පුංචි චිපයකින් මුළු ලෝකයම අල්ලේ නටවන ඉන්ටෙල් කෝපරේෂන්හි කතාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • ඉන්ටෙල් බිහිකිරීමට මුල් වූ එක් අයෙක් රසායන විද්‍යාඥයෙකි. අනෙක් විද්‍යාඥයා භෞතික විද්‍යා අංශයේය
  • සෙමිකන්ඩක්ටර්ස් හෙවත් අර්ධ සන්නායක මෙන්ම චිප නිෂ්. ඇතුළු පරිගණක අංශය සතු සූක්ෂම දේ නිපදවන ලොව අංක එකේ නාමය වන්නේ ඉන්ටෙල්ය

 

ඔබ භාවිත කරන ජංගම දුරකථනය කෙතරම් වටිනාකමකින් යුතු වුවද චිපයක් (micro chip) නැතිව එයින් කිසිඳු ඵලක් නොවන්නේය. එය ඔබ දන්නා දෙයකි. චිප් එක නොමැතිව ජංගම දුරකථනයෙහි කිසිවක් ගබඩා කරගත (බාගත) නොහැකි වන්නේය. විවිධ ඇප්ස් (Apps) හෙවත් යෙදුම් බාගත කර ගැනීමට නම් දත්ත ගබඩා කර ගත හැකි තාක්ෂණික සේවාව සපයන්නේ මයික්‍රෝචිපය ඇත්නම් පමණෙකි. ඊට අමතරව අන්තර්ජාල පහසුකම් සහ දුරකථන පහසුකම් සේවා ලබා ගැනීමට සිම්පතක් (එයද චිපයකි) තිබිය යුතුය. මයික්‍රෝ චිපයක් යනු අතැඟිල්ලක පුරුකක් තරමටවත් විශාල වූවක් නොවේ. එය එතරම්ම කුඩා වූවකි. එහෙත් ඒ කුඩා චිපය මගින් කළ හැකි දේ නම් විටෙක විශ්මය දනවන්නකි. 


මෙම කුඩා චිපයක් මගින් මුළු ලෝකයම අල්ලේ තියාගෙන නැටවිය හැකි යැයි සරලවම කිව හැකිය. මයික්‍රෝ චිපයක ඇති ඇසට නොපෙනෙන අණු හෙවත් ඉතා සියුම් අංශු වෙන් වූ ප්‍රමාණය ඉතා බොහෝය. මතක සියල්ල මිනිස් මොළයේ තැන්පත් වන්නාක් මෙන් අදාළ උපකරණයට අනුව භාවිත කෙරෙන චිපයන්හි දත්ත ගබඩා කෙරේ. මෙය සැබැවින්ම තාක්ෂණයේ මහා විප්ලවයකි. ඇදැහිය නොහැකි තරමේ තාක්ෂණික දියුණුවකි. ජංගම දුරකථනයට පමණක් නොව ඩිජිටල්කරනය වූ ලොව සියලු පද්ධති සඳහා මෙන්ම ගුවන්, නාවික, මෝටර් රථ, බස් රථ, දුම්රිය ඇතුළු ප්‍රවාහන පද්ධතීන් මෙන්ම බොහෝ ක්‍රියාවලීන් සඳහා චිපය නොමැතිව කිසිවක් කරගත නොහැකි බව සඳහන් කළ හැකිය.   


අද අප කතා කිරීමට සූදානම් වන්නේ මෙම මයික්‍රෝ චිපයන් ගැනය. එනම් ඒවා නිෂ්පාදනය කරන ලොව අංක එකේ සමාගමක් ගැනය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප එලෙසින් විස්තර කිරීමට තෝරා ගත්තේ ඇමෙරිකාවේ ඉන්ටෙල් නමැති ලෝ ප්‍රකට ටෙක්නොලොජි හෙවත් තාක්ෂණ සමාගමය. ඉහත සඳහන් කළ ආකාරයට මයික්‍රෝ චිපයන් සහ ඊට අදාළ තාක්ෂණ නිෂ්පාදනයන් කරනු ලබන ලොව ප්‍රමුඛතම ආයතනය ලෙස සටහන් වන්නේ කැලිෆොර්නියාවේ සැන්ටා ක්ලෝරාහි (Santa Clara) ස්ථාපිත වූ ඉන්ටෙල් (Intel) ආයතනයේ නාමයයි.   


කවුද මේ ඉන්ටෙල් (Intel)  


ඉන්ටෙල් යනු ලොව විශාලතම තාක්ෂණ සමාගමකි. සෙමි කන්ඩක්ටර් (Semiconductor) හෙවත් අර්ධ සන්නායක චිපයන් නිෂ්පාදනය කරනු ලබන ප්‍රමුඛතම සමාගම වන්නේ මෙම ඉන්ටෙල්ය. CPU (මධ්‍යගත සැකසුම් ඒකක) මයික්‍රෝ ප්‍රොසෙසර්ස්, චිපයක් මත වූ පද්ධති (System on a Chip), මවු පුවරු හෙවත් පරිගණකයක ප්‍රධාන පුවරුව සඳහා චිප පරිපතය, Modem, ෆ්ලෑෂ් මෙමරි, නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කොන්ට්‍රෝලර්ස්, සොලිඩ් ස්ටේට් ඩ්‍රයිවර්ස්, සෙන්සර්ස් ඇතුළු පරිගණක කලාවේ සූක්ෂම අංශ සඳහා නිෂ්පාදන ඉන්ටෙල් ප්‍රධානව නිපදවනු ලබයි. ලෝකයේ පරිගණක නිෂ්පාදනය කරනු ලබන බොහෝ සමාගම් සඳහා ක්ෂුද්‍ර සකසනය හෙවත් මයික්‍රෝ ප්‍රොසෙසර්ස් නිපදවනු ලබන්නේ ඉන්ටෙල් විසිනි. ලෙනෝවෝ (Lenovo), HP, Dell පරිගණක නිෂ්පාදන සඳහා Microprocessors නිෂ්පාදනය කරන්නේ ඉන්ටෙල්ය. ඊට අමතරව ඉහතින් සඳහන් කළ පරිදි පරිගණක නිෂ්පාදන අංශය සඳහා වන සූක්ෂමවූත් සියුම්වූත් නිෂ්පාදන ඔවුනගේ ක්‍රියාවලියට ඇතුළත්ය.   


ඉන්ටෙල් කෝපරේෂන් බිහිවූයේ මීට වසර 53කට පෙරදීය. 1968 ජුලි 18 වැනිදා N.M. ඉලෙක්ට්‍රොනික්ස් නමින් සමාගම ඇරඹිණි. කැලිෆෝර්නියාවේ මවුන්ටන් වීව්හි එලෙසින් ඉන්ටෙල් ස්ථාපිත වූයේ, ගෝඩන් ඊ මුවර් සහ රොබර්ට් නොයිස් යන තරුණයින් දෙදෙනාගේ ප්‍රධානත්වයෙනි. ගෝඩන් ඊ මුවර් රසායන විද්‍යාඥයකු විය. රොබට් නොයිස් භෞතික විද්‍යාඥයකු විය. මේ දෙදෙනා ඇරඹි සමාගමට සම ආයෝජකයා ලෙස ආතර් රොක් එක්ව සිටියේය. ඔහුගේ මග පෙන්වීම මත මැක්ස් පැලෙව්ස්කිගේ මැදිහත්වීමද සිදුවූයේ ආයෝජකයකු ලෙසිනි. ඉන්ටෙල් යනු ඔවුන් මිලදී ගත් නාමයකි. එය ඇමෙරිකාවේ මිඩ්වෙස්ට්හි තරු හෝටල නාමයක් ලෙස පැවති අතර ඩොලර් 15,000ක මුදලක් (අද කාලයේ හැටියට රුපියල් විසිනව ලක්ෂ හැට නම දහසක් පමණ) වැය කර ඒ නාමය ලබා ගෙන තිබේ. පළමු වසරේ ඉන්ටෙල් සමාගමේ ශුද්ධ ආදායම ලෙස සඳහන් වූයේ ඩොලර් 2672 කි. Intel මුලදී මුවර් නොයිස් යන නාමයෙන් හැඳින්වූ අතර Intel නාමය මිලදී ගත් පසු එතැන් සිට ඉන්ටෙල් වූ බවද සඳහන් වේ.   


මුවර් නොයිස් නාමය ඉලෙක්ට්‍රොනික සමාගමකට සුදුසු නැහැ. ඒ නිසා අපි NM හෝ MN කියා මෙය නම් කරමු යැයි රොබට් නොයිස් සහ ගෝඩන් මුවර් තීරණයකට එළැඹ තිබේ. ඒ අතරවාරයේදී ඉන්ටෙල්කෝ (INTELCO) යන හෝටල නාමයට අයත් Intel කදිමට තම සමාගමට ගැලපුණු නිසා මුදල් ගෙවා ඒ නාමය මිලදී ගත්තේ යැයි සඳහන් වේ.   


අාරම්භයේදී ඉන්ටෙල් නිෂ්පාදනය කළේ ලොජික් සර්කිට් හෙවත් Logic gate තාක්ෂණික ක්‍රියාවලියයි. අනාගතයේදී ඔවුනගේ අභිප්‍රාය වූයේ සෙමිකන්ඩක්ටර් හෙවත් අර්ධ සන්නායක නිෂ්පාදන කිරීමය. මේ සෙමිකන්ඩක්ටර් හෙවත් අර්ධ සන්නායක මොනවාද කියා මොහොතකට අපි බලමු. මයික්‍රෝ චිපයක හෝ වෙනත් චිපයකට අයත් තඹ ලෝහමය පැතලි තිරයක් ඇතුළත්ය. ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලිය සඳහා චිපය බලගැන්වෙන්නේ එය මගිනි. තඹ සන්නායක පරිපථයක් ලෙස එකතකට එය හැඳින්විය හැකිය. මෙම සෙමිකන්ඩක්ටර්ස් යනු චිපයක හදවත ලෙස සඳහන් කළ හැකිය. සෙමිකන්ඩක්ටර්ස් හෙවත් අර්ධ සන්නායක නොහොත් චිපයන් ගැන සහ මයික්‍රෝ චිපයන් ගැන කතා කිරීම, විස්තර කිරීම තවත් අතකට සංකීර්ණ වූ දෙයකි.   

 


දූවිලි අංශුවක් හෝ නොමැති ස්ථානය  


මයික්‍රෝචිප්ස් (Micro chips) ඇතුළු අනෙකුත් චිපයන් නිෂ්පාදනය කිරීමේදී ඒවා නිෂ්පාදනය කරන ස්ථානය ඇතුළතට කිසිම අමුත්තකු හට යා නොහැකිය. ඔපරේටර් රූම් ලෙස හැඳින්වෙන එය සම්පූර්ණයෙන්ම Sterilized (වායු හරණය) කර ඇති ස්ථානයකි. එනිසා සුපර් ක්ලීන් (Super Clean) එයාර් (වාතය) ලෙස එතැන සඳහන් කළ හැකිය. සාමාන්‍යයෙන් රෝහලක ශල්‍යාගාරයක හෝ කාමරයක් කොතරම් පිරිසිදුද කියා අපි නිගමනය කරමු? එවැනි ස්ථානයකට වඩා දහස් ගුණයකින් මෙතැන පිරිසිදුය. දශමයක හෝ දූලි අංශු හෝ ජල අංශු එතැන නැත. ඒ තරමටම පිරිසිදු වාතය ඇති ස්ථානයක් ලොව තවත් ඇත්තේ නම් එලෙසින් ඇත්තේ මෙලෙසින් අර්ධ සන්නායක හෝ චිප සාදන නිෂ්පාදන ස්ථානවල පමණක් වේ.   


මේ විදියට ඉන්ටෙල් සහ මයික්‍රෝචිප් නිෂ්පාදන ස්වභාවය ගැන විස්තර කියවන අතරේ ඉන්ටෙල් බිහිකිරීමට පුරෝගාමී වූ ගෝඩන් මුවර් සහ රොබට් නොයිස් ගේ විස්තර මොනව​ගේද බලමු.   


ගෝඩන් මුවර් (Gordon Moor)  


ගෝඩන් මුවර් පරිගණක අංශයේදී හැඳින්වෙන්නේ මුවර්ස් ලෝ (Moors Law) නමිනි. ‘මුවර්ස් ලෝ’ නමැති ග්‍රන්ථය සම්පාදනය කළ කතුවරයා වන්නේද ඔහුය. භෞතික විද්‍යාවේ නීතියක් වෙනුවට ඊට වඩා අරුතක් සැපයූ මුවර්ගේ නීතිය නිසා ඉලේක්ට්‍රොනික පරිපථ හා අර්ධ සන්නායක නිපදවීමේදී පරිගණක අංශයේ වැඩකාරයින් මෙන්ම මහ මොළකරුවන් හට එය මහඟු අත්​පොතක් ලෙස හැඳින්වේ. ගෝඩන් අර්ල් මුවර් උපන්නේ 1929 ජනවාරි 3 වැනිදා සැන්ෆ්‍රැන්සිස්කෝවේදීය. ඔහුගේ පියා එම පළාතේ ෂෙරිෆ්වරයා ලෙස එවකට කටයුතු කළේය. කුඩා කාලය මුවර් ගත කළේ පෙස්කාඩෙරෝහිදීය. ඉගෙනීමට උපන් හපනෙකු වූ මුවර් කැලිෆෝර්නියාහි බර්ක්ලි සරසවියට ඇතුළත් වී රසායන විද්‍යාව පිළිබඳව උපාධිය ලබා ගත්තේ 1950 වසරේදීය. පසුව ආචාර්ය උපාධිය ලැබුවේ 1954 වසරේදීය. ලෝ ප්‍රකට ජෝන්ස් හොප්කින්ස් සරසවියේ සිට පර්යේෂණ හා ව්‍යවහාරික භෞතික විද්‍යා රසායනගාර අංශයේ නියමුවා ලෙස 1953 සිට 1956 දක්වා කටයුතු කර තිබේ. මුවර් හට තම පෙම්වන්තිය හමුවූයේ සැන් ජෝස් ස්ටේට් කොලීජියේ ඉගෙනුම ලබමින් සිටි අවදියේදීය. පසුව ඇය විවාහ කර ගත්තේ 1950 වසරේදීය. නවෝත්පාදන සොයා ගනිමින් ව්‍යවසායකයකු සහ රසායන අංශයේ විද්‍යාඥයකු ලෙස ගමනක් එද්දී ඔහු ලද සම්මාන බොහෝය. ධනය ලැබෙන තරමට ඒවා නැවත සමාජ සත්කාර සඳහා පුදකිරීමටද හේ මැලි නොවීය. බිරිඳ බෙටී අයිරින් විටාකර් සමග එක්ව ගෝඩන් ඇන්ඩ් බෙටී මුවර් පදනම නමින් සත්කාර පදනමක් පිහිටුවාගත් අතර ඒ සඳහා ඩොලර් බිලියන 5ක් වෙන්කළ බව සඳහන් වේ. පාරිසරික සංරක්ෂණය සහ විද්‍යා අංශයේ කටයුතු සඳහා මෙන්ම සමාජයීය කටයුතු සඳහා ආධාර උපකාර සත්කාර ඒ මගින් සිදු කෙරේ. 2021, එනම් මේ වසරේ මාර්තුවේදී ඔහු සතු ධනයෙහි වටිනාකම ලෙස සඳහන් වූයේ ඩොලර් බිලියන 12-6 ක් ලෙසය. ඉන්ටෙල් කෝපරේෂන්හි ගෞරවනීය සම්මානනීය මහාචාර්ය සභාපතිවරයා ලෙස තවමත් ඔහු කටයුතු කරයි. සමාගම එය ඔහු වෙත ලබාදී ඇත්තේ ගෞරවනීය පුද කිරීමක් ලෙසය.   


රොබට් නොයිස්


ඉන්ටෙල් බිහිකිරීමට සම දායකත්වය ලබා දුන් රොබට් නෝටන් නොයිස් උපන්නේ 1927 දෙසැම්බර් 27 බර්ලින්ටන්හි ලෝවාහිදීය.   


ඩිජිටල්කරණයේ සහ පරිගණක ක්‍රියාවලියේ මෙන්ම තාක්ෂණයේ විස්කම් ලොවට ප්‍රායෝගික කරන කලාපය වන ඇමෙරිකාවේ සිලිකන් නිම්නයේ ආරම්භක චරිතයකි. එනිසාම ඔහු හැඳින්වූයේ ‘ද මේයර් ඔෆ් සිලිකන් වැලි’ ලෙසය. එනම් සිලිකන් නිම්නයේ පුරපති නමිනි. මුවර් රසායන විද්‍යාඥයෙක් වූ අතරේ රොබට් නොයිස් භෞතික විද්‍යාඥවරයකු විය. පූජකයකු වූ රැල්ෆ් බ්රූව්ස්ටර්ගේ සහ පූජකවරයකු වූ මිල්ටන් ජේ. නෝටන්ගේ දියණිය වූ හැරියට් මේ නෝටන්ගේ තෙවැනි පුතු වූයේ මෙම රොබට් නොයිස්ය. ගණිතය සහ විද්‍යාවට එකලෙස දක්ෂ වූ නොයිස් පාසලේදී මෙන්ම සරසවි ජීවිතයේදී හොඳට කප් ගැසූ චරිතයක් විය. ඉගෙනීමෙන් බැබලෙන තරුවක් වූ අතර ගැයුමට සහ රැඟුමටද හපනෙකු වූ රොබට් නොයිස් පිහිනුම් ශූරයකු ද විය. එවැනි දක්ෂයකු අද ද සොයා ගැනීමට නොහැකි තරමේ දෙයකි. මිනිසකු කෙතරම් දක්ෂද මොන තරම් දේ කළ හැකිද යන්න කදිමට ඔප්පු කළ මහා චරිතයක් ලෙස ඔහු​ෙග් නාමය සඳහන් කළ හැකි වේ. උපාධිධරයකු වීමෙන් අනතුරුව පර්යේෂණ ඉංජිනේරුවරයකු ලෙස වෘත්තීය ජීවිතයට එළැඹ සිටි නොයිස් 1953 විවාහ වූයේ එළිසබෙත් බොටම්ලී සමගය. මේ යුවළට දරුවන් සතර දෙනෙකු සතු වූ අතර අක්කර 50ක පමණ සුවිශාල භූමියක ගිම්හාන සමය ගත කිරීම ඔවුනගේ පුරුද්දක් විණි. එම භූමිය මේ පවුල සතු වූවකි. Microelectronics අංශය අනාගතයේදී නවීනත්වයෙන් තව තවත් ඉදිරියට යන බව ඔහු ප්‍රකාශ කර ඇත. නොයිස් යනු ජීවිතයට වඩා විශාල වූ මිනිසකු ලෙස හැඳින්විය හැකිය. මුළු ජීවිත කාලය සක්‍රීයව සිටි චරිතයකි. අර්නස්ට් හෙමිංවේගේ පොත් කියවීම, තමා සතු ගුවන් යානයෙන් පියාසර කිරීම, දිය මත කිමිදීම (ස්කූබා ඩයිවින්) ඔහුගේ විනෝදාංශ වී තිබිණි. ජීවිතයට වඩා බොහෝ දේ කළ ඒ මහා මිනිසා වයස අවුරුදු 62 දී මියගියේ හෘදයේ ආබාධයක් නිසාවෙනි. ඔහුගේ නාමය ඉදිරියේ ඇති සම්මාන - ගෞරවනාම රැසකි. ඔහු නැතත් ඒවා සැමදාම පවතිනු ඇත.   

 


ඉන්ටෙල් (INTEl) ගැන සැකෙවින්  


ඉන්ටෙල් කෝපරේෂන් සතු කෞතුකාගාරය විශේෂ වූවකි. කැලිෆෝර්නියාවේ සැන්ටා ක්ලේරාහි මෙම කෞතුකාගාරය නිර්මාණය වූයේ 1992 වසරේදීය. (ජනතාව වෙනුවෙන් නැරඹීමට විවර වූයේ එම වසරේදීය) වර්ග අඩි දසදහසක පමණ ඉඩක් ඒ වෙනුවෙන් වෙන්කළ බැව් සඳහන්ය. 2017 පෙර මෙම කෞතුකාගාරය නැරඹීමට වසරකට අසූ දහසක් පමණ වූ පිරිසක් ආ බව වාර්තා වී තිබිණි.   


අනාගත පර්යේෂණ සහ සංවර්ධන කටයුතු උදෙසා ඉන්ටෙල් කෝපරේෂන් R and D සංකල්පය යටතේ 2016 සිට 2017 තෙවැනි අදියර දක්වා ලාභයෙන් කොටසක් වෙන් කර තිබේ. එය කොතරම් මුදලක් වී ද යත් ඩොලර් බිලියන 3ක් ලෙස සඳහන් විණි.   


ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හෙවත් කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් ඩොලර් බිලියනයක් වැය කිරීමටද ඉන්ටෙල් වග බලාගෙන සිටී.   


අර්ධ සන්නායක (සෙමි කන්ඩක්ටර්ස්) සහ චිපයන් නිෂ්පාදනය කරන විද්‍යාගාරයේදී භාවිත කෙරෙන විශේෂිත ඇඳුම හැඳින්වෙන්නේ බනී සූට් (Bunny Suit) නමිනි. සුපර් ක්ලියර් රූම් හෙවත් දශමයක හෝ දූලි අංශුවක් නැති පිරිසිදු කාමරයේදී භාවිතා කෙරෙන එම ඇඳුම හඳුන්වාදුන්නේ 1997 වසරේදීය.  
ඉන්ටෙල් සීමා වූයේ පරිගණක ආශ්‍රිත විස්කම් වලට පමණක් නොවේ. සුවිශේෂී තාක්ෂණ ක්‍රියාවලියක් යටතේ අත් ඔරලෝසු නිෂ්පාදනයට අත ගැසුවේ 1970 දශකයේදීය.   


මොන තරම් දේ කළද? සදාකාලික වීරත්වයක් සැමදා කාටවත් රඳවා ගත නොහැකිය. එතෙක් පරිගණක තාක්ෂණික ක්ෂේත්‍රය පෙළහර පෑ ඉන්ටෙල් හට 2017 දී පසු බෑමට සිදුවූයේ සැම්සුන් සමාගම නිසාය. සැම්සුන් සමාගම අර්ධ සන්නායක (Micro Chip) නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉන්ටෙල් අභිබවා 2017 දී පෙරමුණට ආයේය. සමස්ථයක් ලෙස ගත් කළ අර්ධ සන්නායක හෙවත් සෙමි කන්ඩක්ටර්ස් පමණක් (Semi conductors) නිෂ්පාදනය කිරීමේ ලෙස ප්‍රමුඛතම සමාගම වන්නේ තායිවානයේ ‘TSMC’ සමාගමය.   


ලොව වඩාත් අගනා වටිනා සමාගම් නාමයන් අතර ඉන්ටෙල් පසුවන්නේ 14 වැනි ස්ථානයේය. 2017 වෙනවිට ඔවුනගේ නිෂ්පාදන වත්කම ලෙස සඳහන් වූයේ ඩොලර් බිලියන 59.4ක අති විශාල මුදලකි.   
මහා ධනස්කන්ධයක් තාක්ෂණික ඥාානය නිසා උපයන අතරේ විවිධ කරුණු කාරණා හේතු කරගෙන (Antitrust) බිලියන 1.3 ක පමණ දඩ ගෙවීමටද සිදු වූ බැව් සඳහන් වේ.   


මේ සියල්ලට අමතරව මයික්‍රෝචිපයක හැටි අපි මොහොතකට විපරම් කර බලමු. (Intel Packs Over) 100 million transistors in each square millimeter of a chip) ලෙස සඳහන් වේ. එනම් චිපයක ඇති ධාරිතාවය ඉන් අපට වටහා ගත හැකිය. පුංචි චිපයකට නැතිනම් තඹ පෙත්තකට කළ හැකි දේ හරි පුදුමයි නේද? ඒ පුදුමය මැවූ මහා මිනිස් මොළය ගැන මොහොතක් සිතන්න. එනම් ඔබ ඔබගේ මොළය ගැන මොහොතකට හිතන්න. ඔබ දශමයකින් හෝ එයින් ප්‍රයෝජන ගෙන තිබේද කියා කැඩපතක් වෙන ගොස් ඔබගෙන්ම විමසා දැන ගන්න. මිනිසා මෙන්ම මිනිස් මොළය හරි අසිරිමත් නේද?  

 

 

 

පරිවර්තන සටහන
සඳුන් ගමගේ