පෙරභවයේදී වෙඩිවැදී යළි උපන් දරුවා


​පෙර භවයේ ප්‍රබල සාක්කි  

 

 

පියාට එල්ල කළ වෙඩි පහරක් වැදී ජීවිතයෙන් සමුගත් පාසල් දරුවකු පිළිබඳව අතිශය කනගාටුද‌ායක පුවතක් පසුගියද‌ා වීරකැටිය ප්‍රදේශයෙන් අනාවරණය විය. ඒ වනවිට එම දරුවා ද‌ාහතර වන වියේ පසු වූ බැව් ද හෙළි විය.  


මේ හා සමානවම පියාට තැබූ වෙඩි පහරකින් පාසල් සිසුවෙක් ජීවිතයෙන් සමුගත් පුවතක් 1971 වසරේදී අනාවරණය විය. රඹුක්කන කොටවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ෂෙල්ටන් නම් එම දරුවා මරණයට පත්ව තිබුණේ, පියාට එල්ල කළ වෙඩි පහරක් දරුවාගේ පපුවට වැදීම නිසාය. ඒ වනවිට හත් හැවිරිදි වියේ පසු වූ ඔහු සිව් වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියේය.   


පස් දෙනකුගෙන් යුත් පවුලේ බාලම දරුවා වූ ෂෙල්ටන් පියාගේ දැඩි ආදරය ලබමින් සිටියේය. ෂෙල්ටන්ගේ පියා කෙත්වතු කිහිපයක්, මෝටර් රථයක් සහ ට්‍රක් රථයක් ද හිමිව සිටි අයකු විය.  
ප්‍රදේශයේ නිවාස අතරත් ඔහුගේ නිවස ප්‍රදේශයේ කැපී පෙනුණු නිවසක් ද විය. ඔහු බලාපොරොත්තු නොවූ ඉරණමකට ගොදුරු වූයේ 1971 වසරේදීය. එදා 1971 අප්‍රේල් 9 වැනිදාය. ඒ වනවිට රටේ පැවැති අර්බුදකාරී තත්ත්වය නිසා ඇඳිරිනීතිය ද ක්‍රියාත්මක වෙමින් තිබිණි.  


නිවසේ ආලින්දයේ සිටි ෂෙල්ටන්ගේ පියා තම පුත්‍රයා ඔහු අසලට ගෙන සිටියේය. එක් වරම මහ හඬක් නගමින් වෙඩි ප්‍රහාරයක් නිවසට එල්ල විය. නිවසේ සිටි අයගේ කෑගැසීමත් සමග ෂෙල්ටන් දරුවාට ද වෙඩි වැදී බිම වැටුණි. පියාට ද දරුණු තුවාල සිදු විය. ෂෙල්ටන්ට වැදුණු වෙඩි උණ්ඩය ඔහුගේ පපුවට එල්ල වීම නිසා එම ස්ථානයේදීම ඔහු මරණයට පත් විය. පියා රෝහල්ගත කිරීමෙන් පසු සුවය ලබා නිවසට පැමිණ සුළු කලකට පසු ඔහු ද මරණයට පත් විය.  


රටේ පැවැති තත්ත්වය නිසා ෂෙල්ටන්ගේ මරණ පරීක්ෂණය පැවැත්වීම ද ඒ අවස්ථාවේ අපහසු විය. සිරුර නිවස පිහිටි ගෙවත්තේම භූමදානය කැරිණි. සති ගණනකට පසු සිරුර ගොඩ ගෙන මරණ පරීක්ෂණයක් සිදු කැරිණි. එහිදී හෙළි වූයේ ෂෙල්ටන් දරුවාගේ පපුවට ඇතුළු වූ වෙඩි උණ්ඩයක් හදවත ද සිදුරු කරමින් පිට පැත්තෙන් පසාරු වී තිබීම නිසා මරණය සිදු වී ඇති බවය. මරණ පරීක්ෂණ වාර්තාවේ ඒ බැව් සඳහන් වූයේ “Death was caused by wounding the heart with a firearm” යනුවෙනි.  


ෂෙල්ටන්ගේ අකල් මරණය ගැන පවුලේ සියලු දෙනාටම දැරිය නොහැකි වේදනාවක් විය. දැඩි ලෙස ශෝකයට පත්වූ සොයුරු සොයුරියන් අතරින් තම මල්ලී සමග එකට පාසල් ගිය ඔහුගේ අක්කාට එය දරා ගැනීම අපහසු වූවාය. තම මල්ලී ගැන සිහි වන මොහොතක් පාසා ඇය බලවත් සේ දුක් වූවාය. ඒ වනවිට දැලිවල පාසලේ ඉගෙනීම ලැබූ ෂෙල්ටන්ගේ මරණය පිළිබඳව සිසු දරුවන් මෙන්ම ගුරු පිරිස ද බලවත් ලෙස කනගාටුවට පත්ව සිටියහ. ෂෙල්ටන්ට පින් පිණිස දානමය පින්කම් ද නොඅඩුව සිදු කැරිණි. ෂෙල්ටන් මරණයට පත් වී මාස පහළොවක් ගත වී තිබිණි.  


එවකට වී අලෙවි මණ්ඩලයේ සේවය කළ ගුණසේකර මහතාගේ බිරිඳ වූ බණ්ඩාර මැණිකේ මහත්මිය තම දරුවා බිහි කිරීමට පොල්ගහවෙල රජයේ රෝහලට ඇතුළත් වූවාය. 1972 ජුලි 8 වැනිදා බිහි කළ එම දරුවාට වසන්ත යනුවෙන් නම් තැබිණි. ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් උපත ලැබූ වසන්තගේ පපුවේ උපන් ලපයක් පිහිටා තිබිණි. අන් දරුවන්ට වඩා වසන්ත තුළින් බුද්ධිමත් බවක් දක්නට ලැබිණ.  
බහ තෝරණ වියට පැමිණ සිටි වසන්ත නිතර එම නිවසේ පැදුරුවල වී වේලන අයුරු නරඹමින් සිටිනු මව දුටුවාය. දින කිහිපයක් වී වේලන දෙස බලා සිටි වසන්ත කිසිවක් ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා බවක් මව දුටුවාය. මාස කිහිපයක් ගත විය. වසන්තට යන්තම් වචන ගළපා කතා කිරී​මේ හැකියාවක් ලැබිණි.  
දිනක් වසන්තගේ මව පැදුරේ දමා තිබූ වී ගෝනියකට දමා එය කෙටීම සඳහා හිස මතට ගත්තාය. එය දුටු ඔහු “අපේ තාත්තා නම් වී ගෙනි යන්නේ කාර් එකේ” යයි එක්වරම පැවැසුවේය. තම පුත්‍රයාගේ මෙම කතාව මවගේ පුදුමයට හේතු විය. ඇය තම සැමියාට ද ඒ බැව් හෙළි කළාය. තවත් දිනක් වසන්තගේ මව පොල් අත්තක් වියනු බලා සිට “අපේ අම්මා නම් පොල් අතු වියන්නේ නෑ” යයි කීවේය. තම පුත්‍රයා කිසියම් තොරතුරක් හෙළි කරන බැව් දෙමාපියන්ට අවබෝධ විය. දරුවාගේ ප්‍රකාශ පිළිබඳව ඔවුහු උනන්දු වූහ. වසන්තගේ සොහොයුරා ද තම මල්ලීගෙන් විමසීමක් කළේය.  


“මල්ලී කොහේද හිටියේ” යයි දිනක් වසන්තගෙන් සොහොයුරා ප්‍රශ්න කළේය. “වල්පොලේ” යයි වසන්ත එක්වරම ප්‍රකාශ කළේය. අනතුරුව පියාගේ නමත්, පෙර භවයේ තොරතුරුත් හෙළි කරන්නට විය. පියාට කාරයක් සහ ට්‍රැක්ටරයක් තිබූ බවත්, තම පියා වී කෙටීම සඳහා ගෝනිය කාරයේ ගෙන යන බවත් ඔහු නිතර පැවැසුවේය. කිසිවකු ඔහුගෙන් විමසීමක් නොකළ ද වසන්ත තම පෙර භව ජීවිත තොරතුරු වරින් වර හෙළි කරන්නට විය.  


“හැන්දෑවේ හයට විතර අපිට වෙඩි තිබ්බා. මගේ පපුවට වෙඩි වැදුණා. තාත්තාගේ කකුලටත් වෙඩි වැදුණා” යයි ඔහු කීවේය. වසන්ත හෙළි කළ තොරතුරු ඒ වනවිට ප්‍රදේශයේ ද පැතිරී ගොස් තිබිණි. එහෙත් ඒ පිළිබඳව පැමිණ තොරතුරු ඇසීමට කිසිවෙක් නොපැමිණියේය. පියා ඒ ගැන විමසීම් කිරීම ගැන කැමැත්තක් නොදැක්වීම ඊට හේතුව විය.  


එහෙත් මියගිය ෂෙල්ටන් පිළිබඳව වසන්ත හෙළි කරන්නේ යයි ෂෙල්ටන්ගේ සොහොයුරියට දැනගන්නට ලැබිණි. දිනක් ඇය වසන්තගේ නිවස වෙත ගියාය. “පුතාව බලන්න කවුද ඇවිත්” යයි වසන්තගේ මව නිවස තුළ සිටම පැවැසුවාය. වහා නිවසේ ආලින්දයට පැමිණි ඔහු ඇය දෙස බලා සිටියේය. “මාව හඳුනනවා ද” යයි ෂෙල්ටන්ගේ සොහොයුරිය වසන්තගෙන් විමසුවාය.  


“අනේ... ඔයා දැන් හරි ලොකුයිනේ” යයි ඇයට නම කියා කතා කිරීමට වසන්තට හැකි විය. ඉන් අනතුරුව වසන්තට සිය පෙර භව නිවස වෙත යාමට ද අවස්ථාව ලැබිණි. එදා වසන්ත පෙර භව නිවසට යාමේදී නිවැරැදිව නිවස සොයා ගිය අන්දම වසන්තගේ මවට ද අතිශය පුදුමයට කරුණක් විය.  


වසන්තගේ මෙම පෙර භව සිදුවීම පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීමට අපට ද අවස්ථාව ලැබිණි. අනතුරුව ඇමෙරිකාවේ ටර්සිනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ද පර්යේෂණයක නිරත විය. එදා වසන්ත සිය පෙර භව තොරතුරු පටිගත කිරීමට ද ලක් කළේය. එහි පටිගත වී ඇති අයුරින්ම පෙර භවයේදී වෙඩි වැදීම පිළිබඳව විමසීමට ඔහුට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඔහු එදා දුන් පිළිතුරුත් ඒ අයුරින්ම මෙසේය.  


ප්‍රශ්නය:- ඔයා එහෙ ඉඳලා මෙහ ආවෙ කොහොම ද?  
පිළිතුර:- මැරුණා.
ප්‍රශ්නය:- මක්වෙලා ද මැරුණේ?  
පිළිතුර:- වෙඩි වැදිලා.  
ප්‍රශ්නය:- වෙඩි වැදුණේ කොහොම ද?  
පිළිතුර:- ජනේලෙන්.  
ප්‍රශ්නය:- එතකොට වෙන කවුද හිටියේ?  
පිළිතුර:- ගෙදර අය හිටියා.  
ප්‍රශ්නය:- කාටද වෙඩි වැදුණේ?  
පිළිතුර:- තාත්තාටයි මටයි.  
ප්‍රශ්නය:- ඔයාගෙ කොහේට ද වෙඩි වැදුණේ?  
පිළිතුර:- පපුවට.  
ප්‍රශ්නය:- තාත්තාට මොකද වුණේ?  
පිළිතුර:- කකුලට වෙඩි වැදුණා.
ප්‍රශ්නය:- ඊට පස්සේ මොකද වුණේ?  
පිළිතුර:- තාත්තාව ඉස්පිරිතාලේ ගෙන ගියා.  
ප්‍රශ්නය:- එතකොට ඔයාට මොකද වුණේ?  
පිළිතුර:- මම මැරුණා. ඊට පස්සේ මාව වළ දැම්මා.  
ප්‍රශ්නය:- වළ දානකොට ඔයා කොහේ ද?  
පිළිතුර:- වහලෙ උඩ.  
ප්‍රශ්නය:- වහලෙ උඩ කොහොම ද හිටියේ?  
පිළිතුර:- කැරැකි කැරැකී.  


යනුවෙන් ප්‍රකාශ කළ වසන්ත පැවැසුවේ, ඔහුගේ සිරුර නැවත වළෙන් ගොඩගත් බවත්ය. දැන් ඉපදී සිටින මව දුටුවේ කොහේදී ද යයි විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, මවව දුටුවේ රෝහලේ ඇඳේ සිටියදී බවය.  


වසන්තගේ සිරුරේ පපුවේ සහ පිට පැත්තේ පිහිටා තිබූ උපන් ලපය මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කි බවට පත් විය. වෙඩි වැදීම නිසා ෂෙල්ටන්ගේ පපුවට වැදුණ වෙඩි උණ්ඩය පිට පැත්තෙන් පසාරු වී ගොස් තිබූ බව ෂෙල්ටන්ගේ පවුලේ අයගෙන් ද හෙළි විය.  


පෙර භවයේ ඥාතීන් හඳුනා ගැනීමත්, වෙඩි වැදීම පිළිබඳව සිදු කළ සියලු තොරතුරුත් නිවැරැදිව සනාථ වීම නිසා එදා ෂෙල්ටන් ලෙස ජීවත්ව සිටි දරුවා වසන්ත ලෙස උපත ලබා ඇති බැව් පර්යේෂණවලදී තහවුරු විය. මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදු කළ පර්යේෂණ ද ඔහුගේ පර්යේෂණ ග්‍රන්ථයකට ද ඇතුළත් කර තිබේ. ෂෙල්ටන්ට එල්ල වූ වෙඩි පහර සහ වසන්තගේ උපන් ලපය පිළිබඳව එම වාර්තාවක සඳහන් කර ඇත්තේ මෙසේය.  


“Shelton's father and mother remembered that he had been shot in the chest. His mother thinking that he was wounded in the center. Vasantha had a birthmark near his left nipple” යනුවෙනි. පියාට එල්ල කළ වෙඩි පහර වැදී මරණයට පත්වූ බැව් හෙළි කළ ලොව ප්‍රථම පුනර්භව සාධකය මෙය ලෙස පර්යේෂණවලට ඇතුළත් වී තිබේ.  

 

 

තිස්ස ජයවර්ධන