යළිත් පණ දිය යුතු පැණි හකුරු කර්මාන්තය


  • මැතිනිගේ ආණ්‍ඩු කාලේ පණ ලැබූ හකුරු කර්මාන්තය ජේ.ආර්. ගේ සමයේ වැනසුණා  
  • වසරකට සීනි ටොන් හාරලක්ෂයක් පිටරටින් ගෙන්වනවා  

 

 

‘උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්’ කියා මාගලක වැනූ සීනි කා දැමුවේ අන්දරේය. අන්දරේගේ කාලයේ රටින් සීනි ගෙන ආවාදැයි ඉතිහාසයේ මූලාශ්‍රවල නොමැති මුත් අද කාලයේ අන්දරේලා සීනි කවන්නේ ජනතාව වන අපටය. ඉකුත් දා හදිසියේම බදු අඩුකිරීමෙන් ආණ්‍ඩුවේ ලොකු ලොක්කන් තමන්ට හිතවත් සීනි ආනයන ව්‍යාපාරිකයන්ට මහත් ලාබයක් අත්කර දුන්නේය.  


සීනි ආනයනය රටට මහත් බරකි. මේ වන විට පස්දෙනකුගෙන් යුත් එක් පවුලකට සතියකට සීනි කිලෝ දෙකක්වත් අවශ්‍ය බවට ගණන් බලා ඇත. මේ සීනි ගෙන එන්නේ පිටරටිනි. කිලෝවක සිල්ලර මිල රුපියල් 120-130 අතරවේ. දැනට තාවකාලිකව සීනි ආනයනය අත්හිටුවා අැතත් මාස දෙකකට රටටම ඇති තරම් සීනි තොග වෙළෙඳුන් සතුව ඇත.  


මහ බැංකු වාර්තා සඳහන් කරන්නේ මෙම වසරේ මුල් මාස හතර තුළ පිටරටින් සීනි ගෙන ඒමට අප රට ඩොලර් මිලියන 167 ක් වැය කර ඇති බවය. 

 
ජාතික ධනය පිටරටුන්ට පුදමින් අද රටින් ගෙනෙන සීනි ජාතික ආර්ථිකයම කා දැමුවත් හැත්තෑ ගණන්වල සීනි වෙනුවට තිබුණේ හකුරුය. කොටින්ම කිවහොත් ගෙදරවත්තේ ගහක් මැද හදාගත් පොල්පැණි සහ හකුරුය. මැතිනියගේ ආණ්ඩුව කාලේ අානයන සීමා කර රටේ ප්‍රචලිත කළ හකුරු කර්මාන්තය වඳවී ගියේ ඉන් වසර කීපයකට පසු බලයට පත්වූ ජේ.ආර්. යළිත් රටින් සීනි ගෙනෙන්නට පටන් ගත් නිසාය.  
70-77 ආණ්ඩුව හැඳින්වූයේ ජාතික සමගි පෙරමුණ ලෙසය. මේ ආණ්‍ඩුව ලෝක ප්‍රකට වූයේත් එක්තරා අතකින් ජනතාවට එපා වූයේත්​ ගෙවුම් ශේෂ හිඟය අඩුකිරීම සඳහා පිටරටින් බඩු ගෙන ඒම සීමා කිරීම නිසාය. එම රජය දේශීය කර්මාන්ත ඇති කළේය. කැලණි ටයර්, ඇඹිලිපිටිය හා වාලච්චේන කඩදාසි ඔරුවල වානේ ආදී දේශීය කර්මාන්ත දිරිමත් කළේය. මෙරට වගා කළ හැකි ආහාර පාන පිටරටින් ගෙන ඒම නවත්වා මෙරට වගා කිරීමට ජනතාව දිරිමත් කළේය. එහෙත් බලා පොරොත්තු ලෙස ඒ කටයුතු ඉටු නොවීමෙන් ජනතාවට සිදුවූයේ දුෂ්කරතා විඳින්නටය.  


එහෙත් එමගින් යහපතක් වූ එක් කර්මාන්තයක් වූයේ මෙරට පැණි හා හකුරු නිෂ්පාදනය දියුණු වීමය. සීනි ආනයනය නතර කිරීම නිසා පැණි හා හකුරු සඳහා දැඩි ඉල්ලුමක් ඇති විය. මේ නිසා පොල් ගස් හත අටක් අැති ගෙවත්තක පවා පැණි සහ හකුරු වෙනුවෙන් ගසක් මැද ගැනීමට ජනතාවට සිදුවිය. එකල නිවෙස්වල පැණි උණු කරද්දී කුඩාවුන්ට අත්ල පුරා පැණි කෑමට ලැබිණි.  


ඒ ක්‍රමය දිගටම පවත්වාගෙන ආවේ නම් මෙතරම් අතිවිශාල මුදලක් පිටරටට යවා සීනි ගෙන්වන්නට සිදු නොවනු ඇත.  


කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ නිවාසවලත් විශේෂයෙන්ම දඹදෙණි මිටියාවතේත් එකල ගැමි ගෙවල පැණි හකුරු වෙනුවෙන් ගහක් දෙකක් මැද ගැනීම බහුලව සිදුවිය. 

 
බණ්ඩාරනායක මැතිනියට පින් දෙමින් මල්තලන්නන් එදා පොල් ගස් නැග්ගේ හකුරු සඳහා පමණක් පොල් මල් තලන්නට නොවේ. මුට්ටියක් දෙකක් තෙලිජ්ජවලට ද හරවා ගන්නටය.  


දඹදෙණි මිටියාවත ආශ්‍රිතව පොල්ගස් මැද්ද ජනකොටස හැඳින්වෙන්නේ දේවවංශිකයන් ලෙසය. දෙවුන්දර වැනි ප්‍රදේශයක දේවවංශිකයන් විශාල වශයෙන් ජීවත් වුවත් දඹදෙණි මිටියාවතේ ගමක දේවවංශිකයන් සිටින්නේ පවුලක් හෝ දෙකකි. දඹදෙණියේ රජකම් කරමින් රටේම මහරජු වූ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ අගමැතිවරයා වූයේ දේවවංශිකයකු වූ දේවප්‍රතිරාජ සෙනෙවිතුමාය. එකල මාහාමාත්‍ය පදවි පවා දරන්නට හැකි වූ දේවවංශිකයන් සමාජයේ අඩු යැයි සම්මත කුලයක් බවට පත්වූයේ උඩරට රජකාලයේය. දඹදෙණි මිටියාවතේ දේවවංශිකයෝ තමන්ගේ වංශවත් යුගයේ සාඩම්බර ප්‍රභූවරයකු ලෙස දේවප්‍රතිරාජ සෙනෙවිතුමා සලකති. මෙදා පොල්ගස් මැද්දද ඔවුන් ළඟ ඒ අභිමානය අදටත් පවතී. 


දඹදෙණි මිටියාවත යනු දෙවැනි පරාක්‍රම බාහුගේ සටන්වලට සේනා සැපයූ ගොඳුරු ගමය. වසර හැටකට ආසන්න අගනුවර වූයේ ද දඹදෙණියය. දඹදෙණියේ පසට යට වූ නටබුන් මැදින් නුතන සමාජ පෙරළියක් මතු කරමින් දිව යන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයයි.  


අනුරාධපුර, පොළොන්නරු රාජධානිවලින් පසු මෙරට අගනුවර වූයේ දඹදෙණියය. විදේශිකයන්ට ලක්දිව යටත් වූ පසු විශේෂයෙන් බ්‍රිතාන්‍යයන් උඩරට සමග ගනුදෙනු කළ එක් කඩවතක් වූයේ දඹදෙණියය. දෙපසේ තානාපතිවරුන් හමුවූයේ දඹදෙණියේදීය.   


කොළොම්තොට සිට මහනුවර දක්වා වැටී තිබු කරත්ත පාර ගමන් කළේ දඹදෙණිය හරහාය. කොළඹ සිට උඩරටට ගිය ලක්දිව පළමු පාර ද එයයි. ඉංග්‍රීසි ආණ්‍ඩුකාරයාගේ මන්දිරයක් දඹදෙණියේ තිබූ අතර ඔහු උඩරටට එරෙහි බොහෝ සටන් මෙහෙය වූයේ සහ සාම ගිවිසුම්වලට එළැඹියේ දඹදෙණියේ තිබූ ආණ්‍ඩුකාර බංගලාවේ සිටය. දඹදෙණිය උඩරටත් පහතරටටත් හමුදා මුහුණට මුහුණ අවි ගැටූ මහා සංග්‍රාම භූමියකි. අද ආණ්ඩුකාර බංගලාව තිබු තැනක් සොයා ගන්නට පවා අසීරුය. 


එම දඹදෙණි මිටියාවත අධිරාජ්‍යවාදී යුගයේ පොල්වතු යායක් බවට පත්විය. එකී කාලයේ දඹදෙණිය බ්‍රිතාන්‍ය ජාතිකයන් හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ගේ වතුයායවලින් පිරී තිබුණි. ඔවුන්ගේ විවිධාකාර ගැහැටට ලක්වන්නට දඹදෙණි මිටියාවතේ පදිංචිකාරයන්ට සිදුවිය. ඒවා අදත් ඉතිහාසයෙන් වසන් වී ඇති සිදුවීම්ය.  
එකල ගමක සිටියේ දේවවංශික පවුලක් හෝ දෙකකි. ඔවුන්ගේ රාජකාරිය පොල්ගස් මැදීම ආදියට සීමා වී තිබිණි. සෑම ගෙදරකම පාහේ මදින්නට ගසක් දෙකක් වෙන්කර තිබිණි. ගස් මදින්නා පොල්ගසට නගින්නේ පොල් ලෙලි කඳට තබා බැඳීමෙනි. දේවවංශික නිවෙස්වල නිතරම තාච්චියක පැණි උණු කෙරුණේය. ඒ කටයුතු වැඩිපුර කෙරුණේ කාන්තාවන් අතින්ය. 

 
උදේ පටන් රෑ වනතුරු තාච්චිය හැඳිගාන එක කාන්තාවන්ගේ රාජකාරියය. තාච්චියේ උණුවෙන තෙලිජ්ජ ටික ටික උකුවී ගල්වී ලෑල්ලට බානතුරු රැක ගෙන නොසිටියොත් හදන හකුරේ පදම වෙනස්වෙයි. ඒ නිසා අහස කඩා වැටුණත් තාච්චිය බලාගැනීමට කාන්තාවෝ පුරුදුව සිටියහ.  


පොල් මලෙන් වෑහෙන තෙලිදිය උණුකර පැණි සහ හකුරු නිපදවා ඒවා ගංගොඩේ මිනිසුන්ට විකිණීමෙන් ඔවුහු ආදායම් ලැබූහ. දඹදෙණි පොළට ගෙන ගොස් ලැබෙන මුදලින් හුණු, දුම්කොළ, දියලුණු, මිරිස්, තුනපහ ආදිය මිලට ගත්හ.  


වැඩිහිටියෝද ගැටව්ද උදේ රැයෙන්ම නැගිට තම තමන්ගේ රාජකාරියට යති. වැඩිහිටියන් ගස් නගිද්දී ගසෙන් බාන මුට්ටි පරෙස්සමට අතට ගෙන කලයට පුරවති. වැඩිහිටියන් ගසට නගින්නේ ගසට වැඳීමෙනි. තමන්ගේ කුසගින්න නිවෙන්නේ පොල්ගස් නිසාය. පොල් ගස කප්රුකක් වන්නේ සැබැවින්ම තමන්ටය. ගස නැතිනම් බඩට හුළංය. මේ නිසා නගින සෑම ගසකටම වැඳීම ගස් නගින්නන්ගේ සිරිතය.  


1977 දී ජේ.ආර්ගේ ආණ්‍ඩුව පැමිණීමත් විවෘත ආර්ථිකය යටතේ 1978 දි පිටරටින් සීනි ගෙන ඒමත් සමග මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම නතර විය. හකුරට වඩා ලාබයට සිනි මිලදී ගත හැකිය. මේ කර්මාන්තය නතර වූ පසු ගස්මැදීම අභාවයට ගියේය. ගස් මදින්නා ඉඩකඩම් උදලු ගෑම වැනි කුලීවැඩට ගියේය. හකුරු කර්මාන්තය දිගටම පවත්වාගෙන සැමට හැකිවී නම් සිනි සඳහා මෙතරම් මුදලක් පිටරටට නොයැවෙනු ඇත.  


එදා සිට අද දක්වාම අපි වසරකට නැව් ගණන් සීනි ගිල දමමු. ඒ ගිල දමන්නේ දුප්පත් ජනතාවගෙන් අමාරුවෙන් බදු ගසා සූරා ගන්නා රුපියල දෙක එකතුකර ඩොලර් ලෙස පිටරටට යවන අතිවිශාල මුදල බව කාටත් තේරෙන්නේ නැත. අපට කියන්නට ඇත්තේ අම්පාරේ කන්තලේ උක් දඬුයායට පොහොර දමා රට තුළ සීනි හදා ගන්නා ගමන්ම නිවෙස්වල පාවිච්චියට පොල් ගහක් දෙකක් මැද ගන්නට ජනතාවට අවසර ලබා දිය යුතු බවය. ජනතාවට තේරෙන මේ ටික භාණ්ඩාගාරයට අරක්ගත් පිංගුත්තරයන්ටත් තේරුම් ගියදාට සීනි ගෙන්න රට පටවන සල්ලි කන්ද රටට ඉතිරි කරගත හැකි බව අපි මෙහි ලියා තබමු.  

 

 

 

ප්‍රේමකීර්ති රණතුංග