කැස්බෑවන් හැර වෙනත් මාළු නොමැරුණේ ඇයි?
- කැස්බෑවන් මියගියේ හුස්ම ගන්න බැරිව
- බටු කැස්බෑවන් මුව විවරව මියගිහින්
- කුස තුළ ප්ලාස්ටික් කැබැලි නෑ
කෙළවරක් නොමැතිව රට වටා මුහුදු තීරයෙන් ගොඩ ගැසූ කැස්බෑ මළසිරුරු ගණන අනූවකි. ඩොල්ෆින් මතස්‍යයින්ගේ ගණන නවයකි. ඒ අතර, මියගිය හාල්මැස්සන් වැනි කුඩා ජීවින් ගොඩ ගැසුවේ නැද්ද යනු ප්‍රශ්නාර්ථයකි.
ඩොල්ෆින්ලාගේ මියයාම පිළිබඳව විවිධ පාර්ශ්ව සිය ඇඟ බේරා ගන්නා න්‍යාය පෙරදැරිව විවිධාකාර මත පළ කරමින් සිටින්නේය.
සාගරය වැනසූ මිනිසුන්ගේ දෝෂාරෝපණය ද සාගරයටම එල්ල කරමින් ඇතැමෙක් පවසන්නේ එම මරණ වාරකන් නිසා ඇති වූවක් බවය.
ඔවුන්ගේ මතයට අනුව වාරකන් යනු හා හා පුරා ලංකාවට පැමිණි සුනාමියක් වැනි විපතකි.
අප රටෙහි මෙවැනි කැස්බෑ මරණ පිළිබඳ සොයා බැලීමට, පරිසරය රැකීමට, සතුන් සුරැකීමට ආයතන දෙපාර්තමේන්තු කොතෙකුත් තිබුණ ද මෙකී කැස්බෑවන්ගේ මියයෑමට පැහැදිලි හේතුවක් ප්‍රකාශ කිරීමට හෝ විද්‍යානුකූලව තහවුරු කරගැනීමට සීත කාමරවල ඉහළ වැටුප් ලබන කිසිදු නිලධාරියකු සමත් නොවීම එක්තරා ආකාරයක ඛේදවාචකයකි.
මෙම මරණ සිදු වුණේ ගිනිගත් නැව නිසා බව මතයකි.
කැස්බෑවන් සහ ඩොල්ෆින්ලා පමණක් නොව කුඩා මුහුදු ජීවීන් වන හාල්මැස්සන්, සාලයන් වැනි සත්වයන් ද ජීවත් වන්නේත් සාගරයේය. එසේ නම් හාල්මැස්සන්ට නෞකාවේ තත්ත්වය බලපෑම් ඇති නොකළා ද?
මෙය නැවට එහා ගිය අභිරහසක සුලමුල කියාපාන්නක් ද?
එසේත් නොමැති නම් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ අප සඳහන් කළ පරිදි කැස්බෑවන් දිවි නසා ගත්තා ද?
මේ පිළිබඳව විමසීමට අපි පාර්ශ්ව කිහිපයක් සම්බන්ධ කරගනු ලැබුවෙමු.
කැස්බෑවන් මියයෑම පිළිබඳ මරණ පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කොට ඇති විවෘත විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සමින්ද ප්‍රනාන්දු මහතා මුලින්ම අපට අදහස් දැක්වීය.
“මේ දිනවල බොහොමයක් පාර්ශ්ව මුහුදු ජීවීන්ගේ මරණ සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමක් නැති මත පළ කරමින් සිටිනවා.
මෙහිදී පැහැදිලිවම කිව යුතුයි මෑත කාලයේ මේ තරම් කැස්බෑ මරණ වාර්තා වූ වාරකන් කාලයක් අපගේ මතකයේ නැහැ.
බටහිර වෙරළ තීරයේ මියගොස් ගොඩ ගැසූ කැස්බෑවන්ගේ මරණ පරීක්ෂණ සිදුකිරීම මම ඇරැඹුවා. එහිදී මළ කැස්බෑවන්ගේ පෙනහලු විවර කිරීමේදී මට දැකගත හැකි වූවා එය සිගරැට් බිවූ මිනිසකුගේ මෙන් කළු පැහැති ලපවලින් යුක්ත වූ තත්ත්වයක්.
ඒ වගේම මා පරීක්ෂාවට ලක්කළ බටු කැස්බෑවන්ගේ මුව විවරව මියගොස් තිබුණා. එවැනි මුව ඇරීමක් තුළින් හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබූ බවක් නිරීක්ෂණය වෙනවා.
ඒ වගේම ආහාර මාර්ගය පරීක්ෂාවේදී මෙම සතුන් නිරාහාරව සිටි බවත් දක්නට ලැබුණා. මෙසේ මියගොස් තිබුණේ ශරීරයේ තෙල් තට්ටුව සහිත නීරෝගි කැස්බෑවන්.
සාමාන්‍යයෙන් සිරුරේ තෙල් තට්ටුවක් පිහිටන්නේ නීරෝගි කැස්බෑවන්ට.
මෙම කැස්බෑවන් නිරාහාරව සිටින්න ප්‍රබල හේතුවක් තිබිය යුතුයි. ආහාර මාර්ගයේ පිළිස්සීමට ලක්වීමක්, එහෙමත් නැත්නම් පෙනහලු ආබාධයක් හෝ වෙන යම් වූ කාරණයක්. කෙසේ වුවත් මොවුන්ගේ කුසේ ප්ලාස්ටික් කැබැලි දක්නට ලැබුණේ නැහැ.
ඒ වගේම මාංශ පේශිවලත් රුධිර පැල්ලම් දක්නට ලැබුණා. එයට හේතුව රැධිර නාලිකා පුපුරා යෑම නිසා විය හැකියි.
කැස්බෑවන් පිළිබඳව සිදු කරනු ලැබූ මරණ පරීක්ෂණයේදී ඇසට ලක් වූ පරීක්ෂාවන් අතර පෙනහලුවල කළු පැල්ලම්, නිරාහාර වීම, මුව විවරව මියයෑම, මස්පිඩුවල රුධිර පැල්ලම් සේම පිළිස්සුම් ලක්ෂණ වැනි වෙනස්කම් දක්නට ලැබුණත් මේ පිළිබඳව පටක පරීක්ෂාවක් සිදුකර විද්‍යාත්මක තහවුරු කර නොගෙන යම් පැහැදිලි නිගමනයකට එළැඹීමට හැකියාවක් නැහැ.
ඒ නිසා එවැනි පටක කොටස් තවදුරටත් පරීක්ෂාවට ලක් කළ යුතුයි.”
‘කැස්බෑවන් මෙන්ම හාල්මැස්සන්, සාලයන් වැනි මුහුදු ජීවීන් සිටින්නෙත් මෙම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වූ සාගරයේමයි. එවැනි සතුන්ගේ මරණ වාර්තා නොවීමට හේතුව කුමක් විය හැකි ද?’ අපි විමසුවෙමු.
“හාල්මැස්සා ජීවත් වන්නේ මුහුදු පතුලේ. සාමාන්‍යයෙන් කැස්බෑවන්ගේ ජීවන රටාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී කැස්බෑවන් අයත්වන්නේ පෙනහලුවලින් හුස්ම ගන්නා උරග විශේෂයන්ට.
ඒ වගේම, පසුගිය කාලයේ වෙරළ තීරයට ගොඩ ගැසූ සත්වයන් අතරින් නිල් තල්මහා මෙන්ම ඩොල්ෆින් මත්ස්‍යයන් කියන්නෙත් පෙනහලුවලින් හුස්ම ගන්නා ක්ෂීරපායි සත්වයන්.
මොවුන් හුස්ම ගන්නේ වාතයෙන්.
සාමාන්‍යයෙන් කැස්බෑවෙක් පැය බාගයකට සැරයක් ජලය මතුපිටට හුස්ම ගන්න පැමිණෙනවා. එවන් අවස්ථාවකදී වාතයේ හෝ ජලය මතුපිට යම් ද්‍රව්‍යයක් හෝ විෂ රසායනිකයක් එහෙමත් නැත්නම් විශාල උසුලාගත නොහැකි දුමාරයක් පැවැතුණහොත් පෙනහලු අක්‍රිය වන්නට පුළුවන්.
මොකද පැය බාගයකට සැරයක් හුස්ම ගන්න ජලය මතුපිටට ආවාම මේ සතුන් පැයක් පමණ ජලය මතුපිට ඉන්නවා.
රාත්‍රී කාලයේ දී මෙම කැස්බෑවන් ඔවුන්ගේ නාස් කුහර ශරීර ආවරණයකින් වසාගෙන නාස් කුහරවලින් හුස්ම ගැනීම අඩුකොට ශරීරය තුළ තියෙන ඔක්සිජන් භාවිතයෙන් මුහුදු පතුලට වී නිසොල්මන්ව රාත්‍රිය ගත කරනවා.
හාල්මැස්සන් වැනි කුඩා මුහුදු ජීවීන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔවුන් ශරීර ප්‍රමාණයෙන් බොහොම කුඩායි. සමහර වෙලාවට ඔවුන් සාගරයේ මියගියත් ගොඩගහන්න දෙයක් ඉතිරි වන්නේ නෑ.
ගඟක ඇළක දොළක මාළු මැරුණොත් ඉවුරට ගොඩ ගහනවා. එය පැතිර ඇති කලාපය අඩු නිසා එවැනි මියයෑම් අපට දක්නට ලැබෙනවා. නමුත් සාගරය කියන්නේ හිතා ගන්න බැරි ජල කඳක් ඇති තැනක්.
එහෙම සාගරයේ හාල්මැස්සන් වැනි කුඩා මත්ස්‍යයන් මිය ගියත් ගොඩගහන්නෙ නැතිවෙන්න පුළුවන්. මෙම ව්‍යසනයෙන් හාල්මැස්සන්ට ආපදාවක් සිදු නොවූවා වෙන්නටත් පුළුවන්. මොකද කැස්බෑවන් හුස්ම ගන්න සාගරය මතුපිටට එනවා වගේ මත්ස්‍යයන් සාගරය මතුපිටට ඇවිත් හුස්ම ගන්නේ නෑ.”
මීළඟට අපට අදහස් දැක්වීමට එක් වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරි පමුදිත දේව සුරේන්ද්‍ර මහතාය.
“ඇත්තටම කැස්බෑවන්ගේ මරණ පුවතක් ලෙස වාර්තා වීමත් හාල්මැස්සන් වැනි මත්ස්‍යයන්ගේ මරණ කිසිම ආකාරයකට වාර්තා නොවීමත් වැනි තත්ත්වයක් මම මෙහිදී දකිනවා.
උදාහරණයක් විදියට ගත්තොත් කැස්බෑවන් ධීවරයන්ගේ දැලක පැටලුණත් ඔවුන් එම කැස්බෑවා පණ පිටින් සිටියත් මියගොස් සිටියත් ගොඩට ගේන්නේ නෑ.
ඒ වෙනුවට ඔවුන් කරන්නේ දැලෙන් ඔවුන්ව මුදාහැරලා නැවත මුහුදට දාන එක. කැස්බෑවන් රහසිගතව ගොඩබිමට ගේන අවස්ථා නැතිවම නෙවෙයි. නමුත් බොහෝ විට මුහුදට දානවා.
මොකද කැස්බෑවා කියන්නේ සංරක්ෂිත සත්වයෙක්. මාළුවා කියන්නේ සාගරයේදී මියගොස් සිටියත් ධීවර දැලකට අහු වුණොත් මාළු වෙළෙඳසලට යන සත්වයෙක්.
ඇතැම් විට එතකොට ගොඩගහන්න තරම් ශරීර කොටසක් ඉතිරි නොවිය හැකි සත්වයෙක්.
මේ වනවිට මම පසුගිය දිනවල වාර්තා වූ කැස්බෑවන් පහළොස් දෙනකුගේ පමණ මරණ පරීක්ෂණ සිදු කරලා තියෙනවා.
බොහොමයක් කැස්බෑ සිරුරු ගල්වල වැදී නරක් වී තිබුණා. එය මරණ පරීක්ෂණවලට බාධාවක් වුණා. නරක් නොවූ සිරුරුවල මරණ පරීක්ෂණ අප සිදු කළා.
මේ ආකාරයෙන් කැස්බෑවන් මියයාමට එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනි ගැනීම සහ රසායනික ද්‍රව්‍ය හේතුවක් වන්නට ඇතැයි යම් සැකයක් පවතිනවා.
ඒ නිසා කැස්බෑවන්ගේ සිරුරේ ඇසට දකින්නට තියෙන තුවාල වැනි ලක්ෂණවලින් පමණක් මේ පිළිබඳ තහවුරු කරන්නට බෑ.
ඒ නිසා මෙම කැස්බෑවන්ගේ ශරීර කොටස් අප රජයේ රස පරීක්ෂක කාර්යාලයට සහ පේරාදෙණිය ගැටඹේ පශු වෛද්‍ය විමර්ශන ආයතනයට යොමු කොට තිබෙනවා.
මොකද පෙනහලු මගින් හුස්ම ගන්නට දිය මතුපිටට පැමිණි මෙම සත්ත්වයන් යම් රසායනිකයකට හෝ යම් පරිසර විපර්යාසයකට නතු වූවා ද යන්න පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කරගත යුතුයි.
මොවුන් වසර ගණනාවක ආයු කාලය හිමි සත්වයන් වුණත් ජලය මතුපිට ඇතිවන රසායනික සහ වෙනත් කාරණයක් සම්බන්ධයෙන් බොහෝම සංවේදී සත්ව කොට්ඨාස. ඒ නිසා මරණයට හේතුව ජලය මතුපිට තිබූ රසායනිකයක් වන්නටත් ඉඩකඩ තිබෙනවා.”
මීළඟට අප සම්බන්ධ කරගනු ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ පාරිසරක හා සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සත්ව පරිනාම සහ සමුද්‍රික පක්ෂීන් පිළිබඳ විශේෂඥ, ආචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතාය.
“කැස්බෑවා කියන්නේ අවුරුදු සියයක් දෙසීයක් පමණ ජීවත් වෙන සත්වයෙක්. ඔවුන්ගේ ආයු කාලය තුළ ඔවුන් විවිධ රළු සහ සැඩ ජීවන පරිසර තත්ත්වයන්ට මුහුණ දෙමින් ජීවිතය ඉස්සරහට අරගෙන එනවා.
නිදසුනක් ලෙස හැඳින්වුවොත් වැඩුණු කැස්බෑවකු කියන්නේ අත්දැකීම් බහුල පරම්පරා ගණනක වෙනස්වීම් දුටු නීරෝගි මහලු මිනිසෙක් වගේ.
මෙම කැස්බෑවන්ගේ මියයෑම සමග බොහොමයක් දෙනාගේ අවධානය යොමු වී තිබෙන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව වෙතට වුවත් අප කිසිවෙක් නොසිතන හේතුවකට මෙම සතුන් මිය යනවා විය හැකියි.
අප කවුරුත් දන්න කාරණයක් තමයි පසුගිය මැයි මස 29 වැනිදා වනවිට අපගේ සාගර කලාපයේ විශාල සුළි කුණාටු තත්ත්වයකුත් පැවැතුණා.
වාරකන් නිසාත් සතුන් මිය යන්න පුළුවන්. නමුත් මේ තරම් සතුන් සංඛ්‍යාවක් මිය යෑමට විශේෂ හේතුවක් තිබිය යුතුයි.
ඇතැම් විට මුහුදේ ඇති වන කැළඹිලි තත්ත්වයන් නිසාත් කැස්බෑවන් මියගිය අවස්ථා පසුගිය වර්ෂය තුළත් පැවැතුණා.
නැව එන්න කලිනුත් කැස්බෑවො මැරුණා. නමුත් එම මරණ වාර්තා මාධ්‍ය ඔස්සේ සමාජගත වුණේ නෑ.
විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ වනවිට ගිනිගත් නෞකාව වෙතට හැමෝගෙම අවධානය යොමු වුණාට රටක් විදිහට ජනතාවක් විදිහට අප විසින් සාගරයට මොන තරම් පොලිතින් ප්ලාස්ටික් සහ රසායනික අප ජලය මුදාහරිනවා ද?
උදාහරණයක් විදියට ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ නිවාසවලින් නිකුත් කෙරෙන අප ජලය,
කර්මාන්තශාලා රසායනික ඇළ මාර්ග ඔස්සේ කෙළින්ම ගලා යන්නේ මුහුදට. මේවා නවත්වන්න ක්‍රමවේදයක් අප සතුව තිබෙනවා ද?
පිටස්තර කවුරුවත් ඇවිල්ලා මෙම අපද්‍රව්‍ය මුහුදට මුදාහරින්නෙ නෑ. මේ දවස්වල එකම හේතුව නෞකාව කියලා දැක්කාට අපි නොසිතන හේතුවක් මේ මරණ පිටුපස තියෙන්න පුළුවන්.
තවත් කාරණයක් තමයි ත්‍රිකුණාමලය, මඩකලපුව, හලාවත, කල්පිටිය මුහුදු කලාපයේ ධීවරයන් නීති විරෝධී ලෙස ඩයිනමයිට් දාලා මාළු ඇල්ලීම සිදු කරනවා.
ඔවුන් කොරල්පරවලට කුඩා ජීවීන්ට පුදුම විනාශයක් සිදු කරන්නේ. අන්න ඒ නිසයි මරණයට හේතුව හරියටම සොයා බැලිය යුතු වන්නේ. මාළුන්ට දාන ඩයිනමයිට්වලින් කැස්බෑවනුත් අනතුරට ලක්විය හැකියි.
මේ සතුන් මියයෑම ගැන නිසියාකාර පරීක්ෂාවක් සිදු කිරීම වැදගත් වන්නේ නියම හේතුව දැන ගැනීමට මග සැලසෙන නිසයි.”
සටහන/ ඡායාරූප
රේඛා තරංගනී ෆොන්සේකා