අපේ දළදා වහන්සේ දඹදිවදී පෑ පෙළහර


මහනුවර දළදා මාලිගයේ වැඩ සිටින ශ්‍රී දළදා වහන්සේ මෙරට පමණක් නොව ලොව පුරා විසිරී සිටින සකල බෞද්ධ ජනතාවගේම මුදුන් මල්කඩක් බඳුය. එම දළදා වහන්සේ සිරිලකට වැඩමවන ලද්දේ, කිත්සිරිමෙවන් රජ දවස හේමමාලා සහ දන්ත කුමරුන් විසිනි. දළදා වහන්සේ ලංකාවට වැඩම වීමට හේතු පාදක වූ කරුණු පදනම් කරගෙන සිදුවීම් මාලාවක් සිදු වී ඇත. විශේෂයෙන් මිසදිටුවන් අතරට ගිය දළදා වහන්සේට ප්‍රාතිහාර්ය කිහිපයක්ම දැක්වීමට සිදු වී තිබේ.  


මෙරට වැඩසිටින්නේ බුදුරජාණන්වහන්සේගේ සතර දළදාවන්ගෙන් ‘වම් යටි දළදාව’යි. සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යයකු වන ‘ඛේම’ නම් රහතන්වහන්සේ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී දේහය දවන චිතකයෙන්ම වාම දළදාව ලබාගෙන කලිඟු රට දන්තපුරයට ගොස් එහි රජ කළ බ්‍රහ්මදත්ත රජුට එය බාරකොට ඇත. කලිඟු රජ පරපුරේ ගුහසීව රජු දක්වා එය දඹදිව පවතින බවත්, ගුහසීව රජු දවස එය ශ්‍රී ලංකාවට වැඩමවන බවත් ඛේම රහතන්වහන්සේ ප්‍රකාශ කළ බව සඳහන් වේ.  


කලිඟු රට බ්‍රහ්මදත්ත රජතුමා මිථ්‍යාදෘෂ්ඨිකයෙක් විය. ඛේම හිමියන්ගේ අනුශාසනා පරිදි තෙරුවන් සරණ ගිය ඒ රජතුමා අලංකාර දළදා මන්දිරයක් කරවා දළදා වහන්සේ එහි වඩා හිඳුවා පුද පූජා පැවැත්වීය. මෙම දළදා මාලිගාව වර්තමාන ඔරිස්සාවේ පූරි නගරයේ ජගත්නාථ කෝවිල ලෙස හඳුනාගෙන ඇත. බ්‍රහ්මදත්ත රජතුමාගෙන් පසු රජ වූ ‘කාසිරාජ’ රජතුමාත් ඔහුගේ පුත් ‘සුනන්ද’ රජතුමාත් එයින් පසු ‘ගුහසීව’ රජතුමා දක්වා රජ කළ සියලු රජවරුනුත් මහත් භක්තියෙන් දළදා පූජාකොට ඇත. ගුහසීව රජතුමා ද මිථ්‍යාදෘෂ්ඨිකයෙකි. ඔහු නිගණ්ඨයන්ට රැවැටී සිටියේය. එහෙත් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ඇමැතිවරයකු විසින් දළදා විස්තර කියා රජු තෙරුවන් කෙරෙහි පැහැදවීය. පසුව ගුහසීව රජතුමා බුදුසමය වැළඳගෙන බුදුනුවන් පැහැද වූහ. අනතුරුව රජතුමා නිගණ්ඨයන් රටින් පලවා හැරියේය.  


පලවා හරින ලද නිගණ්ඨයන් පැලලුප් නුවරට ගොස් එහි සිටි මහත් තේජස් ඇති පඬි රජතුමාට එතුමාගේ ප්‍රාදේශීය රජෙක් වන ගුහසීව රජු මිනී ඇටයක් වන්දනා කරන බව පැවැසූහ. එයින් උරණ වූ පසු රජතුමා එතුමාගේ තවත් ප්‍රාදේශීය රජෙක් වන චිත්‍රායන රජු කැඳවා කලිඟු රට ගොස් ගුහසීව රජු හා ඔහු පුදන මිනී ඇටය ද රැගෙන එන ලෙස පැවැසීය. චිත්‍රායන රජ කලිඟු රට දන්තපුරයට ගොස් නුවර සමීපයේ කඳවුරු බැඳ ගත්තේය. කලිඟු රජතුමා ඒ අසා නොයෙක් පුද පඬුරු චිත්‍රායන රජු වෙත යැවීය. එයින් සතුටට පත් චිත්‍රායන රජතුමා ගුහසීව රජතුමාගේ හිතවත් බව තේරුම්ගෙන සේනාව ද සමග දන්තපුරයට ගියේය. එම නගරයේ සමෘද්ධිය දුටු චිත්‍රායන රජු පඬි රජුගේ පණිවුඩය ගුහසීව රජු හට දැන්වීය.  


පඬි රජ්ජුරුවන්ගේ පණිවුඩය අසා ගුහසීව රජු චිත්‍රායන රජුට බුදුරජාණන්වහන්සේගේ බුදු ගුණ ප්‍රකාශ කළේය. බුදුරජාණන්වහන්සේ දස පාරමිතා පුරා දස මාර සේනා පරාජය කොට සර්වඥතා ඥානය ලැබූ සියලු ලෝවැසියනට සෙත සැලසූ බව ප්‍රකාශ කළේය. ගුහසීව රජුගේ ප්‍රකාශයෙන් බුදුන් කෙරෙහි පැහැදුණ චිත්‍රායන රජුට දළදා වහන්සේ දැකීමට සිත් විය. අනතුරුව ගුහසීව රජු චිත්‍රායන රජ දළදා මැඳුරට කැඳවාගෙන ගියේය. එහි වූ විසිතුරු දළදා කරඬුව දුටු චිත්‍රායන රජ තෙමේ පුදුමයට පත් විය. අනතුරුව ගුහසීව රජතුමා දළදා කරඬුව විවෘත කොට දකුණු දණ මඬල පොළොවේ තබා දොහොත් මුදුන් තබා වැඳ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ බුදු ගුණ සිහිකොට තීර්තක මානය බිඳීමට බුදුරජාණන්වහන්සේ ප්‍රාතිහාර්යය දැක්වූ ආකාරයෙන් දැනිදු ඔබවහන්සේ ප්‍රාතිහාර්යයක් දැක්විය යුතු යයි ආයාචනා කළේය.  


ඒ මොහොතෙහි දළදා වහන්සේ අහසට පැන නැගී රිදී සේ සුදු පැහැ රශ්මිය විහිදුවමින්, ආලෝකය පතුරුවමින්, නිවෙමින් අහසෙහි සිටිමින් පෙළහර පෑ සේක. මේ දළදා වහන්සේ දඹදිවදී පෑ ප්‍රථම ප්‍රාතිහාර්යයයි.  


එම ප්‍රාතිහාර්යය දුටු චිත්‍රායන රජතුමා මෙතෙක් කලක් අදහාගෙන සිටි මිථ්‍යාදෘෂ්ඨිය අතහැර බුදුන් සරණ ගොස් සියලු සේනාව සමග දළදා පිදීය. අනතුරුව චිත්‍රායන රජ තෙමේ පඬි රජුගේ නියමය කඩ කළ නොහැකි බව ගුහසීව රජතුමාට දැන්වීය. ගුහසීව රජතුමා ​නොයෙක් අයුරෙන් දන්තපුරය සරසවා මහත් වූ දළදා පූජා පවත්වා දළදා කරඬුව රැගෙන විසිතුරු ලෙස සැරැසූ අශ්ව රථයක නැගී පැලලුප් නුවර බලා ගියේය. එහි ගොස් කිසි සැකක් බියක් නොමැති ලෙස දළදා කරඬුව රැගෙන පඬි රජුගේ රාජ සභාවට පිවිසියේය. එලෙස බිය සැක තොරව තමාගේ රාජසභාවට එන ගුහසීව රජු දුටු පඬි රජතුමා අතිශයින් කෝපයට පත්ව මොහු විසින් වන්දනා කරන මෙම මිනී ඇටය ගිනි අඟුරු වළක දමා දවන ලෙස නිගණ්ඨයන්ට කීය.  


එයින් සතුටට පත් නිගණ්ඨයන් මහත්වූ ගිනි අඟුරු වළක් කරවා දළදා වහන්සේ එම ගිනි අඟුරු වළෙහි දැමීය. එවිට දළදා වහන්සේගේ බලයෙන් එම ගිනි අඟුරු වළ මත රිය සකක් පමණ වූ මහත් වූ නෙළුම් මලක් පැන නැගිණි. දළදා වහන්සේ දීප්තිමත් ප්‍රභාවයෙන් බබලමින් එම නෙළුම් මල මස්තකයෙහි වැඩ සිටියේය. ඒ ආශ්චර්යය දුටු මිනිස්සු සුවඳ මලින්, රන් රුවන් ආදියෙන් දළදා වහන්සේ පිදූහ. මෙය දළදා වහන්සේ දඹදිවදී පෑ දෙවැනි ප්‍රාතිහාර්යයයි.  


එහෙත් පඬි රජ බොහෝ කලක් පැවත ආ මිථ්‍යාදෘෂ්ඨිය අත් නොහරිමින් මේ දළදාව කිණිහිරක් මත තබා කුළුගෙඩියෙන් තලා පොඩි කරන ලෙස දැන්වීය. එවිට නිගණ්ඨයෝ වහාම කිණිහරක් ගෙන්වා දළදා වහන්සේ ඒ මත තබා කුළුගෙඩියෙන් තැලීය. එසේ තලද්දී දළදා වහන්සේ​ කිණිහිරෙන් අඩක් ගිලී අඩක් උඩට සිටින සේ වැඩ සිට රැස් විහිදුවන්නට වූහ. රජු මෙම ආනුභාව දැක පුදුමයට පත් විය. එහෙත් නිගණ්ඨයෝ කියා සිටියේ මේ මිනී ඇටය විෂ්ණුගේ දස අවතාරවලින් එකක අැටයක් විය හැකි බවයි. එවිට පඬි රජු එසේ නම් විෂ්ණුගේ ගුණ වර්ණනා කොට දළදාව කිණිහිරෙන් ගන්නා ලෙස නිගණ්ඨයන්ට කීය. නිගණ්ඨයෝ විෂ්ණු ස්ත්‍රෝත්‍ර ගායනා කොට ඒ මත පැන් වත්කොට උඩට මතුවන ලෙස දළදා වහන්සේට ආරාධනා කළහ. එ​හෙත් දළදාව කිණිහිරෙන් නොසෙල්වුණි. රජතුමා නිගණ්ඨයන්ට නින්දා කොට දළදාව කිණිහිරෙන් ගන්නා කෙනකුට මහත් ධනයක් දෙන බවට එනුවර බෙර ගැස්සවීය.  


ඒ පුරයෙහි අනේපිඬු සිටු පරපුරෙන් පැවැත එන ‘සුභද්ද’ නම් සිටු පුත්‍රයෙක් විසුවේය. එම සිටු පුත්‍රයා අණ බෙරය නවතා රජ මාලිගයට පැමිණ බුදු ගුණ වර්ණනා කොට උතුරු සළුව ඒකාංශ කොට පොරවාගෙන කිණිහිර ඉදිරියේ දණ ගසාගෙන බුදුරජාණන්වහන්සේ සසර පුරන ලද දස පාරමිතා සිහි කොට බුදුන්වහන්සේ විෂම පුරුෂයන් දමනය කළ ආකාරය දක්වා එම සත්‍ය බලයෙන් දළදා වහන්සේ අහසට පැන නැගී ජනතාවගේ සැකය දුරු කෙරේවායි ආයාචනය කළේය. එවිට දළදා වහන්සේ අහසට වැද නැගී පහන් තරුව මෙන් බබලමින් එම සිටුවරයාගේ හිස මත වැඩ සිටියහ. මේ දළදා වහන්සේ දැක්වූ තෙවැනි පෙළහරයි.  
මෙය දුටු නිගණ්ඨයෝ මේ සිටු පුත්‍රයා විජ්ජාකාරයෙකැයි රජුට කීහ. එය ඇසූ රජතුමා තවත් ප්‍රාතිහාර්යයක් දක්වන ලෙස සිටු පුත්‍රයාට කීය. සිටු පුත්‍රයා ආශ්චර්යවත් බුද්ධ චරිතය සිහිකොට සිසිල් සුවඳ පැන් පිරුණ රත්රන් පාත්‍රයක දළදා වහන්සේ තැබූ විට එම දළදා වහන්සේ රැස් විහිදුවමින් දක්ෂිණාවෘතව උඩ යට යමින් ගමන් කොට ප්‍රාතිහාර්යය දැක්වීය. මෙය හතරවැනි දළදා ප්‍රාතිහාර්යයයි.  


එයින් ද සෑහීමට පත් නොවූ පඬි රජතුමා නුවර වීථිය මැද වළක් කප්පවා දළදා වහන්සේ එහි දමා පස් පුරවා ඇතුන් ලවා පාගවන ලෙස අණ කළේය. එසේ කරන කල්හි ස්වර්ණමය පෙතිවලින් යුක්ත වූ නෙළුම් මලක් පොළොව පලාගෙන උඩට පැන නැගුණ කල්හි දළදා වහන්සේ ඒ මත වැඩ සිටිමින් බුදු රැස් විහිද වූ සේක. මේ පස් වැනි ප්‍රාතිහාර්යයයි.  


එවිට ද තීර්ථකයෝ එම ප්‍රාතිහාර්යය වංචාවක් ලෙස සඳහන් කොට කුණු වතුරෙන් පිරුණ දිය අගලකට දළදා වහන්සේ දැමීය. එකෙනෙහි දිය අගල පස් පියුමෙන් පිරි පොකුණක් බවට පත්වී දළදා වහන්සේ පියුමක් මත වැඩ සිටියහ. මේ ආශ්චර්යය දුටු මනුෂ්‍යයෝ මහත් සේ ප්‍රීති ඝෝෂා කළහ. එවිට අමාත්‍යවරු, ‘මේ ආශ්චර්යයන් තේරුම් ගන්නට බැරි ප්‍රඥාවෙන් වැඩක් ​ඇත් ද? රජතුමනි, මේ අඥානයන්ගේ බස් ඉවත දමා බුදු රජුන් සරණ යනු මැනව’යි පැවැසූහ. මෙය සයවෙනි ප්‍රාතිහාර්යයි. එවිට රජතුමා තෙරුවන් කෙරෙහි පහ වූ සැක ඇත්තේ හිතවත් අමාත්‍යවරයකු අමතා දිය අගල ළඟට ගොස් දළදා වහන්සේ වැඩමවාගෙන එන ලෙස දැන්වීය.  


ඇමැතිවරයා දළදාව වැඩමවාගෙන ඒමට ගිය කල්හි දළදා වහන්සේ ඇමැතිවරයාගේ හස්තයට වැඩි සේක. ඇමැතිවරයා දළදාව වැඩමවාගෙන පැමිණි කල්හි රජතුමා දළදා වහන්සේට වන්දනා කොට තමා රත්නත්‍රය කෙරෙහි පැහැදීම වර්ධනය කරනු සඳහා මාලිගාවට වඩින ලෙස ආරාධනා කළේය. එවිට දළදා වහන්සේ රාජ හංසියක මෙන් රජතුමාගේ ඔටුනු මත පිහිටියේය. මෙය දඹදිවදී දැක්වූ හත්වැනි ප්‍රාතිහාර්යයයි. රජතුමා දළදා වඩමවාගෙන ඇතුළු නුවරට ගොස් ස්වර්ණමය පළඟක දළදා වහන්සේ වඩා හිඳුවා දළදා පිදීය. අනතුරුව දිවි හිමියෙන් තෙරුවන් සරණ ගොස් මහජන සිත් දිනා ගත්තේය. රජතුමා දළදාව මන්දිරයක් කරවා දළදා වහන්සේ එහි වඩා හිඳුවා පුද පූජා කළේය. රාජ්‍යයෙන්ම දළදා වහන්සේට පූජා කළේය.  


අනතුරුව පඬි රජතුමා දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කරන කල්හි ක්ෂිරධාරා රජ යුද පිණිස පැලලුප් නුවරට ආවේය. ඔහු පලවා හල පඬි රජතුමා සිය පුතුට රාජ්‍යය දී ගුහසීව රජුට සත්කාර කොට ආපසු යැවීය. පඬි රජු මියගිය පසු ගුහසීව රජු දළදා වහන්සේ ආපසු සිය රටට වැඩමවා මහත් වූ පුද පූජා කළේය. දළදා වහන්සේ ලංකාවට වැඩමවීමට අදාළ සිදුවීම් වන්නේ එයින් අනතුරුවය.   

 

 

විජේරත්න අතුරුපාන