කොග්ගල නම යළිත් ලොවට ගෙනියන ගුවන් හමුදා ගොල්ෆ් පිටිය


 

 

“එවකට කොග්ගල, ගෙවල් දහසකින් යුත් දැකුම්කලු‍ ගම්මානයක් විය. පන්සල, ගුරු ගෙදර, වෙද ගෙදර, ඔපිසර ගෙදර එගම වැදගත් තැන් විය. 1942 දෙවැනි ලෝක යුද්ධ කාලයේ මෙගම වැසියන් පැය 24ක් ඇතුළත ඉවත් කොට ගෙවල් සියල්ල බිඳ දමා ගුවන් තොටක් හා හමුදා කඳවුරක් පිහිටුවන ලදී. මාර්ටින් වික්‍රමසිහ මහතා උපන් මේ නිවස පමණක් එදා ඉතිරි වූයේ එහි සොඳුරු පෙනුමට ඇලු‍ම් කළ සුදු නිලධාරිනියක එය සිය නිල නිවස ලෙස යොදාගත් හෙයිනි. අහම්බෙන් වූ එම සිදුවීම ජාතියේ වාසනාවක් යැයි අද හැ‍ඟේ. එකල ගිංපතලිය නමින් හැඳින් වූ ඉඩමේ පිහිටි මේ නිවස බ්‍රිතාන්‍ය හමුදා ඉවත්ව යාමෙන් පසු ලඳු කැලෑවෙන් වැසී ගියේය. 1962 දී එවකට පැවති රජය මේ ගෙය මාර්ටින් වික්‍රමසිංහ මහතා වෙත ආපසු භාරදෙන ලදී. වසර 200ක් පැරණි මේ නිවස හා ඉඩම එතුමාගේ අභාවයෙන් පසුව ජාතික උරුමයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන්නේ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසිනි.”   


ඒ මාර්ටින් වික්‍රමසිංහ උපන් නිවසේ අදටත් සඳහන් කර ඇති විස්තරයකි.   


කොග්ගල යනු දැයේ මහා ප්‍රාඥයා වූ මාර්ටින් වික්‍රමසිංහ නිසාම ප්‍රසිද්ධියට පත්වූ ගම්මානයකි. ලෝක යුද්ධයක දී ඕනෑම නිමේශයක ජන ජීවිත ක්ෂණිකව වෙනස් විය හැකි බවට කොග්ගල ගම්මානය අදට ද අපූරු උදාහරණයකි.   


දෙවැනි ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය හමුදාවන්ට ගුවන් සැපයුම් සඳහා ඉතාමත් වැදගත් ස්ථානයක් වූ මැලේසියානු අර්ධද්වීපය ජපන් හමුදාව විසින් අත්පත් කරගැනීමත් සමඟ ඔවුන්ට මුහුදු ගුවන් යානා ගොඩබැස්වීම සඳහා ආසියාවේ ගුවන්‍් තොටක දැඩි අවශ්‍යතාවක් ඇති විය. මේ වනවිට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බැවින් කොග්ගල ඔය සහ මුහුද ආශ්‍රිතව එවැනි ගුවන් තොටුපොළක් නිර්මාණය කිරීම සුදුසු බව අවබෝධ කරගත් රාජකීය ගුවන් හමුදාව ඒ කටයුත්ත ආරම්භ කරන ලද්දේ 1942 මාර්තු මාසයේ දී ය.   
කොග්ගලට පැමිණි රාජකීය ගුවන් හමුදාව මාර්ටින් වික්‍රමසිංහගේ නිවසේ පුවරුවක සඳහන්ව ඇති පරිදි කොග්ගල ගම්මානය පැය 24කින් ඉවත් කළහ. එහි පදිංචිව සිටි පිරිස්වලට වන්දි ලබාදෙන බව පවසා යුදමය අවශ්‍යතාව පෙරට දමා ඔවුන් කඩිනමින් ඉවත් කළහ. අවට තිබූ නිවාස සහ වෙනත් ඉදිකිරීම් රැසක් බිමට සමතලා කරන ලදී. ඉවත්කරන ලද ගැමියන්ට වන්දි ලබා දී තිබිණි.   


මේ අතර බෞද්ධ විහාරස්ථානයක් ද ප්‍රදේශයේ ප්‍රකට ධානපතියකු වූ පියදිගමගේ අඹන්සි ද සිල්වා (පී.ඒ. ද සිල්වා) විසින් ඉදිකර තිබූ “අමද්‍යප බෞද්ධ මිශ්‍ර පාඨශාලාව” ද බිමට සමතලා කර දැමිණි. ඒ අසල තිබූ කුඩා කඳුගැටයක වූ හිරිගල් දේවාලය නමැති බෞද්ධ විහාරස්ථානයත් ඒ ආසන්නයේ සොහොන් ගෙයකුත් ඉතිරිවිය. බිමට සමතලා කරන්නට නියමිතව තිබූ නිවාස අතර කුඩා නමුත් පෞරාණික සොඳුරු පෙනුමකින් යුතු අපූරු නිවසක් ගුවන් හමුදා නිලධාරිනියකගේ සිත්ගත් බැවින් ඇය එය තම නිල නිවස ලෙස ලබා දෙන්න යැයි කරන ලද ඉල්ලීම අනුව එය ඉතිරි කෙරිණි. ඒ මාර්ටින් වික්‍රමසිංහ උපන් නිවසයි.   
නිලධාරීන් සහ සෙසු නිලයන් 40කගෙන් සමන්විත ගුවන් හමුදා කණ්ඩායමක් විසින් කඳවුර ඉදිකිරීම ඇරඹිණි.   


කැටලිනා නමින් හඳුන්වන ජල තලයක් මත නැවැත්විය හැකි සී ප්ලේන් ගොඩබැස්විය හැකි ලෙස ඉදිකිරීම් ආරම්භ කෙරිණි. දින කිහිපයකට පසු සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 100කට අධික පිරිසක් මේ ස්ථානය අංගසම්පූර්ණ ගුවන්තොටුපොළක් බවට පත්කිරීමට සහාය දුන්හ.   
1942 අවසානය වනවිට කොග්ගල සර්ව සම්පූර්ණ ගුවන්තොටුපොළක් බවට පත්වූ අතර එහි සිටි භට පිරිස 800කට අධික විය. එය නැගෙනහිර කලාපයේ පිහිටි සී ප්ලේන් නැවැත්විය හැකි විශාලතම ගුවන් හමුදා කඳවුර ලෙස හැඳින්වේ.   
එක් පැත්තකින් කොග්ගල කළපුවත් අනෙක් පැත්තෙන් ඉන්දියන් සාගරයත් පිහිටා තිබීම නිසා ලෝකයේ ඒ වනවිට භාවිතයේ තිබූ ඕනෑම ආකාරයක සී ප්ලේන් නැවත්වීමට හා පියාසැරිය ආරම්භ කිරීමට පහසු වීම හේතුවෙන් කොග්ගල ගුවන්තොටුපොළ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අතිශය වැදගත් ස්ථානයක් බවට කෙටි කලකින්ම පත්විය. 

 
බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව යටතේ පාලනය වූ මේ ගුවන් තොටුපොළ හා ගුවන් කඳවුරට බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අමතරව එයට අනුබද්ධ රාජකීය කැනඩා හමුදා සේනාංකයක ද සේවය ලබාගෙන තිබිණි.   
රාජකීය කැනඩා ගුවන් හමුදාව මෙරට සේවය කළ එකම කඳවුර වූයේ කොග්ගල කඳවුරයි. කැනඩාවේ ගුවන් සේවය අදට ද වරින් වර එය සමරති. කොග්ගල ගුවන් හමුදා කඳවුරට කැනඩා ගුවන් හමුදාවේ සේවය ලැබී වසර 25ක් සම්පූර්ණ වන අවස්ථාවේදී සහ 50 වසරක් සම්පූර්ණ වන අවස්ථාවේ දී ද ඔවුහු මෙරටට පැමිණ එය සැමරූහ.  


එවකට ලන්ඩන් නගරයේ සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය දක්වා ආසියාව හරහා පියාසර කරන ඉම්පීරියල් එයාර්වේස් ගුවන් යානාවලට කල්කටාව සහ බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් අතර පිහිටි තාවකාලික නැවතුමක් මෙන්ම වඩාත් පහසුම හා සුදුසුම ඉන්ධන පිරවුම්හල වූයේ සිංගප්පූරුවයි. යුද්ධය අතරතුර දී බ්‍රිතාන්‍යයන්ට සිංගප්පූරුව ද අහිමිවිය.   


මෙය බ්‍රිතාන්‍යයට දැවැන්ත පහරකි. ඒ අවස්ථාවේ ඔවුන්ගේ පිහිටට ආවේ කොග්ගල ගුවන් තොටුපොළයි. ඔවුන් විකල්ප මාර්ගයේ නැවතුම්පොළ බවට කොග්ගල ගුවන් තොටුපොළ ස්ථාපිත කරන ලදී.   
ඒ අනුව 1943 දී කොග්ගල ගුවන් තොටුපොළේ සිට පර්ත් දක්වා ගුවන් යානා ඍජුව පියාසර කිරීම ආරම්භ කළ අතර මෙය ඒ වනවිට ලෝකයේ නොනවත්වා ගුවන් යානා පියාසර කරන දිගුම මාර්ගය ලෙස හැඳින්විණි. ඒ සඳහා කැටලිනා යානයකට පැය 28 ක ධාවන කාලයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. මේ ගමනේ දී සිදුවූ සුවිශේෂීතම ‍කරුණක් වූයේ හිරු උදාව හෝ හිරු බැසයාම යානයේ ගමන් කරන පුද්ගලයන්ට දෙවරක් දැකගත හැකිවීමයි. එය එබැවින් මේ ගමන “ද්විත්ව හිරු උදාව” ලෙස ගුවන් සේවාවන් අතර ප්‍රසිද්ධ විය.   
1943 මාර්තු 30 වැනි දින පර්ත් සිට පළමු ගුවන් යානය කොග්ගලට පැමිණි බව පැරණි වාර්තාවල දැක්වෙයි. එදින සිට ක්‍රියාත්මක වූ මේ ගුවන් ගමන්වල දී කැට්ලිනා යානාවල මගීන් තිදෙනකු සහ කිලෝ ග්‍රෑම් 60ක් බරැති තැපැල් මලු‍ ප්‍රවාහනය කළ බව ද වාර්තා අතර තිබේ. 1945 ජූලි 18 වැනි දින මේ මාර්ගයේ අවසන් ගුවන් ගමන සිදුවූ බව පැවසේ. ඉන් පසු කොග්ගල සිට අද දක්වාම ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දක්වා ඍජු ගුවන් ගමනක් සිදුව නැත.   


ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු රාජකීය ගුවන් හමුදාව කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් මෙහෙයුම් 1947 දී නවතා දැමිණි.   


ගමක් ඉවත්කර යුද්ධ මෙහෙයුම්වල අවශ්‍යතාවයට ගොඩනැගූ ගුවන් තොටුපො‍ළ භූමිය ලංකා රජය සතු වූ අතර එම භූමිය වරින් වර වෙනස්කම්වලට භාජනය විය.   


ඉන් පසු 1964 දී එයාර් සිලෝන් ගුවන් සේවය විසින් කොග්ගල ගුවන් තොටුපළ යළි ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදී. එයාර් සිලෝන් ගුවන් යානා මෙහෙයුම් Dakota  


ගුවන් යානා යොදාගනිමින් ක්‍රියාත්මක කළ අතර Avro 748 සහ Nord aviation 262 ගුවන්යානා පසුව ඊට එක්කෙරිණි.   


නමුත් කොග්ගල ගුවන්තොටුපොළ කටුනායක ගුවන්තොටුපොළ තරම් හෝ රත්මලාන ගුවන්තොටුපොළ තරම් හෝ දියුණු කිරීමක් සිදුවූයේ නැත. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිවීමේ ප්‍රතිඵලය වූයේ කොග්ගල ගුවන්තොටුපොළ ක්‍රමයෙන් අභාවයට යාමයි. ඒ අනුව එයාර් සිලෝන් ආයතනය මේ ගුවන්තොටුපොළ අතහැර දැමුවේය.   

 

අනතුරුව 1978 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කොග්ගල ගුවන් තොටුපොළ පවරාදීමට එවකට පැවති රජය කටයුතු කළේය. 1982 දී මෙහි ‍ස්ථිර හා වඩාත් සංවිධානාත්මක ගුවන් හමුදා කඳවුරක් ස්ථාපිත කිරීම අරම්භ කෙරුණු අතර 1984 දී එම කඳවුර විවෘත කෙරිණි. දෙවැනි ලෝක යුද්ධය අවසානයේ කොග්ගල ගුවන් හමුදා කඳවුර අතහැර දැමීමෙන් පසු 1964 දී එහි එයාර් සිලෝන් මෙහෙයුම් ආරම්භ වන අතර කාලයේ දී ප්‍රදේශය පුරා බොහෝ වෙනස්කම් සිදුවිය.   


රාජකීය ගුවන් හමුදාවේ අත්පත් කරගැනීම් හේතුවෙන් නිවාස අහිමි වූ බොහෝ පිරිස් එක්ව “කොග්ගල ජන්මභූමි අහිමිවූවන්ගේ සංගමය” නමින් සංවිධානයක් පිහිටුවාගෙන සිටි අතර ඔවුන් රජයෙන් දිගටම ඉල්ලා සිටියේ අතහැර දමා ඇති තම වාසභූමිය යළි ලබා දෙන ලෙසයි. මේ සඳහා ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ මොන්ටේගු ජයවික්‍රම ද යම් මැදිහත්වීමක් සිදුකරන ලදී.   


මේ පිළිබඳ හොඳින් විස්තර දන්නා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන නන්දසිරි වැලිගමගේ මහතා මෙසේ කීවේය.   
“යුද්දේ ඉවරවෙලා කාලයක් ගියාම මේ ගුවන් තොටුපොළ ප්‍රයෝජනයට ගත්තේ නැහැ. ඉතින් ඉඩම රජයට අයිතියිනේ. එයාර් සිලෝන් එකට මේක පවරා දෙන්න ඉස්සෙල්ලා ගමේ මිනිස්සු මොන්ටේගු ජයවික්‍රම මහත්මයා මාර්ගයෙන් දිගින් දිගටම තමන්ට අයිතිව තිබූ ඉඩම් ඉල්ලු‍වා. කොග්ගලින් ඉවත්කරපු අය ඒ වනවිට කටුකුරුන්ද, තල්පේ, හීනටිගල, අහංගම, කතළුව, දික්කුඹුර වගේ පැතිවල පදිංචිවෙලා හිටියේ. ඒ විතරක් නෙවෙයි සමහරු දිස්ත්‍රික්කයෙන් පිට තමන්ගේ ඥාතීන් සොයාගෙන කෑගල්ල, බදුල්ල වගේ පැතිවලටත් ගිහින් තිබුණා. මේ අයගෙන් කොටසක් ඉල්ලීම් ඉදිරිපත් කළා. පිටස්තර අයත් ඉල්ලීම් කළා. ඉඩම් නැති දුප්පත් අයත් ඉල්ලීම් කළා. අවසානයේ මේ හැමෝගෙම ඉල්ලීම් එකතුකරලා ඉඩම් කච්චේරියක් තිබ්බා. පර්චස් 45 බැගින් වූ ඉඩම් ලැබුණා. මගේ අම්මටත් ඉඩමක් ලැබුණා. නමුත් අම්මා ඒක භාර ගත්තේ නැහැ. ඒ ඉඩමත් දැන් අපිට නැහැ. හැබැයි ඒ දුන්නෙත් ගුවන් හමුදා කඳවුර භාරයට ගත්තු ඉඩම්වලින් බොහොම සුළු ප්‍රමාණයක්. ඔය අතර තමයි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාට තමන් උපන් ගෙදර සහිත ඉඩමත් ලැබුණේ. වාසනාවකට ඒ ගෙදර කඩා දමා තිබුණේ නැහැ.”   


මාර්ටින් වික්‍රමසිංහගේ නිවස ඇති ගිංපතලිය ඉඩම සහිත ප්‍රදේශය හඳුන්වන්නේ මෝදරගොඩ ලෙසිනි. මාතර කොළඹ පාරෙන් මුහුද දෙසට වන්නට පිහිටි කොටස මරඳුවලය, ගුවන්තොටුපොළ පිහිටි ඉඩම බණ්ඩාරවත්තයි. වර්තමානයේ නිදහස් වෙළෙඳ කලාපය පිහිටුවා ඇත්තේ නාගස්තුඩුව නම් ප්‍රදේශයේය.   
මේ සියල්ලේ පදිංචිව සිටි ජනතාව 1944 දී ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා ඉවත්කර පසුව පදිංචිය සඳහා අවස්ථාව ලබා දුන්නේ සුළු පිරිසකට පමණක් බැවින් ඒ ප්‍රදේශයේ අදටත් පදිංචිකරුවන් සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයකි.   

 


දැන් එහි පදිංචි වැඩි දෙනකු එදා කොග්ගලින් ඉඩම් අහිමිවූවන් නොවන බවත් සංක්‍රමණික පිරිසක් බවත් තතු දන්නෝ කියති.   
මාර්ටින් වික්‍රමසිංහගේ කොග්ගල ගම්මානය ගුවන් තොටුපොළට ඉවත්කළ පසුව ද වරින් වර බොහෝ ගම් පෙරළිවලට බඳුන්ව තිබේ.   
මාධ්‍යවේදී නන්දසිරි වැලිගමගේ මහතා පවසන්නේ මේ ගුවන්තොටුපොළේ සිටි 1000කට පමණ ආසන්න ගුවන් හමුදා භටයන්ට විනෝදාස්වාදය පිණිස සිනමා ශාලාවක් පවා තිබුණේ යැයි තමාගේ දෙමාපියන් පැවසූ බවයි. නමුත් එය පිහිටා තිබූ තැනක් හෝ අපට සොයා ගැනීමට හැකියාවක් නැත. එහි ඡායාරූපයක් පමණක් ගුවන් හමුදා කඳවුරේ දක්නට ලැබෙයි.   


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කොග්ගල කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් තිළිණ රාජපක්ෂ මහතා මෙසේ පවසයි. 

 
“අතීතයේ තිබූ ගොඩනැගිලි කිහියක ඡායාරූප තිබෙනවා. නමුත් ඒ ගොඩනැගිලි අද දක්නට නැහැ. ඒවා තිබුණායැයි සිතිය හැකි ස්ථානවල දැන් තිබෙන්නේ වෙනත් ඉදිකිරීම්. පැරණි ගොඩනැගිලි සියල්ල ඡායාරූප සිහිවටනවලට පමණක් සීමා වෙලා.” 

 
කොග්ගල කඳවුරට අතීතයේ පැමිණි සී ප්ලේන් රාශියක ඡායාරූප එම කඳවුරේ ඇල්බමයක තවමත් තිබේ. ඒවා බොහොමයක් එම කඳවුරේ සේවය කළ විදේශිකයන් සතුව තිබී එකතුකරගත් ඒවාය.   

 


කොග්ගල ගුවන්තොටුපොළ දැන් අක්කර 103ක භූමි භාගයකින් සමන්විතය. 1942දී ඒ සඳහා වෙන්කරන ලද භූමියෙන් කොටසක් ගැමියන්ට ආපසු දී ඇති අතර තවත් කොටසක් නිදහස් වෙළෙඳ කලාපයටත් රජයේ ඉදිකිරීම් කිහිපයක් වෙනුවෙනුත් වෙන්කර දී තිබේ.   


නිදහස් වෙළෙඳ කලාපය ඉදිකරද්දී කොග්ගල ප්‍රදේශයේ තවත් වෙනස්කම් රැසක් සිදුව ඇත. ඒ සමඟ කොග්ගලට ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී වටිනාකමක් ලැබී ඇත. ඒ එක් පසෙකින් ඇති මහා සාගරයේ කොග්ගල ආසන්නයේ ම ජාත්‍යන්තර නාවික මාර්ගය පිහිටා ඇත. මුහුදු වෙරළ ආසන්නයෙන් කොළඹ මාතර ප්‍රධාන මාර්ගයයි. ඉන් පසු කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයට යන එන සේවක සේවිකාවන් සඳහා වෙනම සකස්කර ඇති පදික මාවතක් වෙයි. එයට සමාන්තරව කොළඹ සිට බෙලිඅත්ත දක්වා දිවෙන දුම්රිය මාර්ගය පිහිටා ඇත. මේ සියල්ලට හරස්ව ගුවන් ධාවන පථය ස්ථාපිත කර තිබේ. ඒ අනුව කොග්ගල ගුවන් හමුදා කඳවුර යනු ලෝකයේ සියලු‍ම ප්‍රවාහන මාර්ගයන් එකම ස්ථානයක සිටගත් විට නැරඹිය හැකි ලොව එකම තැන ලෙස ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ බව දැන් ජාත්‍යන්තර සංචාරක මඟපෙන්වීම් අත්පොත්වල ද සඳහන් කර ඇත.   


මෙම කඳවුරේ දැන් ගුවන් හමුදා මෙහෙයුම් කාර්යයන්ට මෙන්ම රට අභ්‍යන්තරයේ සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා ද බහුලව භාවිතා කරයි. සංචාරකයන්ගේ දැඩි ආකර්ශනයට ලක්වන දකුණු මුහුදු තීරයට පහසුවෙන් පිවිසීම සඳහා මෙන්ම රට අභ්‍යන්තරයටත් දකුණේ සිට නැගෙනහිර පළාත දක්වාත් සී ප්ලේන් මගින් සංචාරය කිරීමට මේ ස්ථානය අපූරු ස්ථානයකි.   

 


දකුණු පළාතට විශාල අඩුවක්ව තිබූ ගොල්ෆ් පිටියක් ද දැන් කොග්ගල ගුවන් හමුදා පරිශ්‍රයේ නිර්මාණය කර තිබේ. ඒ ගුවන් හමුදා නිලධාරීන් යොදා ගනිමිනි. දෙවැනි ලෝක යුද්ධයේ දී ලොව අතිශය වැදගත් යුද කඳවුරක් වූ කොග්ගල දැන් ගුවන් තොටුපොළකට අමතරව ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ලෙස ප්‍රසිද්ධියට පත්වෙමින් තිබේ. කොග්ගලට, ගාල්ලට, හික්කඩුවට එන සංචාරකයෝ ගොල්ෆ් ක්‍රීඩා කිරීමට දැන් මෙහි එති. ඔවුන් වෙනුවෙන් සියලු‍ පහසුකම් ගුවන් හමුදාව විසින්ම සපයා ඇත.   


 Eagles' Catalina Golf Course නමින් පවත්වාගෙන යන මේ ගොල්ෆ් පිටියේ ඇති ඓතිහාසික වැදගත්කම නිසාම එය සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වෙමින් තිබේ. ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා ඕනෑම අයකුට එහි පැමිණිය හැකි අතර සාමාජිකත්වය ද ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.   


ගොල්ෆ් ක්‍රීඩාවට පැමිණෙන අය වෙනුවෙන්ම ගුවන් හමුදා කඳවුරේ කොග්ගල ඔයට යාබදව අපූරු සමාජ ශාලා ගොඩනැගිල්ලක් ද ඉදිකර තිබේ. ගුවන් හමුදාව විසින් එහි පැමිණෙන අයට ආහාර පාන සැපයීම ද සිදුකරයි.   


ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා කොග්ගල ගුවන් හමුදා කඳවුර පිළිබඳ මෙසේ පවසයි.   

 


“කොග්ගල ගුවන්හමුදා කඳවුරත්, එහි ඇති ගුවන් තොටුපොළත් යුදමය වශයෙන් සමස්ත ලෝකයටම දෙවැනි ලෝක යුද්ධයේ දී ඉතාමත් වැදගත් මෙහෙවරක් කළා. ඒ නිසා මුළු ලෝකයේම අවධානයට ලක්වූ ස්ථානයක්. මේ නිසාම කොග්ගල සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් ස්ථානයක් වගේම සංචාරක කර්මාන්තය රට පුරාම වර්ධනය කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස යොදාගත හැකියි. සිවිල් ගුවන් ගමන් සිදුකරනවාට අමතරව ගොල්ෆ් ක්‍රීඩාපිටියක් ලෙස මේ ගුවන්තොටුපොළ යොදාගැනීමට කටයුතු කළේ මෙහි ඇති ඓතිහාසික වැදගත්කමත් සළකා බලා. ඒ වගේම ගොල්ෆ් ක්‍රීඩාංගණයක අඩුව දකුණු මුහුදු තීරයට තිබුණා. දැන් අපි ඒ අවස්ථාව සම්පූර්ණ කර තිබෙනවා. මෙය ලෝකයේ ඉතාමත් ආකර්ශනීය ස්ථානයක් බවට පත්වීමට මේ ගොල්ෆ් ක්‍රීඩාංගණයත් හේතු‍වේවි.   


කොග්ගල තවත් “ගම් පෙරළියක්” සිදුකරමින් ගුවන් හමුදා කඳවුරත්, Eagles' Catalina Golf Course සමඟ නැවත ජාත්‍යන්තරයට යනු ඇත.   


විශේෂ ස්තූතිය - ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් වික්‍රමසිංහ ඇතුළු මාධ්‍ය ඒකකයට.

 

 

සටහන සහ ඡායාරූප :
සජීව විජේවීර