරයක් අත ඖෂධ ලබාගැනීමට අදාළ තුණ්ඩු හෝ පුත්තලම මූලික රෝහලින් සායන සඳහා නිකුත් කරන ඖෂධ ලබාගැනීමට ලබා දෙන පොත් තිබීම දැකගත හැකිය.
පොලිස් පරීක්ෂාවේදී මෙම සංචරණ නීති කඩකරන්නන් තමන් ඖෂධහල් හෝ රෝහලට යන බව පැවසීමට මෙම දෑ ළඟ තබාගෙන ඇති බව අනාවරණය වේ.
මෙහිදී පොලිස් නිලධාරීන් පවසන්නේ පුත්තලමේ සිටින තරම් ලෙඩුන් පිරිසක් කිසිම තැනකින් දැකගත නොහැකි බවයි.


කෙසේ නමුත් පුත්තලම නගරයේ රාජකාරි කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ පුත්තලම නගරයේ පිරිස් කිසිදු ලෙසකින් සංචරණ නීති තුට්ටුවකට මායිම් නොකරන බවයි.
මේ නිසාම පුත්තලම නගරයේ දී තම රාජකාරි කිරීමේදී ආරක්ෂක අංශ සේම සෞඛ්‍ය අංශ ද මහත් අසීරුතාවයට ලක්වී සිටියි.


ඒ සමගම නගරය පුරා නිරන්තරයෙන් වාහන විශාල ලෙස ධාවනය වීමත් දැකගත හැකිය.
සංචරණ සීමා අතරේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් රටටම ආදර්ශයක් දී තිබුණි.
ඒ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 16 දෙනාට පමණක් කොවිඩ් එන්නත් ලබා ගැනීමට තිබූ අවස්ථාව ඔවුන් ප්‍රතික්ෂේප කිරීමය.


එහිදී ප්‍රාදේශීය ලේකම්වරුන් දන්වා තිබු​ණේ මෙම කොවිඩ් එන්නත තමන් පිරිස පමණක් ලබාගැනීමට තමන් සමග ක්ෂේත්‍රය තුළ එකට රාජකාරි කරන ග්‍රාම නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන් අතර ගැටුමක් වර්ධනය වීමක් බවයි.


ඒ නිසාම ග්‍රාම නිලධාරීන් ඇතුළු සියලු‍ කේෂ්ත්‍ර නිලධාරීන්ට එන්නත් ලැබීම සිදුවන අවස්ථාවක තමන්ද කොවිඩ් එන්නත් ලබා ගැනීමට කටයුතු කරන බව ඔවුන් දන්වා තිබුණි.
සංචරණ කාල සීමාවල වුවද ග්‍රාම නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන් ජනතාව අතර ගැටීම සිදුවන අවස්ථාවේදී තම කණ්ඩායම කොවිඩ් එන්නත ලබාගැනීම සාධාරණ නොමැති බව දන්වා තිබුණි.

 

 

සටහන සහ ඡායාරූප  
පුත්තලම 
 හිරාන් ප්‍රියංකර ජයසිංහ