මිණිපිරිය පාසලට ඇතුළත් කරන්න පෝලිමේ ආ අධ්‍යාපන ඇමැතිතුමා


එදා කාලේ එහෙම වුණත් අද කාලේ එහෙම වෙන්නෙ නෑ

කන්නන්ගර ඇමැතිතුමා, මැතිනිය, දුව, පුතා, බෑණා සමග

 

පානදුරේ ජෙරමියෙස් දියෙස් - සෙලෙස්තිනා රුද්‍රිගු මැතිනියගේ දූවරුන් කිහිපදෙනකුම අධ්‍යාපනය ලැබුවේ පානදුර ග්‍රාමය අසල මිෂනාරි බාලිකා විද්‍යාලයකය. වරින්වර එහි ආ ගිය එතුමියට දැකගන්නට දැනගන්නට ලැබුණේ එහිදී අපේ සිංහල බෞද්ධ බාලිකාවනට සිංහලකම පිළිබඳවවත් බෞද්ධකම පිළිබඳවවත් අධ්‍යාපනයක් නොලැබෙන බවය. ඒ ගැන එතුමිය බලවත් හිත් වේදනාවකින් කාලය ගත කළාය. ඉන්පසු දිනක එතුමිය හමුවීමට පැමිණි ඩී.බී. ජයතිලක මැතිතුමාටත්. එෆ්.ආර්. සේනානායක මැතිතුමාටත් ප්‍රථමයෙන් ම එතුමිය මේ ගැන කියා සිටියාය. එයින් හෙළි වූයේ සිංහල බෞද්ධ විද්‍යාලයක් ඇති කිරීමට එතුමියගේ තිබෙන බලවත් කැමැත්ත ය. පසුව දිනක පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ භාණ්ඩාගාරික දොස්තර ආතර් ද සිල්වා මැතිතුමා, ඩී.එස්. සේනානායක මැතිතුමා හමු වූ අවස්ථාවකදී ද මැතිනිය ඒ අදහස ඔවුනටද හෙළි කළාය. මේ සතර දෙනාම එකහෙළා එතුමියගේ එම අදහස ක්‍රියාවෙහි යොදවන්නට තමන්ගේ මුළු ශක්තියම යොදවන බව කියා සිටියහ. මේ වනවිට එතුමියගේ පුත්‍රයකු වන ආතර් වී. දියෙස් මහතා ද තම මාතාවගේ එම උදාර අදහසට මුළුමනින් ම එකඟ ව සිටියේය. 

 
මෙම කරුණු ක්‍රියාවෙහි යෙදීමේ එක් මූලික අරමුණක් ලෙස වර්ෂ 1917 මුල භාගයේදී කොළඹ මහ නගර සභාව අසල තට්ටු දෙකේ බංගලාවක් කුලියට ගත් ජෙරමියෙස් දියෙස් මැතිනියගේ භාරකාර මණ්ඩලය මදුරාසියෙන් ගෙන්වා ගන්නා ලද උපාධිධාරී විදුහල්පතිනියක යටතේ ඉංග්‍රීසි බෞද්ධ බාලිකා විද්‍යාලය ආරම්භ කළහ. මෙම විදුහල ප්‍රදේශයේ බෞද්ධ බාලිකාවන් අතර අතිශයින්ම ජනප්‍රසාදයට පත්වෙමින්ද උදාර මාතාවගේ ප්‍රාර්ථනා අනුව හැකි තාක් නැණ නුවණ වඩවා ගැනීමෙන් ද ඉහළ තත්ත්වයකට පත්වෙමින් පැවතියේය.   


එයින් දශකයකට පමණ පසුව, වඩාත් ඉඩකඩ සහිත ව වැඩි බෞද්ධ බාලිකාවන් පිරිසකගේ උසස් අධ්‍යාපනය උදෙසා මෙහෙයවීමේ අරමුණ ඇතිව බම්බලපිටිය ප්‍රදේශයෙන් මිල දී ගන්නා ලද අක්කර 3 1/2 ක ඉඩමක වෝකර් සමාගම ලවා නිසි ලෙස ගොඩනැගිලි ඉදිකරවා ගැනීමට ද මෙම බෞද්ධ බාලිකා විද්‍යාලීය භාරකාර මණ්ඩලය සමත් විය. එය ජෙරමියෙස් දියෙස් මැතිනියගේ ද හිසේ මල් පිපුණා ද වැනි වූ අවස්ථාවක් විය. එහෙයින් එකල සිටි ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරතුමා සහ එම ආර්යාව වෙත මෙම විද්‍යාලය විවෘත කිරීමට ආරාධනා කරන ලද්දේ ය. ප්‍රධාන පීත්ත පටිය කපා විදුහල විවෘත කළ ආණ්ඩුකාරතුමා ඇතුළු පිරිස එහි ඇතුළු වූවායින් පසුව තිබුණේ රන්වන් පාට රෙද්දකින් ආවරණය කරන ලද පිත්තල තහඩුවකි. ආණ්ඩුකාර ආර්යාව එහි වූ නාම පුවරුව විවෘත කළාය. එහි දක්නට ලැබුණේ සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් විශාඛා බාලිකා විද්‍යාලය යන නාමය ය. එය ප්‍රථම වරට මෙම විදුහල විශාඛා නමින් නම් කළ අවස්ථාවද විය. එසේ වූයේ කලින් රේන්ද නෝනා යන නමින් හැඳින්වෙමින් සිටි ජෙරමියෙස් දියෙස් මැතිනිය පානදුරේ විශාඛාව ලෙස මෙකල හැඳින්වෙන්නට ගෙන තිබුණු නිසාය. ඉන් පසුව මෙම බම්බලපිටියේ විශාඛා විද්‍යාලයෙන් විවිධ විෂයයන් කීපයක් යටතේ ම දක්ෂතා දැක්වූ බාලිකාවන් පිරිසක් රටට බිහි වුණි.   


තම දුවණියන්ට වඩා උසස් අධ්‍යාපනයක් මෙසේ වූ විශාඛා බාලිකා විද්‍යාලයෙන් රට පුරා සිංහල බෞද්ධ බාලිකාවන්ට ලබා දෙන්නට කටයුතු සැලසූ එතුමිය තම විශාඛා බාලිකාවන් විවිධ විෂයයන් යටතේ උසස් අධ්‍යාපනය ලබා මෙරට දී පමණක් ද නොව විදේශයන්හිදී ද දස්කම් දක්වන බව අසන්නට දකින්නට ලැබීමෙන් සිත නෙත පුරා තෘප්තිමත්භාවයකට පත්ව වාසය කළාය. මේ අතර 1933 එක් දිනක එතුමිය සුළු රෝගාබාධයකට ලක් වෙමින් ලෙඩ ඇඳේ සිටින බව අසන්නට ලැබුණ විට දී අසල වජිරාරාමයේ නාරද නාහිමියෝ එහි පැමිණ කෙටි ධර්ම දේශනාවක යෙදුනහ. එයින් එතුමියගේ සේවය ද අගය කිරීමට ලක් වූ බව පෙනිණ.   


“මගේ විශාඛා බාලිකාවන්ගේ දියුණුව බලා ගන්නට ඕනෑ” යැයි එතුමිය නාරද හිමියන් හමුවේ කියා සිටියාය. ඒ වගකීම අපි සියල්ලන් ම ඉහළින් ඉටුකරනවා යයි නාරද හිමියෝ ප්‍රතිඥාවක් විලසින් කියා සිටියහ. ඒ අදහස සිතින් මෙන්ම නෙතින් ද සිය හදවතට නංවාලත් මැතිනිය “සාදු සාදු” යයි කියමින් අත් දෙක නළලට ගෙන සිටියා ය. ඒ එක්කම එතුමියගේ දෑස් පියවිණ. එතුමිය එසේ අවසන් හුස්ම හෙළුවේ තමන්ගේ කාර්යයන් ඉහළින් ම ඉෂ්ට වූවා සේ සිතට ගෙනය.   


මෙසේ තමන්ගේ දූවරුන්ට නොලැබුණ උසස් අධ්‍යාපනය තවත් ඉහළින් ම මුළු රටේම බෞද්ධ බාලිකාවන්ට ලබා දීමේ සද්ප්‍රාර්ථනා ඇති වූ ජෙරමියෙස් දියෙස් - සෙලෙස්තිනා රුද්‍රිගු මැතිනියගේ අදහස්වලට අනුකූලවම එම භාරකාර මණ්ඩලයේ කටයුතු ක්‍රියාකාරී වෙමින් පැවතිණ. එයට මුළු ලංකාවේ ම ප්‍රධාන සිංහල බෞද්ධ ජනනායකයන්ගේ මෙන්ම අනෙක් ජාතික ආගමික අයගේද සැලකිල්ල ද ගෞරවයද පිරිනැමිණ. මෙසේ කටයුතු කරමින් තිබියදී පසු කලෙක විශාඛා බාලිකා විද්‍යාලයට ප්‍රථමයෙන් ම දරුවන් ඇතුළත් කිරීමේ අවස්ථාවක දී ඇති රසවත් හරවත් සිද්ධියක් හෙළි කළ හැක්කේය. එඩ්වින් හේවාකපුගේ මහතා කියන්නේ ගම්බද පළාතක ඉපිද උසස් අධ්‍යාපනය ලබා විදුහල්පතිවරයකු බවට ද පත් ව වාමාංශික පක්ෂවල සහායද ලබා සමාජයේ නමක් ගෙන සිටියෙකි. එතුමෝ එම අධ්‍යාපන සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහල අසල අයි.පී.බී. මුද්‍රණාලය නමින් මුද්‍රණාලයක් පවත්වාගෙන ගියේය. එකල විවිධ තරාතිරමේ සිනමා හා නාට්‍යවලට සම්බන්ධ නළු නිළියන් ද සෙසු කලාකරුවන් ද නිතරම පාහේ එහි ඒකරාශි වූයේ එතුමාත් එතුමාගේ මුද්‍රණාලය පාලනය කළ මලණුවන් වූ සෝමපාල හේවාකපුගේ මහතාගේ ද අතර පැවති ඇසුර නිසාමය.   


හේවාකපුගේ දරුවන් ඉගෙන ගත්තේ ද විශාඛාවේ වූ බැවින් එතුමාගේ සම්බන්ධතාව ද එහි පැවතිණ. විදුහලට දරුවන් භාරගන්නා සමයේ දිනක උදේ වරුවේ එහි ගිය එතුමාට තම තමන්ගේ දූවරුන් විදුහලට ඇතුළත් කරනු පිණිස වාරය එනතෙක් බලාපොරොත්තුව සිටි දෙමාපියන්, සීයලා හා ආච්චිලාගේ ද පෝලිමක් දක්නට ලැබිණ. ඔවුන් දෙස බලාගෙන ම විදුහල්පතිනියගේ කාමරය වෙත ගිය හේවාකපුගේ මහතා දුටු එක් දසුනක් නිසා ගල් ගැසී නතර විය.

   
මෙම පෝලිමේ තම මිනිපිරියත් සමඟ රැඳී සිටි සුදුවන් ව පැසුණු හිසකෙසින් යුතු එක්තරා සීයා කෙනකුගේ දර්ශනය එතුමාගේ මවිතයට හේතු වූයේය. වහා මේ වනවිට දරුවන් බාරගනිමින් සිටි පිරිස අතරට ගිය හේවාකපුගේ මහතා එහි සිටි උප විදුහල්පතිනියක එළියට කැඳවාගෙන ආවේය. එම පෝලිමේ සිටි තැනැත්තා දක්වා සිටියේය.   


‘‘අර පෝලිමේ සිටින වයසක මහත්මයා අඳුනනවාද? එතුමා මෙහෙම පෝලිමක සිටිය යුතු කෙනෙක් නෙවෙයි’’ යැයි ද කීවේය.   


‘‘කවුද ඒ මහත්මයා?’’ යි උප විදුහල්පතිනිය විමසුවාය.  
‘‘එතුමාට තමයි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහත්මයා කියන්නේ’’ යයි කී හේවාකපුගේ මහත්මයාගේ වචනය අසා මවිතයට පත් වූ උප විදුහල්පතිනිය කළේ වහා ම එතැනට යාමය.   
‘‘සමාවෙන්න මහත්මයා, ඔබතුමා එන්න කන්තෝරුවට’’ යයි කී එතුමිය මේ කරුණාබර සීයා කැඳවාගෙන ගොස් කාර්යාලයේ පුටුවක වාඩිවෙන්නට සැලසුවාය.   
‘‘ඇයි ඔබතුමා මෙහෙම ආවේ?’’ යයි උපවිදුහල්පතිනිය විමසුවාය. 

 
‘‘ඇයි මං මෙහෙම ආව එක වරදක්ද? මම පෝලිමේනේ ආවේ.’’ යයි සීයා කියා සිටියේය.  
‘‘නෑ ඒක වැරැද්දක් කියලා නෙමෙයි මම ඇහුවේ. අපේ බාරකාර මණ්ඩලයේ සභාපතිතුමා ඔබතුමාගේ මස්සිනා නේ. එතුමාට දුරකතනයෙන් හරි කිව්වා නම් ඒ ඇතිනෙ.’’ යයි ඇය කියා සිටියාය.  
‘‘මොකටද අනුන්ට කරදර කරන්නේ. මගේ බෑණා අද මේ වෙලාවේ රාජකාරියකට කෑගල්ලට යන්න තියෙනවා. ඒ නිසා මම මිනිපිරිය එක්ක ආවා.’’ යැයි එතුමා කියා සිටියේය.   


මේ ප්‍රකාශයෙන් අතිශයින්ම සංවේදනාවට පත් විදුහල්පතිනිය කළේ එතැනදීම දණ ගසා මේ සීයාට වැඳ සිටීමය. මෙය දුටු තරමක් නුදුරේ බාලිකාවන් භාරගනිමින් සිටි විදුහල්පතිනිය ඇතුළු පිරිසද කලබලයට පත් වූ බව පෙනුණි. උප විදුහල්පතිනිය දණ ගසා වැන්ද සීයා කවුදැයි බැලීමට ඔවුහු එහි පැමිණියහ.   
‘‘මේ මුල්ම අධ්‍යාපනය ඇමැති, කන්නන්ගර ඇමැතිතුමා තමන්ගේ මිණිපිරි විදුහලට ඇතුළත් කරන්න ඇවිත් පෝලිමේ හිටියා. පස්සෙයි මමත් දැන ගත්තේ.’’ යනුවෙන් එතුමා ගැන ඇය හැඳින්වීමක් කළාය. මෙහිදී එහි සිටි සුසාන් පුලිමුඩ් විදුහල්පතිනිය පහත් වී කන්නන්ගර මැතිතුමාට වැඳ සිටියාය. එවිට අනෙක් උප විදුහල්පතිවරියන් ද කළේ මේ ඇමැති සීයාට දණ ගසා වැඳීමය.   


තම දුවනියගේ දියණි හසිතා කෞෂ්‍යල්ලී සෙනෙවිරත්න දැරිය එදා එම කරුණු හෙළි කිරීමෙන් පසු කාගේත් ගෞරවාදරයට පත්වෙමින් විශාඛා බාලිකා විද්‍යාලයට ඇතුළත් කරන ලදී. එතුමා කලින් මිනිපිරිය සමඟ පෝලිමේ සිටියදී ඊට ඉදිරියෙන් සිටි පුද්ගලයා හෝ පසුපසින් සිටි පුද්ගලයා හෝ මේ සිටින්නේ ලංකාවේ මුල්ම අධ්‍යාපන ඇමැතිවරයා වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා බව කිසි ලෙසකින් හෝ නොදැන සිටි බවද හෙළි විය. තමා වසර 16ක් තිස්සේ රටේ අධ්‍යාපන අමාත්‍ය පදවිය දැරූ පුද්ගලයා බවත් ඉන් පසු වසර හතරකට පළාත් පාලන අමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා බවත් කියාපාන තත්ත්වයක් එතුමාට කිසිවිටෙක වුවමනා වූයේ නැත. එසේම විශාඛා භාරකාර මණ්ඩලයේ සභාපති තම බිරිඳගේ සහෝදරයා බවත්, මිනිබිරිය වෙනුවෙන් උපකාරයක් ලබන්නට වුවද අනිසි ලෙස තැත් කරන්නට ද එතුමා නොපෙළඹුණ බව එවේලේ හෙළි විය.   


මේ කරුණු දැනගත් පිරිස අසල සිටි එක් තැනැත්තකු කළේ එතුමා ආපසු එන විට මෝටර් රථයට නංවාගෙන නිවසට හැරලීම ය.   


එදා සිටි ඇමැතිවරුන් මනුෂ්‍යත්වයේ නාමයෙන් කටයුතු කළේ එසේය.   


අන්තිමේ වසර 20ක් පුරා මේ රටේ බලගතුම ඇමැති පදවි දෙකක්ම දැරූ කන්නන්ගර මැතිතුමා වර්ෂ 1969 සැප්තැම්බර් 23 වැනිදා මිය පරලෝ ගියේ වැඩි දෙනකු අමතක කළ දිළිඳු පුද්ගලයකු වශයෙනි.

 

 

සෝමසිරි කස්තුරිආරච්චි

මෙම ලේඛකයා ඉකුත්දා අභාවප්‍රාප්ත වූ අතර ඔහුට උපහාර පිණිස මෙම ලිපිය පළ කරමු