ව්‍යාපාරික ලෝකයට ආ සරාගී ටෙනිස් ක්‍රීඩිකාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • ලෝකයේ මෙතෙක් වැඩිම මිලක් අය කළ ක්‍රීඩිකාව වූයේ ‘ෂරපෝවා’ ය.
  • ‘සුගර්පෝවා’ යනු මරියා ෂරපෝවාගේ ව්‍යාපාරයයි
  • සුගර්පෝවා යනු පැණිරස කෑම ජාති නොහොත් ‘Candy’ ෆුඩ්ස් නිෂ්පාදනය කරන සමාගමකි
  • සුගර්පෝවා ලෝකයේ රටවල් තිහකට වඩා ප්‍රචලිතව තිබේ

 මරියා ෂරපෝවා යනු එද‌ා මෙද‌ා තුර ලෝක ටෙනිස් ක්‍රීඩා පිටිය හැඩ කළ අතිශය සුරූපී සරාගී ක්‍රීඩිකාව යැයි සඳහන් වේ. මෙතෙක් ලොව බිහිවූ ටෙනිස් ශූරියන් අතරින් වැඩිම මිලක් අය කළ ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි. ක්‍රීඩා අංශයේ ඕනෑම ක්‍රීඩිකාවක් අතරින් එලෙසින් වැඩිම මිලක් ලැබූ ක්‍රීඩිකාව ලෙස පෙරමුණේ පසු වන්නේ මේ මරියා ෂරපෝවා ය. 


ඇය ජාත්‍යන්තර ටෙනිස් පිටියට සමුදුන්නේ 2020 වසරේදීය. එම වසර දක්වා අඛණ්ඩව එකොළොස් වසරක් ලොව වැඩිම මුදලක් උපයන ක්‍රීඩිකාව යන වාර්තාවට හිමිකම් කීවේ සුරූපීි ‘මරියා ෂරපෝවා’ ය. සුරූපී සරාගී පෙනුම නිසාම නිරූපණයට සහ අලෙවි ප්‍රවර්ධන ඉසව් වෙනුවෙන් වූ විවිධ වෙ​ෙළඳ ගිවිස ගැනීම් සඳහා සහභාගි වන ෂරපෝවා එයින් ලබන ආද‌ායම ද සුළු පටු නොවේ. ඒවායින් ද නොනැවතී, ව්‍යාපාරික ක්ෂේත්‍රයට පැමිණි ඇය වතාවක ‘ෂරපෝවා’ යන සැබෑ නාමය වෙනුවට සුගර්පෝවා යන නාමයෙන් පෙනී සිටියාය.   


 එලෙසින් සුගර්පෝවා යන නාමයෙන් පෙනී සිටියේ ‘පැණි රස’ කෑම, එනම් ටොෆි, චොකලට්, ජුජුබ්ස් ආදී බොහෝ පැණි රස කෑම නිෂ්පාදනය කරන ඇයගේ ව්‍යාපාරය වෙනුවෙනි. එම ව්‍යාපාරයෙහි නම ‘සුගර්පෝවා’ ය. ඉතා අනර්ඝ සහ තත්ත්වයෙන් උසස් ලෙස පැණි රස කෑම නිෂ්පාදනය කරන සුගර්පෝවා ලෝකයේ රටවල් තිහකට වැඩි සංඛ්‍යාවක ව්‍යාප්ත වී අලෙවි කටයුතු සිදුකෙරෙන බව කිව හැකිය.   


 ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය අද අපි රස ගන්වන්නේ ලස්සන මරියා ෂරපෝවාගේ රසවත් සුගර්පෝවා රසකැවිලි සමාගමේ සහ ඇයගේ ජීවිත කතාවෙනි.   


මරියා ෂරපෝවා   


මරියා යූර්යෙව්නා ෂරපෝවා යනු ඇයගේ සම්පූර්ණ නාමයයි. ෂරපෝවා උපත ලබා ඇත්තේ 1987 අප්‍රේල් 19 වැනිද‌ා බටහිර සයිබීරියාවේ නියාගන් නගරයේදීය. සයිබීරියාව එවකට පැවැතියේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් කලාපයක් ලෙසය. ෂරපෝවාගේ මව්පිය දෙපළ වන යූරි ෂරපෝව් සහ යෙලේනා බෙලෝරුසියාවේ සිට පැවැත එන බව සඳහන් වේ. එද‌ා යෙලේනා තමා ගැබිණියක වූ බව දැන ගත්තේ බෙලෝරුසියාවේ සිටියදීය. ඒ බැව් පසු කලෙක ප්‍රකාශිත වූ ලයිෆ් ඔෆ් මරියා ෂරපෝවා පොත මගින් ප්‍රකාශ වේ. ‘මරියා’ උපත ලබා ටික දිනකින් එම ප්‍රදේශය අත්හැර යාමට මව්පියන් හට සිදුවූයේ 1986 දී චර්නෝබිල් ඛේදවාචකය, එනම් න්‍යාෂ්ටික බලාගාර අනතුර සිදුව තිබූ නිසාය. ඒ නිසා බොහෝ දෙනා එම කලාපය අතැර වෙනත් ස්ථාන පදිංචිය සඳහා තෝරා ගත් බැව් සඳහන් වේ. ඒ අනුව ෂරපෝව් පවුල ජීවත්වීමට තෝරාගෙන සිටියේ දකුණු දිග රුසියාවේ ක්‍රැස්නෝද‌ාර්ක්‍රායිහි ‘සෝචි’ පළාතය. කළු මුහුදට සමීපව සෝචි ගංගාවට නුදුරින් පිහිටි මේ ස්ථානයේ සිට ෂරපෝවා ප්‍රාථමික ළමාවිය ගත කරමින් සිටියාය.   


ඇය පළමු වතාවට ටෙනිස් පිත්ත අතට ගෙන පන්දුවට පහරක් එල්ල කළේ සිව් හැවිරිදි වියේ සිටියදීය. ඇයට පළමු ටෙනිස් රැකට් එක හෙවත් පිත්ත ලබා දුන්නේ රුසියාවේ මෙන්ම ලොව ටෙනිස් ශූරයකුව සිටි ඇලෙක්සැන්ඩර් කෆෙයිනිකෝව්ගේ පුත්‍රයා වූ ‘යෙව්ගෙනි’ ය. පසුව තම පියා සමග ‘ෂරපෝවා’ තමා ජීවත් වූ පළාතේ තිබූ ටෙනිස් පිටියක සිට පුහුණුවීම් කළ බව සඳහන්ය. ඇය ඇයගේ ටෙනිස් දිවියේ ප්‍රථම උපදේශකත්වය ගත්තේ යූරි යුට්කින් ගෙනි. ඉනික්බිතිව මරියා ෂරපෝවා හට මොස්කව් බලා යාමට සිදුවූයේ ලෝක විම්බල්ඩන් ටෙනිස් පිටියේ අසමසම ශූරියකව සිටි ‘මාටිනා නවිරතිලෝවා’ ගේ පුහුණු පාසලට එක්වීම වෙනුවෙනි. ‘මාටිනා’ ඉන්පසුව ෂරපෝවා හට කීවේ ඔය දරුවො ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවට ගිහින් IMG ඇකඩමි එකට බැඳී කටයුතු කරන්නැයි කියාය. එතැන ලෝකයට බොහෝ ටෙනිස් තරු බිහිකළ ස්ථානයකි.

   
මරියා රුසියාවෙන් ඇ​ෙමරිකාවට   


ඇමරිකාවට යාමට අදහස් කළ ද මව්පිය දෙදෙනා සමග ෂරපෝවා හට එක්වර එහි යෑමට අවස්ථාව නොලැබිණි. ‘වීසා’ ලබා දීමේදී තිබූ ක්‍රමවේදයන් නිසා මුලින්ම ඇමරිකාවට යාමට ලැබුණේ තාත්තා සහ දියණිය හට පමණකි. ෂරපෝවා වෙනුවෙන් මව්පියන් එකී කැපවීම කළේ කුඩා දියණිය ​ටෙනිස් ක්‍රීඩාවට උපන් හපනියක් වූ නිසාමය. තවත් වසර දෙකක් ගත වූ පසු මවට ද ඇමරිකාවට ඒමට හැකි වීම නිසා ‘ෂරපෝවා’ ලැබුවේ ලොකු සතුටකි. නමුදු ෂරපෝවාගේ පියා හට විවිධ රැකියා කිරීමට සිදුවූයේ දියණියගේ පුහුණුවීම් වෙනුවෙන් බොහෝ මුදලක් වැය කිරීමට සිදුවූ නිසාය. අඩු චේතනයකට ඔහු විවිධ රස්සාවල නිතර විය. පසුව IMG ආයතනයේ ලියාපදිංචි ක්‍රීඩිකාවක ලෙස ෂරපෝවා හට කටයුතු කරන්නට අවස්ථාව උද‌ාවිණි. වයස 10 න් පහළ කාණ්ඩයේ ක්‍රීඩිකාවක වූ ඇයට ඒ නිසා වාර්ෂික ගෙවීම් කිරීමට සිදු නොවූයේ IMG සමග ගිවිසගෙන සිටි නිසාය. ෂරපෝවාගේ ටෙනිස් දිවියේ රන්වන් සමය උද‌ාවන්නට පටන් ගත්තේ 2000 වසර එළැඹීමත් සමගය. වයස 13 දැරියකව සිටියදී එඩීහර් ජූනියර් 16 න් පහළ ශූරතාවය දිනා ගැනීමට ඇය සමත් වූවාය. නැගී එන තරුව ලෙස ඇයට අමතර සම්මානයක් පවා එහිදී පිරිනැමිණි. විශ්වාස කරන්න මේ සුන්දර දැරිය වෘත්තීය ක්‍රීඩිකාවක ලෙස ප්‍රථම වරට ක්‍රීඩා කළේ ඇයගේ 14 වැනි උපන්දිනය දවසේදීය. පසුව ඇය 2002 දී ඔස්ට්‍රියානු විවෘත සහ විම්බල්ඩන් තරගාවලියට ක්‍රීඩා කළේ කණිෂ්ට ක්‍රීඩිකාවක ලෙසය. ඔස්ට්‍රියානු විවෘත ශූරතාවයේදී කණිෂ්ට ක්‍රීඩිකාවක ලෙස එම ඉසව්ව නියෝජනය කළ ලොව ලාබාලතම ක්‍රීඩිකාව ඇය වූ අතර ඒ වන විට ඇයගේ වයස සඳහන් වූයේ 14 යි මාස 9 ක් ලෙසිනි. මෙලෙසින් ලෝක ටෙනිස් පිටියට පායා සිටි සුන්දර රුවැත්තිය භද්‍ර යෞවනයේදී ලද ශූරතා බොහෝය. ටෙනිස් ක්‍රීඩාවේ විශිෂ්ටතම මොහොත වන්නේ ‘විම්බල්ඩන්’ ශූරතාවය සඳහා තරග වැදීමය. ලස්සන මරියා ෂරපෝවා උද‌ාකර ගත්තේ 2004 දී වයස අවුරුදු 17 ක නව යොවුන් ක්‍රීඩිකාවක ලෙස සිටියදීය. වයස අවුරුදු 18 වන විට ෂරපෝවා හට ලෝක ශූරතාවයක් පවා දිනා ගැනීමට හැකිවිණි. ඉනික්බිතිව ලෝකයේ විවිධ ලෝක ශූරතා රැසක ජයග්‍රහණ ලබමින් ඒ සඳහා වූ මුදල් අස්වැන්න නෙලමින් ඉදිරියට යන අතරේ 2008 දී උරහිසේ ආබාධයකට ලක්විණි. ඊට පෙරද එම ආබාධයට ඇය ලක්ව සිටියාය. ​මේ නිසා උරහිසේ සැත්කමකට මුහුණ දුන් ඇය ඉන් සුව වී නැවත ටෙනිස් පිටිය බැබළවීමට පැමිණියේ 2009-10 වසර වලදීය. නැවතත් ජයග්‍රහණ රැසක උරුමක්කාරියක වී ටෙනිස් පිටිය වර්ණවත් කරන අතරේ යළිත් වතාවක ඇය උරහිසේ ආබාධයට ලක්විණි. ඒ 2013 දීය. ඉනික්බිතිව ද ඇය ටෙනිස් පිටිය බැබළවූයේ ජයග්‍රහණ, පරාජ සහ ආබාධ කරපින්නා ගෙනය. 2017 වසර යනු තරග අත්හිටුවීමකටද මුහුණ දුන් වසරක් විය. වීනස් විලියම්ස් - ෂෙරීනා විලියම්ස් යන ලෝක ශූර ටෙනිස් තරු අභිබවමින් ලොව අංක එකේ ටෙනිස් තාරකාව වූ ‘ෂරපෝවා’ ලැබූ ජයග්‍රහණ සියල්ල පිටුපස ඇත්තේ ඇයගේ සුන්දරත්වයට එහා ගිය ධෛර්යවන්තකමය. ලෝක ටෙනිස් පිටියේදී මෙතරම් ආබාධන්ට ලක්වූ තවත් ක්‍රීඩිකාවක නැති තරම්ය. අඩි 6 ක් සහ අඟල් 2 ක් උසැති වීම විටෙක මෙලෙසින් ආබාධයන්ට මුහුණදීමට සිදුවන්නට ඇතැයි නිගමනය කළ හැකිය. ඇයගේ පාද දිගු නිසා, ක්‍රීඩා කිරීමේදී අනෙක් ක්‍රීඩිකාවන්ට වඩා නැවී පහත්ව ක්‍රීඩා කිරීමේ රිද්මය ඇයට ගැනීමට සිදුවිය. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා, ප්‍රංශ, කටාර්. ඇතුළු ලොව ප්‍රමුඛ විවෘත ටෙනිස් ශූරතාවලි මෙන්ම විම්බල්ඩන් ශූරතාවය දිනූ ඇය, මේ ආබාධ නිසාම 2020 දී ලෝක ටෙනිස් පිටියට සමුදුන්නාය. එකී ගෙවී ගිය කාලයේදී ඇය ටෙනිස් සමග මුහුණ දුන් හැලහැප්පීම් ද බොහෝය. 

 

 ෂරපෝවා පියා සමග

 


1994 සිට ඇමෙරිකාවේ පදිංචි වී සිටියද ඇය රුසියානු පුරවැසියෙකි.  


මරියා ෂරපෝවා 1994 සිට ජීවත්වන්නේ ඇමෙරිකාවේ වුවද අයට එහි පුරවැසි බව ලබා ගැනීමට අවශ්‍ය නොවුණි. ටෙනිස් ක්‍රීඩාව සහ ව්‍යාපාර නිසා එහි සිටියද ඇය නියෝජනය කළේ රුසියාවය. එය මහත් ගෞරවයක් අභීමානයක් යැයි ඇය සඳහන් කරන්නීය. රුසියාවේ උරුමය සහ ප්‍රෞඪත්වයට මරියා ෂරපෝවා හදවතින්ම ගරු කරන්නීය. 2012 දී ගිම්හාන ඔලිම්පික් උළෙලේදී රුසියාව වෙනුවෙන් ජාතික ධජය රැගෙන ගියේ ද ඇය වීම විශේෂත්වයකි. ඒක ඕනෑම රටක ක්‍රීඩිකාවක හට ලැබෙන විරල අවස්ථාවකි. එද‌ා රට වෙනුවෙන් ජාතික ධජය පෙරටුකරගෙන කණ්ඩායම රැගෙන ගිය ෂරපෝවා ටෙනිස් රිදී පදක්කමද රුසියාවට ලබා දුන්නාය.   


විලාසිතා කරන්නට රිසි රුසියානු මරියා   


ලෝක ටෙනිස් පිටියේ සිටියදී ඇය සෑම තරගයකදීම ඇයට විශේෂිත වූ ක්‍රීඩා ඇඳුමක් යොද‌ා ගත්තාය. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට ඇයට සිදුවිණි. නමුත් ඊට වඩා මුදලක් පෙරළා ඇය හට ලැබුණේ. අනුග්‍රාහකත්ව ගිවිසුම් නිසාය. 2018 දී පමණක් වෙළඳ ප්‍රවර්ධන ගිවිසුම් සහ නිරූපණයෙන් ඇය ඩොලර් මිලියන 135 ක් පමණ ඉපයූ වග සඳහන්ය. ලෝ ප්‍රකට සුපිරි ජුවලරි නිර්මාණ නාමයක් වන ටිෆනි (Tiffany) සමාගම වෙනුවෙන් දියමන්ති කණකර ආභරණ සඳහා පෙනී සිටිමින් ඉපැයූ ඩොලර් කන්දරාව විශාලය. එමෙන්ම ලෝ ප්‍රකට ‘පෝෂේ’ මෝට් රථ නාමයේ සන්නාම තානාපතිනිය ලෙස ඉපැයූ මුදලද අති විශාලය. ලොව ක්‍රීඩිකාවක ලෙස මෙතෙක් වෙළඳ නාමයක ප්‍රවර්ධන සඳහා ගිවිසුම් ගත විශාලතම මුදල වන ඩොලර් මිලියන 70 ක ගිවිසුමට ඇය එළැඹියේ 2010 වසරේදීය. ඊට පෙර වැඩිම ගිවිසුමකට අවස්ථාව ලැබුණේ ඩොලර් මිලියන 43 කට සෙරීනා විලියම්ස් හටය. මෙය සැසඳීමේදී මරියා ෂරපෝවා හට කෙතරම් නම් වටිනාකමක් ඇතිද යන්න වටහා ගත හැකිය. ලෝක ටෙනිස් පිටියේදී ‘සෙරීනා සහ ෂරපෝවා’ විරුද්ධවාදීන් ලෙස බොහෝ දෙනා අතර කතාවක් තිබිණි. එහෙත් එය එසේ නොවෙන වග ෂරපෝවා විටෙක කියා සිටියේ මෙලෙසිනි.  
‘‘අපි දෙන්නා හොද යාළුවො. අපි දෙන්නම විලාසිතාවලට කැමැතියි. බොහෝ වෙලාවට අපි දෙන්නම කැමැති එකම දේට. අපි දෙන්නගේ අදහස් එක වගෙයි.’’  


තවමත් අවිවාහක සුරූපිය  


ෂරපෝවා 2011 දී පෙමින් වෙලී සිටියේ ස්ලොවේනියාවේ වෘත්තීය දැල්පන්දු ශූරයකු වන සාෂා වුජැයිසික් සමගය. ඔහු සමග විවාහ ගිවිස ගෙන සිටි ඇය, 2009 දක්වා ඒ බැඳීම පවත්වාගෙන ගියාය. නමුත් ඔහුගෙන් වෙන් වූ බව ඇය ප්‍රකාශ කළේ 2012 දීය. 2012 සිට 2015 දක්වා ඇය ග්‍රිගොර් දිමිත්‍රොව් සමග සබඳතාවයක් පවත්වාගෙන ගියාය. ඔහු බල්ගේරියානු ටෙනිස් ක්‍රීඩකයෙකි. පසුව 2018 දී බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයකු වන ඇලෙක්සැන්ඩර් ගිල්ක්ස් සමග සබඳතාවයක් පැවතිණි. 2020 දෙසැම්බරයේදී ෂරපෝවා ප්‍රකාශ කළේ ගිල්ක්ස් සමග ඇය විවාහ ගිවිස ගත්බවය.  


ඇමරිකාවට ගොස් සිටි මුල් අවදියේදී ෆ්ලොරිඩාහි බ්‍රැඩෙන්ටන්හි නිවසක විසූ ඇය පසුව නිව්යෝර්ක් මෑන්හැට්න් බීච් හි නිවසක් තෝරා ගත්තාය. ලෝ ප්‍රකට ෆෝබ්ස් සඟරාව ලොව බලවත් තරු චරිත 100 අතරට ඇයගේ නාමයද ඇතුළත් කර තිබේ. සුරූපී මරියා ෂරපෝවා පුණ්‍යාධාර සඳහා මෙන්ම සමාජ සත්කාර සඳහා ද නිර්ලෝභීව ධනය පරිත්‍යාග කරන්නියකි. ‘මරියා ෂරපෝවා පදනම’ මගින් ඒ සියල්ල සිදුකෙරේ. එද‌ා චර්නෝබ්ල් ඛේදවාචකය නිසා ඇතිවූ ව්‍යසන තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා පවත්වාගෙන යන සත්කාර සඳහා ප්‍රමුඛ ද‌ායකත්වයක් ලබා දුන් චරිතයකි. රුසියාවේදී පමණක් නොව ඇමරිකාවේ ෆ්ලොරිඩාහි ඇතිවූ හරිකේන් සුළි කුණාටුව නිසා වූ සහන ආධාර අරමුදලටද ඇය දායක වූවාය. ටෙනිස් ක්‍රීඩාවෙන් ඉදිරියට යන ළමුන්ගේ සුබසිද්ධිය උදෙසා ද ඇය ධන පරිත්‍යාග කරන්නීය. 

 
ෂරපෝවාගේ සුගර්පෝවා සමාගම  


මරියා ෂරපෝවා තමාගේ ව්‍යාපාරය වන සුගර්පෝවා ඇරඹියේ 2012 වසරේදී ඩොලර් ලක්ෂ පහක පිරිවැයක් යොදා ගනිමිනි. විවිධ රසයෙන් යුතු ජුජුබ්ස් වර්ග, ටොෆි, චොකලට් ආදී දේ සුගර්පෝවා වෙතින් නිෂ්පාදනය කෙරේ. පැණි රස වුවද, සෞඛ්‍යසම්පන්න ආහාරමය ලෙස ඒවා උසස් ගුණයෙන් සහ ප්‍රමිතියෙන් යුතුව නිපදවීම ඇයගේ අරමුණ වේ. මරියාගේ මෙම රස ආහාර ලෝකයේ ඉතා අනර්ඝ නිෂ්පාදනයන් ලෙස සඳහන් වේ. ස්වභාවික දේ ඒවා නිපදවීමට අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනීම ඊට හේතුවය.  


‘පැණි රස කෑම ජාති මොකටද අපට? මගේ මෙතෙක් ගෙවූ ජීවිතයේදී ක්‍රීඩාව සමග මිහිරි යමක් ඇති වග මා තේරුම් ගත්තා. මට ඒ අදහස අති වුණේ ළමා වියේදීමයි. එදා මම ආච්චි සමග මුළුතැන්ගෙයි සිටින විට ඇය සාදා දුන් කේක් සහ ජෑම් වර්ග මම රස වින්දා. ඇයගේ ඒ රස වට්ටෝරු මට ඉදිරියට ගෙන යන්න අවකාශය සැලැස්වූවා. ඒ නිසා වෙන්නැති මම මේ පැණිරස කෑම නිෂ්පාදන ව්‍යාපාරයට එන්න ඇත්තේ. එහිදී මධ්‍යස්ථභාවයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. මගේ ක්‍රමය එයයි. ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වන්නේ ක්‍රියාශීලි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්. ප්‍රනීත ආහාර වලිනුත් අපට එය කළ හැකියි. සුගර්පෝවා ගැන මරියා එසේ කියයි. සුගර්පෝවා රස නිෂ්පාදන අතරට ‘ටෙනිස්’ බෝලයේ හැඩයෙන් යුතු රස ආහාර නිෂ්පාදනයක් ද ඇතුළත්ය. එය නම් කර ඇත්තේ ටෙනිස් FAN යනුවෙනි.  


මරියා ෂරපෝවාගේ කතාවෙන් ඔබට ගත හැකි හොඳම දේ වන්නේ ඇයගේ අම්මා තාත්තා ඇය වෙනුවෙන් කළ කැපවීම්ය. දරුවකුගේ හැකියාව හඳුනාගෙන ඊට ඉඩදී ඒ දරුවා මෙහෙයවන්නේ නම් ෂරපෝවා මෙන් ලෝක ප්‍රකට චරිත ආදරණීය මව්පියන් වන ඔබට ද බිහිකළ හැකිය.

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ
[email protected]