එංගලන්තයටත් ගිය අපේ ‘‘අයියෝ’’


 

ක්‍රීඩා පිටිය සේම ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයද නොඉවසිල්මත්ය. ක්‍රීඩකයෝ ප්‍රතිවාදී පිල සමග උද්වේගකර සටනකය. ඒ සටන දෙස බලා හිඳින ක්‍රීඩා ලෝලීහුද තම පිලේ ජයග්‍රහණය ගැන සිහින දකිමින් ඉමහත් උද්යෝගයෙන් ක්‍රීඩා සටන දෙස බලාහිඳිති.   


පන්දු යවන්නා උඩ පැන දඟකවා යවන පන්දුවට ක්‍රීඩකයා වේගවත් පහරක් එල්ල කරන්නේ හයේ සීමාව පසුකර යනු පිණිසය. අභාග්‍යයකි. ඒ පන්දුව ප්‍රතිවාදී පිලේ පන්දු රකින්නකුගේ අතට අසුවන්නේ ‘කැච්’ එකක් ලෙසිනි.   


අයියෝ............   


පන්දුවට පහර දුන් ක්‍රීඩකයා පිත්ත අතහැර හිස බදාගෙන කෑ ගහන්නේ කම්පාවෙනි.   
ප්‍රේක්ෂකාගාරයේ බලාසිටින ක්‍රීඩා ලෝලීහු ‘අයියෝ...’ කියා කැගසන්නේ අර ක්‍රීඩකයාටත් වඩා හඬිනි.   
එහෙත් අයියෝ යන වචනය අපේ භාෂාවට හා සංස්කෘතියට එකතු වූයේ චිරාත් කාලයකට පෙරාතුවය. කොටින්ම කිව්වොත් ක්‍රිකට් එන්නටත් පෙරාතුවය.   


අයියෝ අපෝයි යන වචන දෙක හිසේ අත් බැඳගෙන නොඑසේ නම් පපුවට ගසා ගනිමින් කියන්නේ කිසියම් වියෝගයක් දරාගත නොහැකිම තැනකදීය.   
වරක් මම මහනුවර ගිරිහාගම ගමට ගොස් සිටියෙමි. එක්වරම ඇසුණේ අයියෝ බුන්නා යන වචන දෙකයි. ඒ වචන දෙක ඇසුණේ මහා කාලකන්නි විලාපයක්ද සමගය.   
ගිහින් බැලීමි. තරුණයකු වස පානය කර බිම වැටී සිටි අතර, අයියෝ බුන්නා යැයි විලාප නැගුවේ තරුණයාගේ අම්මායි.   


ඇය පමණක් නොව අපේ ඕනෑම සිංහලයකුට හදිසි කරදරයක් හමුවේදීත් දරාගත නොහැකි ශෝකයක් හමුවේදීත් කියැවෙන්නේ අයියෝ... යන වචනයයි.   
2004 අවුරුද්දේ කෙළවර සුනාමි රළ පැමිණ ලංකාවේ වෙරළබඩ පෙදෙස් සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු රූපවාහිනියෙන් දුටු අපටත් එදා අයියෝ යි කියැවුණේ. ඉහළට ඇදගත් හුස්ම පහළට දමාගත නොහැකිව පපුව රිදුම් දෙද්දීය.   


ඊළඟට අයියෝ කියමින් රටම හඩා වැටුණේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ සුන්බුන් දකිද්දීය. රෝහල් වල ගොඩගසා තිබූ මාත දේහ දකිද්දීය. විපත් පත් තුවාලකරුවන් ගැන ඇසෙද්දීය.   
කොවිඩ් හැදී හුස්ම ගන්නට බැරිව මහමග රෝහල් ළඟ දුක්විඳි ඉන්දීය රෝගීන් පිළිබඳව රූපවාහිනී ප්‍රවෘත්ති නාළිකා වලින් දකිද්දීත් අයියෝ කියැවිණි.   


අැත්තම කිව්වොත් අයියෝ කියන්නට ව්‍යසනය බරපතළම විය යුතුද නොවේ. හිතට දාරාගත නොහැකි කම්පනයක් දැනෙන ඕනෑම වෙලාවක අපේ මුවගින් අයියෝ යැයි කියැවෙන්නට පුළුවන.   
දැන් මේ ‘අයියෝ’ වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයටද කියැවී හමාරය. ඒ එම ශබ්දකෝෂය හෝ ශබ්ද කෝෂ කාර්යාලය හෝ විනාශ වූ නිසා නම් නොවේ. එහි පිටුවක අලුත් වචනයක් ලෙස අයියෝ වචනය ඇතුළත් වූ නිසාය.   


ඔක්ස්ෆර්ඩ් යනු එංගලන්තයේ ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලයකි. එයට අයත් මුද්‍රණාලය මගින් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රිසි ශබ්ද කෝෂය පළකෙරුණේ 1895 අවුරුද්දේදීය. එහෙත් එහි වැඩ ආරම්භ කෙරුණේ 1857 දීය. මේ අතර කාලය අවුරුදු හතළිහකට ආසන්නය. එයින්ම පෙනෙන්නේ ශබ්දකෝෂයක් සංස්කරණය කිරීම යනු බොහෝ බාරධූර කාර්යයක් බවයි.   


ශබ්දකෝෂයක කටයුතු එපමණකින් අවසන් නොවේ. දවස දවස ගානේ නැතත් බොහෝවිට භාෂාවකට අලුතින් වචන එකතු වන නිසාය. එසේ අලුතින් එක්වන වචනද එක්කරමින් වසර කිහිපයකට වරක් ශබ්ද කෝෂවල අලුත් මුද්‍රණ පළකෙරේ. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය 1928, 1989 2018 වැනි වසරවලදී යළි යළිත් මුද්‍රණය කර තිබේ. අවසන් වතාවට පළවූ ශබ්ද කෝෂය වෙලුම් 20 කින් යුක්ත විය.   
මේ වනවිට මෙම ශබ්ද කෝෂය විද්‍යුත් මුද්‍රණයකින්ද සමන්විතය. එය සාමාන්‍යයෙන් මසකට මිලියන දෙකකට වඩා වැඩි පිරිසක් භාවිතා කරති.   


එහෙයින්ම මේ ශබ්ද ​කෝෂය මොන තරම් ජනප්‍රියද යන්න පැහැදිලි වේ.   


මේ වනවිට ‘අයියෝ’ යන වචනයද මෙම ශබ්ද කෝෂයට අන්තර්ගතව තිබේ. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේද භාවිත වන අයියෝ සිංහල දෙමළ මලයාලම් කන්නඩ සහ තෙලිඟු යන භාෂාවලට අයත් වචනයකි. මේ හැම භාෂාවකම අයියෝ වචනය භාවිතවන්නේ ශෝකය, විශ්මය, භය, සහ සතුට ප්‍රකාශ කිරිම පිණිසය. සිංගප්පූරු ජපන් වැනි භාෂා වලද අයියෝ වචනය ඇසිය හැකි නමුත් එහි තේරුම ශෝකය විශ්මය බිය හෝ සතුට නොවේ. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ අයියෝ වචනය යොදා ඇත්තේ ශෝකය විශ්මය බය හා සතුට අඟවන වචනයක් ලෙසය.  


ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට සිංහල වචනයක් එකතුවෙලා යැයි දැන් අපට උදම් ඇනිය හැකිය. එහෙත් සත්‍යය නම් මේ වචනය ශබ්දකෝෂයට එක්වූයේ එය ඉන්දියාවේ භාවිත වීම නිසා බවය. මේ වනවිටත් තවත් ඉන්දීය වචන දොළහක් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ ඇතුළත්ය. yoar, puri, pukka, masala, ghee, didi, dhaba, chutney, churidar, bhdpuri, badmash ඒ වචනය. මේ හැම වචනයකින්ම හැදින්වෙන්නේ කිසියම් ආහාර විශේෂයි. එ් නිසා අයියෝ වචනය ශබ්දකෝෂයට යෑම විශේෂ වේ.  


හැඟීමක් වෙනුවෙන් බහුලව අයියෝ යැයි කියැවුනද එම නම හින්දු  මිථ්‍යා කතාවලින්ද හමුවේ. ඒ මරණයේ දෙවියා ලෙස සැලකෙන යම රජ්ජුරුවන්ගේ බිරිඳගේ නම ලෙසිනි. යම රජ්ජුරුවන් රජකම් කරන්නේ අපායේය. යමෙක් කටුඉඹුලේ බඩ ගාවන්නටත් ලෝදිය හැලියේ ඔබන්නටත් කලින් යම තම බිරිඳට කතා කරන්නට ඇත්තේ අයියෝ ඔයා කොහෙද? අයියෝ චුට්ටකට මෙහේ එන්න කියා විය යුතුය. ඒ නිසා අපායේ දඬුවම් වලට බයවන උන්ද අයියෝ කියමින් අයියෝගේ අනුකම්පාව යදින්නට ඇත. ඒ පුරුද්දට අපි කවුරුත් දුකේදීත් විශ්මයේදීත් අයියෝ කියන්නෙමු. නිකම්ම නොවේ හිසේ අත්බැඳගෙනය.


අයියෝ ඇතැම් අවස්ථාවක අයි අයියෝ ලෙසද කියැවෙයි. හැබැයි අපේ රටේ නම් අයියෝ සිරිසේන කියාද කියන අවස්ථා තිබේ. අයියෝ දුකට කිව්වත් අයියෝ සිරිසේන කියා කියන්නේ උපහාසයටය. බජාර් එකේ භාෂාවෙන් කිවහොත් නක්කලේටය.  


2015 ජනපතිවරණ වේදිකාවේ අයියෝ සිරිසේන වචන දෙක පට්ට ගැහුවේය. ඒ පොදු පෙරමුණු වේදිකාවේදීය. පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයට තරග කළ බැවිනි.  
එහෙත් අවසානයේදී එතුමා ජයග්‍රහණය ලබා ගත්තේ ප්‍රතිවාදී කථකයන්ගේ කටවල්වල පිට්ටු හිරකරමිනි. අන්තිමේදි අයියෝ සිරිසේන යැයි කියාගන්නට සිදුවූයේ ඒ ප්‍රතිවාදී කථිකයන්ටමය.


කෙසේ හෝ වේවා අපේ මුවින්ද නිතර දේවේලේ කියැවෙන වචනයක් ඉංග්‍රීසි භාෂාවට එකතු වීමත් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට එකතු වීමත් විශ්මය දනවන කරුණකි. එනිසාම මටද මෙසේ කියැවිණි. අයියෝ.... 

 

ශාන්ත කුමාර විතාන