ශ්‍රී ලංකාව බංග්ලාදේශයත් සමග ඇමෙරිකා ඩොලර් 200ක විදේශ විනිමය හුවමාරුවක් සඳහා වන එකඟතාවකට පිවිසීමේ පුවත පසුගිය දින කිහිපයේ දී සමාජයේ දැඩි කතාබහට ලක්වූ කාරණාවක් විය. මෙතෙක් කාලයක් ලංකාව මෙවැනි විදේශ විනිමය හුවමාරු පහසුකම් නිරත වූයේ දකුණු ආසියාවේ මෙන්ම කලාපයේ බලවතා වූ ඉන්දියාව සමගිනි. ඉන්දියාව සතු ආර්ථික බලසම්පන්නභාවය මත අසල්වැසි රාජ්‍යයකට හෝ තවත් රටක් වෙත මෙවැනි ආකාරයෙන් විදේශ විනිමය හුවමාරු කටයුතු සිදු වූයේය.
බංග්ලාදේශය සමග මෙලෙස විදේශ විනිමය හුවමාරු පහසුකම් සිදු කරනු ලැබුවේ ලංකාවේ පවතින ඇමෙරිකා ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීමේ අරමුණින් බව රජයේ පාර්ශවය කියා සිටියේය.
සියවස් ගණනාවක් තිස්සේ ස්වාභාවික ආපදා, දරිද්‍රතාව හමුවේ මෙරටටත් වඩා පහළ සමාජ, ආර්ථික වටපිටාවක් පවතින බවට විශ්වාස කරන බංග්ලාදේශයට මෙරටට ඩොලර් ලබා දීමේ ආර්ථික දියුණුවක් ලැබූ හැටි සොයා බැලීම වටින්නේය.
බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් ‘බංග්ලාදේශය‘ හෙවත් ‘බෙංගාල රාජ්‍යය’ යන අර්ථය ලබාදෙයි.
වත්මන් බංග්ලාදේශ දේශසීමාට ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇති වූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වාභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද සුලභ දසුනක් විය. 1991 දී ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්‍රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී, අනාගාමික (secular) ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි.
මිලියන 165 ක ජනගහනයක් සිටින බංග්ලාදේශය වර්තමානයේ ශ්‍රී ලංකාවට වඩා ආර්ථිකයෙන් ශක්තිමත්ය.2019 වසරේ දී ශ්‍රී ලංකා දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 84.01ක් වන විට බංග්ලාදේශයේ දළ ජාතික නිෂ්පාදිතය වූයේ ඇමෙරිකා ඩොලර් බිලියන 302.6 කි. 2000 වසරේදී ඒරට දළ ජාතික නිෂ්පාදිතය වූයේ ඇමෙරිකා ඩොලර් බිලියන 53.37 කි. 2000 වසරේ දී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයේ විටනාකම් ඇමෙරිකා ඩොලර් බිලයන 16.33කි. ඒඅනුව ගෙවුණු දශක දෙකකට ආසන්න කාලය සලකා බැලීමේ දී බංග්ලාදේශයේ වර්ධනය ආශ්චර්යමත් වර්ධනයක් බව පෙනේ.
බංග්ලාදේශය මෙලෙස ආර්ථික අතින් දකුණු ආසියා කලාපයේ නැගී සිටින ආර්ථික රාජ්‍යයක් වීමට බලපෑ හේතු කාරණා රැසක්ම තිබේ. ස්වාධීන වෙනම රාජ්‍යයක් ලස පිහිටුවෙන විට බංග්ලාදේශය හැඳින්වූයේ දැඩි දරිද්‍රතාවයෙන් පෙළුණු රාජ්‍යයක් ලෙසිනි. මෙම තත්ත්වය දශක ගණනාවක් පුරා පැවතුණ ද 2005 වසරේ දී එරට රජය හඳුන්වා දුන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් එම තත්ත්වය වෙනස් විණි.
වර්තමානයේ බංග්ලාදේශය පුරා පිහිටි ඇඟළුම් නිෂ්පාදන කර්මාන්තය ලංකාව අභිබවමින් ඉදිරියට ගොස් ඇත. මෙරට මෙන්ම බංග්ලාදේශයේ ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත ඇරඹියේ හැත්තෑව දශකයේදීය. පුරා දශක පහක් දිනෙන් දින දියුණු කර ගත් එරට ඇඟළුම් නිෂ්පාදන කර්මාන්තය වර්තමානයේ ඇමෙරිකා ඩොලර් බිලියන 30 ව්‍යාපාරයකි. බංග්ලාදේශයේ ප්‍රධානම අපනයන ආදායම රටට ලැබෙන්නේ ද ඒ හරහාය.
නමුත් ඇඟළුම් නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් නොනැවතුණු ඔවුන් මේවනවිට තවත් ක්ෂේත්‍ර ගණනාවකින් ඉදිරියට පැමිණි සීටී. විවිධාංගීකරණ සේවා අංශය ද , ක්ෂුද්‍ර මූල්‍ය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය ද ඒ අතර වේ.
බංග්ලාදේශය තුළ සිදුවන මේ ආර්ථික සංවර්ධන පියවර තවදුරටත් ඉදිරියට ගෙනයාමට එරට වත්මන් රජය ලබා දෙන සහයෝගය සුළුපටු නැත. එරට ආර්ථික වර්ධනයේ මූලාරම්භය වූ ග්‍රාමීන් බැංකුව වැනි රාජ්‍ය නොවන සංවිධාන එරට මහ බැංකුව විසින් භාර ගෙන ඇත්තේ එය තවත් වැඩිදියුණු කිරීම වෙනුවෙනි.
රට තුළ නව ව්‍යාපාර අරඹන විදේශීය ආයෝජන වෙත වඩාත් ඉහළ පහසුකම් සපයන දකුණු ආසියා රට වී ඇත්තේ බංග්ලාදේශයයි. මේ හරහා නව රැකියා බිහි වෙමින් දරිද්‍රතාව ද ඉවත්ව ගොස් ඇත. මීට අමතරව ඉදිරි ආයෝජනයන් ලෙස සලකමින් බංග්ලාදේශය අධ්‍යාපනය, සේඛ්‍ය පද්ධතිය ද දිනෙන් දින දියුණු වෙමින් පවතී. ඒ අනුව ඉන්දියාවට පසුව දකුණු ආසියාවේ බලවතා බවට බංග්ලාදේශ පත්වීමේ වැඩි ඉඩකඩක් පවතී.
ඉකුත් 2020 වසරේදී ආසියාවේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්) සිදු කළ පුරෝකථනය අනුව බංග්ලාදේශයේ ආර්ථික වර්ධන වේගය සියයට අටක් වූ අතර එය ඉන්දියාවේ පැවතියේ 7.2කිනි. කොවිඩ් වසංගතයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ලෙස සනිටුහන් වූයේ සියයට 3.5ක් ලෙසිනි. මෙම ආර්ථික දත්ත අනුව වර්තමානයේ ලෝක ආර්ථික විශ්ලේෂකයන් බංග්ලාදේශ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකයත් සමග සැසැදීම සිදු කරනු ලැබීම ගැන අප පුදුම විය යුතු නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය වසරේ දී සඳහන් කර තිබූ ආකාරයට ඉදිරි පස් වසරක කාලය තුළ එරට දළ ජාතික නිෂ්පාදිතය වෙත එක්කරන මුදල් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 171 ක් වේ. එම කාල සීමාවේදීම ඉන්දියාවත් ඩොලර් ට්‍රිලියන 1.4ක් තම ආර්ථිකයට එක් කර ගනු ඇතැයි සඳහන්ය.
කෙසේ වෙතත් ඉන්දියාව වෙත බැලපෑ කොවිඩ් දෙවැනි රැල්ල නිසා එරට ආර්ථිකය අඩපණ වීමෙන් බංග්ලාදේශය ද ඉන්දියාව මට්ටමට පත්වනු ඇතැයි කියැවිණි. 2020දී ඉන්දියාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය වන ඩොලර් 1877 ය 2025 දී ඩොලර් 2729 ක් ෙවන බවත් , එම වසරේදී ඩොලර් 1888 ක් වූ බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 2756 ක් දක්වා ඉහළ යන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත.
අසල්වැසියන් සමඟ සමගිය, සාමූහිකත්වය සහ සහෝදරත්වය යනු නිවෙසකට, ගමකට පමණක් නොව රටකටද පොදු කරුණකි. අසල්වැසියන්ගේ සහයෝගීත්වය නොමැතිව ජීවත්වීම පවුලකට පමණක් නොව රටකටද අපහසු කරුණකි. බංග්ලාදේශය යනු අපේ කිට්ටු මිතුරෙකි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඇත්තේ ඉපැරණි මිතුදමකි. බංග්ලාදේශය බිහිවී තවමත් වැඩි ඈතක් නොමැති අතර එදා සිට අද දක්වා බංග්ලාදේශය යනු ශ්‍රී ලංකාවට නිරතුරු සහාය දක්වන ශ්‍රී ලංකාව සතු ඉතා හොඳ මිතුරෙකි.
බංග්ලාදේශය අතීතයේ ඉන්දියාවේම කොටසකි. එය වෙනම රටක් බවට පත් ෙවන්නේ 1971 වසරේ මාර්තු 26වැනිදාය. එයට පෙර 1947 දී බංග්ලාදේශ භූමිය ඉන්දියාවෙන් වෙන් කරන්නේ නැගෙනහිර පකිස්තානය වශයෙනි.
ඉන්දියාවට නිදහස ලබා දුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නොවනතින ලේ ගංගාවක් නිර්මාණය කරන්නේ ඉන්දියාව දෙකඩ කරමින් පකිස්තානය බිහි කරමිනි. අධිරාජ්‍යවාදීන් බිහිකළ පකිස්තානය අමුතුම රටක් විය. එය කොටස් දෙකකින් සමන්විත වූ අතර එම කොටස් දෙක පිහිටා තිබුණේ එකිනෙකට ප්‍රතිවිරුද්ධව කිලෝමීටර් ගණනාවක් දුරකිනි. එය නැගෙනහිර පකිස්තානය සහ බටහිර පකිස්තානය නම් විය.
මේ කොටස් දෙකකින් යුක්ත වූ පකිස්තානය පාලනය කිරීම එකල බටහිර පකිස්තානයේ සිට පකිස්තානය පාලනය කළ පාලකයන්ට ඉතා අසීරු විය. එකල අද මෙන් දියුණු තාක්ෂණය නොපැවති අතර බටහිර පකිස්තානයේ සිට ගන්නා තීන්දු තීරණය නැඟෙනහිර පකිස්තානයට දැනුම් දීමට ද සැලකිය යුතු වේලාවක් ගත විය. බටහිර පකිස්තානයේ ජනතාවට වඩා නැගෙනහිර පකිස්තානයේ ජනතාව භාෂාව, සංස්කෘතිය යනාදී විවිධ අංශයන්ගෙන් වෙනස්කම් සහිත වූ අතර ඒ වෙනස්කම් සමබර කර ගනිමින් පාලනයක් ගෙන යෑමට භූමියේ වූ දුරස්ථ බව විශාල බාධාවක් විය.
ඒ අනුව නැගෙනහිර පකිස්තානය ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමේ මූලික අවශ්‍යතාව පෙන්නුම් කරන්නට වූයේ එහි ආරම්භක අවධියේ සිටම බව පැවසිය හැකිය. නොබෝ කලකින්ම නැගෙනහිර පකිස්තානය වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස වෙන්විය යුතු බව ප්‍රකාශ කරන්නට වූ අතර එහි අවසානය සටහන් වන්නේ 1971 වසරේදීය.
එහෙත් එම ස්වාධීනත්වය සටහන් වීමට පෙර බටහිර සහ නැඟෙනහිර පකිස්තානය අතර රුධිර ගංගා ගලා ගිය අතර වාර්තා වන්නේ එම නිදහස් සටනේ දී මිනිසුන් මිලියනයක් පමණ මිය ගිය බවය. කෙසේ වුවද නැඟෙනහිර පකිස්තානයට නිදහස දීමට පකිස්තාන බලධාරින්ට සිදුවන අතර ඒ සමඟින් බංග්ලාදේශය බිහිවන්නේය.මේ බංග්ලාදේශ භූමිය බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු සීමාවෙන් අවසන් වන අතර රටේ සෙසු ප්‍රදේශ වටා පැතිර තිබෙන්නේ ඉන්දියාවට අයත් භූමියයි.
එය එසේ වුවද නිදහස ලැබූ තැන් සිට බංග්ලාදේශය අත් කරගෙන ඇති ප්‍රගතිය ඉතා විශාලය. කලින් කලට තට්ටුමාරු දේශපාලනය රටේ බලයට තරග වැදුනද, නිරන්තරයෙන් ඇතිවන සුළි කුණාටු හේතුවෙන් ගංගා සහ බ්‍රහ්මපුත්‍ර නම් වන අති විශාල ගංගා පිටාර ගැලීමෙන් අති විශාල ජීවිත සහ දේපළ හානි සිදුවුවද බංග්ලාදේශය දිනෙන් දිනම පා නගමින් සිටින්නේ දියුණුව වෙතය. එහිදී බංග්ලාදේශය නිරතුරුව අසල්වාසීන් සමඟ හිතවත්ව කටයුතු කළ අතර විශේෂයෙන් ශ්‍රී ලංකාව එරට ඉතාම හොඳ මිතුරකු විය
බංග්ලාදේශයේ අගමැතිනි ෂෙක් හසීනා මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර තෙවැනි වරටත් සිය බලය තහවුරු කරගැනීමට 2018 වසරේ දී සමත් වූවාය. ඇය නියෝජනය කරන අවාමි ලීග් පාලක පක්ෂය පෙර මැතිවරණවලට වඩා වැඩි ආසන ගණනක් මෙවර හිමිකරගත් අතර, පාර්ලිමේන්තු ආසන තුන්සියයෙන් 288ක් ජයග්‍රහණය කර ඇත.
දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද නීති කඩකරමින් සිදු වූ මෙම මැතිවරණය ”විහිළුවක්” බව පැවසූ විරුද්ධ පක්ෂය මැතිවරණය නැවත පවත්වන්නැයි ඉල්ලා සිටියේය. නමුත් විරුද්ධ පක්ෂයට හිමි වූයේ පාර්ලිමේන්තු ආසන හතක් පමණි.
බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ මුළු ආසන ගණන 350ක් වන අතර, එයින් පනහක් කාන්තාවන් වෙනුවෙන් වෙන්කර තිබේ.” මේ ප්‍රතිඵලය විහිළුවක්, සාධාරණ මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවට ක්‍රියාධරයන්, නිරීක්ෂකයන් සහ විපක්ෂය අනතුරු අඟවමින් සිටියදී, පාලක පක්ෂය චෝදනා කර සිටියේ විපක්ෂය විසින් අභූත චෝදනා ඉදිරිපත් කරන බවටය.
එරට ජනගහනය මිලියන 165කි. සංඛ්‍යා ලේඛන වලට අනුව එරට අගනුවර වන ඩකා හී පමණක් සිටින ජනගහනය මිලියන 18 කි. එරට ඒක පුද්ගල ආදායම අතින්ද , මානව සංවර්ධනය , පාසල් අධ්‍යාපනය, සාහිත්‍යය, ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවයෙන්ද ජනගහනය වර්ධනයෙන්ද දියුණුවක් ලබා සිටී. අධි ජනගහනය රටක සංවර්ධනයට බාධාවක් බව කලකට පෙර කියැවුණද , ඒ අධි ජනගහනයම රටේ සංවර්ධනයට යොදා ගත් රටකට හොඳම උදාහරණය වන්නේද බංග්ලාදේශයයි.
විවිධ කර්මාන්ත ශාලා , ව්‍යාපර ,විදෙස්ගත ශ්‍රමිකයන් බංග්ලාදේශයට ආදායම් උපදවා දෙන අංශ වේ. වර්තමානයේ ඩකා අගනුවර ආශ්‍රිතව සුවිසාල මහල් සංකීර්ණ , සුපිරි වෙළෙඳසැල්, අධි වේගී මාර්ග පද්ධති ඉදිෙවන්නේ කලාපයේ බලවතා වූ ඉන්දියාවට ද අභියෝග කරමිනි. අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා එරට සීක් හසීනා අගමැති ප්‍රමුඛ රජය විසින් වෙනම අමාත්‍යංශයක් ද පත් කර තීබීම විශේෂත්වයකි.
සටහන - තිළිණි ද සිල්වා