කොරෝනා අස්සේ නිධන් හොරු


 ගල්ඇඳගල පෞරාණික භූමිය පිහිටා ඇත්තේ රන්පත්විල වැවේ වාන පිහිටි මේ මනරම් ස්ථානය අසලය 

නිධන් හොරුන් ගල් වෙඩි දමා පුපුරුවා නිධන් සොයා කැණීම් සිදුකළ තැන

 

කොරෝනා වසංගතයට මුළු රටේම අවධානය යොමුවී තිබෙන මේ අවස්ථාවේ, එය ප්‍රයෝජනයට ගෙන කහටගස්දිගිලිය පොලිස් වසමේ රන්පත්විල පුරාණ ගමේ වැවේ වාන අසල ගල්තලාවේ තිබෙන දුටුගැමුණු රජ සමයේ ඉදිකළ බවට විශ්වාස කෙරෙන ”‍ගල් ඇඳන් ගල”‍ ලෙස හඳුන්වන පෞරාණික ස්ථානය, මේ වන විට යළිත් නිධන් හොරුන් විනාශ කිරීමට පටන් ගනු ලැබ තිබේ. මේ නිසා, එහි තිබෙන නටබුන් ආරක්ෂා කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස එම ගම්වාසීහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හා කහටගස්දිගිලිය පොලිසියෙන් ඉල්ලා සිටිති.   


පසුගිය දිනවල ද නිධන් හොරුන් මෙම පෞරාණික භුමියේ නිධන් හැරීම සිදුකර තිබේ. ඒ සඳහා යොදාගත් ඇතැම් උපකරණ ද ඔවුන් කැණීම් කළ ස්ථානයේ දමා ගොස් තිබෙන බව ගම්වාසීහු පවසති. එබැවින් වහාම මේ ගැන පරීක්ෂණයක් සිදුකර එම ස්ථානයට ආරක්ෂාව සපයන්නැයි ඉල්ලා, රන්පත්විල සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති, විශ්‍රාමික විදුහල්පති, කේ.ඇම්. චිත්‍රසේන මහතා ගම්වාසීන් සමග ගොස් කහටගස්දිගිලිය පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ. 

 
ගම්වාසීන් විශ්වාස කරන්නේ රජරට පුරාණ වැවක් ලෙස පිළිගැනෙන, රන්පත්විල වැව අසල මනස්කාන්ත පරිසරයක පිහිටි මේ පෞරාණික ස්ථානය, දුටුගැමුණු රජ සමයේ විහාරමහා දේවිය මැදිහත්වී ඉදිකරන ලද්දක් බවයි. මේ පෞරාණික ස්ථානය ගැන මහාවංශයේ සහ ථූපවංශයේ ද සඳහන් වන බව රන්පත්විල ගමේ වැඩිහිටියෝ පවසති.   

 

නිධන් හොරුන් හානි කර තිබෙන දාගැබේ නිධන් වස්තු තැන්පත් කිරීමට යොදාගැණුනු ගල් පුවරුවක් 

 

 ගල්ඇඳන්ගලේ ස්වාභාවිකව නිර්මාණය වූ කුඩා පොකුණක් 

 

නිධන් හොරුන් හානි කළ ගල්ඇඳ කැටයම් කර තිබුණේ මේ කුඩා ගල මතුපිටය

 


ඒ ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වන අන්දමට රජරට රාජධානිය බොහෝ කලක් පාලනය කළ එළාර රජු යුද්ධයෙන් පරාජය කිරීමෙන් පසු රට එක්සේසත් කළ දුටුගැමුණු මහා රජතුමා, දේශය ස්වයංපෝෂිත කිරීමේ කාර්යයේ නිරතවෙද්දී ඒ සඳහා උපදෙස් දෙමින් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ විහාරමහා දේවිය, අනුරාධපුරයට යොදුන් දහසයක් දුරින් පිහිටි, එදා ‘අහුරුවිටිය’ නමින් ප්‍රකටව පැවති මේ සරුසාර ගම්මානයට නිතර පැමිණි බවත්, එතුමිය පැමිණි ඒ අවස්ථාවන්හිදී විවේක සුවයෙන් ගත කිරීමට තෝරාගෙන තිබුණේ පුරාණ වැව ආසන්නයේ මනරම් පරිසරයක ස්වභාවධර්මයා විසින් නිර්මාණය කර තිබූ මේ ගල් තලාව ආශ්‍රිත ප්‍රදේශය බවත් එම වැඩිහිටියන් පවසන්නේ ජනප්‍රවාදයේ පවතින කරුණු ගෙනහැර දක්වමිණි.   
මේ වනවිට නිධන් හොරුන් විසින් විනාශ කරදමා තිබෙන කළුගලේ නෙලා තිබූ කැටයම් කරන ළද ඇඳ විහාරමහාදේවිය විවේකයෙන් සැතපීමට භාවිතා කරන්නට ඇතැයි ගම්වාසීහු විශ්වාස කරති. ගම්වාසීන් මෙතැන “ගල් ඇඳන් ගල” ලෙස හඳුන්වන්නේද කළුගලේ නෙලා තිබෙන මේ ඇඳ නිසාය.   
දුටුගැමුණු මහරජතුමන් රුවන්වැලි මහා සෑය ඉදිකරණ අවධියේදී එදා අහුරුවිටිය ලෙස හැදින්වූ මේ ගමේ පුරාණ වැවට පහළ වෙල්යායෙන් රන්පත් විශාල ප්‍රමාණයක් මතුවූ බවටත්, එම රන්පත් පිළිබඳව රජතුමන්ට ගම්වැසියන් දැනුම්දුන් පසු එතුමන්ගේ උපදෙස් පරිදි ඉන් කොටසක් රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රයෝජනයට ගෙන, අනෙක් කොටස අනාගතයේදී ගම්වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම ස්ථානයේ නිධන් කොට වෙහෙරක් හා විහාරයක් තනා පුදබිමක් ලෙස භික්ෂූන්ට පූජා කළ බවටත් ජනප්‍රවාදයේ සඳහන් වන බව කියා සිටින ගම්වාසීහු, නිධන් හොරුන් වෙහෙසෙන්නේ තැන්පත් කර ඇතැයි කියන ඒ නිධානය ලබාගැනීමට බව පවසති.   


නිධන් හොරුන් වරින්වර දැරූ උත්සාහයන් වලදී එම පුදබිමේ පුරාවස්තු රැසක් විනාශ කර දමා තිබේ. මෙතෙක් හානි සිදුනොවී තිබෙන්නේ කළුගලෙන් නිමැවූ සිරිපතුල් යුගලය හා මල් අසුනේ ගල් පුවරුව පමණි.   
 මේ වන විට නිධන් හොරුන් ගල් තලාවේ එක පසෙක ගල් දෙබොක්කාව ගල් වෙඩි දමා අඩි තිහකට වඩා ගැඹුරට හාරා තවත් අඩි හතකට වඩා හරහට දෝනාවක්ද හාරා නිධන් සොයා තිබේ. මීට දින කිහිපයකට කලින්ද නිධන් හොරුන් එතැන නිධන් හෑරීම සිදුකර තිබෙන අතර, ඒ සඳහා යොදාගත් සමහර උපකරණ හා ද්‍රව්‍යද එතැන දමා ගොස් තිබේ.   


ගම්වාසීන් පවසන්නේ නැවත ළඟදී දිනයක පැමිණීමේ බලාපොරොත්තුවෙන් නිධන් හොරුන් ඒවා එතැන දමා යන්නට ඇති බවයි.   

 

සිරි පතුල සටහන් කළ ගල් පුවරුවක්

 


ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන ආකාරයට, ප්‍රබල දේශපාලනඥයෙකුගේ අනුග්‍රහය මත ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඇතුළු කණ්ඩායමක් වගකිවයුතු අංශද දැනුවත්ව මේ නිධන් හෑරීම සිදුකරන්නේය යන කතාවේ සත්‍යතාවක් ඇතැයි විශ්වාස කළ හැකි බව ගම්වාසීහු පවසති.   
එම නිසා මේ ගැන මාධ්‍යට කියනවා හැර වෙනත් මාර්ගයකින් මේ ක්‍රියාව වළක්වා ගැනීමට හැකියාවක් තමන්ට නැතැයිද ගම්වාසීහු කියා සිටිති.   


රන්පත්විල පදිංචි ධර්මසිරි දිසානායක හේරත් මහතා පවසන්නේ,  
ඓතිහාසික අතින් වැදගත් කමක් ඇති මේ ස්ථානයේ වටිනා වස්තු නිධන්කර තිබෙන බවට පවතින විශ්වාසය නිසා, නිධන් හොරුන්ගෙන් නිතර නිතර තර්ජන එල්ලවන බවයි. ගල් තලාවේ කිහිප තැනකම නිධන් හාරා, ඉපැරණි නටබුන් විනාශ කර තිබෙන නිධන් හොරුන්, මෙම ගල්තලාවේ දෙබොක්කාවක පතුලේ නිධන්කර ඇති බවට විශ්වාසකෙරෙන වස්තුව සොයා මේ වනවිට එතැන අඩි 30 කට වඩා ගැඹුරට වරින් වර කැණීම් සිදුකර, ඉන් නොනැවතී අඩි හතකට වඩා දුරට දෝනාවක්ද හාරා ඇතැයි ඒ මහතා පැවැසීය.   
සහකාර සංස්කෘතික අධ්‍යක්ෂකවරයකු ලෙස සේවය කොට මේ වන විට විශ්‍රාම ලබා සිටින රන්පත්විල පදිංචි ඩී.එම්.ඩබ්ලිව්. කුමාරදාස මහතා මේ පෞරාණික ස්ථානය ගැන මෙසේ විස්තර කළේය. 
‘‘මම දැන් විශ්‍රාම ලබා අවුරුදු 10 ක් විතර වෙනවා. රාජකාරි කළ කාලයේදී ඓතිහාසික අතින් වැදගත් කමක් තිබෙන මේ ස්ථානය සොයා බලන්න මම ඇවිත් තිබෙනවා. නිධන් හොරුන් ඒකාලයේත් වරින්වර මෙතැන විනාශ කර තිබුණා. මෙතැන බොහෝම දර්ශනීය ස්ථානයක්. පුරාණ කාලයේ පැවැති වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පයට අනුව, මෙතැන දාගැබක් ඉදිකර තිබී තිබෙනවා. නිධන් හොරුන් විනාශ කළත් ඊට අදාළ සාධක තවම මෙතැන දක්නට ඉතිරිව තිබෙනවා. මල් අසුනේ ගල් පුවරුව, සිරි පතුල් කැටයම, දාගැබ්වල නිධන් තැන්පත් කිරීමට භාවිතාකළ ගල්පුවරු ඒ සාධකයි. 

 


ඒ වගේම මහාවංශයේ හා ථූපවංශයේත් අනුරධපුරයට යොදුන් 16 ක් දුරින් පිහිටි අහුරුවිටිය යන නමින් මේ ගම ගැන සඳහන් වෙනවා. එබැවින් ඓතිහාසික වැදගත් කමක් තිබෙන මේ ස්ථානය ආරක්ෂාකිරීමට පියවර ගැනීම රජය සතු වගකීමක් හැටියට අපි දකිනවා. ගමේ ජනතාව අතර ලොකු විශ්වාසයක් තිබෙනවා, මේ ස්ථානය විනාශ වුණොත් ගමත් විනාශවෙනවා කියලා. ඒ නිසා මේ ඓතිහාසික ස්ථානය ආරක්ෂා කර දෙන ලෙස අදාළ වගකිවයුතු අංශ වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩි දුරටත් පැවැසීය. 
මේ, ගල්ඇඳගල පෞරාණික ස්ථානයට නිධන් හොරුන් සිදුකරණ විනාශය ගැන පොලිසියට පැමිණිළි කළ විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන රන්පත්විල සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති, කේ.එම්. චිත්‍රසේන මහතා පවසන්නේ, මේ වනවිට රටේ පවතින කොරෝනා වසංගතය අස්සේ නිධන් හොරුන් වරින්වර පැමිණ නිධන් හාරා මේ පෞරාණික ස්ථානය විනාශ කරන බවයි. ගමේ ජනතාව පදිංචිව සිටින ප්‍රදේශයට තරමක් දුරින් පිහිටි මේ ස්ථානය අවට රාත්‍රී කාලයට වල් අලි ගැවසෙන නිසා ගම්වාසීන් නොයන බැවින් නිධන් හොරුන්ට නිදහසේ නිධන් හෑරීමට ඉඩ ලැබී තිබෙන බව කී චිත්‍රසේන මහතා, තවදුරටත් මෙසේ පැවසීය. සමහර දවස්වල රෑට මෙතැන නිධන් හොරු ගල් වෙඩි පත්තුකරන ශබ්දය ගමේ අයට ඇහිලා තිබෙනවා. නාඳුනන පුද්ගලයින් මේ පැත්තට යන එන බව ගමේ අය දැකලා තිබෙනවා. ඒ නිසයි, ගමේ අය කිහිපදෙනෙක් දවස් දෙක තුනකට කළින් මෙතැනට ඇවිත් තිබුණේ. ඒ ආපු වෙලාවේ තමයි පහුගිය දවස් වලත් මෙතැන නිධන් හාරලා තිබෙන බවත්, ඒ සඳහා යොදාගත් සමහර උපකරණ හා බඩු භාණ්ඩ අලු‍තින් හාරපු දෝනාව තුළ දමා ගොස් තිබෙන අයුරුත් දකින්නට ලැබිලා තියෙන්නේ. 


ඊට පස්සේ ගමේ අය කහටගස්දිගිලිය පොලිසියටත්, අනුරාධපුරේ පුරාවිද්‍යා කාර්යාලයටත් දැනුම් දීමට කටයුතු කරලා තිබුණා. 


ඒ නිසා, අපට මේ ගැන මාධ්‍යයට කියනවා හැර, කියන්න වෙන වගකිවයුත්තෙක් නැතැයි ද රන්පත්විල සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

 

 

සටහන හා සේයාරූ - අතුල බණ්ඩාර