ගුරු උද්ඝෝෂණ
සිසු උද්ඝෝෂණ
ගොවි උද්ඝෝෂණ
මේ වර්තමාන ශ්‍රී ලංකාවේදී නිතර දැකිය හැකි එකමුතු වීම්ය.
වසර විසි හතරක් පුරාවට ඉටු නොවූ වැටුප් විෂමතාව අවසන් කර වැටුප් වැඩිවීමක් වෙනුවෙන් ගුරු විදුහල්පති උද්ඝෝෂණ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරන සිසු උද්ඝෝෂණ, තේ, එළවළු, වී වගාවනට අවශ්‍ය පොහොර ඉල්ලා ගොවි උද්ඝෝෂණ.
මේ උද්ඝෝෂණ වලට තැනක් නියමයක් නැත. සමහරක් අගනුවරය තවත් සමහරක් ලංකාවේ විවිධ නගරවලය.
දියව්.. දියව්.. දියව්.. කියමින් ඉල්ලීම් ඉල්ලමින් කෙරෙන මේ උද්ඝෝෂණ සියල්ලම කෙරෙන්නේ නව කොරෝනා නැත්නම් කොවිඩ් 19 වයිරසය රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන වකවානුවකය. මේ ලියන දවසේත් ජීවිත පනස් දෙකක් එකී රුදුරු වයිරසයට ගොදුරු වී තිබිණි.
කොවිඩ් වයිරසයෙන් බේරී සිටීම පිණිස මීටරයක් හෝ දෙකක දුරස්ථ බව රැක ගැනීම, නිතර සබන් යොදා දෑත් සේදීම, මුව ආවරණ පැලැඳීම කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පටන් සෑම සියලු සෞඛ්‍ය අංශයක්ම වසංගත රෝග විද්‍යාඥයෙක්ම වයිරස් විශේෂඥයෙක්ම පවසන කාරණාවකි. එහෙත් මේ උද්ඝෝෂණවලදී දුරස්ථ බව රැකේද? අත් සේදීම සිදුවේද? මුව ආවරණ නිවැරැදිව පැලඳේද?
ජනතා විරෝධතා යනු ප්‍රජාතන්ත්‍රවාදය පවතින සෑම රටකම පොදු අංගයකි. බලයේ සිටින රජය ගන්නා යම් යම් තීන්දු තීරණ වලට එරෙහිව විපක්ෂ කණ්ඩායම් විසින් සංවිධානය කරන මේ විරෝධතා වලට එක් රොක් වන්නේ දහස් ගණනිනි. ඇතැම් උද්ඝෝෂණයක් සන්සුන්ව පැවැත්වුණත් ඇතැම් උද්ඝෝෂණ වලදී ජනතාව නොසන්සුන්ව කටයුතු කරති. කඩ සාප්පු කොල්ලකෑම්, වාහන වලට රජයේ ගොඩනැගිලිවලට පහරදීම් ආදී විනාශයන් සිදු කරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අවස්ථා ද බහුලය.
කෙසේ වෙතත් 2019 අවුරුද්දේදී පමණක් ලෝකයේ රටවල් 114 ක මහජන විරෝධතා පැවැත්වුණු බව එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන් වේ. 2020 වසරේද බොහෝ ජනතා විරෝධතා පැන නැගිණි.
මේ විරෝධතාවලදී ජනතාව හැසිරුණේ කොවිඩ් වයිරස ව්‍යාප්තිය තඹ සතයකටවත් මායිම් නොකරය. ඒ නිසාම බොහෝ රටවල කොවිඩ් ව්‍යාප්තියට මේ ජනතා විරෝධතා ද හේතු වූ බව පැවසේ.
විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් ප්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පාරවල්වලට බැස්සාහ. රජයේ ගොඩනැගිලිවලට පහර දෙමින් ගිනි තබමින් කඩ සාප්පු කොල්ල කමින් සිදු කළ මේ දැවැන්ත විරෝධතාවලදී ඇමෙරිකානුවන් මුව ආවරණ පැලැන්දේවත්, දුරස්ථ බව ආරක්ෂා කළේවත් නැත. එකල එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේද කොවිඩ් 19 හෙම්බිරිස්සාවක් කැස්සක් ලෙස සුළු කොට තකමිනි.
එක්සත් ජනපද නගර 281 ක් පුරා පැවැති මේ උද්ඝෝෂණ වලට පොලිසිය ද මදි නොකියන්නට පහර දුන්නේය. කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. එවිට පළා යන විරෝධතාකරුවන් එක පොකුරට ගුලි වූ අතර ඒ සමීප බව නිසාම කොවිඩ් වයිරස එකිනෙකාගේ පපු කුහර තුළට පැන ගත්හ. පොලිස් අත්අඩංගුවට ගැනීම් ද බහුලව සිදු වූ අතර එසේ අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් කූඩු ගත කෙරුණේ ද එක පොකුරටය. මේ විරෝධතාකරුවන්ගෙන් සියයට එකක් අනිවාර්යයෙන්ම කොරෝනා ආසාදිතයන් වූ බව කරන ලද වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී තිබිණි. ඒ සියයට එක විරෝධතා කරුවන් කී දෙනෙකුට නම් වයිරස ආසාදනය කරන්නට ඇත් දැයි සිතා බැලීම ඔබේ වගකීමකි. අන්තිමේදී එක්සත් ජනපදයෙන් කොවිඩ් ආසාදිතයන් දෛනිකව ලක්ෂ ගණනින් හමු වන්නටත්, දහස් ගණනින් මරණ වාර්තා වන්නටත් විය. ලෝකයේ දරුණුතම කොවිඩ් වසංගත ගොදුරු බවට එක්සත් ජනපදය පත් වුණේය.
ඉන්දියාවේ විරෝධතා පැන නැගුණේ ගොවීන්ගෙනි. මෝදි රජය විසින් අලුතින් පනවන ලද නීති කිහිපයකට විරෝධය පළ කළ ගොවීහු, දිල්ලි නුවරට කඩා වැදුණේ දහස් ගණනිනි. දුරස්ථ බවක් නොතකමින් ද මුහුණු ආවරණ නොපලඳමින් ද විරෝධතා වලට එක්වූ මේ ගොවි ජනතාව අන්තිමේදී ඉන්දියාව විසාලා නුවරක් බවට පත් කළේය. ප්‍රාදේශීය මැතිවරණ ප්‍රචාරක රැලි කුම්භමේලා උත්සවයද ඉන්දියාවේ කොරෝනා වසංගතය ව්‍යාප්ත කිරීමට හේතු නොවූවා නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදයට පමණක් දෙවැනි වුවද දකුණු ආසියානු කලාපයේ වැඩිම කොරෝනා ව්‍යෘප්තියක් සහිතව පීඩාවට පත් වූ රට බවට ද ඉන්දියාව පත්ව තිබිණි.
මේ වනවිට ඉන්දියාව කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. එහෙත් ඉකුත් සතියේ පටන් ඉන්දියාවේ කොරෝනා ව්‍යෘප්තිය සැලකිය යුතු මට්ටමකින් අඩු වෙමින් තිබේ. හැබැයි යළිත් ඉන්දීය ගොවි ජනතාව තම විරෝධතා අලුත්කර තිබේ. ඉකුත් සති අන්තයේ ද දහස් ගණනක් ගොවීහු දිල්ලි නුවරට ඒකරාශී වූහ. ඔවුන් කිසිවෙක් මුහුණු ආවරණ පැලඳ සිටියේ ද නැත. මේ තත්ත්වය තවත් කොරෝනා රැල්ලක ආරම්භය ද විය හැකිය.
කියුබාව යනු සමාජවාදී කඳවුරේ රාජ්‍යයකි. එහෙත් ක්‍රමයෙන් කියුබාවේ සමාජවාදී රාමුව කැඩී යද්දී රජයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ඇරඹිණි. බ්‍රසීලයේ ද අගමැතිට එරෙහිව උද්ඝෝෂණ පැවැත්විණි. මේ ආදී වශයෙන් ලෝකයේ බොහෝ රටවල විවිධ විරෝධතා පැවැත්වෙන අතර මේ විරෝධතා ව්‍යාපාර ඔස්සේ කොවිඩ් ව්‍යාප්තියක් සිදුවූ බවද පැවසිණි.
දැන් යළිත් අපි ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. මුලින් කිව්වාක් මෙන් ගුරු විදුහල්පතිවරු, ඔවුන්ගේ ගුරු සංගම් තිහක එකමුතුවෙන් පවත්වන උද්ඝෝෂණ ඉකුත් සතියේ ද රට පුරා පැවැත්විණි. පෝර ඉල්ලා ගොවි සංවිධාන ද රටේ තැන තැන විරෝධතා පැවැත්වූහ. ඒ මදිවාට ධීවර ජනතාව ගිනිගත් නැවෙන් ලැබුණු වන්දිය මදියැයි කියමින් උද්ඝෝෂණ පවත්වන්නට පටන් ගත්හ. විශ්‍රාමික ජ්‍යෙෂ්‍ඨ පුරවැසියන්ගේ විරෝධතා ගැන ද වාර්තා විය. මේ විරෝධතා ව්‍යාපාර නැත්නම් උද්ඝෝෂණ පැවැත්වෙන්නේ කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් තහනම් කරන ලද වාතාවරණයකය. ඕනෑම උද්ඝෝෂණයක් කරන්නට පමණක් නොව, ජනාධිපති ලේකම් කාර්යාලයටම පැමිණ සංදේශයක් බාර දීමට ලේකම්වරයකු සමග සාකච්ඡා කිරීමට වත්මන් ජනාධිපතිතුමා ඉඩ සලසා ඇත. ඉකුත් කාල වකවානුවලදී කොල්ලුපිටියේ හන්දියෙන් ඔබ්බට මේ විරෝධතා කරුවන්ට පයක් ඔසවන්නට ඉඩ ලැබුණේ නැත. එහෙත් අද පොලිස් බාධක නැතිව, කඳුළු ගෑස්, වතුර ප්‍රහාර නැතිව ඔවුහු සිත් සේ විරෝධතා පවත්වති. හැබැයි නොපෙනෙන සතුරා කොවිඩ් 19 හැංගී සිට මේ විරෝධතාකරුවන්ට පහර දීමට බලා සිටින බව අමතක නොකළ යුතු කාරණයකි. බැරි වෙලාවත් ඇල්ෆා, බීටා, ඩෙල්ටා සමග ගුරු, ගොවි, ධීවර පොකුරු බිහි වුවහොත් මුළු රටටම ඉතිරි වන්නේ බුල්ටෝ ය.
ශාන්ත කුමාර විතාන