වරාය නගරයේ වැඩ කෙරෙන්නේ මෙහෙමයි


 

 

කොළඹ වරාය නගර වි​ශේෂ ආර්ථික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම පනත් කෙටුම්පතට අත්සන් තැබීමත් සමග එම පනත දැන් නීත්‍යානුකූලය. කොමිසන් සභාවේ සාමාජිකයන් ද ඉකුත් දා ජනාධිපතිවරයා විසින් පත් කරන ලදි.  
වරාය නගරය ශ්‍රී ලංකාවාසීන්ට අලුත්ම අත්දැකීමකි. මීට පෙරත් විවිධ වෙළෙඳ කලාප රට තුළ පිහිටුවා ඇතත්, කොළඹ වරාය නගරය, ඒ සියලු කලාපවලට වඩා වෙනස් වීම විශේෂත්වයයි. රටේම අවධානය වරාය නගරයට යොමු වී සිටින මේ අවස්ථාවේ එහි ඉදිරි කටයුතු සිදුවන ආකාරය පිළිබඳව මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කරමු. 


කොමිසම පත් කිරීමෙන් පසු අධ්‍යක්ෂ ජනරාල්වරයා හා කාර්ය මණ්ඩලය පත් කර ගැනීම සිදු වෙයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රධාන විධායක නිලධාරියා වෙයි. මෙම පිරිස සඳහා කාර්යාලයක් පිහිටුවීම සිදු වෙයි. ඉන්පසු වරාය නගරයට අදාළ රෙගුලාසි සකස් කිරීම සිදු වෙයි. ආයෝජකයන්ට බලපත්‍ර ලබා දීම ඇතුළු සියලු කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රෙගුලාසි සකස් කළ යුතු වේ. දෙස් විදෙස් ආයෝජකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා වන රෙගුලාසි කාලය තුළ සැකසෙනු ඇතැයි සඳහන් වේ. ආයෝජකයන්ට ගැටලුවකින් තොරව ආයෝජනය කිරීමේ අවස්ථාව කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත යටතේ අවස්ථාව සැලසී ඇත. 


දකුණු ආසියානු කලාපය තුළ ක්‍රියාත්මක වන මෙම පනත මගින් ඉතාමත්ම හොඳ වපසරියක් සලසාදීමට නියමිතය. ජාත්‍යන්තර ආයෝජකයන්ගේ අවධානය දිනා ගැනීමට හේතු වී ඇත. ශ්‍රී ලංකාවට ඇති ලොකුම අභියෝගය ඉන්දියාවයි. ඉන්දියාව තුළ මෙවැනි ආර්ථික කලාප 300 ක් පමණ පවත්වාගෙන යයි. නමුත් ඒවා ජාත්‍යන්තර මට්ටමට යා නොහැකි හිරවීමක් තුළ පවතී. ඉන්දියාවේ මධ්‍යම රජයේ නීති රෙගුලාසි අපේ වරාය නගරය සඳහා ලැබී ඇති නීති රීති විධිමත් නොවේ. 


එවැනි තත්ත්වයක් යටතේ ආයෝජනය කිරීමට ප්‍රසාදයක් ඇති නොවීම සාමාන්‍ය කරුණකි. එහෙත් කොළඹ වරාය නගරය වැඩ පිළිවෙළ යටතේ ඉතා ඵලදායී පනතක් සම්මත කර ගෙන ඇත. රටේ ස්වෛරී බවට මේ ක්‍රියාදාමයෙන් හානියක් නොවන බව රජයේ ස්ථාවරය වී ඇත. මේ කලාපය තුළ නිදහස්ව ව්‍යාපාර පිහිටුවීමේ වටපිටාවක් සැකසී ඇත. ආයෝජකයන් සමග ඉදිරි වසර 6 තුළ දී පළමු ඉඩම් කැබැලි කීපය විකිණීමට හැකි වෙතැයි බලාපොරොත්තු වේ. 


මුල් අදියරේ සංවර්ධනයත් ඉඩමක් මිලදී ගෙන ගොඩනැගිලි ඉදි කර ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරනු ඇත. මෙතෙක් එවැන්නක් සිදු වූයේ නැත. උදාහරණයක් වශයෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුළුණු ද්වය ඉදිරිපත් කළ හැකිය. එහි ජාත්‍යන්තර සමාගම් ගණනාවක කාර්යාල පිහිටුවා ඇත. ජාත්‍යන්තර සන්නාම ඇත. එම ආයතනය ලෝක වෙළෙඳපොළේ යම් ප්‍රමාණයක් කුලියට ගෙන කර්යාල පවත්වාගෙන යනු ලබයි. එහෙත් වරාය නගරයේ ඉඩම යටිතල පහසුකම් සහිත 99 අවුරුදු බද්දට ලබා ගෙන ගොඩනැගිලි ඉදි කරගත යුතු වේ. දීර්ඝ කාලීනව බද්දට ලබා ගැනීම නිසා ඔවුන්ට පාඩුවක් සිදු වන්නේ නැත. 


මහා පරිමාණ කර්මාන්තකරුවන්ට ඩුබායි, සිංගප්පූරුව, බංගලිදේශය වැනි රටවල පවත්වා ගෙන යන කාර්යාල මෙම වරාය නගරයේ වුවත් පිහිටුවා ගත හැකිය. ගොඩනැගිලි ඉදි කිරීම උපරිම මීටර් 350 ක් උසට සිදු කළ හැකි වේ. සාමාන්‍යයෙන් නෙළුම් කුළුණේ උස ප්‍රමාණයටය. ඊට වැඩි උසකට ගොඩනැගිලි ඉදි කළ හැකි වුවත් එය ආයෝජකයා තීරණය කළ යුතු වේ. වැලිපුරවා වරාය නගරය පිහිටවනු ලැබූවත් ගොඩනැගිලි වල උස එයට බලපෑමක් නැති බව සඳහන් වේ. වරාය නගරය වටා ඇති උස ගොඩනැගිලි ගැන ද අවධානය දක්වා, අශෝභන තත්ත්වයක් ඇති නොවීම සඳහා වරාය නගරයේ ගොඩනැගිලි ඉදි කිරීමේ උස මීටර් 350 කට ප්‍රමාණවත් බවට සීමාවක් ප්‍රකාශ වී ඇත. 


වරාය නගරයෙන් පිටත පිහිටි ගොඩනැගිලි හා වරාය නගරයේ ගොඩනැගිලි පරස්පර බවක් නොවිය යුතු බවට සැලසුම් ශිල්පීන් මත ප්‍රකාශ කර ඇත. පසුගිය වසර කීපය තුළ මෙරට අලුත් ව්‍යාපාරිකයන් නොපැමිණීම නිසා වරාය නගරයට ඉදිරියේදී හැකිතාක් දුරට ඉහළ ව්‍යාපාරිකයන්ට මෙරටට පැමිණ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා විශාල වශයෙන් පහසුකම් සලසා ඇත. 

 


මීට අමතරව ඉදිරියේදී ආර්ථිකයට වක්‍ර ආදායම් ලබා ගැනීමට ද සැළසුම් කරනු ලබයි. රැකියා පහසුකම් සැලසීමද වරාය නගරයෙන් ඉදිරියේදී සැලසෙනු ඇත. 


මූල්‍ය හා සේවා කර්මාන්ත සඳහා පමණක් මෙහිදී අවස්ථාව සැලසේ. කර්මාන්තශාලා ඉදි නොවනු ඇත. නැව් ගමනා ගමන රක්ෂණ සමාගම් ඇතුළු රක්ෂණ සමාගම් තාක්ෂණික අංශයේ හා වෙනත් මූල්‍ය සේවා ආයතන ඉදි කරනු ඇත. 


ඉදිරියේදී තවත් විශේෂිත මූල්‍ය ව්‍යාපාරයක් වාණිජ නගරය තුළ බිහි වනු ඇතැයි විශ්වාස කෙරේ. ලෝකයේ ධනවත් ව්‍යාපාරිකයන්ගේ මුදල් පරිපාලනය යම් යම් ආයතන මගින් කිරීම සිදු වේ. අපේ රටේ මුදල් තිබෙන අය එම මුදල් බැංකුවේ තැන්පත් කිරීම, ඉඩම් ගෙවල් දොර වල් මිලදී ගැනීම, රත්තරං මිලදී ගැනීම සිදු කරනු ලබයි. නමුත් ලෝකයේ ඉහළ ව්‍යාපාරිකයන් මුදල් ඉපයීම සිදු කිරීමට යම් යම් ආයතන වලට පැවරීම් සිදු වේ. සේවා හා මූල්‍ය නගරයක් බිහි කිරීමේදී එවැනි ආයතන වලට මෙහිදී අවස්ථාව සැලසෙයි. මේ ව්‍යාපාරය අපේ රටට අලුත් අත්දැකීමක් වනු ඇත. අලුත් ව්‍යාපාර වරාය නගරයට ආකර්ෂණය කර ගැනීම සඳහා ඉදිරියේදී පියවර ගනු ලබයි. ඉදිරි වසර 10, 15 තුළ ඒ තත්ත්වය ඇති කර ගැනීමට අපේක්ෂිතය. 


සැහැල්ලු යාත්‍රා ව්‍යාපාරය ද ලංකාව මීට පෙර අත ගසා නැති ව්‍යාපාරයකි. නැංගුරම් පහසුකම්, ගොඩ බෑමේ පිටත්වීමේ අලුත් වැඩියා ආදී සියලු කටයුතු මෙහිදී සිදු කරනු ලබන බැවින් විදේශ ධනවත් ව්‍යාපාරිකයන් අතර මෙම සැහැල්ලු යාත්‍රා ව්‍යාපෘතිය වඩාත් ජනප්‍රිය කිරීමට බලාපොරොත්තු වේ. 


කොළඹ වරාය නගරයේ ගොඩනැගිලි ඉදි කිරීමේ පළමු පියවර ලබන ජුනි මාසයේ ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 


ඉදිකරනු ලබන ගොඩනැගිලිවල ඉදිරි වසර තුන හෝ 4 තුළ දී අතිරේක ව්‍යාපාරික කටයුතු ආරම්භ කෙරෙනු ඇත. උදාහරණ වශයෙන් රෙස්ටොරන්ට්, කොණ්ඩා කැපිම, රූපලාවන්‍ය වැනි දේවල්ය. 


මීට අමතරව රෝහලක් හා පාසලක් සඳහා ද පහසුකම් සලසා ඇත. ඒ සඳහා සුදුසු ආයෝජකයන් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත. උදාහරණයක් වශයෙන් මවුන්ට් එලිසබෙත් රෝහලේ ශාඛාවක් වරාය නරගයේ පිහිටුවා ගැනීමට උත්සාහ දැරීම සිදුවිය හැකිය. වරාය නගරයේ වෙසෙන ව්‍යාපාරිකයන්ට මෙන්ම දේශීය, විදේශීය වශයෙන් වෙසෙන අයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පහසු ස්ථානයක් මෙහි පිහිටුවනු ලබයි. 


පාසලක් ආරම්භ කිරීම සඳහා ද පහසුකම් සලසා ඇත. මෙරටට පැමිණෙන ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට ජාත්‍යන්තර පාසලක් අවශ්‍ය වේ. 


මෙරට දැනට ජාත්‍යන්තර සන්නාම ඇති පාසල් නැත. දැනට ක්‍රියාත්මක වන්නේ දේශීය පාසල්ය. ඩුබායි රටේ සිටින ශ්‍රී ලාංකිකයන් තම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ ජාත්‍යන්තර පාසල් වලය. 
ව්‍යාපාර සඳහා පැමිණෙන විදේශිකයන්ගේ විනෝදාස්වාදය සඳහා අවස්ථා සැලසීම ද ඉදිරි වසර 10, 15 තුළ සිදු කිරීමට සැලසුම් කර ඇත. එහිදී කැසිනෝ සඳහා අවස්ථාව ලබා දීමේ බලය කොමිෂන් සභාවට පැවරී ඇත. 


එහිදී විදේශිකයන්ට විනෝදාස්වාදය සඳහා වරාය නගරයේ පිටත ස්ථාන සොයා ගෙන යනවා වෙනුවට වරාය නගරය තුළම ඒ සඳහා අවස්ථාව සැලසීමට පියවර ගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය හෝටල් පිහිටුවීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව සැලසී ඇත. 


ඉදිරි වසර 10 ත් 20 ත් අතර කාලය තුළ දී සියල්ල සම්පූර්ණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
ශ්‍රී ලාංකිකයන් හෝ විදේශිකයන්ට වරාය නගරය තුළ නිවාස මිලදී ගත හැකිය. මෙහි විශේෂත්වය වන්නේ නිවාස ඉදිකර දීමයි. 


මුල් අදියරේ ආයෝජකයන් සමග ගිවිසුම් ගත වීම ලබන වසර තුළදී ආරම්භ කිරීමට සැලැසුම් කර ඇත. 
රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් 


ලෝකයට සම්බන්ධ වන ඉහළ නගරයක් බිහි කර ආයෝජකයන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. 


රාජ්‍ය ඇමැතිවරයා දක්වන අදහස් මෙසේය. 


අලුතෙන් මේ රටේ භූමියට හෙක්ටයාර් 269 ක් එකතු වී තිබෙනවා. කොළඹ නගරයටම සම්බන්ධව මේ සුවිශේෂී භූමියෙන් රටට ඉතා විශාල ආර්ථික ගැම්මක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ කොටස හරියාකාරව පාවිච්චි නොකළහොත් එහි වටිනාකම රටට ලබා දිය නොහැකි වෙනවා. ආර්ථික වශයෙන් ලෝකයටම ගැළපෙන තරඟකාරී නගරයක් බිහි කිරීම අවශ්‍යයි. මේ රටත් ලෝකයට සම්බන්ධ වන ඉහළ නගරයක් බිහි කර ආයෝජකයන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. 


රටේ දරුවන්ට රැකියා පහසුකම් සැලසෙනවා. එක කවුළුවකින් සියලුම ආයෝජකයන්ට පහසුකම් හා දිරි ගැන්වීම් ලබා දුන්විට අපේ රටට ආයෝජකයන් එනවා. රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි දියුණු වී ජනතාවට මුදල් ගලා යාමට සලස්වනවා. ​ලෝකයේ ඉහළම ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කරනවා. ඉදිරියේදී මේ වගේ ව්‍යාපෘති තවත් ඇති කළ යුතු වෙනවා. ආර්ථික ක්‍රමවේදයට ආයෝජනය ගෙන ඒමේ වගකීම ඉටු කිරීමට දැන් නීති පනවා තියෙනවා. 

 

සටහන
දයාසීලි ලියනගේ