පුරාවිද්‍යාඥයන් සනාථ කළ උතුම්වූ සිරිපතුලේ අසිරිමත් කතාපුවත


සමනොළ ගිරි මුදුන

 

තිරුපති සහ මක්කම මුණි සිරිපා පහසින් පාරිශුද්ධ වූ ස්ථාන බැව් පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු කෙරේ.   


බෞද්ධ බැතිමතුන්ට මෙන්ම වෙනත් ලබ්ධිකයින්ටත්, සියැසින් දැක, නළලත තබා නැමදිය හැකි සිරි පතුලක් ජීවමානිතව පිහිටියේ සිරිලක පමණි.   


සිරිපා පිනිපා කිරීම හා ඒ හා සබැඳි සිරිත් විරිත් සිංහල බොදු ජන දිවිය හා ඉතා සමීපව බැඳී පවතී.   
 සමනළ මුහුලස සිරි පද ලස තඹර මත, සැදැහැතියන් අතුල, නන් වන් පුෂ්ප මද පවන් වැද ලෙළ දෙන සෙයකි. එහි සුගන්දණීය මකරන්දය පිස ගත් පවන් රොද, සමනළ කඳු බෑවුම සිසාරා හමායේ. සුවඳ හා සිහිලස කැටි වූ ඒ සුළං රල, සමනළ හිමේ සිරිපා කරුණාවේ නියැලි සෙසු වන්දනාකරුවන්ගේ සරතස නිවාලන සුලුය. මෙම ආශ්චර්යාත්මක මහිමය, මහගමසේකර ශුරීන් සිය පන්හිඳෙන්, අපූර්වත්වය මුසු වදන් සිත්තමකට නැගීය. තත් මන බන්දනීය ගී මුතු වැල, තුන් සරණේ නාද රටාවට අනුගතව, ශාන්ත රසය කුළු ගන්වමින් අමරදේව මහා ගාන්ධර්වයා සිය, ද්වනි පූර්ණ සුගායනයෙන් ජාතියේ අධ්‍යාත්මය පුබුදුවාලයි.   


යං නම්මදාය නදියා පුලිනේච තීරේ   
යං සච්ච බද්ධ ගිරිකේ සුමනා චලග්ගේ   
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං   
තං පාද ලාංඡන මහං සිරසා නමාමි   


 තත් ශ්‍රීපාද වන්දණීය ගාථාවෙන් මෙන්ම, ත්‍රිපිටක අටුවා සහ මහා වංශය පූජාවලී වන් ඉපැරණි බෞද්ධ සාහිත්‍ය කෘතීන්ගෙන් ද පැහැදිලි වන්නේ, සම්බුදු සිරිපා පහසින් සමනළ මුහුලස පමණක් නොව ඉන්දියාවේ සැවැත් නුවර නර්මදා ගං තෙර, සච්චබද්ධ කඳු සිරස සහ යෝනක දේශය ද පාරිශුද්ධත්වයට පත්වූ සංසිද්ධියයි.   

 


භාග්‍යවතුන් වහන්සේ, සම්බුද්ධත්වය ලැබ අටවැනි වසර, නර්මදා නදී තීරයේ විසූ නා රජුන්ගේ ආරාධනාව පිළිගෙන එහි වැඩි සේක. උන්වහන්සේ, නා රජුටත්, ඔහුගේ පිරිවරටත් ධර්මය දේශනා කිරීමෙන් අනතුරුව, එම පිරිසට වන්දනාමාන කිරීම පිණිස, නර්මදා නදී තීරයේ සිරිපා සටහන පිහිට වූ අයුරු ඉපැරණි සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ ගෙනහැර දක්වයි. උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව මධ්‍යයේ පිහිටි සත්පුර කඳු පද්ධතිය මුදුනේ සිට ගලා බස්නා නර්මදා නදිය බටහිර සමුදුරෙන් සිය ගමනේ නිමාව දක්නා සොඳුරු ගංගාවකි. එම නදී තෙර පිහිටවූ, සම්බුදු සිරිපා සටහන විවිධ දේශගුණික විපර්යාසයන් නිසා මිහි මත සැඟව ගොස් මිනිස් ඇසට අදෘශ්‍යමානිතය.   


 සච්චබද්ධ ගිරි මුදුනත පිහිට වූ සිරිපා පියුම් ලාංඡනය ආශ්‍රිත බිම් තීරුව, ශතක ගණනාවකට පූර්වයෙහි සිට හින්දු භක්තිකයන්ගේ අනුහස් සහිත කෝවිලක් බවට පත්ව ඇත. එය තිරුපති දෙවොල නමින් ප්‍රකටය. යෝනක දේශයේ පාරිශුද්ධත්වයට පත්කරමින් බුදුන් වහන්සේ මකුලාරාමයේ පිහිට වූ සිරිපා පියුම, මුස්ලිම් ජාතිකයන් තම අල්ලා දෙවිදුන්ගේ පා සලකුණ පිහිට වූ මක්කම සේ සලකා පැදකුණු කරති.   
එනමුදු බොදුනුවනට සිය නළලත තබා නමදින්නට, දෑත් නගා සිරස නමා වන්දනයට විද්‍යමානව පවත්නේ සමනළ කඳු පියස, ජීවමානිත මුනි සිරිපා පියුම පමණි. 

 
 සමන්තකූට පර්වත මස්තකයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් අසිරිමත් සිරිපා ලකුණ පිහිටවූයේ, උන්වහන්සේගේ තෙවැනි ශ්‍රී ලංකාවතරණයේදීය. ඒ සුමන සමන් දෙවිදුන්ගේ බැතිබර ආරාධනය පිළිගනිමිනි. සිංහල රජ දවස මෙරට සිහසුන දැරූ බොහෝ රජ දරුවන් සිරිපා වන්දනාවේ යෙදුණු බවත්, ශ්‍රීපාද ස්ථානයේ අභිවර්ධනය වෙනුවෙන් මුල් වී ක්‍රියා කළ බවත් මහාවංශ කතුවරයා සඳහන් කරයි. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් පිහිටුවා ඇති භගවා ලෙන සෙල් ලිපියෙහි එතුමා සිරිපා කරුණා කරන ලද බවත්, ශ්‍රීපාදය වෙනුවෙන් පිරිනමන ලද ප්‍රදානයන් ගැනත් සඳහන්ය.   


 දඹදෙණියේ දෙවැනි පැරකුම්බා රජු සමනොළ ගිර වෙත පැමිණ සිරිපා නැමැදි බැව් වංශ කථා සනාථ කරයි. ශ්‍රී පාදය පිළිබඳ තොරතුරු සපයන සෙල් ලිපි මූලාශ්‍ර ගණනාවකි. මහ විජයබා රජු පිහිටුවා ඇති අඹගමු සෙල් ලිපියෙහි සහ ගිලීමලයේ පිහිටුවා ඇති සෙල් ලිපියේ, ශ්‍රීපාද පුද බිමට පුදා ඇති ගම්වර පිළිබඳ සඳහන් කර තිබේ. සාහිත්‍ය මූලාශ්‍ර රාශියකම ශ්‍රී පාදස්ථානය පිළිබඳ වර්ණනාත්මක තොරතුරු ඇතුළත්ය. සමන්තකූට වර්ණනාව, මනෝරථපූරණිය, සිංහල බෝධිවංශය, සමන් සිරිත මෙන්ම ගිරා, හංස, සැලලිහිණි සංදේශ ඒ අතර මූලික ස්ථානයක් ගනී. මුනි සිරිපා සටහන සිංහල බෞද්ධ ජන ජීවිතය හා ඉතා සමීපව බද්ධව පවතී. මවුවරුන් සිය කිරිකැටි බිළිඳුන් නළවන නැළවිලි ගීයෙන් පවා, මුනි සිරිපා මහිමය සිහිපත් කරනු, එස්. මහින්ද හිමියන් ලියූ පහත දැක්වෙන නැළවිලි ගීයෙන් සනාථ වේ.   


මුනි සිරිපා සිඹිමින්නේ   
සමනොළ ගිරි පෙදෙසින්නේ   
මද සුළඟයි මේ එන්නේ   
මගේ පුතා නිදියන්නේ   


 සිංහල අට්ඨකතාවේ සිරි පා යුගලයේ මංගල ලකුණු දෙසිය සොළසක් ගැන කියැවේ. ඒ, ස්වස්තිකය, ශ්වේතොත්ඵල, රක්තොත්පල, ශ්වේතපද්ම, රක්ත පද්ම, පූර්ණ පත්‍ර, පූර්ණ ගටය, නීලෝඵල, නදවට, පුන්කලස යනාදී වශයෙනි.   


 චීන ජාතික ෆාහියන් හිමි, හියුංසාන් වන් විදේශිකයන් පවා සමන්ගිර පිළිබඳ විවිධ තොරතුරු වාර්තා කර ඇත. මාර්කෝපෝලෝ නම් දේශ ගවේශකයා මෙන්ම රොබෙයිරෝ, ක්වේරෝස් යන පෘතුගීසි ලේඛකයන්ද, රොබට් නොක්ස්, ජෝන් ස්ටීල්, විලියම් ස්කීන් යන පඬිවරුන් ද ශ්‍රී පාදස්ථානය පිළිබඳව තබන ලද ඓතිහාසික සටහන් ගණනාවකි.   


මුනි සිරි පිනිපා කිරීමේ උත්තරීතර අරමුණෙන් සැදී පැහැදී එම පාරිශුද්ධ සලකුණ ස්ථාපිත සමනළ මුහුලස වන්දනය, දේශීය ජන දිවිය හා ඉතා සංවේදී ලෙසින් බැඳී පවතී.   


 ශ්‍රී පාදය වන්දනාවේදී, එයටම ආවේණික වූ සිරිත් විරිත්, ආචාර ධර්ම පද්ධතියක් සහ වාග් මාලාවක් ජනගත ය. එය සිරිපා වන්දනා උප සංස්කෘතියක් ලෙසින් ද හැඳින්විය හැකිය. තම උරහිසෙහි රැඳුණු ගමන් මල්ල හැඳින්වෙන්නේ සැහැල්ලු‍ව විලසිනි. නගින බහින වචන වෙනුවට “කරුණා කරන්න” යන සුනම්‍ය ඉතා ළබැඳි ආමන්ත්‍රණය නිබඳව භාවිතයෙහි යෙදේ. විඩාව නිවාලන්නට වන්දනාකරුවෝ තුන්සරණේ කියති. සිරිපා කරුණා කර පැමිණෙන පිරිස සිරිපා කරුණා කරන්නට යන පිරිස සඳහා “නගින්න යන මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි” යනුවෙන් සමන් සුරිදු පිහිට පතති.   


ශ්‍රී පාද වන්දනාවේ මූලික අදියර ආරම්භ වන්නේ නල්ලතන්නිය නම් ස්ථානයෙනි. සීත ගඟුලෙන් ජල ස්නානය කර, හිසෙහි දෙහි ඉස්ම ගල්වා පේවීම මෙහිදී සිදු වේ. අනතුරුව පිරුවට ඇඳ බුදුන් වැඳ දේවාශිර්වාදය ලබා මළුව කරුණා කිරීම ඇරැඹේ. මේ සියල්ලට උපදෙස් ලැබෙන්නේ නඩේ ගුරා වෙතිනි.   
මුල් වතාවට වන්දනාවේ යන තරුණයා “කෝඩුකාරයා” නමිනුත්, වැඩිහිටියා “දඬුකෝඩු” නමිනුත්, කුඩා දරුවා “කිරිකෝඩු” නමිනුත් හැඳින්වේ. කෝඩුකාරයන් ඉඳිකටුපානේ සිට ඉඳිකටුවක් ඇමිණු නූල් බෝලයක් අවසන් වන තෙක් සමනල කඳු මුදුනට රැගෙන යාම කළ යුතු වේ.   


පෙර දවස සිරිපා ගමන් මග අති දුෂ්කර විය. ඇතැම් අවස්ථාවන්හි ගමන් මග දෙපස කටු පඳුරු, හැඳි වත දැවටී ඉරී ගිය අවස්ථාවන්හි, ඉරුණු රෙදි අණ්ඩ දමා පිළිසකර කොට ගත්තේ ඉඳිකටුපාන හෙවත් ගෙත්තම්පාණේ දී ය. මසා ඉතිරිවන නූල් සහ ඉඳිකටු තවත් වන්දනා නඩයකට තමන් හැඳි වත පිළිසකර කර ගැනීම පිණිස ගෙත්තම්පාණේ මග දෙපස ගස්වල දවටා යෑම ඉපැරණි චාරිත්‍රයකි. ගෙත්තම්පාණෙන් පසුව හමුවන වැදගත් ස්ථානය වන්නේ “හැරමිටිපාණය”.   


මෙම ඉසව්වේදී කෝඩුකාරයන් විසින් හැරමිටිය ආධාරයෙන් සිරිපා කරුණා කරන වියපත් වන්දනාකරුවන්ට මාර්ගයේ දෙපස කැලයෙන් සැරයටියක් කපා පූජා කිරීම කළ යුතුය. ආධාර අවශ්‍ය වන්දනාකරුවකු හමු නොවුණහොත්, එය මතු අවැසි අයකුට ලබා ගත හැකි වන පරිද්දෙන් මග අද්දර තබා යා යුතු වේ. හැරමිටිපාන පසු කළ සැනින්, අනතුරුව ඇහැළ කණුවත්, සුළං කපොල්ලත් හමු වේ. සිරිපා කරුණාවේ අවසන් ඉම මහගිරිදඹය යි. එය තරණය කරත්ම උඩ මළුව දිස් වේ.   


අපගේ මීළග අවධානය යොමු වන්නේ තිරුපති සහ මක්කම ස්ථාපිත පා සටහන් පිළිබඳ තොරතුරු විමර්ශනය කෙරෙහිය.   


තිරුපති සහ මක්කම නියත වශයෙන්ම සම්බුදු ශ්‍රී පාද ලාංඡනය පිහිට වූ ස්ථාන ලෙස තහවුරු කෙරෙන පුරාවිද්‍යාත්මක ලේඛන ආශ්‍රිත සාක්ෂි ගණනාවක් විද්වතුන් විසින් අනාවරණය කරනු ලැබ ඇත.   

 

ආචාර්ය කේ ජමනදාස මහතා, තිරුපති බොදු විහාරස්ථානයක් බව සනාථ කරමින් රචිත ග්‍රන්ථය

 සච්චබද්ධ මුහුලස පිහිටවූ සිරි පතුල   


 තිරුපති පිහිටියේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහිය. අඩි 3200 ක උසින් යුත් තිරුමාල කඳුකරයෙහි ය. එය ගිරි කුළු සමූහයක් පිරිවරා නැගී සිටින හිමෙන් වැසි කඳුකරයක් ලෙසින් දිස් වේ. තිරුපති පිහිටි උස් බිම ශේෂාචලම් යනුවෙන් ද හැඳින්වේ. ආන්ද්‍ර ප්‍රදේශ වාසීන්, එම සප්ත ගිරි කුළු සමූහය ශේෂාද්‍රි, නීලද්‍රි, ගරුද‌ාද්‍රි, අංජනද්‍රි, වෘෂබද්‍රි, නාරායනද්‍රි සහ වෙන්කටද්‍රි යන නම්වලින් හඳුන්වති.   


තිරුපති නොහොත් ශ්‍රී වෙන්කටේෂ්වර දේවාලය වෙන්කටද්‍රි (ශේෂාචලම්) නම් වූ සත්වැනි ගිරිකුළ කේන්ද්‍රිතව පිහිටියේය. 

 
වේද ග්‍රන්ථ සහ හින්දු පුරාණයන්ට අනුව වෙන්කටේශ්වර නොහොත් විෂ්ණු දෙවිදුන් ප්‍රථමයෙන්, සප්ත ගිරි කුළු අතරින් හත්වැනි කඳු ශිඛරයෙහි පය තැබූ ස්ථානය “ශිවාරි පාදලු‍” ලෙසින් හැඳින්වේ. මෙම පාද ලාංඡනය පිහිටියේ, වර්තමානයේ තිරුපති දෙවොල පිහිටි අඩවියේම ඊට බොහෝ දුරින් වූ උස් කඳු මස්තකයෙහිය. හින්දුන් මහත් බැතියෙන් වන්දනා මාන කෙරෙන මෙම ස්ථානය, පාරිශුද්ධත්වයට පත්වූයේ බුදුන් වහන්සේ මෙහි සිය සිරිපතුල පිහිටුවීමෙන් පසුව බව ඉපැරණි මූලාශ්‍ර පරිශීලනයේදී මැනවින් පසක් වේ. සච්චබද්ධ තවුසාගේ ආරාධනය පරිදි බුදුන් වහන්සේ සච්චබද්ධ පර්වත මස්ථකයෙහි උන්වහන්සේගේ දකුණු සිරි පතුලෙහි ලාංඡනය පිහිට වූ බව ද අටුවාවේ සඳහන්ය. 

 
මෞර්ය රාජ වංශය අවසන් වීමෙන් පසු බ්‍රාහ්මණයෝ බෞද්ධ සිද්ධස්ථානවලට පහර දීමට පටන් ගත්හ. එපමණකින් සෑහීමකට පත් නොවූ හින්දුන්, සහමුලින් විනාශ නොවූ බොදු පුද බිම් බ්‍රාහ්මණ දෙවියන්ගේ හැඩතලට අනුහුරු වන ස්වරූපයෙන්, ව්‍යාජ පරිවර්තනයක් සිදු කරනු ලැබිණි. මෙසේ බ්‍රාහ්මණයෝ සච්චබද්ධ බෞද්ධ සිද්ධස්ථානය තිරුපති බාලාජි දේවාලය බවට පත් කළහ.   


මජ්ජිම නිකායේ අටුවා කතාවක බුද්ධඝෝෂ හිමියන් සඳහන් කර ඇත්තේ මෙම පර්වතයෙහි වැඩ වාසය කළ සච්ච බද්ධ නම් වූ සිල්වත් තවුසෙක් බුදුන් වහන්සේ වෙතින් සද්ධර්මය ශ්‍රවණය කොට අර්හත් භාවයට පත් වූ බව ය. වර්තමානයේ තිරුපති කෝවිල පිහිටි කඳුවැටිය සච්චබද්ධ තවුසාණන් ජීවත් වූ අඩවිය වන බැවින් එම කඳුවැටිය ද බුදුන් දවස එනමින් හැඳින්වුණු බව පැවසේ. සප්ත බද්ධ යනුවෙන් කඳු සතක් යාව පිහිටි කඳුකරය යන අරුතින් සච්ච බද්ධ යන නම භාවිතයට පත්ව ඇති බවට ද ජනප්‍රවාදයක් පවතී. 

 
සියවස් ගණනාවක සිට හින්දු භක්තිකයෝ මෙම අඩවියෙහි පිහිටි තිරුපති දේවාලයෙහි වෙන්කටේශ්වර විෂ්ණු දේව පිළිමයට නිති පූජෝපාහාර පවත්වති. එනමුදු මෙම පුද බිම පෙර බෞද්ධ විහාරස්ථානයක් බවත්, විෂ්ණු දෙවිඳුන් ලෙසින් ඔවුන් පූජෝපහාර දක්වනු ලබන්නේ බුදු පිළිමයකට බවත් විද්වතුන් ගණනාවක් විසින් පුරාවිද්‍යාත්මක සාධක ආශ්‍රයෙන් අනාවරණය කර ඇත. එවන් මතයක් ජනගත කළ වියතුන් අතර, බී.ආර්. අම්බෙඩ්කාර්, කේ. ජමන්දාස්, පර්සි බ්‍රවුන්, ජී.එස්. ගුරේ, එල්.එම්. ජෝෂි, ඩී.ඩී. කොසැම්බි, කාන් සාස්ත්‍රී, කේ.ආර්. වෛද්‍ය නාදන් යන මහතුන්ට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ.   


එම විද්වත් පිරිස අතරින් ප්‍රමුඛයා ලෙසින් සැලකෙන භීම්රාඕ රාම්ජි අම්බෙඩ්කාර් මහතා උපතින්ම හින්දු භක්තිකයෙකි. එනමුදු, එතුමා විසින් සිදු කරන ලද නිරීක්ෂණ තුළින් මතු වූ සාධක මත පිහිටා, තිරුපති දේව අඩවිය බුදුන් දවස බෞද්ධ විහාරයක් බවට ප්‍රකාශයට පත් කිරීමට තරම් අදීන විය. අම්බෙඩ්කාර් භාරතයේ ජවහර් ලාල් නේරු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් ලෙසින් ද දීර්ඝ කාලයක් සේවය කළ ග්‍රන්ථ සියයකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කළ පඬි රුවනකි. 

 
ආචාර්ය කේ. ජමනදාස් විසින් රචිත “තිරුපති බාලාජි බෞද්ධ සිද්ධස්ථානයක්”‍ (Tirupati Balaji was a Buddhist Shrine) නම් ශාස්ත්‍රීය කෘතියෙහි තිරුපති බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස පිළිගත හැකි බැව් හේතු සාධක සහිතව පෙන්වා දී ඇත. ආචාර්ය ජමනදාස් ද උපතින්ම හින්දු භක්තිකයෙක් බව ද අප මෙහිදී සිහි තබා ගැනීම වැදගති. මුල් යුගයේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව බොදුනුවන් ජීවත් වූ බව ද මෙම කෘතිය තහවුරු කරයි. තිරුපති දේවාලයේ විෂ්ණු ප්‍රතිමාව ලෙසින් හින්දු භක්තිකයින්ගේ වන්දනා මානයට පාත්‍ර වන්නේ, බුදුන් වහන්සේ ජීවමාන සමයෙහි, එහි පැවති බෞද්ධ ආරාමයෙහි පිහිටුවා තිබූ බුද්ධ ප්‍රතිමාවකට බව හේ පෙන්වා දෙයි. බුදු පිළිමයේ ශීර්ෂය හින්දු දේවාලවල දේව හිස් ආවරණයට යොදා ගන්නා සම්ප්‍රදායික ඔටුන්නකින් සහ සළුවකින් ආවරණය කර ඇති බව ද ආචාර්ය ජමනදාස් අවධාරණය කරයි. එම ආවරණ ඉවත් කළ විට, එය බුදු පිළිමයක ශීර්ෂය ලෙසින් දිස්වන බව හේ පැහැදිලි කරයි. කතුවරයා සිය කෘතියෙහි පිටකවරයට යොදා ඇත්තේ එම පිළිමයෙහි ශීර්ෂ වසා තිබූ සළුව මඳක් ඉහළට ඔසවා, බුද්ධ සිරසක ස්වරූපය මතුවන ආකාරයේ චිත්‍රයකිනි. පැරණි බුදු පිළිමය සළු පිළි, මල් ලියකම්වලින් සරසා, එය විෂ්ණු දේව පිළිමයක් ලෙසින් වෙස් ගන්වා ඇති ආකාරය ඔහු සිය කෘතියෙහි සවිස්තරව සඳහන් කර ඇත. තිරුපති හි පැවැත්වෙන ශ්‍රවණ මංගල්‍යය සම්ප්‍රදායිකව බෞද්ධ සංසිද්ධියක් බව ද ආචාර්ය ජමනදාස් පවසයි. ප්‍රතිමාවට නව සළු පිළි පැලඳ වීම කිසි විටෙක ප්‍රසිද්ධියේ සිදු නොකිරීමත්, ප්‍රතිමාවේ ගුණාංග විවෘතව සහ ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට ඉඩ නොතැබීමත් තුළින් තමන් අවධාරණය කරන කරුණු සනාථ වන බවත්, ආචාර්ය ජමනදාස් ගේ මතයයි. පහත දැක්වෙන සාධක ද තහවුරු කරන්නේ, තිරුපති විෂ්ණු පිළිමය, ඉපැරණි බෞද්ධ ප්‍රතිමාවක් වන බවය.   
තිරුපති ප්‍රදේශය අශෝක අධිරාජයාගේ පාලනය යටතේ පැවති අතර මූර්ති බිහි වූයේ බෞද්ධ පාලනය යටතේ වන බැවින්, එය බෞද්ධ පිළිමයක් බව සනාථ වේ. පිළිමය අජන්තා ගුහාවේ පද්මපානි බෝධිසත්වයන් හා සමාන බව ද නිරීක්ෂිතය.   


විෂ්ණුගේ ප්‍රතිමාවක් නම්, ඒ ආසන්නයේ ගරුඩකුගේ මූර්තියක් ද ප්‍රතිමාවට බද්ධව දර්ශනය විය යුතු වේ. ආසන්නයේ දිස්වන්නේ සිංහ ලාංඡනයකි. සිංහ රූප නෙලා ඇත්තේ බෞද්ධ සිද්ධස්ථානවල පමණි. මෙහි ඉස්මතුව දර්ශනය වන නෙළුම් පුෂ්පය ද බෞද්ධ සංකේතයකි. පිළිමයෙහි බෞද්ධ අභය මුද්‍රාව මූර්තිමත් වේ.   
යෝනක පුරයෙහි පිහිටවූ සිරිපා සටහන  


“යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං” යනුවෙන් සිරිපා වන්දනා ගාථාවෙහි දැක්වෙන යෝනක පුරයෙහි පිහිටුවන ලද සිරිපා සටහන පිළිබඳ ගවේෂණාත්මකව කරුණු විමසා බැලීම කෙරෙහි මීළඟට අපගේ අවධානය යොමු වේ.   


ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායට අයත් ‘පුණ්ණෝවාද සූත්‍රයෙන්’, බුදුන් වහන්සේ යෝනක පුරයට වැඩමවා, උන්වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය පිහිටුවීමේ සිද්ධි දාමය මැනවින් විස්තර කෙරේ.   


 භාග්‍යවතුන් වහන්සේ සමථ විපස්සනා භාවනා කමටහනක් ලෙස ‘පුණ්ණෝවාද සූත්‍රය’ දේශනා කරන ලද්දේ සුනාපරන්ත ජනපදයෙන් පැමිණ පැවිද්ද ලද පුණ්ණ නම් වූ යෝනක භික්ෂු නමකට ය.   
බුදුන් ජීවමානව වැඩ සිටි ක්‍රිස්තු පූර්ව සවැනි සියවසේ ‘සීනායි’ නමින් හඳුන්වනු ලබන පෙදෙස ඇතුළු මුළු අරාබි අර්ධද්වීපයත් ඉන් ඔබ්බෙහි පිහිටි ජනපද සියල්ලත් ‘සුණාපරන්ත ජනපදය’ නමින් හැඳින්විණි. බෞද්ධ ග්‍රන්ථවල “සුන”‍ - සුනාපරන්තය සහ පුරාණ බයිබලයේ මෙම දේශය හඳුන්වන “සනයි”‍ යන ස්ථාන නාමය සමඟ ගැලපෙන ස්වභාවය මෙහිදී සංසන්දනය කර බැලීම යෝග්‍ය වේ.   


භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලද පුණ්ණ හිමියෝ සුණාපරන්ත ජනපදයට අයත් වර්තමානයේ ‘පූනාන්’ නමින් හැඳින්වෙන ග්‍රාමයේ වෙ​ෙළඳ නායක පවුලක දෙටු පුත් ලෙස උපන්නේය. ජන්මය ලද ගමේ නමින් හෙතෙම ‘පුණ්ණ’ නම් විය. ඔහුගේ බාල සොහොයුරා ‘චූල පුණ්ණ’ යනුවෙන් හැඳින්විණි. වියපත් දෙසොහොයුරෝ ගැල්වර පන්සීයක් පුරා වෙළඳ ද්‍රව්‍ය පුරවා ගෙන, ඉන්දියාවට සැපත්ව කොසොල් රට අගනුවර වූ ‘සැවැත්නුවර’ට පැමිණ වාඩිලාගෙන වෙළෙඳාමෙහි නිරත වූහ. ඒ අවදියෙහි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන බැව් සැලවී, පුණ්ණ වෙළෙඳ කෙළෙඹියා උන්වහන්සේ වෙත එළැඹ, බුදු දහම කෙරෙහි පැහැදී පැවිද්ද ලබා ගති.   


තමන්වහන්සේගේ ජන්ම භූමිය වන යෝනක දේශයට ගොස් මහණදම් පුරා ලොව්තුරා සැප උපදවාගෙන එරට වෙසෙන යෝනක ජාතිකයන් අතර සම්බුදු දහම පැතිරවීමේ සත් සිතිවිල්ලක් පුණ්ණ තෙරණු සිත්හි පිළිසිඳිනි. පුණ්ණ තෙරණුවන් සමග පැවති සදහම් සාකච්ඡාවකින් අනතුරුව, උන්වහන්සේට සිය රට බලා වැඩමවීමට භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදය හිමිවිය.   


සිය රට පැමිණි පුණ්ණ මහ තෙරපාණෝ තම උපන් ගමට ආසන්නයේ පිහිටි අම්බට්ඨ නමැති පර්වතයේ විහාරයක් ඉදිකරවීය. එය යෝනක දේශයෙහි ඉදිකරන ලද ප්‍රථම බෞද්ධ විහාරය ලෙස සැලකේ. බුදු දහම සිය දේශය තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් පුණ්ණ තෙරුන්වහන්සේ විසින් මළ මුහුද අසබඩ සමුද්දගිරි විහාරය, මාතුලගිරි විහාරය සහ මකුලකාරාම විහාරය යන විහාර ත්‍රිත්වය ද ඉදි කළේය. භාවනා යෝගීව විදසුන් වඩා රහත් ඵලය ලද පුණ්ණ රහතන් වහන්සේගේ ආරාධනය පරිදි, භාග්‍යවතුන් වහන්සේ, සැරියුත් - මුගලන් දෑගසව්වන් ඇතුළු පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරා සුණාපරන්ත ජනපදයෙහි මකුලකාරාම විහාරස්ථානයට වැඩම කළහ. එම දේශයෙහි බොදුනුවන් බවට පත්වූ යෝනක ජනතාව හමුවේ දහම් දෙසුමක් පවත්වා, මතු එරට සැදැහැතියනට වන්දනය පිණිස, වර්තමානයේ මක්කම ලෙස ප්‍රකට ස්ථානයෙහි භාග්‍යවතුන් වහන්සේ තම සිරි පතුල පිහිටුවනු ලැබිණි. ක්‍රි.පූ. 5 වැනි සියවසේ බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද පපංචසුදණිය ග්‍රන්ථයෙහි යතෝක්ත සිදුවීම් මාලාව සවිස්තරව සඳහන් වේ.   
බුද්ධඝෝෂ තෙරුන් විසින් පපඤ්චසුදනිය රචනා කරනු ලැබුවේ මහම්මත් තුමා ලොව උපත ලැබීමට සියවස් එකහමාරකට පෙර බව ද මහමද්තුමා මක්කම උපත ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ මකුලකාරමයට වැඩීමෙන් වසර 1100 ට පසුව බව ද මෙහිදී අපගේ සුවිශේෂී අවධානය යොමු කිරීම වැදගත් වේ. ත්‍රිපිටකයේ මජ්ඣිම නිකාය, පපංචසුදණිය වන් අති පෞරාණික බෞද්ධ ග්‍රන්ථ තුළින් පමණක් නොව මැද පෙරදිග කුම්රාන් ගුහාවලින් හමු වූ ඓතිහාසික ලේඛනයන්හි ද මක්කම ආශ්‍රිතව බුදු සමය පැතිර තිබූ බැව් සනාථ කෙරෙන තොරතුරු හමු වී ඇත.   


 දහනව වැනි සියවසේ මැද භාගයේදී, මළ මුහුදට වයඹ දෙසින්, ජේරුසලමට සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි කුම්රාන් නම් ගම්මානයෙහි කඳුවැටි ආශ්‍රිත ගුහාවල පියන්වලින් මුද්‍රා තබා වසා තිබූ මැටි බදුන් තුළින් පැරණි ලේඛන සමූහයක් සොයා ගනු ලැබිණි. 1947 දී ආචාර්ය ජෝන් ට්‍රේවර් නම් පුරාවිද්‍යාඥයා මුල්වරට මෙම ලේඛන නිරීක්ෂණයෙහි නිරත විය. මෙම මැටි බදුන්වල ආරක්ෂිතව පැවතියේ සතුන්ගේ පදම් කළ සම් මත ලියා රෝල් කරන ලද, අති පෞරාණික ලේඛන විශේෂයක් බව ඔහුට නිරීක්ෂණය විය.   


 මළ මුහුද ආශ්‍රිත ගුහා එකොළසකින් ලේඛන ඛණ්ඩ දහසකට ආසන්න සංඛ්‍යාවක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. පුරාවිද්‍යාඥ විලියම් ඕල්බ්‍රයිට් මහතා පවසන පරිදි මෙම ලේඛන ගත කිරීම් ක්‍රිස්තු පූර්ව 1 වැනි සියවස දක්වා දුරාතීතයට විහිදේ.   


මෙම ලේඛන කෙටුම්පත් කර තිබුණේ හෙබ්‍රව්, ඇරමයික හා ග්‍රීක භාෂාවලිනි. ඇතැම් ලේඛනයන්හි සටහන් වූ බෞද්ධ ඉගැන්වීම්, සිරිත් විරිත් සහ සාරධර්ම පිළිබඳ තොරතුරු නිරීක්ෂකයන්ගේ වැඩි අවධානයට යොමු විය.   


 මළ මුහුද ආශ්‍රිත ගුහා තුළින් හමු වූ එක ලේඛනයක සඳහන් එවන් එක් පාඨයක, “සියලු‍ නපුරු ක්‍රියාවලින් වළකින්න - සියලු‍ යහපත් ක්‍රියාවන්හි නිරත වන්න.” යනුවෙන් සඳහනි.   


මෙනයින් ඇතැම් ඉපැරණි ලේඛන මගින් හෙළි වන තොරතුරුවලින් මළ මුහුද ආශ්‍රිත රටවල බුදු දහම ව්‍යාප්තව පැවැති බවට විද්වතුන් ගෙනහැර දක්වන මතය වැඩිදුරටත් සනාථ වේ. මළ මුහුද අද්දර ලෙන් තුළින් සොයා ගනු ලැබූ පැරණි ලේඛන සියල්ල මෙතෙක් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර නොමැත. මතු ඒ සියල්ල ප්‍රකාශයට පත්වූ පසු මළ මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ බුදු දහමේ ව්‍යාප්තිය මෙන්ම, කිතු දහමේ සහ මුස්ලිම් දහමේ මූලාරම්භය පිළිබඳව ද වැඩිදුරටත් තොරතුරු අනාවරණය වනු නිසැක.   


 පාලි අටුවාචාරීන් පැහැදිලි කරන පරිදි, බුදුන්වහන්සේ සාමාන්‍යයෙන් පා ගමනින් වඩිනා සද උන්වහන්සේගේ පා සටහන් දෙරණ මත ස්ථාවරව නො පිහිටන බැව් අවධාරණය කෙරේ. එවැන්නක් සිදුවන්නේ උන්වහන්සේ අධිෂ්ඨාන කළහොත් පමණක් බව ද පාලි අටුවාවේ වැඩිදුරටත් සඳහනි. ඒ අනුව දැනට පවත්නා පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව වැඩි දෙනකුගේ පිළිගැනීම වන්නේ මෙදියත සිරිපා ලාංඡනයෙන් පාරිශුද්ධත්වයට පත්වූයේ, සැවැත් නුවර නර්මදා ගං තෙර, සච්චබද්ධ කඳු සිරස, යෝනක දේශය සහ සිරි ලක සමනළ මුහුලස පමණි. නර්මදා නදී තෙර සිරි පදලස අදෘශ්‍යමානිතය. සච්චබද්ධ කඳු සිරස එකලු කළ සිරිපදලස හින්දු භක්තිකයන්ගේ ග්‍රහණයෙහිය. යෝනක පුරේ පිහිටුවාලූ බුදු සිරි පතුල ඉස්ලාම් භක්තිකයන් උරුම කරගෙන ඇත්තේ, එය තම අල්ලා දෙවිදුන් පිහිටවනු ලැබූ ශුද්ධ වූ සංකේතයක් ලෙස සලකමිනි. මෙවන් පසුබිමක, බොදුනුවන්ට නළලත තබා වන්දනය පිණිස, සමනළ ගිරිකුළ මත සිරිපා පද්මය ජීවමානිතව පැවතීම, අප ජන්ම භුමිය, අප ජාතිය ලද පරම දුර්ලභ භාග්‍යයක් සේ සැලකිය හැකිය.