කොරෝනා වාට්ටුවේ දුක හිතෙන කතා
ලංකාව තුළ දිනෙන් දින සිදුවන කොවිඩ් මරණ වේගයෙන් ඉහළ යමින් ඇති කාල සීමාවක අප සියල්ලගේම ජීවිත පවතින්නේ ඉතාමත් අවිනිශ්චිත මොහොතකය. මේ වනවිට කොවිඩ් නියුමෝනියාවෙන් උදුරාගත් අහිංසක මිනිසුන්ගේ ජීවිත ගණන නම දහස ඉක්මවා ඇත. ඒ අතර දිනකට කොවිඩ් මාරයා උදුරාගන්නා ජීවිත ගණන තුන්සියකට අධිකය.
මේ භයංකර ව්‍යසනයේ අවසානයක් කවදා දකින්නට ලැබේදැයි අවිනිශ්චිත ලෝකයක නිශ්චිත නැති ජීවිතය බේරාගන්නට රෝහල් අඳන් මත හුස්ම යදින මිනිසුන්ගෙන් මේ වනවිට ලංකාව පුරාම රෝහල් සංකීර්ණ පිරී ගොස් හමාරය.
අද රෝහල්වල සාමාන්‍ය රෝගීන්ට ඉඩක් නැත. වාට්ටු සියල්ල දැඩිසත්කාර ඒකක කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇත. ධාරිතා ඉක්මවා ගිය කොවිඩ් වාට්ටු ඉදිරිපිට ඇවිදින කොරිඩෝවේ මරණ සහතිකය අතේ ලියාගෙන බිම වැතිර පණ අදින කොවිඩ් රෝගීන් විඳින වේදනාවට පිහිටක් වන්නට මේ මිහිපිට කිසිම දෙවියකු නැත.
මේ කෙටි කාලයට කොරෝනා අපට උරුම කර දුන් වේදනාව සුළුපටු නැත. දරුවන් දහස් ගණනකට මේ වනවිට මව්පියන් අහිමි කර ඇත. මව්පියන්ට දරුවන් අහිමි කර ඇත. බිරිඳට ස්වාමිවරුන්, සැමියන්ට බිරින්දෑවරුන්, නෑදෑ හිතමිතුරන් කොරෝනාවට බිලිවී හමාරය. කොරෝනා රෝගයට ගොදුරුව එකම රෝහලට යන එකම පවුලේ නිවැසියන් බොහෝ දෙනකුට නැවත නිවසට එන්නට සිදුවන්නේ ආදරණීයන් නොමැතිව හිස් අතිනි. ඒතරමටම කොරෝනා මිනිස් ජීවිත අවිනිශ්චිත භාවයට පත්කොට හමාරය. එසේ නම් අප හුස්ම ගන්නේ ජීවිතේ පිළිබඳ බලාපොරොත්තුවක් නිශ්චිත බවක් නැති වටපිටාවක බව ඔබට තේරුම් ගන්නට උදාහරණ ඕනෑ තරම් දිනකට වාර්තාවනු ඇත.
මේ කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවේ වෛද්‍යවරයකු මුහුණ දුන් අත්දැකීම් කිහිපයකි.. මෙය හුදෙක්ම මිනිසුන්ට ජීවිතය බේරා ගැනීමට මෙහි අවධානම පසක් කරදීමට මිස අනවශ්‍ය ගැටලු මතු කිරීමට නොවන බවද ප්‍රථමයෙන්ම කිව යුතුය.
මේ වෙනකොට කොවිඩ් මරණ වැඩිපුරම වාර්තාවන දිස්ත්‍රික්කය වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයයි. දිනකට කොවිඩ් මරණ විස්සකට ආසන්න සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. මේ වෙනකොට කොවිඩ් වාට්ටුවල රාජකාරි කරන වෛද්‍යවරුන් හෙද හෙදියන් විශාල ප්‍රමාණයක් කොරෝනාවට ගොදුරු වෙලා තියෙනවා.
මේ වෙද්දිත් රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින් තියෙන්නේ කොවිඩ් රෝගීන් දෙසීයකට එහා ප්‍රමාණයක් මේ වෙනකොට ප්‍රතිකාර ලබනවා. සමහර රෝගීන් ඉන්නේ පුටු වල. හොඳට වාට්ටුවට එන රෝගීන් අමාරු වෙලා හුස්ම ටික යන්න ගත වෙන්නේ තත්පර ගාණයි. මිනිස්සු බලා ඉද්දී මැරෙනවා.. සමහර රෝගීන් ඔක්සිජන් බටේ ගහගෙන අපි දිහා බලන ඒ අසරණ බැල්ම ජීවිතේ කවදාවත් අමතක කරන්න බැහැ. කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පත් වුණාම අපි ඒ රෝගීන්ව බේරගන්න දරන්නේ පුදුම උත්සාහයක්. කාවවත් අපි අතාරින්නේ නෑ. ඒත් ඔවුන් අපිව අතෑරලා යනවා. කොවිඩ් මාරයා ඒතරමටම දරුණුයි.
එක අම්මා කෙනෙක් කොවිඩ් නියුමෝනියා තත්ත්වය ඇවිල්ලා හුස්ම ගන්න ගොඩක් වේදනා වින්දා. අවසානයේ දැඩිසත්කාර ඒකකයේ අවසාන හුස්ම පොද රඳවගන්න ඒ අම්මා වින්ද වේදනාව, දඟලපු හැටි අපි දරාගත්තේ හරිම අමාරුවෙන්. ඒ අම්මාගේ හුස්ම ටික යද්දි ඒ අම්මා හිටියේ මගේ අතක් තදින් අල්ලගෙන. ඒ අම්මා මොනවදෝ කියන්න උත්සාහ කළා. ඒත් ඒ අම්මාට ඒක කියාගන්න බැරිවුණා.
දරාගන්න අමාරුම දේ තමයි අපි ඉදිරියේ හිටි ගමන් මිනිස්සු මැරෙන එක. අවුරුදු 30 තරුණයෙක් කිසිම නිදන්ගත රෝගයක් තිබුණේ නැහැ. කොවිඩ් වැක්සින් දෙකම විදලා තිබුණේ. දින තුනක් හතරක් විතර සාමාන්‍ය විදිහට වාට්ටුවේ ප්‍රතිකාර ලැබුවා. බිරිඳට දරුවා ලැබිල මාස 6යි. ඒ තරුණ තාත්තගේ හිතේ කොයිතරම් බලාපොරොත්තු තියෙන්න ඇතිද? බිරිඳ වීඩියෝ තාක්ෂණයෙන් හැමදාම කතාකරනවා. මගෙන් නිතරම ඇහුවේ මට ලොකු රෝග ලක්‍ෂණ නෑනේ ඩොක්ටර් කවදද ගෙදර යන්න පුළුවන් කියලා. දවසක් මම වාට්ටුවට යනකොට ඒ තරුණයා නැහැ. දැඩිසත්කාර ඒකකයේ ඔක්සිජන් මැෂින් එක සමග ලොකු සටනක්. මම ආරක්‍ෂණ ඇඳුම් ලාගෙන ළඟට ගියාම මගේ අතින් තද කරලා අල්ලගත්තා. ඇස්වලින් කඳුළු වැක්කෙරෙනවා. ඉල්ලීමක් කළා.. ගෙදර අයට වීඩියෝ දුරකථන ඇමතුමකින් එයාව පෙන්නන්න කියලා. ඔහුගේ ගෙදර අය අඬනවා. ඒ ඔහු ගෙදර අයව දැකපු අවසාන ඇමතුම. ඊට පැය කිහිපයකට පස්සේ කොවිඩ් මාරයා ඒ තරුණයාවත් අරගෙන ගියා.
තව අවුරුදු පනස් පහක අම්මා කෙනෙක් හිටියා. කොරෝනා තත්ත්වය ටික ටික දරුණු වෙනකොට දියණිය ආව ඒ අම්මාට ඇප උපස්ථාන කරන්න. දියණිය ඒ වෙනකොට කොවිඩ් අසාදිතයෙක් නෙමෙයි. අම්මා ළඟ දවස් 4 ක් විතර ඉන්නකොට මේ විසි හත් හැවිරිදි දියණියත් කොවිඩ් අසාදිත වුණා. ඇයට අපහසුතා කොයිතරම් තිබුණත් ඇය අම්මව දාලා ප්‍රතිකාරවලට වෙනම තැනකට ගියේ නැහැ. ඇය ඇදුම රෝගයෙන් පෙළුණු යුවතියක්. හිටි හැටියේම ඇය අසාධ්‍ය වෙනවා. දැඩිසත්කාර ඒකකයේ දින 6ක් ප්‍රතිකාර ලබලා ඒ තරුණිය අවසානයේ කොරෝනා මාරයාට ගොදුරු වෙනවා. අම්මට ඇප උපස්ථාන කරන්න ආපු දියණිය නැති වුණා කියල ඒ අම්මට කියන්න පුළුවන් කමක් අපට තිබුණේ නැහැ. ඇය සුව වෙලා රෝහලෙන් නිවසට යන තෙක්ම ඇය හිතුවේ දියණිය වෙනත් වාට්ටුවක ප්‍රතිකාර ලබනවා කියලා.
දෙමපියන් ගොඩක් දෙනා කොවිඩ් ආසාදිත වෙලා ආවම දරුවෝ තමයි ඇප උපස්ථානයට ඉන්නේ. සමහර දරුවෝ ඉස්සරහම තමන්ගේ අම්මා තාත්තා අමාරුවෙන් හුස්ම ගන්න දඟලලා පණ යද්දි දැනෙන වේදනාව දරුවෙකුට දරාගන්න පුළුවන්ද? වැඩකරනවට වඩා ඒ දේවල් මනසට දරාගන්න හරිම අමාරුයි. හුස්ම ගන්න බැරි වෙනකොට, අනේ මාව බේරාගන්න කියලා කෑ ගහන කෑගැහිල්ලට අපි පුදුම විදිහට අසරණ වෙනවා. තාමත් මේ රටේ මිනිස්සුන්ට මේකේ බියකරු බව තේරෙන්නේ නැහැ. මිනිස්සු දවසින් දවස ඇඳගෙන ඉන්න ඇඳුම පිටින්ම පොලිතින් උරයක අවසන් ගමන් යනවා’’ යැයි ඔහු පැවසීය.
කොරෝනා මාරයාට බිලිවූ මව ගැන තවත් දියණියකගේ වේදනාබර අද්දැකීම් අප වෙත විස්තර කළේ මෙලෙසය,
“මගේ අම්මා එම්.එම්. චන්ද්‍රලතා. අවුරුදු 56යි. කොරෝනා අාසාදනය වෙලා කරාපිටිය රෝහලට ඇතුළු කරලා දින 5ක් විතර යද්දී අම්මට හුස්ම ගැනීමේ අපහසුවක් ආවා. එතැන් පටන් මම අම්මට ඇප උපස්ථානයට ඇය ළඟ රැඳුණා. දින කිහිපයක් යනකොට යම් සුව තත්ත්වයකට පත් වුණා. අම්ම දිගටම ප්‍රතිකාර ලැබුවේ සාමාන්‍ය වාට්ටුවේ. කොරෝනා වාට්ටුවේ මිනිස්සු දවසට හතර පහ මැරෙනවා මගේ ඇස් දෙකෙන් දැක්කා. අම්මා නිතරම ගෙදර යමු කියලා තමයි ඇඬුවේ. ඒත් අම්මාගේ තත්ත්වය සුවදායක නොවුන නිසා වෛද්‍යවරු අම්මාට දිගටම ප්‍රතිකාර කළා. හොඳට කතා කර කර ඉඳලා තමයි මගේ අම්මාට එකපාරට හුස්ම ගැනීමේ අපහසුව ආවේ. ඒ වෙනකොට මම දැකලා තිබුණ අම්මාගේ ඇඳ වටේම හිටපු ගොඩක් අය අපේ ඇස් ඉදිරියේම මැරෙන හැටි.
මගේ අම්මගේ පපුව අතගගා රෑ එළිවෙනකම් නොනිදන දවස් තිබුණා. අවසානයේ අම්මගේ අවසන් හුස්ම ටික ගියේ මගේ අත් දෙක උඩමයි. මම අම්මගෙ මිනිය බදාගෙන පැය ගාණක් හිටියා. දරුවෙකුට මූණ දෙන්න පුළුවන් ඒ තරම් අසරණකමක් කාලකන්නිකමක් තවත් තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ වෙනකොට එක ඇඳේ කොරෝනා ලෙඩ්ඩු දෙතුන් දෙනා ඉන්න මට්ටමට රෝගීන් ධාරිතාව වැඩි වෙලා හිටියා. වාට්ටුවේ බිම අඩිය තියලා ඇවිදින්න බැරි තරමට ලෙඩ්ඩු බිම හිටියා. කාර්ය මණ්ඩල සේවක සේවකයින් ඒ වෙනකොට ගොඩක් දෙනා හිටයේ පොසිටිව් වෙලා. අවසානයේ අම්මගේ සිරුර පොලිතින් උරයට දාන්න වුණේ මගේ අත් දෙකෙන්මයි. අම්මාගේ ඔළුව අතගාලා පිරිත් ටිකක් කියලා තමයි මම ඒ පොලිතින් කවරේ වැහුවේ. මමත් ඒ වෙනකොට කොරෝනා ආසාදිත වෙලා හිටපු නිසා අම්මාගේ මුහුණ නැවත දකින්න ලැබුනේ නැහැ. මම ලොකු පවක් කරලා ඇති මගේම ඇස් ඉදිරියේ අම්මගේ හුස්ම යනවා දකින්න.
ඒ වගේ වේදනාවක් නම් කිසිම දරුවෙකුට නොමවේවා කියලා නිතරම මම ප්‍රාර්ථනා කරනවා’’ යැයි ඇය නිහඬ විය.
දිනෙන් දින අහන්නට දකින්නට ලැබෙන කොරෝනා මරණ අතර කොවිඩ් මාරයාට බිලිවූ පියකු ගැන තවත් දියණියකගේ වේදනාව සහ අත්විඳින්නට සිදුවූ කටුක අත්දැකීම් අප සමග බෙදා හදා ගන්නේ නිලක්‍ෂයි මධුවන්ති මාධ්‍යවේදිනියයි. කොරෝනා ආසාදිතව මේ වනවිට සුව තත්ත්වයේ පසුවන ඇය ඒ අමිහිරි වේදනාව විස්තර කළේ මෙලෙසිනි.
“පසුගිය මාසේ මැද වගේ තාත්තට සාමාන්‍ය උණ ගතියක් ඇතිවුණා. ප්‍රතිකාර ගත්තත් අඩු නොවුන නිසා පී.සී.ආර්. පරීක්‍ෂණයක් කළා. එහිදී තාත්තට කොරෝනා ආසාදනය වෙලා කියලා දැනගත්තා. තාත්තා ප්‍රතිකාර ලැබුවේ බිංගිරිය නිරෝධායන මධ්‍යස්ථානයේ. තාත්තා ගෙනිච්ච දවසේ හවසම අම්මත් පොසිටිව් වුණා. අම්මට ටික ටික අමාරු වෙන්න ගත්තා. පාන්දර එකයි අම්මාව කළුබෝවිල හොස්පිටල් එකට එක්ක යනකොට. වාට්ටුවේ එක ඇඳක රෝගීන් දෙතුන්දෙනා හිටියා. ඔක්කොම අසාධ්‍ය රෝගීන්. මිදුලේ ඉඳලා රෝගීන් පිරිලා හිටියා. අම්මව වාඩිකරගන්නවත් තැනක් තිබුණේ නැහැ. අම්මව ගල්බැම්මක් උඩින් වාඩි කරලා එළිවෙනකම් මදුරුවෝ තල තලා හිටියා.
මගේ ඇස් ඉස්සරහට පැය කීපයක් ඇතුළත රෝගීන් දෙන්නෙක් මැරිලා වැටුණා. මගේ අම්මා කළුබෝවිල කොරෝනා එක්ක ජීවත් වෙන්න සටන් කරද්දි, තාත්තා ඒ වෙනකොට හිටියේ ඔක්සිජන් මැෂින් එකකට ජීවිතේ දීලා. මම දන්නෑ මේ ජීවිතේ ඇතුලේ දරුවෙකුට මීට වඩා විඳින්න වේදනාවක් තියෙනවද කියලා. අම්මයි තාත්තයි කොරෝනා මාරයා එක්ක ජීවත් වෙන්න සටන් කරද්දි දරුවෙක් විදිහට මම වැටෙන්න පුළුවන් අන්ත අසරණම තත්ත්වයට වැටුණා.
ඒ වෙනකොට මම ආසාදිතයෙක් වෙලා හිටියේ නැහැ. අම්මව රැකබලාගන්න මාවත් දින කිහිපයකට පස්සේ ආසාදිතයෙක් වුණා.
තාත්තා ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානයේ ඔක්සිජන් සිලින්ඩරයට ජීවිතය දීලා දවස් 16ක් හිටියා. කන්න බෑ. හුස්ම ගන්න බෑ. කැස්ස, සෙම, පාචනය. දවසින් දවස රෝග උත්සන්න වීමෙන් තාත්තා ගොඩක් පීඩා වින්දා. මායි අම්මයි කළුබෝවිල. තාත්තා ඉරණවිල. දවසින් දවස තාත්තගේ තත්ත්වය බරපතල වෙනවා කියලා දුරකථන පණිවිඩ වලින් දැනගත්තා. තාත්තා අගෝස්තු 17 රෑ නැති වුණා කියලා මට දැනුම් දුන්නා. මරණේ බලන්න එන්න කිව්වේ පවුලේ එක්කෙනාටයි. ඒත් ඉල්ලීමක් කරාම මල්ලිටයි මටයි විතරක් තාත්තගේ මූණ පෙන්නුවා. ළඟටවත් යන්න දුන්නේ නැහැ. ඈත ඉඳන් මූණ බලලා තත්පර ගාණකින් පෙට්ටිය වැහුව්වා. තමන්ගේ කියලා කවුරුත්ම නැති ඉරණවිලදී මගේ තාත්තා අවසන් ගමන් ගියේ ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම. මගේ තාත්තාට සිදුවු දේ, මගේ පවුල විඳි වේදනාව මේ ලොව කිසිදු මනුස්සයකු නොවිඳිය යුතුයි. මගේ තාත්තා චිතකයේ දැල්වෙනකොට අඬන්න කඳුළු නෑ. අඬලම හෙම්බත් වෙලා හිටියේ.
වැඳලා ඉල්ලන්නේ පරිස්සම් වෙන්න. මං මැරෙනකම් මේ වේදනාව නැතිවෙන්නෑ. සුව වුණත් අම්මටයි මටයි තාම හරියට වැඩක් කරගන්න තරම් ඇඟට ශක්තියක් නැහැ. ඒ වේදනාව දැනෙනකොට මැරෙන එක හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න. මගේ තාත්තා කොරෝනාවෙන් පරිස්සම් වෙන්න සෞඛ්‍ය රීති අකුරටම පිලිපැද්ද. ඒත් අවසානයේ මගේ තාත්තව කොරෝනා අරගෙන ගියා’’ යැයි ඇය පැවසුවාය.
නදීශා අතුකෝරළ