කැස්බෑවන් මැරුණේ සියදිවි නසාගෙනද?


නැවේ විසෙන් මැරුණාද කියන්න බැරිලු

 කැස්බෑවන් සහ ඩොල්ෆින් මත්ස්‍යයින් පනහකට ආසන්න ගණනකගේ සිරුරු පසුගිය සති දෙකක කාලයේ දී බටහිර සහ දකුණු වෙරළ තීරයට ගොඩ ගසා තිබුණි.   


මෙම කැස්බෑවන් එසේ මියයන්නේ ඇයි?   


ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත නාමාවලියට ඇතුළත්ව ඇති වඳවීමේ තර්ජනයට ලක්ව සිටින මෙම කැස්බෑවන් මියගියේ කුමක් නිසා ද? සමහරුන් නම් කියන්නේ ගිලී ගිය නැවේ විස නිසා බවය. එහෙත් බලධාරීන් එසේ කියන්නේ නැත. එසේ නම් මේ සත්වයන් සිය දිවි නසා ගත්තා ද? 

 
ලෝකයේ ජීවත්වන කැස්බෑ විශේෂ හතකි.   


 එයින් කැස්බෑ විශේෂ පහක්ම ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ දැකගත හැකිය.   

 


ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead Sea Turtle), ගල් කැස්බෑවා (Green Sea Turtle), පොතු කැස්බෑවා/ ලෙලි කැස්බෑවා (Hawks-bill Sea Turtle), බටු කැස්බෑවා/ මඩ කැස්බෑවා (Olive Ridley Sea Turtle), දාර කැස්බෑවා/ තුන්දාර කැස්බෑවා (Leather-back Sea Turtle).


වනජීවී නිලධාරීන් පවසන ආකාරයට පසුගිය දෙසතියක කාලයේදී බටහිර සහ දකුණු වෙරළ තීරයේදී හමු වූ මළ කැස්බෑවන් විශේෂය වනුයේ වඳවීමේ අවදානමට ලක්ව සිටින බටු කැස්බෑවා නොහොත් මඩ කැස්බෑවා ලෙස ලංකාවේ හඳුන්වන Olive Ridley Sea Turtle විශේෂය සහ දැඩි අවදානමට ලක්ව සිටින පොතු කැස්බෑවා නොහොත් ලෙලි කැස්බෑවා (Hawks-bill Sea Turtle) යන විශේෂ දෙකය.   

 


සාගරය කැස්බෑවන්ගේ රාජධානිය පමණක් නොව පෘථිවියේ සහ මිනිසාගේ ද ජීවය රඳා පවත්වා ගන්නට උපකාරි වන මහඟු සම්පතකි.   


පෘථිවියේ ඔක්සිජන් ප්‍රභවය වැසි වනාන්තර බව බොහෝ දෙනකු දන්නා කාරණය වුව ද නොදන්නා කාරණය නම් ඇමේසන් වැසි වනාන්තරවලින් පෘථිවියේ ඔක්සිජන් අවශ්‍යතාව සියයට 28ක් සපුරන විට සියයට 75ක්ම නිපදවනුයේ සාගරයෙන් වීමය.   


ඇතැමෙක් සාගරයට මායිම් නොවූ රටක ජීවත් වුව ද ඔබ ගන්නා හුස්ම පොදේ ඇති ඔක්සිජන් ප්‍රතිශතයෙන් අඩකටත් වඩා සපයනුයේ සාගරයෙනි.   


 සාගරයේ එකදු රූස්ස ගසක් හෝ නොමැතිව ඔක්සිජන් නිපදවන්නේ කොහොම ද?   


එසේ වනුයේ ෆයිටොප්ලැන්ක්ටන් (Phytoplankton Microscopic Plant) නමැති අන්වීක්ෂ ජීවීන් විශේෂයක ක්‍රියකාරිත්වය මගිනි.   


ෆයිටොප්ලැන්ක්ටන් නම් අන්වීක්ෂ ජීවීන්ගේ වර්ධනය රඳා පවතින්නේ කාබන්ඩයොක්සයිඩ්, හිරු එළිය සහ පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීම මතය.   


ගොඩබිම් ශාක මෙන්, ෆයිටොප්ලැන්ක්ටන් අන්වීක්ෂ ජීවීන් විශේෂ මත ද සූර්යාලෝකය ග්‍රහණය කරගැනීම සඳහා හරිතප්‍රද ඇති අතර, ඒවා ප්‍රභාසංශ්ලේෂණය භාවිත කර එය රසායනික ශක්තියක් බවට පත් කරයි.   
ඒ ආකාරයට ඔවුහු කාබන්ඩයොක්සයිඩ් පරිභෝජනය කරන අතර, ඔක්සිජන් පරිසරයට මුදාහරිති.   
ඔක්සිජන් නිපදවන්නට උපකාරි වන සාගරය මේ වනවිට මරාගෙන මැරෙන බෝම්බකරුවන් සේ වූ අකාරුණික මිනිසුන්ගේ පරිසරය වැනසීමේ ප්‍රහාරයට ලක්වූවා සේය.   


 එකී ක්‍රියාකාරකමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස ප්ලාස්ටික් කුණු කන්දක් සාගර පතුලේ නිර්මාණය වී අවසානය.   
පෙනහලු‍ මතින් හුස්ම ගන්නා කැස්බෑවන් සිය දිවි නසා ගන්නා තැනට පත්වූයේ කුමන හේතුවකට දැයි පහදා කීමට නිලධාරීන් සමත් නොවුණ ද කිසියම් වූ අනිසි මිනිස් ක්‍රියාකාරකමක් සාධාරණීකරණය කරන්නට වෙහෙසෙන නිලධාරීන් පවසන ආකාරයට කැස්බෑවන් මිය යාම සිය දිවි නසා ගැනීමකි.   


එසේ නොවේ නම් මෙය සාගරයේ අබිරහස් ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.   


‘එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාව, මේ දිනවල දැඩි කතාබහට ලක්වන මාතෘකාවකි. එකී නැවෙහි ගින්න ලැව් ගින්නක් වූයේ වැසි වනාන්තරවලට නොව සාගරයටය.   


ගිනි ගත් නැව කැස්බෑ මරණ සඳහා බලපෑමක් ඇති කළේ ද? අප විමසා සිටියේ The National Aquatic Resources Research and Development Agency නොහොත් (නාරා) ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ඉහළ නිලධාරියකුගෙන්ය.   


ඔහු අප විමසූ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපැයුව ද ඔහුගේ පළමු ඉල්ලීම වූයේ ඔහුගේ නිලය හෝ නම සඳහන් නොකරන ලෙසටය.   


ඒ මහතා කැස්බෑ මරණ පිළිබඳව පැවැසුවේ මෙවැනි කතාවකි.   


“මෙසේ ගොඩගසන කැස්බෑ සිරුරු නැව නිසා මිය ගියා කියලා හරියටම කියන්න බැහැ. සමහරවිට මෙය ස්වාභාවික සිද්ධියක් නිසා මිය යෑමක් විය හැකියි.   


වාර්ෂිකව කැස්බෑවන්ගේ මිය යාම විවිධ හේතු නිසා සිදු වෙනවා. මාළු දැල් අතර පැටලීම, කණ්ඩායම් වශයෙන් සැරිසරන කැස්බෑවන් කණ්ඩායමෙන් මගහැරීම, ආහාර දාමයකට හසුවීම යන ආපදා තත්ත්ව නිසාත් මේ ආකාරයෙන් මිය යෑම සිදු විය හැකියි.   


එක්කෙනෙක් දෙන්නෙක් ඒ ආකාරයෙන් මිය යෑම නැව නිසාම කියා කියන්න අමාරුයි. වර්ෂයේ එක් කාලයකදී මිය ගිය කැස්බෑවන් මෙලෙස ගොඩ ගැසීම වසර දහයක් එහාට සොයා බැලීමේදී ස්වාභාවිකව සිදුව ඇති බව පෙනෙනවා.   


පසුගිය දින කිහිපයේදී කල්පිටිය, පානදුර, මොරටුව, එගොඩඋයන, දෙහිවල, අඟු‍ලාන, කොස්ගොඩ, හික්කඩුව, මීගමුව යන ප්‍රදේශ කිහිපයකින්ම මළ කැස්බෑවන් දහහතක් පමණ වාර්තා වුණා.   


වනජීවී එකෙන් පවසන ආකාරයට ඒ ගොඩ ගහපු කැස්බෑවන් දින පහකට පෙර මියගොස් ගොඩ ගසන අයයි. නරක් වූ කැස්බෑ සිරුරුවලට පරීක්ෂණ සිදුකිරීමේ ගැටලු‍ පවතිනවා.   


පැය විසිහතරක් ඇතුළත කැස්බෑ සිරුරු ගොඩ ගැසුවේ නම් පහසුවෙන්ම මරණ පරීක්ෂණ සිදු කිරීම විධිමත්ව සිදුකළ හැකියි.   

 


නැවේ ප්ලාස්ටික් නිසා සිදුවන හානිය කෙටි කාලීනව බලපානවාට වඩා එය දීර්ඝ කාලීනව බලපාන හානියක්.   
 එහෙයින් මෙම කැස්බෑ මරණවලට හේතුව ඍජුවම නැවේ රසායනික බලපෑවා යැයි තවමත් අපට ප්‍රකාශ කළ නොහැකියි. එය විද්‍යාත්මකව සනාථ කිරීමට නම් මරණ පරීක්ෂණ වාර්තා පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක්.   
 මෙම ගිනි ගත් නෞකාවේ රසායනික නිසා සාගරය සහ කොරල් පරවලට මෙන්ම මුහුදු ජීවීන්ට සිදු වූ හානිය සෙවීමට කිමිදුම්කරුවන් යෙදවීමේ ගැටලු‍ පවතිනවා.   


 ඔවුන් ගැඹුරු මුහුදට යොමු කරවීමට හැකියාව අවම මට්ටමේ පවතිනවා. මොකද මේ රසායනික ක්‍රියාකාරීත්වය මොනයම් ආකාරයෙන් සිදුවන්නේ ද යන්න තවමත් අපට තහවුරු කරගත නොහැකි කාරණයක් නිසා.”  


මේ පිළිබඳව අපි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මියගෙන් විමසා සිටියෙමු.   


“මෙම කැස්බෑවන්ගේ මිය යෑම පිළිබඳ සෙවීම වනජීවී නිලධාරීන්ට පැවැරෙන කාර්යයක්.   
මෙතෙක් හමු වූ කැස්බෑ සිරුරු මරණ පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂකට සහ බෙල්ලන්විල වනජීවී පශු වෛද්‍ය අංශයට යොමුකොට තිබෙනවා.   


 මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින කාරණයක්. එහෙයින් මෙම සතුන් මිය යෑම නැවෙහි ගින්න නිසා සිදු වුණා ද ස්වාභාවික තත්ත්වයක් ද කියා අදහස් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ.”


මෙම මළ කැස්බෑවන් ගොඩ ගැසීම පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරිය බණ්ඩාර මහතාගෙන් විමසා සිටි අතර, ඒ මහතා පැවැසූයේ මේ පිළිබඳව සියලු‍ තොරතුරු මීපා ආයතනයට සහ අමාත්‍යාංශයට යොමු කර ඇති බැවින් මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි බවය.   


මෙහිදී නම සඳහන් කිරීමට අකැමැති වූ වනජීවී දෙපාර්තමේන්තුවේ තවත් ඉහළ නිලධාරියකු අප සම්බන්ධ කරගත් අතර, ඒ මහතා පැවැසූයේ මළ කැස්බෑවන් ගොඩ ගසන කාලවකවානුවක් තිබෙන නමුත්, මෙය මළ කැස්බෑවන් ගොඩ ගසන කාලවකවානුවක් නොවන බවයි.   

 


සාමාන්‍යයෙන් කැස්බෑවන්ගේ ආයු කාලය වයස අවුරුදු හැත්තෑවක් අසූවක් දක්වා දිවෙන බව සඳහන් කළ ඒ මහතා, එසේ මළ කැස්බෑවන් වාර්තා වන මාස ලෙස නොවැම්බර්, ජනවාරි, පෙබරවාරි යන මාස හඳුන්වා දිය හැකි බව ද පැවැසීය.   


පෙනහලු‍ මතින් හුස්ම ගන්නා සත්ව විශේෂයක් වන මෙම සත්වයන්ගේ පැවැත්මට සාගරයේ සිදුවන යම් යම් වෙනස්කම් බලපාන බව සඳහන් කළ ඒ මහතා, සාගර ජලය මතුපිට තෙල් තට්ටු හෝ රසායනික පවතින අවස්ථාවකදී මෙම ජීවීන්ගේ ජීවිත තර්ජනයකට ලක්විය හැකි බව පැවැසීය.

   
එවැනි අවස්ථාවක දී පෙනහලු අවහිර වීම නිසා මෙම සතුන් මිය යෑම සිදුවිය හැකි බව සඳහන් කළ ඒ මහතා, පසුගිය සති දෙකක කාලයේ වෙරළට ගොඩ ගැසූ කැස්බෑවන් මිය යෑමට හේතු මෙතෙක් අනාවරණය කරගත නොහැකි වූ බව පැවැසීය.   


වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ දැඩි ලෙස ආරක්ෂිත උරගයින් විශේෂයක් ලෙස ලේඛනගත කොට ඇති මෙම සතුන්ගෙන් ගැහැනු සතා ගොඩබිමට පැමිණෙනුයේ බිත්තර දැමීම සඳහා පමණක් යැයි ද ඒ මහතා පැවැසීය.   


වඳ වීමේ අවදානමට ලක්ව සිටින බටු කැස්බෑවා නොහොත් මඩ කැස්බෑවා ලෙස ලංකාවේ හඳුන්වන Olive Ridley Sea Turtle විශේෂය සහ දැඩි අවදානමට ලක්ව සිටින පොතු කැස්බෑවා නොහොත් ලෙලි කැස්බෑවා (Hawks-bill Sea Turtle) යන විශේෂ දෙකම සහ ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ මළ සිරුරු බටහිර සහ දකුණු වෙරළ තීරයේ පසුගිය කාලයේ දක්නට ලැබුණු බව ද ඒ මහතා පැවැසීය.   

 

 

සටහන/ ඡායාරූප - 
රේඛා තරංගනී ෆොන්සේකා