දිවයිනේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එක් කොටසක් නියෝජනය කරන මහවැලි සංවර්ධන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි දකුණු ආසියාවේ ම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලින් එකක් බවට පත්ව ඇත. අඩ සියවසකටත් පෙර යුගයේ ඇරඹි මේ සංවර්ධන ව්‍යාපෘතිය අදටත් අඛණ්ඩව, අවිච්චින්නව ජනජීවිත පෝෂණය කරමින් ගලා යන්නේ මහවැලි මහා ගංගාව ගලා බස්නා ප්‍රතාපවත් විලාසයෙනි.
වර්තමානයේ මහවැලි දෙවැනි හා තෙවැනි පරම්පරාවේ දරු දැරියන් විශාල පිරිසක් මහවැලි ජනාවාස වල ජීවත්වෙති. ඔවුන් විවිධ කුසලතා, දක්ෂතාවන්ගෙන් පිරිපුන්ය. මඩෙන් උපන් සුවඳැති සියපත් බුදුපුදට ගන්නාක් මෙන්, කැලේ පිපුණු මල් කැලේම පරවන්නට නොදීම අපගේ යුතුකමකි. එනිසා මහවැලි දූ දරුවන්ගේ හැකියාවන් උපන්ගෙයිම මිලිනව යාමට ඉඩ නොදී ඔවුන් ජාතික තලයට ඔසවා තබා, හෙට කලාකෙත අස්වද්දන්නට සමත් පිරිසක් සේ ගොඩනැගීම අරමුණු කරගෙන මේ වසරේ සිට “මහවැලි තාරුණ්‍යයේ බළකාය” නම් වූ දැවැන්ත වැඩපිළිවෙලක් මහවැලි කේන්ද්‍රය මගින් සංවිධානය කර තිබේ. විවිධ වූ දක්ෂතා, කුසලතාවන්ගෙන් පිරිපුන් දරු දැරියන්ට මෙම බළකාය හා සම්බන්ධ වීමේ හැකියාව තිබේ. මෙය හුදෙක් තරුණ සංවිධානයක් නොව සම්පත් බළකායක් වශයෙන් ගොඩනැගීම අපගේ අපේක්ෂාවයි.
ඒ අනුව 2021/2022 දෙවසර සඳහා සෑම මහවැලි ඒකකයක්ම නියෝජනය වන පරිදි මහවැලි තාරුණ්‍යයේ බළකාය පිහිටුවීමට කටයුතු කර ඇති අතර, ඒකක මට්ටමෙන් අංශ 8ක් නියෝජනය වන පරිදි සුදුසුකම් සැපිරූ සාමාජිකයන් අදාල ඒකකයේ තාරුණ්‍යයේ බලකායට බඳවා ගෙන තිබේ.
මෙහිදී එක් එක් අංශය යටතේ මූලික හඳුනාගැනීමකින් අනතුරුව වඩා දක්ෂතා දක්වන තරුණ තරුණියන් පිරිසක් තෝරා ගන්නා අතර තෝරාගත් දක්ෂයන් සඳහා එක් එක් අංශය වශයෙන් පුහුණු වැඩමුළු ක්‍රියාත්මක කෙරේ. පුහුණු වැඩමුළුවලින් පසුව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර අනතුරුව කලාප මට්ටමේ තරග සඳහා යොමු කෙරේ.
මෙකී තරගයන්ගෙන් තෝරාගන්නා කුසලතා පූර්ණ කණ්ඩායම මහවැලි තාරුණ්‍යයේ බළකාය යටතේ මහවැලි සංස්කෘතික බළකාය නමින් අභිසෙස් ගන්වනු ඇත.
ඒ අනුව, සංගීත අංශය, නර්ථන අංශය හා රංගන අංශය සඳහා උනන්දුවක් දක්වන හා ඒ සඳහා සහජ දක්‍ෂතාවයක් ඇති දරු දැරියන්ට නිසි මග පෙන්වීම අරමුණු කරගෙන, පිළිවෙලින් “මහවැලි සර” “මහවැලි රඟ කරළිය” හා “මහවැලි නූපා” නමින් වැඩසටහන් ත්‍රිත්වයක් සංවිධානය කර ඇත. එමෙන්ම කථික හා නිවේදන අංශයට අදාළ දැනුම හා පුහුණුවක් ලබාදීම අරමුණු කරගෙන අප විසින් වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක කරන නිවේදන පුහුණු පාඨමාලාව තවදුරටත් ප්‍රවර්ධනය කර “මහවැලි සැල නද” හා “මහවැලි SPEECH MASTER” යනුවෙන් විශේෂිත වැඩසටහන් දෙකක් සංවිධානය කර ඇත.
සාහිත්‍යකරණයට උනන්දුවක් දක්වන තරුණ තරුණියන් වෙනුවෙන් “මහවැලි පන්හිඳ” යනුවෙන් වැඩසටහනක් සංවිධානය ව ඇති අතර, නිර්මාණශීලී ලේඛනය, කෙටිකතාකරණය හා කාව්‍ය නිර්මාණකරණය සඳහා දක්ෂතා දක්වන දරු දැරියන්ට මේ සඳහා සහභාගි විය හැකිය. මෙම වැඩසටහන යටතේ පවත්වන අන්තර් කලාපීය නිර්මාණාත්මක ලේඛණය, කාව්‍ය නිර්මාණ තරගාවලිය හා කෙටි කතා තරගාවලියේ ජයග්‍රාකයන්ගේ නිර්මාණ මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමටද නියමිතය.
කලාපීය දරු දැරියන්ගේ තාක්ෂණ/ශිල්පීය කුසලතා වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව සැලසීම සඳහා “Mahaweli Creative Minder” වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, ඒ යටතේ ඡායාරූප ශිල්පය, වීඩියෝ කරණය, පරිගණක ත්‍රිමාන සජීවීකරණය හා ග්‍රැෆික් ඩිසයින් ආදී අංශ සඳහා උනන්දුවක් දක්වන්නන්ට අවස්ථාව විවර කර ඇත.
අනාගත ව්‍යවසායකයන් වශයෙන් සිය ජීවිතය ජය ගැනීමට වෙර දරන තරුණ තරුණියන් වෙනුවෙන් සුවිශේෂී ව්‍යවසායකත්ව වැඩසටහනක් සංවිධානය කර ඇත.
එය “මහවැලි Entrepreneur” වශයෙන් ක්‍රියාත්මක වන අතර මෙහිදී එක් ඒකකයක අනාගත ව්‍යවසායකයන් වශයෙන් ලොව දිනන්න අපේක්‍ෂා කරන දෙදෙනකු බැගින් මහවැලි කලාපයන්ගෙන් තරුණ තරුණියන් 452 ක් තෝරාගැනීම හා පුහුණු කිරීමට අපේක්ෂිතයි. තෝරාගන්නා ආධුනික ව්‍යවසායකයන් හට ජාතික මට්ටමේ දැවැන්ත ව්‍යවසායකයන් සම්බන්ධ කර කැපකරු වැඩපිළිවෙලක් නිර්මාණය කරනු ඇත. උනන්දුව හා කැපවීම ඇති ව්‍යවසායකයන් කිහිප දෙනෙකුට ජාතික මට්ටමේ ව්‍යාපාරික අත්දැකීමක් ලබාගැනීම මෙහි අරමුණ වේ.
ඉතිහාසය පුරා විද්‍යාව ආදී අංශ සඳහා උනන්දුවක් දක්වන හා ඒ අංශයෙන් ඉදිරියට යාම අරමුණු කර ගත් දරු දැරියන් වෙනුවෙන් “මහවැලි වාරි ගවේෂක” යනුවෙන් වැඩසටහනක් සංවිධානය කර අති අතර, ඒ යටතේ සිය ප්‍රදේශයේ ඓතිහසික පසුබිම අධ්‍යයනය කිරීමටත් ඉන් ඔබ්බට එම ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියට යෑමට අපේක්‍ෂා කරන දරු දැරියන්ට අවශ්‍ය මග පෙන්වීම හා පහසුකම් සැලසීමට නියමිතය.
සංස්කෘතික බළකාය යටතේ සංවිධානය කිරීමට නියමිත තරගවලට අදාළ මූලික වටයේ තරග අප විසින් පැවැත්වීමට අපේක්‍ෂා කළේ ඒ ඒ කලාප වලදී වුවත් දැනට රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තරග මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එමෙන්ම අදාළ තරග විනිශ්චය කිරීම උදෙසා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, ඒ ඒ විෂයන්හි ශිල්පීය ප්‍රවීණයන් ඇතුළු විද්වත් මණ්ඩලයක දායකත්වය ලබා ගැනීමට කටයුතු කර තිබේ. එලෙස මූලික වටයෙන් දෙවන වටය සඳහා තෝරගන්නා දරු දැරියන් සඳහා අදාළ විෂයන් සම්බන්ධයෙන් විශේෂ උපදේශනාත්මක වැඩසටහන් මාලාවක් ද මාර්ගගත ක්‍රමය ඔස්සේම පැවැත්වීමට නියමිත අතර, එම වැඩසටහනෙන් පසුව හඳුනා ගන්නා විශේෂ කුසලතා සහිත දරු දැරියන්ට ඔවුන්ගේ හැකියාවන් කුසලතාවයන් වඩා වර්ධනය කර ගැනීම උදෙසා ජාතික මට්ටමේ ශිල්පීන්ගේ දායකත්වය මත ඉඩහසර සලසා දීමටද මහවැලි කේන්ද්‍රය සූදානම්ව සිටී.
මහවැලි දරු දැරියන්ගේ අනාගතය යහපත් දිශානතියකට ගෙන යෑම අරමුණු කරගෙන ක්‍රියාත්මක මේ වැඩසටහන් මාලාව සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය භාර කැබිනට් අමාත්‍යවරයා වන චමල් රාජපක්ෂ මහතා, එතුමාගේ පූර්ණ ආශීර්වාදය හා සහයෝගය නිරන්තරයෙන් ලබාදෙයි. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහයෝගය මෙන්ම අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් විසින් අවශ්‍ය මග පෙන්වීම සිදු කරනු ලබයි. එමෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් කීර්ති බී. කොටගම මහතා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට නිරන්තරයෙන් අප වෙත මාර්ගෝපදේශකත්වය සපයයි. !
මේ වැඩසටහන් සියල්ලේ අවසන් අරමුණ වන්නේ සංස්කෘතික අංශයෙන් විශේෂ දක්‍ෂතා කුසලතා ප්‍රකට කරන දරු පිරිසකට සිය දක්‍ෂතා තව තව වැඩිදියුණු කර ගැනීම උදෙසා නිසි මග පෙන්වීම හා ඔවුන්ගේ ඒ හැකියාවන් සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් දොරටු විවර කර දීමයි. එමෙන්ම අද වනවිට රට තුළ පවතින මේ විශේෂිත තත්ත්වය හමුවේ දරු දැරියන්ට වඩා යහදායී අධ්‍යයන මාර්ගයකට යොමු කර සුපසන් හැදෑරීමක් කිරීමට ඉඩසලසා දීමයි. ඒ ඔස්සේ ඔවුන්ගේ මානසික සංවර්ධනය ඇති කර චින්තනමය වශයෙන් හා අකල්පමය වශයෙන් සුපෝෂිත දරු පිරිසක් දැයට දායාද කිරීමයි.
ප්‍රදීප් පරණගම
අධ්‍යක්‍ෂ මහවැලි කේන්ද්‍රය