තිස් වසරකට පෙර කොළඹ දෙදර වූ බෝම්බ පිපිරීම


 

 

රටේ ප්‍රධානම ආරක්ෂක මර්මස්ථානය වූ හමුදා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය බෝම්බ ප්‍රහාරයට ලක්ව විනාශ වී හෙටට (21) හරියටම වසර 30 කි. 

 
එදා එනම් 1991 ජුනි 21 වන සිකුරාදා උදේ 9.30 ට පමණ ශ්‍රීමත් අර්නස්ට්ද සිල්වා මාවතේ අග්‍රාමාත්‍ය කාර්යාලය පැත්තේ සිට රාජකීය විදුහලේ ප්‍රාථමික අංශය දෙසට මා ගමන් කරමින් සිටියේ කොළඹ 07 යුද හමුදා මේට්ලන්ඩ් කඳවුරට යාම සඳහාය. ඒ අවස්ථාවේ දී අසල සිටි තේ විකුණන තේ වෙළෙන්දකුගෙන් තේ කෝප්පයක් මිලදී ගත්තේ විඩාව සංසිඳුවා ගැනීමටය. ඒ දවස්වල අද මෙන් නොව කොළඹ ප්‍රදේශයේ පොඩි පොඩි පෙට්ටි කඩ සහ තේ විකුණා ජීවත් වන වෙළෙඳුන් සිටීම සුලභ දසුනකි. 


තේ වීදුරුව පානය කරමින් සිටි මාගේ අතින් එම වීදුරුව එකවරම බිම වැටුණේ මුළු කොළඹ 07 ප්‍රදේශයම දෙදරුම් කෑ ශබ්දයකිනි. කුමක් සිදුවුවාද කියා සිතා ගැනීමට බැරිවිය. නි​මේශයකින් දකින්නට හැකිවූයේ හමුදා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථාන ප්‍රදේශයේ විශාල දුමක් සහ ගිනි ජාලාවකි. 


මාද එම ස්ථානය වෙත දිව ගියේ මාද සොල්දාදුවකු වූ නිසාවෙනි. මොනවා බලන්නද?. ඒකාබද්ද මෙහෙයුම් මූලස්ථානය ගිනි ජාලාවකි. වහලය මුළුමනින්ම කැඩී ගොසිනි. එය කටු අකුලක් මෙන් දක්නට ලැබිණි. ඒ අසල තිබූ එම ප්‍රදේශයට සෙවනක් ලබාදුන් මහා ගස් කරටියෙන්ම කඩා වැටී තිබිණ. රථවාහන ද විශාල ප්‍රමාණයක් ගිනි ගනිමින් තිබුණේ මහා විශාල ගුවන් ප්‍රහාරයකට ලක්වූවාක් මෙනි. 


ඒ අසල තිබූ හමුදා නිවස්න ද බිමට සමතලා වී තිබිණ. වාහන ඇතුළේ පවා මළකඳන් පිච්චෙමින් තිබිණ. මෙදින හමුදාවේ වැටුප් ගෙවන දිනය වූ බැවින් ද සති අන්තය වූ බැවින් ද සෙබළුන් මාසේ වැටුප් ලබාගෙන තමන්ගේ දෙමාපියන්, දරුවන් බිරින්දෑවරුන් බලා කියාගන්න නිවෙස් කරා යාමට සූදානම්ව සිටියහ. 
මෙසේ ගිනිගෙන අළුදූවිලි බවට පත්කරමින් මිනිස් ජීවිත 25 ක් පමණ බිළිගනිමින් 170 කට පමණ දෙනෙකුට තුවාල සිදුකරමින් ගෙවල් දොරවල් 100 කට වැඩි ප්‍රමාණයක් කඩා බිඳ දමමින් කොළඹ නගරය තුළ පුපුරා ගිය විශාලතම බෝම්බය බවට පත් වීමට එම බෝම්බය සමත් වූයේ මව්පියන්ට දරුවන්ද දරුවන්ට සෙනෙහබර පියෙක්ද බිරිඳකට ආදර ස්වාමිපුරුෂයකු අහිමි කරමිනි. යුද හමුදාවෙන් ලැබුණු පුහුණුව හා එඩිතරකම් නිසාම තුවාලකරුවන් රෝහල කරා ගෙන යන්නට මාද සහය වීමි. ඒ වන විටත් යුද හමුදාවට නවයකු වූ මා හට එයද විශාල අත්දැකීමක් විය. 


තත්ප්පර කීපයක් තුළ ගිලන් රථ හා ගිනි නිවන රථ සයිලන් නලා හඬවමින් එම ස්ථානයට පැමිණියේය. මෙම දරුණු බෝම්බ සිද්ධිය නිසා ඒ අසල පිහිටි කාන්තා විදුහලේ සහ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශවල දරුවන්ද මහත්සේ බියට පත්ව සිටියහ. 
කෙසේ හෝ එදා එම අධි බලැති බෝම්බය සවි කරන ලද මෝටර් රථය යම් ලෙසකින් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ඇතුළට එහි ගේට්ටුව කඩාගෙන ගියේ නම් එම මූලස්ථානයේ සිටි කිසිම පුද්ගලයකු ජීවත් වන්නේ නැත. සියලු දෙනාම මිය යාමට ඉඩ තිබිණ. එවැනි මෙහෙයුම් මූලස්ථානයක් තිබුණාද කියාවත් සොයාගන්නට බැරිවන්නට තිබිණ. 


එදා එක්තරා වාසනාවකට එම මෙහෙයුම් මූලස්ථානයේ ඉදිරිපිට ආරක්ෂක ගේට්ටුවේ රාජකාරි කළ ආරක්ෂක සෙබලුන්ගේ දැඩි කැපවීම සුපරීක්ෂාකාරීත්වය හේතුවෙන් එම රථයට ගේට්ටුවෙන් ඇතුළු වීමට තිබූ හැකියාව මග හැරී ගියේය. 
මෙහෙයුම් මූලස්ථානයේ පිවිසුම් දොරටුව අසල බෝම්බය පිපිරීමෙන් සෑදුණු වළ විශාල ප්‍රමාණයේ ළිඳක් මෙන් ජලය එකතුවී තිබුණේ කැඩී ගිය ජල නළවල වතුර හා ගිනි නිවන රථවලින් පිටවූ ජලය පිරීම නිසාය. 
ගලා යන ජලය සමග මිශ්‍ර වූ මිනිස් රුධිරය මල් පාර දිගේ ද ගලායනු දක්නට ලැබුණේ මල් පාර මිලානවී ගිය රෝස කුසුමක් බවට පත් කරමිනි. 


පසුව දැන ගැනීමට ලැබුණේ එම බෝම්බය පිපිරීමට විනාඩි 10 කට පමණ පෙර එම ස්ථානයට බ්‍රිගේඩියර් විජය විමලරත්න නිලධාරීතුමා පැමිණ ගිය බවයි. එදා එතුමාගේ ජීවිතය අනු නවයෙන් බේරාගත්තත් හරියටම ඊට වසරකුත් මාස 2 ක් වැනි කාලයකින් එනම් 1991 අගෝස්තු මාසයේ දී නැවතත් එවැනිම විශාල පීඩන බෝම්බයකට හසුවීමෙන් අරාලි තුඩුවේ දී රට ජාතිය වෙනුවෙන් එතුමා ජීවිතය පූජා කළේ තවත් රටට වැඩදායක වූ නිලධාරින් පිරිසක් ද සමගය. 


මේ අවස්ථාවේ තවත් දෙයක් සඳහන් කළ යුතුය. එනම් 1991 වසර රටේ ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල වූ වසරක් වීමයි. එනම් 1991 මාර්තු මාසයේදී ආරක්ෂක අමාත්‍යවරයාව සිටි රංජන් විජේරත්න ඇමැතිතුමා කොළඹ තුම්මුල්ල හන්දියේ දී විශාල බෝම්බයකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් රටට ආරක්ෂක අමාත්‍යවරයා අහිමි විය. 


හරියටම ඊට මාස තුනකට පසුව එනම් ජුනි 21 වන දින රටේ ඉහළම ආරක්ෂක මධ්‍යස්ථානය වූ (ආරක්ෂක මර්මස්ථානයක් වූ) ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් එය සහමුලින්ම විනාශ කර දැමීම හා එමගින් හමුදාවේ චිත්ත දහිරිය අඩපණ කිරීමට ත්‍රස්තවාදීන් උත්සාහ දැරීමය. 
කෙසේ හෝ 1991 වසර මුල සිටම කොළඹ නගරයට විශාල ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තවාදීන් අර අඳින බව ද ආරක්ෂාව පිළිබඳව වු පුද්ගලයන් හා දේපළ විනාශ කිරීමට සැලසුම් කරන බව ද තොරතුරු හෙළිදරව් වී තිබුණත් එදා රටේ අවාසනාවට මේ දේවල් වළක්වා ගැනීමට නොහැකි විය. 


1991 වසර මා හට ද අමතක නොවන වසරක් වූයේ ආරක්ෂක අමාත්‍ය රංජන් විජේරත්න මැතිතුමා ජීවිතක්ෂයට පත්වීම හා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ට බෝම්බ ප්‍රහාරයට ලක්වීම දැක ගැනීමට ලැබීම හා එම වසරේදීම එනම් 1991 පෙබරවාරි 03 වැනි දින සක්‍රීය සේවයේ යෙදී සිටිය දී මාගේ වම් අතට තුවාල සිදුවී මාගේ වම් අත මැණික් කටුවෙන් පහළ කොටස ආබාධිත වීමයි. 
එදා අද වගේ නොවේ එදා බ්‍රේකින් නිවුස් තිබුණේ නැත. මම එදා සවස මාරවිල ප්‍රදේශයට ගිය නමුත් සමහර පුද්ගලයන් මෙම සිදුවීම ගැන දැනුවත්වී නොසිටියහ. 


අද එම ප්‍රදේශය දෙස බලන විට එදා එවැනි විනාශයක් සිදු නොවූවා සේ සංවර්ධනය වී ඇත. එහෙත් විශේෂ දෙයක් ඇත. එදා රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය ඉදිරිපිට තිබූ පී.පී. විජේසිරි මහතාගේ ටී, ස්පෝර්ට් එක එම ස්ථානයේම තවමත් ඇත. ඒ අසල තිබූ කුඩා දෙල් ගස අද මහා විශාල දෙල් ගසක් බවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයට මහත් සෙවනක් ලබාදෙමිනි. 


එදා මාද තේ වීදුරුවක රස බැලීමට නතර නොවූවා නම් මේ ලිපිය ලියන්නට මටද ජීවත්ව සිටීමට වාසනාවක් නොලැබීමට තිබිණ. දේශය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන් අද අමතක වී ඇත. 

 

 

 

බී.ඒ.පී. ඩේමියන් ගයිස් 
යුද හමුදා විශ්‍රාමික