එතෙර ගිහින් බර උසුලා පදක්කම් දිනූ දිලංක


රටේ නම්බුව තැබූ තවත් කොල්ලෙක් 

 

ශ්‍රී ලංකාව ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි පසුබෑමකට ලක්ව සිටියදී කතරකට දිය බිඳුවක් ලැබුණා හා සමානව ජාත්‍යන්තර තරගාවලියකින් පදක්කම් දෙකක්ම රට වෙනුවෙන් දිනා දීමට බර ඉසිලීමේ යොවුන් ක්‍රීඩකයකු පසුගියදා සමත් විය. පසුගිය මැයි මාසයේදී කසකස්තානයේදී පැවැති ආසියානු බර ඉසිලීමේ තරගාවලියට සහභාගි වෙමින් කිලෝ ග්‍රෑම් 55 බර පන්තියෙන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට මේ යොවුන් ක්‍රීඩකයා සමත් විය.   


 මේ ජාත්‍යන්තර තරග ජයග්‍රහණයේ සුවිශේෂී කරුණ වන්නේ බර ඉසිලීමේ තරග අංශයෙන් ආසියානු තරගාවලියකින් ශ්‍රී ලංකාව දිනාගත් ප්‍රථම ජයග්‍රහණය මෙය වීමය. එසේම බර ඉසිලීමේ තරග අංශයෙන් ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් දෙකක්ම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කර දුන් එකම සහ ප්‍රථම ක්‍රීඩකයා ද ඔහු වේ.   


 නමින් ඔහු දිලංක ඉසුරු කුමාර ය.   


 ජාත්‍යන්තර මට්ටමෙන් දක්ෂතා පෙන්වමින් දියුණු රටවල පළපුරුදු ක්‍රීඩකයන් රැසක් පරදවා තම මව්බිමට විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන දීමට සමත් වූ මේ ක්‍රීඩකයා පසුපස ඇත්තේ අඳුරු දුක්බර කතාවකි. මෙම ජයග්‍රහණය ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන් දහසින් බැඳි පියලි සමඟ විල්ලු‍ද පලස් මතින් ලැබූ ජයග්‍රහණයක් නොව කටු අකුල් මතින් ගොස් දහසකුත් එකක් දුෂ්කරතා මධ්‍යයේ ලබාගත් වෙහෙසකාරී ජයග්‍රහණයකි.   
 තම ආදරණීය පියාණන් ද අහිමි මේ යොවුන් ක්‍රීඩකයාට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීම පිටුපස යෝධ ශක්තියක් වී සිටින්නේ ඔහුගේ ආදරණීය මව සහ පුහුණුකරුය.   
 මේ දිලංක ඉසුරු කුමාර ඔහු පැමිණි දුෂ්කර ගමන් මඟ “ඉරිදා ලංකාදීප”‍ පුවත්පතට පැවැසූ ආකාරයයි.   
“මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල ගැට්ටුවාන මහා විද්‍යාලයෙන්. මම මේ විද්‍යාලයේ ඉගෙනගන්න කාලයේදී ක්‍රීඩා ගුරුවරයා විදියට කටයුතු කරපු වන්නිනායක සර් දවසක් මගෙනුයි මාත් එක්ක හිටිය යාළුවන්ගෙනුයි ඇහුවා බර උසුලන ක්‍රීඩාව කරන්න කැමැති ද කියලා. සර් එහෙම කියනකල් අපි දැනගෙන හිටියේ නැහැ බර උසුලන ක්‍රීඩාව කුරුණෑගල තියෙනවා ද කියලාවත්.   


අපි කැමැතියි කීවාම සර් අපි කට්ටියම කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල තියෙන ගෘහස්ථ ක්‍රීඩාගරයේ පවත්වාගෙන යන කුරුණෑගල බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානයට එක්කගෙන ආවා. ඉතින් එතැනට ඇවිත් මේ ක්‍රීඩාවට ඇතුළත් වෙලා අද වෙනකල් කරගෙන යනවා.   
 ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනගන්න කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයට ආවා. ඒ අතරේ දිගටම මගේ පුහුණුවීම් කටයුතු කරගෙන ගියා. වන්නිනායක සර් අපිව බාර දුන්නේ ඒ පුහුණු මධ්‍යස්ථානයේ හිටිය බර ඉසිලීමේ ක්‍රීඩාව බාර ප්‍රධාන පුහුණුකරු වුණු රුක්ෂාන් ගුණතිලක සර්ට.   


 හැබැයි මාත් එක්ක මේ ක්‍රීඩාව පුහුණු වෙන්න ආව කණ්ඩායමෙන් අන්තිමට ඉතිරි වුණේ මම විතරයි. අනික් අය ඉගෙනගන්න බාධාවක් වෙනවා කියලයි, ගෙවල්වල ප්‍රශ්න ගැන කියලයි අයින් වුණා. නමුත් මගේ හිතට මේ ක්‍රීඩාව ගැන විශාල කැමැත්තක් ඇති වෙලා තිබුණු නිසා මොන ප්‍රශ්න තිබුණත් මම නතර නොවී දිගටම පුහුණුවීම් කරගෙන යන්න අධිෂ්ඨාන කරගත්තා   


එදා ඉඳලා අද වෙනකල් රුක්ෂාන් සර් තමයි මගේ පුහුණුකරු විදියට කටයුතු කරන්නේ. මම පාසල් වේලාවෙන් පසු සවස් වරුවේ තමයි පුහුණුවට ගියේ. මගේ ගෙදර තියෙන්නේ කුරුණෑගල වැල්ලව උඩගම. පුහුණුවීම් අවසන් වෙලා ගෙදර යනකොට සමහර දවස්වලට රෑ හත අට විතර වුණා.”


මේ වාගේ අසීරු ක්‍රීඩාවක් කරනවාට දෙමාපියන් කැමැති වුණා ද?   


“දෙමාපියන් විතරක් නොවෙයි මගේ පාසලේ ගුරුවරුනුත් කැමැති වුණේ නැහැ කාලය මුදල් වැය කරගෙන මේ ක්‍රීඩාව කරනවාට. මගේ පවුලේ ඉන්නේ අම්මයි, මල්ලියි, ආච්චියි, සීයයි විතරයි. අම්මත් මුලින් මම මේ ක්‍රීඩාව කරනවාට තදින්ම විරුද්ධ වුණා. අධ්‍යාපනයට බාධා ඇති වීම එක හේතුවක් වුණා. ඊටත් වඩා බලපෑව ප්‍රධානම හේතුව වුණේ තාත්තා නැතිව අම්මා මේ සඳහා වියදම් කරන්නේ කොහොම ද කියන ප්‍රශ්නයයි.   
පසුව අම්මා තේරුම් ගත්තා කවුරු කොහොම කීවත් විරුද්ධ වුණත් මම මේ ක්‍රීඩාව අත්හරින්නේ නැහැ කියලා. මේ නිසා පුහුණුවීම් සඳහා වියදම් කරන්න අවශ්‍ය මුදල් නැති වුණාම කුලී වැඩක් කරලා හරි අම්මා අමාරුවෙන් මට අවශ්‍ය සල්ලි හොයලා දුන්නා. මේ නිසා අම්මාට තවදුරටත් මට වියදම් හොයලා දෙන්න බැරි නිසා මම රැකියාවක් කරන්න සිතාගෙන රුක්ෂාන් සර්ගේ උදව්වෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණා.   
 මම බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් පළමු වරට විදෙස් තරගයකට සහභාගි වුණේ කොතලාවල විදුහලේ ඉගෙනගන්න කාලයේදීමයි. ඒ, 2013 වසරේ මැලේසියාවේ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ තරගාවලියට. ඇත්තටම මට ඒකට යන්න සල්ලි තිබුණෙත් නැහැ. අපිටමයි සල්ලි හොයාගෙන ඒ ගමන යන්න වුණේ. මේ ගැන දැනගෙන කොතලාවල විදුහලේ සර්ලා මිස්ලා එකතු වෙලා මට සල්ලි හොයලා දුන්නා. ඒ තරගාවලියේදී මට හිමි වුණේ සිවුවන ස්ථානය.   

 


 මම මුලින්ම පටන්ගත්තේ හතළිස් පහේ බර පන්තියෙන් බර උසුලන්න. ඊට පසුව පනහ බර පන්තියෙන්, පනස්පහ සහ පනස්හය බර පන්තියෙන් මම ක්‍රීඩා කළා. දැන් මම ක්‍රීඩා කරන්නේ පනස්පහ බර පන්තියෙන්.   
 මම පාසල් බර ඉසිලීමේ තරගවල ඉඳලා පළාත් තරග, සමස්ත ලංකා සහ ජාතික ක්‍රීඩා තරගාවලින් වගේම ආරක්ෂක සේවා තරගවලින් ජයග්‍රහණ අරන් තිබෙනවා. 2016 වසරේ ඉඳලා මේ වෙනකල් මම ජාතික ක්‍රීඩා තරගාවලියට පනස්පහ බර පන්තියෙන් සහභාගි වෙලා අඛණ්ඩව රන් පදක්කම් ජයග්‍රහණය කරලා තිබෙනවා. ස්නැච් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට තමයි බර ඉසිලීමෙන් මම මේ ජයග්‍රහණ ලබාගත්තේ.   
 මම යුද හමුදාවට බැඳුණේ 2016 වසරේදී. මට සේවය කරන්න ලැබුණේ ශ්‍රී ලංකා පොදු සේවා බළකායේ සාමාන්‍ය සෙබළෙක් විදියටයි. ඊට පසුව මම ක්‍රීඩා ජයග්‍රහණ ලබනකොට මට උසස්වීම් ලැබුණා. හමුදාවට ගියාට පසුව තමයි මගේ ක්‍රීඩා කටයුතු ගොඩාක් දියුණු කරගන්න පුළුවන් වුණේ. යුද හමුදාවෙන් මගේ ක්‍රීඩා කටයුතු සඳහා විශාල සහායක් ලබාදෙනවා. ඒ සහයෝගය දිරිගැන්වීම නිසාම තමයි අවසානයේදී මට මේ වාගේ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් අපේ රට වෙනුවෙන් ලබාගන්න පුළුවන් වුණේ.   


 මම පළාත් තරගවලට 2014 වසරේදී පමණ සහභාගි වෙනකොට එච්චරටම හොඳ මට්ටමක හිටියේ නැහැ. 2016 වසරෙන් පසුව තමයි මගේ හැකියාව වැඩි කරගෙන ඉහළට එන්න පුළුවන් වුණේ.” ඉසුරු කීවේය.   
මේ වනවිට ජාත්‍යන්තර මට්ටමේ බර ඉසිලීමේ තරග අටකට සහභාගි වී සිටින ඉසුරු කුමාර 2013 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලිය (සිවුවන ස්ථානය), 2016 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය (රන් පදක්කම), 2017 වසරේ මැලේසියාවේම පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ බර ඉසිලීමේ තරගාවලිය (සිවුවන ස්ථානය), 2017 ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලිය (හත්වන ස්ථානය), 2019 වසරේදී පැවැති ආසියානු කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලිය (තුන්වන ස්ථානය), එම වසරේම තායිලන්තයේදී පැවැති ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය (දසවන ස්ථානය), නේපාලයේ පැවැති දකුණු ආසියාතික රටවල බර ඉසිලීමේ තරගාවලිය (රන් පදක්කම), මේ වසරේදී පැවැති ආසියානු බර ඉසිලීමේ තරගාවලිය (ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට රිදී පදක්කම සහ සමස්ත තරගාවලියේ ලෝකඩ පදක්කම) මේ වනවිට සහභාගි වූ තරග සහ ලබා ඇති ජයග්‍රහණ වේ.   
 “පසුගිය 2020 අවුරුද්දේ තියන්න තිබුණු තරගාවලිය තමයි මේ අවුරුද්දේ කසකස්තානයේ පැවැත්වුණේ. කොරෝනා අවදානම නිසා සමහර රටවල් මේ තරගාවලියට ඇවිත් හිටියේ නැහැ. ඒත් රටවල් 32ක්ම මේ තරගාවලියට සහභාගි වුණා. මම සහභාගි වුණු කිලෝ ග්‍රෑම් 55 බර පන්තිය තරගයේ පළමු සහ දෙවැනි ස්ථාන දෙකම සංවිධායක රට වුණු කසකස්තානයම දිනාගත්තා. තුන්වැනි ස්ථානය තමයි මම දිනාගත්තේ. මේ තරගයේ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට රිදී පදක්කමත්, සම්පූර්ණ තරගයේ ලකුණු මට්ටමට ලෝකඩ පදක්කමත් මට හිමි වුණා. මට පහළින් හිටියේ උස්බෙකිස්තානය.   


 මේ තරගාවලිය සඳහා මාත් සමඟ අපේ රටෙන් 73 බර පන්තියෙන් ඉන්දික දිසානායක, 61 බර පන්තියෙන් තිලංග පළඟසිංහ අයියලා සහ 81 බර පන්තියෙන් කාන්තා අංශය නියෝජනය කරමින් චතුරිකා ප්‍රියන්ති කියන අක්කා සහභාගි වුණා. මගේ පුහුණුකරු විදියට රුක්ෂාන් ගුණතිලක සර් සහභාගි වුණා. සර් ඒ තරගාවලියට සහභාගි වෙලා නිරන්තරයෙන්ම මාත් එක්ක ලබාදුන්න ධෛර්යය සහ මඟ පෙන්වීම නිසා තමයි මට මේ දක්ෂතා පෙන්වන්න පුළුවන් වුණේ. මීට අමතරව අපේ ජාතික පුහුණුකරු වන වික්‍රමසිංහ සර් සහ මහනුවර දයාන් සර් මේ තරගාවලියට අනෙක් පුහුණුකරුවන් විදියට සහභාගි වුණා.   
 මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා අපිට ගිය අවුරුද්දේ ඉඳලම තරගාවලි පැවැත්වුණේ නැහැ. නමුත් ඉතා හොඳට උනන්දුවකින් පුහුණුවීම් කරලා ජයග්‍රහණයක් බලාපොරොත්තුව තමයි මම මේ තරගාවලියට සහභාගි වුණේ. මොකද මෙතෙක් ආසියානු බර ඉසිලීමේ තරගාවලියකින් අපේ රටට ජයග්‍රහණයක් හිමි වෙලා නැහැ. මේ නිසාම අපේ ක්‍රීඩකයන්ට නිතරම චෝදනා එල්ල වුණා මේ තරග අංශයෙන් ආසියානු තරග ජයග්‍රහණයක් ලබාගන්න බැහැ, පොදු රාජ්‍ය මණ්ඩල තරග විතරයි දිනන්නේ කියලා.
 මේ නිසාම රුක්ෂාන් සර් කීවා අපි මේ තරගාවලියේදී කොහොම හරි පදක්කමත් දිනාගන්න ඕනෑ, ඉසුරු ඔයාට ඒ වැඩේ කරන්න පුළුවන් කියලා. සර් කියපු මේ වචන මගේ හිතට තදින්ම දැනුණා. ඒ වගේම මගේ අම්මා නොකා නොබී මට කරපු වියදම් මට මතක් වුණා. ඒ නිසා මම මේ තරගාවලියේදී කොහොම හරි ජයග්‍රහණයක් ලබාගන්නවා කියලා මම අධිෂ්ඨාන කරගත්තා. ඒ අධිෂ්ඨානය නිසාම රටේ තිබුණු කොරෝනා වසංගතයත් බාධාවක් නොකර ගනිමින් මේ සුවිශේෂී ජයග්‍රහණය රට වෙනුවෙන් ලබාදීමට මට පුළුවන් වුණා.   


 විශේෂයෙන්ම මේ ජයග්‍රහණය සඳහා මට මඟ පෙන්වූ මගේ ආදරණීය අම්මා වගේම වන්නිනායක සර් සහ මගේ පුහුණුකරු වන රුක්ෂාන් ගුණතිලක සර්වත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාත්, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. එමෙන්ම ක්‍රීඩා කටයුතු සඳහා මුදලින් මෙන්ම ද්‍රව්‍ය ආධාරවලින් ද සහාය දක්වන චීනයේ සිටින නලීන් මහතා ද ගෞරවයෙන් සිහිපත් කරනවා. දැනට මට යුද හමුදාවෙන් ලැබෙන වැටුප මගේ පවුලේ කටයුතු සඳහා වගේම මගේ ක්‍රීඩා කටයුතු සඳහාත් වියදම් කිරීමට සිද්ධ වෙලා තිබෙනවා.”
 තමන්ගේ මීළඟ ජයග්‍රහණ ඉලක්ක වන්නේ මේ වසරේදී පැවැත්වීමට නියමිත බර ඉසිලීමේ ලෝක ශූරතා තරගාවලිය සහ 2022 වසරේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය බව ඉසුරු කුමාර අවසානයේදී පැවැසීය.   

 

 

සේයාරූ හා සටහන
පුෂ්පකුමාර ජයරත්න