තලේබාන් සටන්කාමීන්
- රටින් පලාගියේ ඇමෙරිකාවට හිතැතිව සිටි සුළු ජාතිකයන්
- ඇෆ්ගනිස්තානයේ බහුතරය තලේබාන් ෂාරියා නීතියට කැමැතියි
වසර 20 කට පසු, යළිත් වරක් ඇෆ්ගනිස්තානය තලේබාන්වරුන්ගේ ග්‍රහණයට පත්විය. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා, විසි වසරක යුද්ධය සම්පූර්ණයෙන් ම අවසන් කරමින්, කඩිමුඩියේ ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමග තලේබාන්වරු තම බලය වර්ධනය කර ගනිමින්, ඇෆ්ගනිස්තානයේ පළාතින් පළාත, නගරයෙන් නගරය අල්ලා ගන්නට වූහ. මෙය ඇමෙරිකාව හෝ සෙසු බටහිර රටවල් හෝ අපේක්ෂා කළ දෙයක් නොවීය. තලේබාන්වරුන්ගේ අවසාන ඉලක්කය වූයේ කාබුල් ය. තලේබාන්වරුන් කාබුල් අගනුවර වටකරමින් ඊට ඇතුළු වෙද්දී, ඇෆ්ගන් ආරක්ෂක අංශ ඔවුන්ට හරස් වූයේ නැත. නිරායාසයෙන්ම අගනුවර අල්ලා ගැනීමට තලේබාන්වරු සමත් වූහ.
තලේබාන්වරුන් බලය අල්ලද්දී බටහිර අනුග්‍රහයෙන් පිහිටුවා තිබුණු ඇෆ්ගන් රජයේ, බටහිර හිතැති ජනාධිපති අෂ්රාෆ් ඝානී රටින් පලා ගියේය. ඒ, සල්ලි මිටි ගණන් සහ ඔහුට අයත් වටිනා මෝටර් රථ ද සමග යැයි පැවැසෙයි. ඝානී සමග ඇෆ්ගන් කැබිනට් මණ්ඩල සාමාජිකයෝ පිරිසක් ද පලා ගියහ. ඔවුන් පලා ගියේ අසල්වැසි ටජිකිස්තානයටය.
තමන් කිසිදු ඇෆ්ගන් වැසියකුට හෝ විදේශිකයකුට හෝ අනතුරක් සිදු නොකරන බව තලේබාන්වරුන් ප්‍රතිඥා දී තිබුණත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ආරක්ෂාව යටතේ නිදහසේ ජීවත් වුණු මුස්ලිම් සුළුජාතිකයන් තලේබාන්වරුන්ට බියෙන් ඇෆ්ගනිස්තානයෙන් පලායෑමට කාබුල් අගනුවර ගුවන්තොටුපොළේ පොරකන්නට වීම ඛේදනීය සිදුවීමක් විය. ඔවුන් ගුවන් යානාවලට ගොඩවීමට පොරකන්න වූ අයුරු සහ ගුවන් යානාවල එල්ලී යෑමට උත්සාහ ගත් අයුරු දැකීමෙන්, කොරෝනා බිය ලෝකයාට මොහොතකට අමතක කිරීමට පවා සමත් විය. ගුවන් යානාවල එල්ලී යෑමෙන් ඇෆ්ගන් වැසියෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම වැසියන්, කෙසේ හෝ ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට තැත් කළේ තලේබාන්වරුන්ගේ අමානුෂික, බිහිසුණු ක්‍රියා කලාපය සහ ඔවුන්ගේ දරදඬු ෂරියා නීතිය හොඳින් දන්නා බැවිනි. පසුගිය වසර 20 ඇතුළත ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඇෆ්ගනිස්තානයට සකස් කර දුන් නව ව්‍යවස්ථාව සහ එරට ස්ථාපිත කළ නව ප්‍රජාතන්ත්‍රවාදී රජය යටතේ ඇෆ්ගනිස්තානයේ පදිංචිය තෝරාගත් ඇෆ්ගන් වැසියන් එරටින් මෙසේ පලා ගියත්, ඇෆ්ගනිස්තානයේ බහුතරය එදත් අදත් තලේබාන්වරුන්ගේ ෂරියා නීතිය යටතේ ජීවත් වීමට කැමැත්තක් දක්වති.
2001 ට පෙර 90 දශකයේ ඇෆ්ගනිස්තානය පාලනය කළේ තලේබාන් සංවිධානයයි. එදා ඇෆ්ගනිස්තානය හැඳින්වූයේ ඇෆ්ගන් ඉස්ලාමීය එමිරේට්ස් රාජ්‍යය යනුවෙනි. මූලධර්මවාදීන් පිරිසක් ද වන තලේබාන්වරුන් ඔවුන්ටම ආවේණික ආකාරයට ෂරියා නීතියක් සකස් කරමින් එය ක්‍රියාත්මක කෙරුණි. කාන්තාවන්ට තහංචි පැනැවිණි. කාන්තාවන් සෑමවිටම සිරුර ආවරණය කර ගැනීම අනිවාර්ය විය. බාලිකා අධ්‍යාපනය තහනම් විය. පිරිමින් රැවුල වැවීම කළ යුතු විය. සිනමාව, රූපවාහිනිය, නාට්‍ය තහනම් කෙරුණි. අපරාධකරුවන්ට ෂරියා නීතිය යටතේ ප්‍රසිද්ධියේ කුරිරු ලෙස දැඩි දඬුවම් ලබා දීම සිදුවිය.
තලේබාන්වරුන්ගේ පාලනය යටතේ ඇෆ්ගනිස්තානය යළිත් වරක් ‘එමිරේට්ස් රාජ්‍යයක්’ බවට පත් විය. ඒ අනුව, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඇෆ්ගනිස්තානයට සකස් කරදී තිබුණු ව්‍යවස්ථාව අහෝසි විය. රටේ උත්තරීතර පාලකයා එසේත් නැතිනම් එමීර්වරයා ලෙස කටයුතු කරනු ඇත්තේ තලේබාන් සංවිධානයේ උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්සාදා යැයි පැවැසිණි. ජනාධිපතිධුරය තලේබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් ට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව අල් ජසීරා ඇතුළු සෙසු විදෙස් පුවත් සේවා පවසා තිබේ.
තලේබාන්වරුන්ගේ පළමු මාධ්‍ය හමුව
බලය අල්ලා ගැනීමෙන් පසු පළමු මාධ්‍ය හමුව පවත්වමින් තලේබාන්වරුන් කියා සිටියේ, ජාත්‍යන්තර ප්‍රජාව දිගින් දිගටම කළ ඉල්ලීම්වලට අනුව, කාන්තාවන්ගේ සහ බාලිකාවන්ගේ අයිතීන් සුරැකීමට තමන් සූදානම් බවත්, මධ්‍යස්ථ ප්‍රතිපත්තිවලට නැඹුරු වී කටයුතු කරමින් ජාත්‍යන්තරයේ හොඳහිත දිනා ගැනීමට උත්සාහ කරන බවත්ය. තලේබාන්වරුන් පැවැත් වූ එම පළමු මාධ්‍ය හමුව සුවිශේෂී එකක් විය. එහිදී පළමුවෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දුන්නේ මාධ්‍යවේදිනියකටය. දෙස් විදෙස් මාධ්‍යවේදීහු රැසක් මෙම සුවිශේෂී මාධ්‍ය හමුවට සහභාගි වී සිටියහ. දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් සතුරන් ඇති කර ගැනීමට තමන් අපේක්ෂා නොකරන බවත්, සමාජයේ වැදගත් කාර්යයක් ඉටුකරන කාන්තාවන්ට ඉගෙන ගැනීමට, රැකියා කිරීමට අවස්ථාවක් ලබා දෙන බවත් රජය නියෝජනය කිරීමට ද ඉඩ ලබා දෙන බවත් ඒ සියල්ල ඉස්ලාම් නීතිය සහ සංස්කෘතිය ඇතුළේ සිදුවනු ඇති බවත් තලේබාන් මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් පැවැසුවේය. පැවැති ඇෆ්ගන් රජයේ සියලු රාජ්‍ය නිලධාරීන්ට රජයේ සේවකයන්ට දිගටම ඔවුන්ගේ රැකියා කටයුතුවල නියැලෙන ලෙසත් කිසිවකුගෙන් ඔවුන්ට තමන් කිසිදු බාධාවක් හෝ බලපෑමක් නොකරන බවත් තලේබාන් සංවිධානය වෙනුවෙන් සබිහුල්ලා මුජහීද් වැඩි දුරටත් කියා සිටියේය. කාබුල් නුවරින් හෝ ඇෆ්ගනිස්තානයෙන් හෝ පිටව යෑමට කැමැති ඕනෑම කෙනකුට කිසිදු බාධාවකින් තොරව ඊට අවසර ලබා දෙන බවත් තලේබාන් සාමාජිකයන් ජනතාවගේ නිවෙස්වලට කඩා වැදීම හෝ පළිගැනීම් කිරීම හෝ කිසිවක් නොකරන බවත් මාධ්‍ය ප්‍රකාශකයා වැඩි දුරටත් පැවැසීය. මේ අතර, තලේබාන්වරුන් මධ්‍යස්ථව කටයුතු කරන බව පැවැසුවත්, ඔවුන් එය ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බවත්, තමන්ට ඔවුන් ගැන කිසිදු විශ්වාසයක් නැතැයි ද බටහිර ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් සහ ඉන්දීය විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. තලේබාන්වරුන් යනු කිසිසේත් විශ්වාසය තැබිය හැකි කණ්ඩායමක් නොවන බව එම විශ්ලේෂකයෝ වැඩි දුරටත් කියා සිටිති.
තලේබාන් නව පාලනය පිළිගැනීමට පළමුවෙන් ඉදිරිපත් වූයේ චීනයයි. ඇෆ්ගනිස්තානය දැවැන්ත සංවර්ධනයකට ලක් කිරීමට ණය සහන ලබා දීමට චීනය සූදානම් වෙයි. මීට මාස කීපයකට පෙර, ඇෆ්ගන් තලේබාන් නියෝජිතයන් කණ්ඩායමක් සහ චීන විදේශ අමාත්‍ය වැංග් යී අතර හමුවක්, උතුරුදිග චීනයේ ටියැංජියැං නගරයේ පැවැත්විණි. තලේබාන් නියෝජිතයන්, එදා දෙදින නිල සංචාරයක් සඳහා උතුරු දිග චීනයට ගියේ පාකිස්තානය හරහා පාකිස්තාන රජයේ ද විශේෂ අනුග්‍රහකයක් යටතේය. තලේබාන් සාමාජිකයන් සහ චීනය අතර යහපත් සබඳතා ඇති කිරීමේදී නිල නොලත් මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි. තලේබාන් නව රජය සමග එක් වෙමින්, ඇෆ්ගන් වැසියන්ගේ යටිතල පහසුකම් නංවමින්, එරට සංවර්ධන ව්‍යාපෘති රැසකට සම්බන්ධවීමට චීනය බලාපොරොත්තු වෙයි. චීනය, පාකිස්තානය හරහා අරාබි මුහුද දක්වා ඔවුන්ගේ නව සේද මාර්ගය පුළුල් කිරීමට බලාපොරොත්තු වන අතර, එම සේද මාවත වැටී ඇත්තේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය හරහාය. මේ වනවිටත් පාකිස්තානයේ චීන අනුග්‍රහයෙන් අධිවේගී මාර්ග ඉදිවෙමින් පවතී. ඒවා ඇෆ්ගනිස්තානයට සම්බන්ධ කිරීමේ බලාපොරොත්තුවෙනි. මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පමණක් නොව ඉන්දියාව ද දැඩි කනස්සල්ලෙන් පසුවෙයි. තලේබාන්වරුන් බලය අල්ලා ගත් අවස්ථාවේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන් පාකිස්තාන, ඉන්දීය, රුසියානු සහ චීන විදේශ අමාත්‍යවරුන් සමග ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මහ්මූද් කුරේෂි, ඉන්දීය විදේශ සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සමග මෙලෙස දුරකතන ඇමතුම් ලබාදෙමින් ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
තලේබාන් කවුද?
තලේබාන් සංවිධානය බිහිවූයේ 90 දශකයේය. එසේ වීමට හේතු සාධක වූයේ 1979 වසරේ සෝවියට්වරුන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමය. සෝවියට් හමුදාවලට එරෙහිව ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානයේ සහාය ලබා ගනිමින් සටන් වැදුණු ‘මුජහදීන්’ සාමාජිකයෝ පසුව තලේබාන් බවට පත් වූහ. මුජහදීන්වරුන් ‘තලේබාන්’ යන නාමයෙන් කරළියට පැමිණියේ 1992 වසරේදීය. තලේබාන් සංවිධානය පිහිටුවූයේත් ඊට නායකත්වය ලබා දුන්නේත් එක් ඇසක් අහිමි බිහිසුණු ත්‍රස්ත නායකයකු ලෙස ප්‍රකට මුල්ලා මොහොමද් ඕමාර් ය. තලේබාන් සංවිධානය, ඔවුන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වූ නායක මුල්ලා ඕමාර්ගේ චරිතාපදානයක් එළිදක්වා ඇත. මුල්ලා ඕමාර් සම්බන්ධ මේ තොරතුරු එම චරිතාපදානය ඇසුරිනි.
මුල්ලා ඕමාර් නමැති මෙම ජිහාද් නායකයා උපත ලැබුවේ 1960 වසරේ, ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ කාක්රික්ස් දිස්ත්‍රික්කයේය. වයස අවුරුදු 5 දී මුල්ලා ඕමාර්ට පියා අහිමි විය. ඉන්පසු ඔහු හැදී වැඩුණේ උර්සුග්‍රාන් පළාතේ මාමාවරුන් දෙදෙනකු ළඟය. සාම්ප්‍රදායික ආගමික අධ්‍යාපනයක් ඕමාර් ට ලැබුණි. ඒ, මද්‍රාසා පාසල්වලිනි. 1979 වසරේ දෙසැම්බර් 24 වැනිදා, දකුණු ආසියාවේ බලය තහවුරු කර ගැනීමේ අරමුණින්, සෝවියට්වරු ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළහ. සෝවියට්වරුන්ගේ සහාය ඇතිව ඇෆ්ගනිස්තානයේ කොමියුනිස්ට් හිතවාදී රජයක් පිහිටුවීම ඒ අනුව සිදුවිය. මේ අතර, කොමියුනිස්ට් විරෝධී මුස්ලිම් ගරිල්ලෝ පිරිසක්, සෝවියට්වරුන් පිහිටවූ ‘වාමාංශික රූකඩ රජයට’ සහ සහ සෝවියට් හමුදාවට එරෙහිව නැගී සිටින්නට වූහ.
ඇෆ්ගන් කොමියුනිස්ට් හිතවාදී රජයට එරෙහිව නැගී සිටි මෙම ගරිල්ලන් පෂ්තුන්වරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් විය. ඇෆ්ගනිස්තානයේ බලගතුම ජන කොට්ඨාසය මෙම පෂ්තුන්වරුන්ය. පෂ්තුන්වරුන්ගෙන් බහුතරය සුන්නි මුස්ලිම්වරුන් වන අතර සුළුතරය ෂියා මුස්ලිම්වරුන්ය. සෝවියට් හමුදාවට එරෙහිවත්, කොමියුනිස්ට් ඇෆ්ගන් රජයට එරෙහිවත් සටන් ආරම්භ කළ ගරිල්ලන් ‘මුජහදීන්’ විය. රුසියාව සමග පැවැති එදිරිවාදිකම් නිසා, ඇමෙරිකාව, සී.අයි.ඒ. සංවිධානය ලවා හොර රහසේ මුජහදීන්වරුන් පෝෂණය කළේ අවි ආයුධ ඇතුළු තාක්ෂණික දැනුම සපයමිනි. එය සිදුවූයේ පාකිස්තානය හරහාය. එදා ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර ඉතාමත් සමීප මිත්‍රත්වයක් පැවැතිණි.
පාසල් අධ්‍යාපනය අමතක කරමින්, මුල්ලා ඕමාර් මුජහදීන්වරුන් සමග එක්වී සෝවියට්වරුන්ට එරෙහිව සටන් ආරම්භ කළේය. 1989 වසරේ සෝවියට්වරුන් ඇෆ්ගනිස්තානය අතහැර ගියේය. ඉතිරි වූයේ සෝවියට් අනුග්‍රහයෙන් පිහිටුවා තිබූ ඇෆ්ගන් රජයයි. එදා ජනාධිපති ලෙස කටයුතු කළේ මොහොමද් නජිබුල්ලාය. සෝවියට්වරුන්ට එරෙහිව එකමුතු වුණු මුජහදීන්වරුන් අතරේ මෙම අවස්ථාවේ බෙදීමක් හටගත්තේය. මේ වනවිට ඇමෙරිකාව ද ඇෆ්ගනිස්තානය කෙරෙහි දැක්වූ උනන්දුව අඩු කරමින් තිබුණි. ඇෆ්ගනිස්තානය සිවිල් යුද්ධයකට මුල පිරුවේය. මොහොමද් නජිබුල්ලාගේ රජය පෙරළා දැමීමට මුල්ලා ඕමාර් සහ ඔහුට පක්ෂපාතී මුහජදීන්වරු එක්වූහ. මුල්ලා ඕමාර් ට ඇමෙරිකාවේ සහ පාකිස්තානයේ සහාය හිමිවිය. ඒ අනුව, මුජහදීන් සටන්කාමීන් එකමුතු කර ගනිමින් සෝවියට් අනුග්‍රහයෙන් පිහිටවූ රජයට එරෙහිව මුල්ලා ඕමාර් සටන් ආරම්භ කළේය. මුල්ලා ඕමාර්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම ‘තෙල්බාන්‘ යන නමින් හැඳින්විණි. තලේබාන් සංවිධානයේ ආරම්භය එයයි. ඇෆ්ගන් රජයට එරෙහි සටන් වදිද්දී, මුල්ලා ඕමාර්ට එක් ඇසක් අහිමි විය. ඒ, බෝම්බ කැබැල්ලක් වැදීමෙනි.
මොහොමද් නජිබුල්ලාගේ රජය පෙරළා දැමීමට මුල්ලා ඕමාර් ප්‍රමුඛ තලේබාන් සංවිධානය සමත් විය. 1996 දී, තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයෙන් වැඩි කොටසක් අල්ලා ගත් අතර, ඔවුන්ට ගැලපෙන ආකාරයෙන් සකස් කළ ෂරියා නීතියට අනුව රට පාලනය කරන්න විය. ඇෆ්ගනිස්තානයේ ආගමික සුළුජාතීන්ට එරෙහිව දරුණු ලෙස අපරාධ සිදුවිය. මුළු ලොවම විරෝධය දක්වද්දී, මුල්ලා ඕමාර් යෝධ බාමියන් බුදු පිළිම ඩයිනමයිට් යොදා පුපුරුවා විනාශ කිරීමට අණ දුන්නේය. තලේබාන්වරුන්, ඔවුන්ට රිසි ලෙස සකස් කරගත් ෂරියා නීතියට අනුව, ඇෆ්ගන් වැසියන් පීඩාවට පත් වෙද්දී බටහිර රටවලින් දැඩි ලෙස විරෝධයක් එල්ල වන්න විය. සෞදි අරාබියෙන් සහ එක්සත් අරාබි එමිරේට්සම් රාජ්‍යයෙන් තලේබාන්වරුන්ගේ පාලනයට නතු ඇෆ්ගනිස්තානයට සහාය ලැබෙන්න විය.
මුල්ලා ඕමාර් සේම ඔසාමා බින් ලාඩන් ද මුජහදීන් සටන්කාමියෙකි. එදා ඔහු ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානයේ ගජ මිතුරෙකි. ඇෆ්ගනිස්තානය කෙරෙහි ඇමෙරිකාවේ උනන්දුව අඩු වෙද්දී, සෞදි ජාතික බින් ලාඩන් අල් කයිඩාව පිහිටුවා ගෙන තිබුණි. මිතුරා සතුරා වෙද්දී, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩාව, ඇමෙරිකාවට පහර දුන්නේය. ඒ, මගී ගුවන් යානා පැහැර ගනිමිනි. එම ප්‍රහාරයට සම්බන්ධ වුණු මරාගෙන මැරෙන අල් කයිඩා ත්‍රස්තවාදීන් පුහුණුව ලබා තිබුණේ ඇෆ්ගනිස්තානයේදීය. අල් කයිඩාවටත්, බින් ලාඩන්ටත් තලේබාන් රජයේ සහාය මෙන්ම ආරක්ෂාව ද හිමි විය. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු බින් ලාඩන් තමන්ට බාර දෙන්නැයි ඇමෙරිකාව තලේබාන් රජයෙන් ඉල්ලීමක් කළේය. එවකට ඇමෙරිකා ජනාධිපති වූයේ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ය. ඇමෙරිකාවේ ඉල්ලීමට තලේබාන් රජය කන්දුන්නේ නැත. ඒ අනුව, ඇමෙරිකාව උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව ද සමග එක් වී, ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ තලේබාන් පාලනය පෙරළා දමමිනි. එම අවස්ථාවේදී මුල්ලා ඕමාර් සහ ඔසාමා බින් ලාඩන් කඳුකර ප්‍රදේශවලට පලා ගොස් සැඟවුණාහ. ඇමෙරිකන් හිතවාදී ඇෆ්ගන් සටන්කාමීන්ගේ සහාය ඇමෙරිකාව ප්‍රමුඛ විදේශ හමුදාවට හිමිවිය. තලේබාන්වරු ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා සමග අවි ගැටුම් ඇති කර ගත්හ.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාව කාබුල් නගරයේ පාලනය සියතට ගනිද්දී, මුල්ලා ඕමාර් සැඟවී සිට ඔහුගේ සටන්කාමීන් මෙහෙයවමින්, විදෙස් හමුදා ඉලක්ක කර ගනිමින් ගරිල්ලා ප්‍රහාර එල්ල කරන්න විය. මුල්ලා ඕමාර්ගේ හිසට ඇමෙරිකාව ඩොලර් මිලියන 10 ක තෑග්ගක් ලබා දෙන බවට නිවේදනය කෙරුණි. හක්කානී ත්‍රස්ත ජාලය හා පාකිස්තානයේ තරීක් ඊ තලේබාන් සංවිධානය මුල්ලා ඕමාර්ට සහාය දැක්වීය. පාකිස්තාන හමුදාවේත්, බුද්ධි අංශයේත් සහාය සහ අනුග්‍රහය මුල්ලා ඕමාර් ට ලැබුණු බව ප්‍රසිද්ධ රහසකි. ඇමෙරිකා පාකිස්තාන සබඳතා අවුල් වීමට මෙය හේතුවිය. පාකිස්තානය ඇෆ්ගන් තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන්ට සහ ඔවුන්ට හිතවත් වෙනත් ඉස්ලාමීය සටන්කාමීන්ට සහාය දක්වන්නේ, ඉන්දියාව අස්ථාවර කිරීමට යැයි අදටත් චෝදනා එල්ලවෙයි. පාකිස්තාන රජය සැමවිටම මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කළේ, තලේබාන් සංවිධානය සමග ඇතිකරගත් සාම වැඩපිළිවෙළකට අනුවය. මෙම සාම වැඩපිළිවෙළ සඳහා ඇමෙරිකන් සහ තලේබාන් නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ 2019-2020 කාලයේය. සාම සැලැස්මට තලේබාන් සංවිධානය අත්සන් තැබුවේ 2020 පෙබරවාරි 29 වැනිදාය. සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ කටාර් හි දෝහා පිහිටි තලේබාන් සාම කාර්යාලය හරහාය. විවිධාකාරයේ මත ගැටුම් මැද සාකච්ඡා පැවැත්වීම කළේ, බයිඩන්ට පෙර සහ බැරැක් ඔබාමාට පසු ඇමෙරිකාවේ ජනපතිධුරයට පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි. තමන් ඇමෙරිකන් සහ නේටෝ හමුදා ඉවත් කර ගත්තේ ට්‍රම්ප් පරිපාලනයේ සාම සැලැස්මට අනුව බවත්, ඇෆ්ගන් වැසියන් අමාරුවේ දැමුවේ යැයි චෝදනා එල්ල වෙද්දී වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කළේය.
තලේබාන් සංවිධානයේ වත්මන් උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්සාදා නීති විශාරදයෙකි. තලේබාන් සංවිධානයේ දේශපාලනික, ආගමික සහ හමුදා කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණය ඇත්තේ මොහු සතුවය. තලේබාන්වරුන්ගේ සියලු කටයුතු සිදුවන්නේ ද හයිබතුල්ලා අකුන්සාදාගේ අනුමැතිය පරිදිය. හයිබතුල්ලා අකුන්සාදා තලේබාන් නායකත්වයට පත් වූයේ 2016 වසරේදීය. ඒ, ඔහුට පෙර නායකයා ලෙස කටයුතු කළ අක්තාර් මන්සූර් ද ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යෑමෙන් පසුවය. අක්තාර් මන්සූර් යනු මුල්ලා ඕමාර්ගෙන් පසු තලේබාන් නායකයා බවට පත්වුණු තැනැත්තාය. තලේබාන් නායකත්වය හිමිවනතුරු, හයිබතුල්ලා අකුන්සාදා, වසර 15 ක් තිස්සේ, නිරිතදිග පාකිස්තානයේ කුචලාක් නගරයේ මුස්ලිම් දේවස්ථානයක ආගමික දේශකයකු ලෙස කටයුතු කළ බව පැවැසෙයි. අවුරුදු 60ක් පමණ වයසැති හයිබතුල්ලා අකුන්සාදා සිටින ස්ථාන පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
තලේබාන් සංවිධානයේ සන්නද්ධ අංශ නායකයා ලෙස සටන් මෙහෙයවන්නේ තලේබාන් සංවිධානය පිහිටුවීමෙහිලා පුරෝගාමියා ලෙස කටයුතු කළ මුල්ලා ඕමාර්ගේ පුත්‍රයා යාකූබ්ය. මොහු ඇෆ්ගනිස්තානයේ සිටින බවත්, තලේබාන් සටන්කාමීන් මෙහෙයවන බවත් ඇමෙරිකන් බුද්ධි අංශ සනාථ කර තිබේ. අවස්ථා ගණනාවකදී තලේබාන් උත්තරීතර නායකයා ලෙස යාකූබ්ගේ නම යෝජනා වී තිබේ. කෙසේ නමුත් අත්දැකීම් අඩු අවුරුදු 30 ක පමණ තරුණයකු වන හෙයින්, යාකූබ් වෙනුවට හයිබතුල්ලා අකුන්සාදා තලේබාන් උත්තරීතර නායකයා බවට පත් විය.
සෝවියට් හමුදා සමග සටන් වැදුණු ප්‍රධාන පෙළේ මුජහදීන් නායකයකු වූ ජලලුදීන් හක්කානීගේ පුත්‍රයා සිරජුදීන් හක්කානී ද තලේබාන් නියෝජ්‍ය නායකයෙකි. මොහු හක්කානී ත්‍රස්ත ජාලයේ නායකයාය. තලේබාන් සංවිධානයේ මූල්‍ය සහ තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් මෙන්ම අවි ආයුධ ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ හක්කානී ජාලයයි. මෙම ජාලයට ත්‍රස්ත කල්ලි කීපයක් සම්බන්ධ අතර, පාකිස්තාන ඇෆ්ගන් දේශසීමාවේ මොවුන් ක්‍රියාත්මක වෙයි. ජලලුදීන් හක්කානීගේ හිස වෙනුවෙන් ඇමෙරිකාව ඩොලර් මිලියන 5 ක ත්‍යාගයක් ලබා දෙන බව පවසා ඇත. පසුගිය කාලයේ ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන පෙළේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර රැසක් සැලැසුම් කළ තැනැත්තා ලෙස ජලලුදීන් හක්කානී සැලකෙයි. කාබුල් හෝටලයට සහ ඉන්දීය තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවූයේ ද ජලලුදීන් හක්කානී සැලැසුම්වලට අනුව යැයි බුද්ධි අංශ තහවුරු කරගෙන තිබේ. වයස අවුරුදු 40 ත් 50 ත් අතර තැනැත්තකු වන ජලලුදීන් හක්කානී සිටින ස්ථානය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැත.
තලේබාන් පාලනය යටතේ ස්ථාපිත කළ නව රජයේ ජනාධිපති වනු ඇතැයි පැවැසෙනමුල්ලා අබ්දුල් ඝානී බරාදාර් තලේබාන් සංවිධානයේ සම නිර්මාතෘවරයෙකි. තලේබාන් දේශපාලන අංශයට නායකත්වය දෙමින්, දෝහා කටාර් හි තලේබාන් සාම කාර්යාලයේ කටයුතු මෙහෙයවීම සිදු කළේ ද මුල්ලා අබ්දුල් ඝානී බරාදාර්ය. තලේබාන්වරුන් දේහා නුවර, සාම කාර්යාලයක් පිහිටවූයේ ඇෆ්ගන් රජය සමගත් ඇමෙරිකාව සමගත් දීර්ගකාලීන සාම වැඩපිළිවෙළක් සහ සටන් විරාමයක් ස්ථාපිත කිරීමේ අරමුණින්ය. කටාර් රාජ්‍යයේ අනුග්‍රහය මෙම සාම කාර්යාලයට හිමිවෙයි. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ ද මෙම සාම කාර්යාලය හරහා ඇමෙරිකාව, තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතරේ ඇතිකරගත් සාම වැඩපිළිවෙළකට අනුවය. කෙසේ නමුත් එම වැඩපිළිවෙළ අසාර්ථක වූයේ තලේබාන් සන්නද්ධ අංශය ඊට එරෙහි වුණු බැවිනි. මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් යනු මුල්ලා ඕමාර්ගේ වඩාත් විශ්වසනීය අණදෙන නිලධාරියාය. 2010 වසරේ දී මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් ඇෆ්ගන් ආරක්ෂක අංශ විසින් අල්ලා ගනු ලැබුණි. ඒ, පාකිස්තානයේ කරච්චි නුවරදීය. පසුව ඇති කරගත් එකඟතාවකට අනුව 2018 දී මුල්ලා අබ්දුල් ඝානී බරාදාර්ට නිදහස ලැබුණි. කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන්, දෝහා නුවර සාම කාර්යාලයක් පිහිටුවීමටත්, ඇමෙරිකාව සහ ඇෆ්ගන් රජය සමග සාකච්ඡා පැවැත්වීමටත් මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් කටයුතු කළේ ඒ අනුවය.
තලේබාන් සංවිධානයේ තවත් කැපී පෙනෙන චරිතයක් වන්නේ ෂෙර් මොහොමද් අබ්බාස් ස්ටැනිකාසී ය. මොහු, 90 දශකයේ තලේබාන්වරුන් විසින් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගනු ලැබීමෙන් පසු පිහිටුවනු ලැබූ රජයේ නියෝජ්‍ය, ඇමැතිවරයකු ලෙස කටයුතු කළ අයෙකි. 2001 ඇමෙරිකා ආක්‍රමණයත් සමග තලේබාන් රජය බිඳ වැටෙද්දී, කටාර් රාජ්‍යයට ගිය ෂෙර් මොහොමද් අබ්බාස් ස්ටැනිකාසී, දශකයකට වැඩි කාලයක් නිහඬව ජීවත් විය. 2015 දී, මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් යටතේ තලේබාන් දේශපාලන අංශයේ ප්‍රධානියකු ලෙස යළි කරළියට පැමිණියේය. ඇෆ්ගන් රජය, ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡා පැවැත්වීම් කළ නියෝජිතයා ලෙස සැලකෙන්නේ ෂෙර් මොහොමද් අබ්බාස් ස්ටැනිකාසීය. පාකිස්තානය, රුසියාව සහ චීනයට ගිය තලේබාන් නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ද ෂෙර් මොහොමද් අබ්බාස් සැලකෙයි. ෂෙර් මොහොමද් අබ්බාස් ස්ටැනිකාසී, අතීතයේ පැවැති තලේබාන් රජයේ නීතිපතිවරයාය. විදේශවලට ගොස් සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ තලේබාන් නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ මොහුය. තලේබාන් සංවිධානයේ ආගමික විද්වතුන්ගේ කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ද ෂෙර් මොහොමද් අබ්බාස් ස්ටැනිකාසී ය. තලේබාන් නායක හයිබතුල්ලා අකුන්සාදාගේ වඩාත් විශ්වාසනීය තැනැත්තා ලෙස සැලකෙන්නේ ද මොහුය.
ලුසිත ජයමාන්න
සී.එන්.එන්. සහ අල් ජසීරා ඇසුරිනි