ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
- සීමන්ස් හැඳින්වෙන්නේ ඩයිනමෝ ඉලෙක්ට්‍රික් මූලධර්මය සොයාගත් පියා යනුවෙන්
- සීමන්ස්ගෙ තාත්තා එදා ගොවිතැන් කළේ ගොවිපළක් බද්දට අරගෙන
- උසස් පාසලේ අධ්‍යාපනය ලැබීමටවත් පොහොසත්කම් නොතිබූ බැවින් සීමන්ස් යුද හමුදා පාසලකට ඇතුළත්වී තිබේ
- දුප්පත් ගොවියකුගේ පුතෙකු වූ සීමන්ගෙ පවුලේ සහෝදර සහෝදරියන් 14 දෙනෙක් හිටියා
‘සීමන්ස්’ යන නාමය ලෝකයට ආගන්තුක වූවක් නොවේ. සීමන්ස් පැවැත එන්නේ ජර්මනියේ සිට වුවද සීමන්ස්ලා මුළු ලෝකයම වාගේ අල්ලාගෙන සිටීම නිසා ලෝකයේ ඕනෑම රටකදී සීමන්ස් යන නාමය අලුත් නාමයක් නම් නොවෙයි. යාන්ත්‍රික ක්‍රියාන්විතයේදී ලෝකයට බොහෝ දේ දායාද කළ විශිෂ්ට රටක් ලෙස ජර්මනිය හඳුන්වාදිය හැකිය. එහිදී සීමන්ස් යනු අලුත් අලුත් දේ සොයා ගනිමින් ජර්මනියට ආලෝකයක් වී ලෝකය බබළවන සමාගමකි. මීට වසර දෙකකට පමණ පෙරදී පමණක් සීමන්ස් නව සොයා ගැනීම් වෙනුවෙන් සමාගම පේටන්ට් බලපත්‍ර 63,000 කට හිමිකම් කීවේය. ලෝකයේ කර්මාන්තශාලා සඳහා විවිධ යාන්ත්‍රික නිෂ්‍පාදන ඇතුළු විශාල නිෂ්‍පාදන ක්‍රියාවලියක නිරතවී සිටින සීමන්ස් යනු ලෝකයේ අගනා සන්නාම නාමයන් අතරින් නොඑසේ නම් අගනාම සමාගම් අතරින් 49 වැනි ස්ථානයේ පසුවන සමාගමකි. ජර්මනියේ හත් වැනියට සුවිශාලතම සමාගම වන්නේ මේ සීමන්ස්ය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ අද අපි ලෝකයම දන්නා සීමන්ස් ගැන විස්තර කියවමු.
සීමන්ස් සමාගමේ ඉතිහාසය ගැන සොයා බැලීමට පෙර ඔවුන් නිෂ්‍පාදනය කරන්නේ මොන මොන නිෂ්පාදනද කියා අපි විපරම් කර බලමු. සීමන්ස්ලා එදා සියක් වසරකට පෙර අතීතයේදී ලෝකයට අවතීර්ණ වූයේ විදුලි කර්මාන්තය සඳහා නිෂ්‍පාදන දියත් කළ සමාගමක් ලෙසය. එදා නව නිපැයුම්කරුවකු වූ වර්නර් වොන් සීමන්ස් එවකට කටයුතු කළේ විදුලි කර්මාන්තයේ සංවර්ධනීය කටයුතු උදෙසා කැපවී සිටි චරිතයක් ලෙසය.
මෙනිසාම 1847 දී ඇරඹි සීමන්ස් සමාගම කෙටි කාලයක් යාමට මත්තෙන් ලෝකය පිළිගත් ජාත්‍යන්තර සමාගමක් බවට පත්විණි. 1866 දී පමණ ඩයිනමෝ ඉලෙක්ට්‍රික් මූලධර්මය සොයාගත් නිසා වර්නර් වොන් සීමන්ස් හැඳින්වෙන්නේ එම ඩයිනමෝ ඉලෙක්ට්‍රික් මූලධර්මයේ පියා යනුවෙනි. ඒ අනුව විදුලි ඉංජිනේරු විද්‍යාව ඔස්සේ විදුලිය බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිත කළ හැකිය යන්න තහවුරු කර ගැනීමට ඔහුගේ එම සොයා ගැනීම් ඉවහල් වුණි. එලෙසින් එදා සියවසකට එහා වූ අතීතයේදී පටන්ගත් සීමන්ස් අද වනවිට විවිධ අංශ ඔස්සේ විහිදී පැතිරී ගිය ලොව බලසම්පන්න සමාගමකි. කාර්මික, පරිගණක, තොරතුරු තාක්ෂණ අංශය සඳහා වූ නිෂ්පාදන, විදුලි සංදේශ, දුම්රිය සහ ප්‍රවාහන අංශය, බලශක්ති, සෞඛ්‍ය, පාලන පද්ධති, එක්ස් කිරණ, මෘදුකාංග සහ තවත් බොහෝ අංශ සඳහා වූ නිෂ්පාදන ක්‍රියාවලියක සීමන්ස් නිරතව සිටී.
සීමන්ස් සමාගමේ විශේෂත්වය වන්නේ බොහෝ විට ඔවුන් කරනු ලබන නිෂ්පාදන ඔවුන් විසින්ම සොයාගෙන ලෝකයට දායාද කළ නිර්මාණයන් වන බැවිනි. මෙම සටහනේ මුලදී සඳහන් කළ පරිදි පේටන්ට් බලපත්‍ර 63,000 ට වඩා (2018 වනවිට) ඔවුන් සතුවීම මගින් එය කදිමට ඔප්පු වන දෙයකි.
පර්ෙය්ෂණ සහ සංවර්ධන කටයුතු උදෙසා ඩොලර් බිලියන 6.6 ක ආයෝජනයක්
රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් නොහොත් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු උදෙසා නව සොයා ගැනීම් වෙනුවෙන් 2017 දී සීමන්ස් මහා පරිමාණ ආයෝජනයක් කළ අතර, එකී ආයෝජිත මුදල ලෙස වාර්තාවල සඳහන් වූයේ ඩොලර් බිලියන 6.6 ක මුදලකි. ඒ අනුව පෙනී යන්නේ ලෝකයට හෙට දවස වෙනුවෙන් ඔවුන් බොහෝ දේ සිදු කරන බව නොවේද? ලාභ උපයාගෙන පොදි ගසා ගෙන සිටිනවාට වඩා ඔවුන් කරන්නේ උපයන ලාභයට වඩා මුදලක් අනාගතය උදෙසා ආයෝජනය කිරීමය.
මෑතකදී ත්‍රිමාණ මුද්‍රිත ගෑස් ටර්බයින් තල සොයා ගැනීම යනු ඔවුන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.
2018 දී ෆෝබ්ස් සඟරාව වාර්තා කළේ සීමන්ස් යනු ලොව වඩාත් අගනාම සමාගම හැටියටය. දිනකදී සීමන්ස් නව නිපැයුම් හෝ උත්පාදන අඩු තරමින් 35 කට ආසන්න ප්‍රමාණයක් සිදු කරන බව සඳහන් වේ. ලෝකයේ සුළං බලශක්ති ක්‍රියාන්විතය උදෙසා ටර්බයින් (භ්‍රමක යාන්ත්‍රික උපකරණ) නිෂ්පාදනය කරන ලොව ප්‍රමුඛතම සමාගම වන්නේ සීමන්ස්ය. 2014 දී මෙම සුළං බලශක්ති නිෂ්පාදන ක්‍රියාන්විතය වෙනුවෙන් ඩොලර් බිලියන සියයක් පමණ වැය කළ බව වාර්තාවල සඳහන් වුණි. එමෙන්ම මෙම සුළං බල සහ ඔවුන්ගේ බලශක්ති ක්‍රියාදාමය වෙනුවෙන් 2016 දී ව්‍යාපාරය ඒකාබද්ධ කිරීම් සඳහා ඩොලර් බිලියන 17 ක් ආයෝජනය කළ බව සඳහන්ය. ඒ වගේම රෝල්ස්-රොයිස් සමාගම සතුව තිබූ බලශක්ති ව්‍යාපාර අංශය විසිපස් වසරක බද්දට මෙයාලා මිලදී ගත්තේ ඩොලර් බිලියන 1.3 ක පමණ මුදලකටය. වෛද්‍ය හා තාක්ෂණ අංශය වෙනුවෙන් සීමන්ස්ලා ‘Healthineers’ (වෛද්‍ය අංශයේ තාක්ෂණික සමාගම) ස්ථාපිත කළේ 2016 වසරේදීය. අද මෙලෙසින් නව සොයා ගැනීම් රැසක් සමග නැගී සිටින යෝධ සමාගමක් වන සීමන්ස් ලෝකයට දායාද කළ වර්නර් වොන් සීමන්ස් කවුද?
වර්නර් වොන් සීමන්ස්
සීමන්ස් සමාගම ආරම්භ කිරීමට මුල් වූයේ වර්නර් වොන් සීමන්ස් ය. ඔහු එය පටන් ගත්තේ තනියම නොවේ. යොහාන් ගෙඕර්ග් හස්කි සමගය. හස්කි කවුදැයි යන්න දැන ගැනීමට පෙර මේ සීමන්ස් කවුදැයි අපි බලමු. අර්නස්ට් වර්නන් සීමන්ස් නොහොත් වොන් සීමන්ස් උපන්නේ 1816 දෙසැම්බර් 13 වැනිදා සමූහාණ්ඩුවක්ව පැවැති ජර්මනියේ කිංඩම් ඔෆ් හැනෝවර්හි ලෙන්ත් පළාතේදීය. සීමන්ස් උපන්නේ පවුලේ සිව්වැනි දරුවා ලෙසය. සීමන්ස්ගේ පියා ගොවියකුව සිටි අතර, ගොවිපළක් කුලියට ගෙන එහි වැඩ කරගෙන ගියේය. වර්නර් වොන් සීමන්ස් පවුලේ හතරවැනි දරුවා සමග ඔක්කෝම දරුවන් 14 දෙනෙක් සීමන්ස් පවුල සතු විය. ඉපැරණි ගොවි පවුලකින් සීමන්ස් පවුල පැවත එන බව සඳහන් වේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව සීමන්ස් බර්ලින්හි බව්ඇකඩමි උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලැබීය. එම උසස් පාසලේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් සීමන්ස් හට මුදල් ගෙවීමට සිදුව තිබුණද ඔහුගේ පවුල ණය බරින් වෙලී සිටීම නිසා පන්ති ගාස්තු පවා ගෙවා ගැනීමට නොහැකි වුණි. මේ හේතුව නිසා යුද හමුදා අභ්‍යාස ආයතනයක ඉගෙනුම ලැබීමට ගියේය. එය කාලතුවක්කු හා ඉංජිනේරු අංශයෙන් සමන්විත අභ්‍යාස පාසලක් වූ බැවින් නිලධාරී මට්ටමින් එහි සිට බොහෝ දේ හැදෑරීමට ඔහුට හැකිවිණි. ඉතා දක්ෂ සොල්දාදුවකු ලෙස හැදෑරූ අතරේ විවිධ දේ වෙනුවෙන් දැක්වූ දක්ෂතා නිසා පදක්කම් රැසකට හිමිකම් කී සීමන්ස් මුහුදු බෝම්බ නිර්මාණයක් කිරීමට පවා උනන්දු විණි. යුධමය තත්ත්වයකට දායකත්වය දෙමින් හමුදාවේ සිටි සීමන්ස් නැවත ගෙදර ආයේය. ගෙදරවිත් වෙනස් ගමනක් ඇරඹීමට සිතා ගත්තේ ඒ වන විටත් නව සොයා ගැනීම් කිහිපයක්ම සොයාගෙන සිටි නිසාය. 1843 දී සීමන්ස් තමා සොයා ගත් නව නිපැයුම සඳහා වූ පේටන්ට් බලපත්‍රයේ අයිතිය විකුණා දමා මුදලක් සොයා ගත්තේය. ඉන්පසු ව්‍යවසායකත්වයේ ගමන පටන් ගත්තේ ටෙලිග්‍රාෆ් අංශය වෙතිනි. එය වැඩි දියුණු කරමින් ගිය ගමන නතර වූයේ සීමන්ස් සහ හස්කි ටෙලිග්‍රාෆ් කන්ස්ට්‍රක්ෂන්ස් කම්පැනි නමින් 1847 ඔක්තෝබර් 1 වැනිදා සමාගමක් ආරම්භ කරමිනි. පුදුමය නම් සීමන්ස් සහ හස්කි කම්පැණි ඇරඹීමත් සමගම එය ජාත්‍යන්තරව ප්‍රචලිත කරවීමට හැකිවීමය. ඊට මුල් වූයේ ඔහුගේ සහෝදරයින් අතරින් ශ්‍රීමත් විලියම් සීමන්ස් සහ කාල් වොන් සීමන්ස් යන දෙදෙනාය. කාර්මික දියුණුවේ මහ මොළකාරයෙක් වූ සීමන්ස් කසාද දෙකකට හිමිකම් කීය. පළමු බිරිඳගේ නම මැකිල්ඩේ ඩෲමන්ය. දෙවැනි කසාදයේ බිරිඳගේ නම හර්තා ය. මෙම විවාහ දෙකෙන් ලද දරුවන් රටේ ප්‍රකට චරිත බවට පත් වූයේ ඉගෙනුමෙන් ඉහළට ගිය බුද්ධිමත් චරිත වූ නිසාවෙනි. වර්නර් වොන් සීමන්ස් යනු විද්‍යා හා කාර්මික විෂයේදී සාම්ප්‍රදායික වූ චරිතයක් නොවුණි. විද්‍යාවේ සමහර මත බැහැර කළ ඔහු ප්‍රායෝගික වූයේ නව සංකල්ප ඔස්සේ නව නිපැයුම් ඉදිරිපත් කිරීම් මගිනි. එමෙන්ම කාර්මිකයින්ගේ සහ කම්කරුවන්ගේ අයිතීන් උදෙසා සහයෝගය දැක්වූ චරිතයක් වුණි. සරළවම කිවහොත් වර්නර් වොන් සීමන්ස් යනු ධනපති පංතියේ සූරා කන්නෙකු නොවීය. ඔහු නැගී සිටියේ ඔහුගේ දැනුම සහ ශ්‍රම බළකායේ ශක්තියෙන් නිසා ඒ සියල්ලට ගරු කළේය. සීමන්ස්ගෙන් වත්මන් සමාජයටද ගතහැකි ආදර්ශ බොහෝය. ඔහුගේ විද්‍යාත්මක සොයා ගැනීම් ජයග්‍රහණ උදෙසා එවකට ජර්මානු සමූහාණ්ඩුවේ අධිරාජ්‍යාව සිටි iii වැනි ෆ්‍රෙඩ්රික් විසින් ‘වොන්’ යන නාමය සීමන්ස් හට ලබා දුන්නේ ගරුත්වයක් ලෙසිනි. ශ්‍රේෂ්ට පුරවැසියා, උතුම් මිනිසා යන්න ගෞරවනාමයෙන් හැඳින්වීමට එය යොදා ගනී. බර්ලිනයේ ඉතාම කුඩා තැනෙක (මඩුවක) සිට පටන්ගත් ගමන අද වනවිට පැමිණ ඇති දුර සහ දියුණුව දෙස බලද්දී එය සැබැවින්ම විශ්මය දනවන්නකි. ඊට අඩිතාලම දැමූ මහා චරිතයක් වූ වර්නර් වොන් සීමන්ස් දෙසැම්බර් 13 වැනිදාක උපත ලබා සිටි බව අප සඳහන් කළෙමු. ඔහු මිය ගියේද දෙසැම්බර් මාසයේ දිනකදීය. 1892 දී අවුරුදු 75 ක් ආයු වළඳා දෙසැම්බර් 6 දා බර්ලිනයේදී මිය ගියේ තවත් සියවස් කීපයකට ස්වකීය දැනුම ප්‍රයෝගික කරමිනි.
යොහාන් ගෙඕර්ග් හස්කි
එදා ‘සීමන්ස්’ සමාගම ඇරඹීමට සීමන්ස් සමග එක්ව සිටි හස්කි ගැනත් යමක් සටහන් කළ යුතුවේ. 1814 ජූලි 30 දා උපත ලබා සිටි යොහාන් එදා හැඳින්වූයේ මාස්ටර් ඔෆ් මිකැනික් හෙවත් ජර්මනියේ කාර්මික මොළය ලෙසය. විදුලි ඉංජිනේරු අංශයේ මෙන්ම නවෝත්පාදන සොයා ගැනීමේ ශූරයෙකු විය. සීමන්ස් ඇරඹීමට මුල්වූ හස්කි සීමන්ස් සමාගම ජාත්‍යන්තරයට යාමත් සමග එයින් ඉවත්වී තමාගේම ගමනක් ගියේය. ස්වකීය ව්‍යාවසායකයන්ගේ ගමනක් යන අතරේ නගර සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් විද්‍යාත්මක කලාවේ පුනර්ජීවනය උදෙසා බර්ලිනයේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ මිනිසකු වීය. එදා සීමන්ස් මිතුරාගෙන් වෙන්ව තමාගේ ගමනක් තනිව ගියද මියෙන තෙක් හස්කි සහ සීමන්ස් අතර පැවැතියේ ශක්තිමත් නොබිඳුණු මිත්‍රත්වයකි.
සීමන්ස්ගේ අපූරු නිර්මාණ
ලෝකයේ වඩාත් හැඩකාර සරසවිය කුමක්ද කියා ඇසුවොත් ඊට දිය හැකි පිළිතුර වන්නේ බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් සරසවිය යනුවෙනි. ඊට හේතුව සීමන්ස් ආයතනය සමග එක්ව බර්මින්හැම් සරසවිය අලුත් ගමනක් ඇරඹූ නිසාවෙනි. පරිසරයට හානි නොවන බොහෝ දේ අනාගත ලෝකයට දායාද කරවීම සීමන්ස් චින්තනයේ අදහස වේ. කාබන් පරිසරයට එක් නොවන විදියේ තාක්ෂණ ක්‍රියාවලියක යෙදීම ඔවුනගේ ඉලක්කය වේ.
සීමන්ස් ජංගම දුරකථන, ටී.වී., රේඩියෝ, ශීතකරණ, රෙදි සේදුම් යන්ත්‍ර ඇතුළු විවිධ උපාංග නිෂ්පාදන රැසක් ලොවට එන්නේ තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ලෙසිනි. ඔවුන් යන්නේ ඔවුනටම ආවේනික වූ ගමනක් යැයි සඳහන් කළහැකිය. එනිසාම ලෝකයේ ඔවුනට වරිනාකමක් ලැබී තිබේ.
පරිවර්තන සටහන :
සඳුන් ගමගේ
[email protected]