බංගලි ජනයාගේ ආකර්ෂණය දිනූ බිත්ති පුවත්පත්


 

කොරෝනා වසංගත තත්ත්වය පාලනය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව නිවෙස්වලට කොටු වී ගෙවමින් සිටින්නේ අසීරු දිවි පෙවෙතකි. මේ කොටු වීමට අකැමැතිව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළද එය තුට්ටුවකටවත් මායිම් නොකරමින් වාහනවලින් එහෙ මෙහෙ නිකරුණේ රවුම් ගසන්නන්ද එමටය. 


 නිවසටම කොටු වී ඒකාකාරී දිවි පෙවෙතක් ගෙවීම යනු ඕනෑම පුද්ගලයකුට ඉතා අසීරු කාර්යයකි. මේ නිසාම ඒ අසීරු කාල සීමාව ගෙවා දැමීම සඳහා විවිධ කාර්යයන් කිරීමට ජනතාව පෙළඹී සිටිති. වගා කටයුතු කිරීම, අන්තර්ජාලයේ සැරිසැරීම, රූපවාහිනිය නැරඹීම සහ කියැවීම මේ අතරින් ඒකාකාරී බව නිවාගැනීම සඳහා ජනතාව පොදුවේ කරනු ලබන ක්‍රියාකාරකම් ලෙස හැඳින්විය හැකිය. 


නමුත් මේ වනවිටත් ඒකාකාරී බව නිසාම බොහෝ දෙනකුට රූපවාහිනී නැරඹීම සහ අන්තර්ජාලයේ සැරිසැරීම එපා වී තිබේ. මේ නිසාම විශාල පිරිසක් නිවසට වී කුමක් හෝ කියැවීමට පෙළඹී සිටිති. විශේෂයෙන්ම ඔවුන් මේ සඳහා පුවත්පත් කියැවීම සඳහා වැඩි කැමැත්තක් දක්වති. එසේ කියැවීමට කැමති අයකු ලියුම්කරු සමඟ කියා සිටියේ කුමන ආකාරයට නවීන තාක්ෂණය පැමිණිය ද තොරතුරු දැන ගැනීම සඳහා ජනතාව තවමත් පුවත්පත් කියැවීමට වැඩි කැමැත්තක් දක්වන බව වටහා ගැනීමට මෙවැනි ඇඳිරි නීති කාල සීමාවක්ම පැමිණිය යුතු බවය. 


 එය සැබෑවකි. කියවීමට රුචිකත්වයක් දක්වන්නෝ අලු‍ත් පුවත්පත් නැතිනම් පරණ පුවත්පත් හෝ වාර ගණනාවක්ම කියවා ඇති නවකතා පොත් හෝ යළි යළි කියැවීමට පෙළඹී සිටිති. කොටින්ම කිවහොත් කියැවීමේ පිපාසයකින් පෙළෙති. ⁣ 


 අපේ රටේ ජනතාවද එසේ කියැවීමේ පිපාසයකින් පෙළෙද්දී අපට වඩාත් සමීප රටක් වන බංග්ලාදේශය එරට ජනතාවට කියැවීම සඳහා අපූරු ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. ඒ අපූරු කියැවීමේ ක්‍රමවේදය නම් ‘බිත්ති පුවත්පත’ යි. 


 වර්ග කිලෝමීටර් 147,570කින් සමන්විත බංග්ලාදේශය ලොව 7 වැනි ජනාකීර්ණම රට වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව මීටර් 10 ක ප්‍රමාණයක වැඩිම ජනගහනයක් පදිංචි ලොව මුල්ම රටවල් අතරේ පළමුවැනි ස්ථානය හිමි වී තිබෙන්නේ ද බංග්ලාදේශයට ය. මේ රට සැලකෙන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව වෙසෙන රටක් ලෙසය. නමුත් වර්තමානය වනවිට එම තත්ත්වය බොහෝ සෙයින් වෙනස්ව බංග්ලාදේශය මේ වනවිට ශීඝ්‍රයෙන් සංවර්ධනය කරා ඇදී යන රටක් ලෙස සැලකිය හැකිය. 
 විශේෂයෙන්ම බංග්ලාදේශයේ අගනගරය වන ඩකා නුවර පමණක් මිලියන 18ක් තරම් වූ අති විශාල ජනකායක් වෙසෙති. මිලියන 22ක් පමණ වන අපේ රටේ ජනගහනය සමඟ සසැඳීමේදී බංග්ලාදේශයේ ඩකා නුවර පමණක් ජීවත් වන ජනගහනයේ තරම කොතරම්දැයි මනාව වටහාගත හැකි වනු ඇත. 
 මේ අධික ජනගහනයෙනුත් බහුතරයක් දුප්පත්කම නිසාම අඩු අධ්‍යාපනයක් ලද පිරිස්ය. එසේ වුවද එරට වැඩි පිරිසක් පුවත්පත් කියැවීම සඳහා දැඩි රුචිකත්වයක් දක්වන බව එරට කළ සංචාරයකදී අපට දැකගත හැකි විය. 


 නොදියුණු මට්ටමේ සිටින, දරිද්‍රතාවයෙන් මෙන්ම සාක්ෂරතාවයෙන් ද පහළ මට්ටමක ජනතාවක් සිටින රටක් යනුවෙන් බංග්ලාදේශය හැඳින්වුවද එරට ඩකා අගනගරයේ පමණක් දිනකට භාෂා කීපයකින්ම පුවත්පත් දහසකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කරනවා යැයි කිවහොත් විශ්වාස කළ හැකිද? නමුත් එය සැබෑවකි. 


 එම සංචාරයේදී අපට හමුවූ බංග්ලාදේශ පුවත්පත් මණ්ඩලයේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මොහොමඩ් මුට්ටාස් උදිත් අහමඩ් මහතා කියා සිටියේ ඩකා අගනුවර ද ඇතුළුව රට පුරාම දිනපතා ජනතාව අතට පත් කෙරෙන පුවත්පත් සංඛ්‍යාව මේ වනවිට 2000 ඉක්මවා ගොස් ඇති බවය. 


 ඉකුත් 2009 වසර වනවිට කිසිදු පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් නොතිබුණද මේ වනවිට පෞද්ගලික රූපවාහිනී නාළිකා 400ක් වැනි විශාල සංඛ්‍යාවක් රට පුරාම ක්‍රියාත්මකව පවතින බව ද අහමඩ් මහතා පැවසීය. මීට අමතරව ඇති විවිධ ⁣ප්‍රවෘත්ති සපයන වෙබ් අඩවි සහ ඊ-පුවත්පත් රැසක් ද බංග්ලාදේශය තුළ ක්‍රියාත්මකව පවතින බව පෙන්වා දුන් ඒ මහතා 2009 වසර වනවිට මිලියන 4ක්ව තිබූ එරට දුරකථන භාවිතය 2019 වසර වනවිට මිලියන 80 ද ඉක්මවා ගොස් ඇති බව සඳහන් කළේය. එසේම 2009 වසර වනවිට මිලියන 4ක්ව තිබූ ජංගම දුරකථන භාවිතයද 2019 වසර වනවිට මිලියන 140 ඉක්මවා ගොස් ඇති බව ද සභාපතිවරයා පැවසීය. එරට ජනතාවගේ සිම් කාඩ් භාවිතය ද මිලියන 150 ද ඉක්මවා ගොස් තිබේ. 


 මේ සියල්ලෙන්ම කියා පාන්නේ සාක්ෂරතාවයෙන් ඉතා පහළ මට්ටමක සිටිනවා යැයි කියන බංගලියන් තොරතුරු සොයා යන පිපාසයෙන් පෙළෙන පිරිසක් කියා නොවේද? 


 බංග්ලාදේශ පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දෙන ආකාරයට එරට ජනතාව තොරතුරු සොයා යාම සඳහා දක්වන්නේ දැඩි උනන්දුවකි. ඒ සඳහා එරට මුද්‍රණය කෙරෙන පුවත්පත් අති විශාල සංඛ්‍යාවම කදිම උදාහරණයක් බව ද අහමඩ් මහතා අපට පැවසීය. 


 තම රටේ ජනතාවට ප්‍රවෘත්ති සපයන තවත් සුවිශේෂී මාධ්‍යයක් ලෙස බිත්ති පුවත්පත ප්‍රකටව පවතින බව ද අහමඩ් මහතා පෙන්වා දුන්නේය. ඩකා අගනුවර පමණක් නොව දුෂ්කරව පිහිටි දුර බැහැර ප්‍රදේශවල පවා මෙම බිත්ති පුවත්පත ජනතාව අතර ඉතා ජනප්‍රිය මාධ්‍යයකි. කොපමණ පුවත්පත් සංඛ්‍යාවක් රට තුළ තිබුණද මෙම බිත්ති පුවත්පත් ජනතාව අතර ඉතාම ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යයක් වන බව ද හෙතෙම කියා සිටියේය. 


 ඉතා ජනාකීර්ණ ඩකා අග නගරයේ පමණක් ප්‍රසිද්ධ ස්ථාන රැසක මෙම බිත්ති පුවත්පත් තිබෙන ආකාරය එරට කළ සංචාරයේදී අපට දැකගත හැකි විය. පදික වේදිකාවට සමීප දැවැන්ත තාප්පවල මෙම බිත්ති පුවත්පත් ක්‍රමය ක්‍රියාත්මක වන අතර විවිධ නමින් යුත් පුවත්පත් ඒ අතර තිබෙන බව ද දක්නට ලැබුණි. 
 පුවත්පත් අලවා ඇති ස්ථානවල වෙනත් කිසිදු ප්‍රචාරක පෝස්ටර් ඇලවීමක් සිදු නොකෙරෙන බව ද ඒ තරමටම බංග්ලාදේශ ජනතාව මෙම ප්‍රචාරණ මාධ්‍ය කෙරෙහි විශාල ගෞරවයකින් කටයුතු කරන බව ද එහිදී අපට දැනගත හැකි විය. 


 එදිනෙදා පළ වන පුවත්පතක් මිලදී ගැනීමට වත්කමක් නොමැති ජනතාවට ⁣රටේ තොටේ සිදුවන තොරතුරු නොමිලේ පහසුවෙන් දැන ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙන අතර ඇති හැකි පිරිස් පවා මෙම බිත්ති පුවත්පත් කියැවීමට ඉතා උනන්දුවක් දක්වන ආකාරය ද දැකගත හැකි විය. 


 මෙම බිත්ති පුවත්පත්ද සාමාන්‍ය පුවත්පත් හා සමානවම මුද්‍රණය කර තිබෙන අතර සාමාන්‍ය පුවත්පත්වලින් ප්‍රසිද්ධ නොකෙරෙන ඇතැම් රහසිගත තොරතුරු පවා මේවායින් අනාවරණය කිරීම හේතුවෙන් මේවා එරට ජනතාව අතර ඉතා ප්‍රසිද්ධ මාධ්‍යයක් බවට පත්ව තිබෙන බව පැවසේ. 


 එසේම පවතින ආණ්ඩු මගින් සිදු කරන විවිධ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම පුවත්පත් මගින් දැඩිව චෝදනා එල්ල කරති. කොපමණ චෝදනා විවේචන එල්ල කළ ද කිසිවෙක් මෙම පුවත්පත්වලට හානියක් සිදු නොකරන බව ද දැනගත් තවත් විශේෂ කරුණකි. 


 ⁣බංග්ලාදේශයේ මෙවැනි බිත්ති පුවත්පත් මගින් ද කියා පාන්නේ මොන තරම් නවීන තාක්ෂණ ක්‍රමවේද පැමිණිය ද සන්නිවේදන කලාවේ ආරම්භය වන පුවත්පත තවමත් ජනතාව අතර ජනප්‍රියම සන්නිවේදන මාධ්‍ය බවට පත්ව තිබෙන බවය. 

 

 

සේයාරූ / සටහන
පුෂ්පකුමාර ජයරත්න