“හුඟක් වෙලාවට මිනිස්සුන්ට ටෙලි නාට්‍යයක් මතක තියෙන්නෙ විකාශය වෙන කාලෙ විතරයි.. ඒකට හේතුව ටෙලි නාට්‍යයක් බලන්නෙ ඒ වෙනුවෙන්ම කැප වෙලා නෙමෙයි.. චිත්‍රපටියක්, වේදිකා නාට්‍යයක් බලන්න යන්නෙ හොඳ මානසික සූදානමක් ඇතුව.. දවසක් වෙන් කරගෙන, ප්‍රවේශ පත්‍රයක් මිලදී අරගෙන ගිහින් සැනසිල්ලේ වාඩි වෙලා බලාගෙන ඉන්නවා.. ඒත් ටෙලි නාට්‍ය එහෙම නෙමෙයි.. ගෙදර වැඩ කරන ගමන්, දරුවා නිදි කරවන ගමන්, එහෙම නැත්නම් වෙන කරන්න කිසිම දෙයක් නැති හින්දා නරඹන අය තමයි බහුලව ඉන්නෙ.. සමහරු දිගටම නරඹමින් ඉඳලා අතරමඟින් අතෑරලා දානවා.. ඒ හින්දා විකාශය වෙලා ටික දවසක් යද්දී චරිත අමතක වෙනවා.. ඒත් දශක ගණනාවක් ගත වුණාට පස්සෙත් මිනිස්සු යම් චරිතයක් මතකයේ තියාගෙන ඉන්නවා නම් ඒ ටෙලි නාට්‍යයේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්..”
ප්‍රවීණ රංගන ශිල්පිනියක, ගායිකාවක හා නර්තන ශිල්පිනියක වන රත්නශීලා පෙරේරා එසේ පැවසුවේ 2007 වසරේ ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ සෙනෙහසට ආදරෙයි චිත්‍රපටියේ අම්මි ගේ චරිතය පිළිබඳ කතාබහකට එක් වෙමිනි. අම්මි චරිතය රසික සිත්සතන් තුළ පැලපදියම් වූයේ එය සමහර කාන්තාවන් තුළ ඇති ඕපාදූප සෙවීමට ඇති ආශාව, අල්ලපු ගෙදරට වඩා ඉහළින් කැපී පෙනෙන්නට උත්සාහ කිරීම, සිය පුතු අල්ලපු ගෙදර යුවතිය සමඟ සම්බන්ධයක් ඇති කර ගත් විට එයට එරෙහි වෙන්නට පෙලඹීම වැනි දුර්ගුණ ඉස්මතු කර තිබූ නිසාය.
“මේවා හාස්‍යජනක සිද්ධි වුණත් නාට්‍යයෙන් කතා කළේ සමාජ ගැටලු ගැන.. මගේ චරිතයට ප්‍රේක්ෂකයන් මොන තරම් ඇලුම් කළා ද කියනවා නම් අදටත් සමහරු අහනවා සෙනෙහසට ආදරෙයි නාට්‍යයේ අම්මිගෙ චරිතය රඟ පෑවේ ඔයා නේද කියලා.. ඒ චරිතය විකාශය වෙනකොට සංගීත ඛණ්ඩයක් වාදනය වෙනවා.. හුඟක් කාන්තාවෝ මට කියලා තියෙනවා කුස්සියේ උයඋයා හිටියත් ඒ සංගීත ඛණ්ඩය ඇහුණ ගමන් රූපවාහිනිය ඉස්සරහට දුවගෙන එනවා කියලා..” රත්නශීලා පැවසුවාය.
මෙය නාලන් මෙන්දිස් ගේ අධ්‍යක්ෂණයකි. මෙහි රූගත කිරීම් කෙරුණේ මාකුඹුරේ යාබද ගෙවල් දෙකකය. ඒ කාලය ඉතාම සුන්දර මෙන්ම දුෂ්කර කාලයක් ද වූ බැව් රත්නශීලා කියන්නීය. නරි බෑනා වේදිකා නාට්‍යයේ ගමමහගේ ගේ චරිතය රඟ පාන්නේ රත්නශීලාය. නරි බෑනා බොහෝ සෙයින් ජනප්‍රියව තිබුණ එසමයෙහි ලංකාව පුරාම නාට්‍ය දර්ශන පැවැත්විණි. ඒවාට සහභාගි වෙන්නට යන ඇය ආපසු පැමිණෙන්නේ රාත්‍රි එකට දෙකටය.
“එහෙම ඇවිල්ලත් මම උදේ පහට සෙනෙහසට ආදරෙයි ෂූටින් යනවා.. දවස තිස්සෙම ෂූටින්.. සමහර දවස්වල දර්ශන දහ අටක විතර රඟපාලා තියෙනවා.. අනිත් එක මට තිබුණෙ දිග දෙබස්.. නාලන් මෙන්දිස් කියන්නෙ පිටපතේ තියෙන එකම වචනයක්වත් වෙනස් කරන්නවත් අලුත් වචන එකතු කරන්නවත් ඉඩ දෙන්නෙ නැති අධ්‍යක්ෂවරයෙක්.. එහෙම කළොත් බැනුම් අහන්න සිද්ද වෙනවා.. මම නම් බොහොම අඩුවෙන් බැනුම් අහ ගත්තෙ.. එයාට දැනෙන්න ඇති මම චරිතයට උපරිම සාධාරණය කළා කියලා.. ඇත්තටම මටත් එහෙම දැනුණා.. ඒ හින්දම අම්මි කියන්නෙ මම හුඟක් ආසාවෙන් රඟ පෑව චරිතයක්..” ඇය කීවාය.
ගාමිණි හෙට්ටිආරච්චි, දමයන්ති පොන්සේකා, වත්සලා දියලගොඩ, පුබුදු ගමගේ, ඕෂනී ඩයස්, සරත් කරුණාරත්න, නීතා සමරනායක, නලින්ද සේනානායක, කුමාර් අත්තනායක ඇතුළු නළුනිළියෝ රැසක් මෙහි රඟ පෑහ.
රත්නශීලා පෙරේරා ක්ෂේත්‍රයට ආවේ නූර්ති නාට්‍ය හරහාය. ඇගේ අම්මා ප්‍රසිද්ධ නූර්ති රංගන ශිල්පිනියක වූ කාන්ති කුමාරිය. ඇයත් සමඟ වේදිකාවට ගොඩ වෙද්දී රත්නශීලාගේ වයස අවුරුදු හතරකි. ඇය අවුරුදු දහතුනේදී අශෝකමාලා නූර්තියේ රඟපෑවේ අශෝකමාලාගේ යෙහෙළිය ලෙසිනි. පසුව අශෝකමාලා ලෙස ද රඟ පෑවාය. සිවම්මා ධනපාල නාට්‍යයේ සිවම්මා ලෙස කාලයක් රඟ පෑවේ කාන්ති කුමාරිය. ඉනික්බිතිව එය රත්නශීලාට ලැබිණි. මේ වන විට එහි දර්ශන වාර සියයක පමණ ඇය රඟ පා තිබේ. වෙස්සන්තර, සිරිසඟබෝ, විදුර, සිංහල කොල්ලා, දොම්පෙ ආයා, සූටි ගමරාල හා රයිගම් බණ්ඩා ඇතුළු නාට්‍ය රැසක රඟ පෑ ඇය 1993 සිට දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍යවලට එක් වූවාය. නරි බෑනා, මධුර ජවනිකා, ජසයා හා ලෙන්චිනා, බක්මහ අකුණු, ඇතුළු ඔහුගේ සියලුම නාට්‍යවල ඇය චරිත නිරූපණය කර තිබීම විශේෂත්වයකි.
“මධුර ජවනිකා දර්ශන වාර තුන් දාහක්, ලෙන්චිනා විදියට වාර හත් දාහක් රඟ පාලා තියෙනවා.. ” ඇය කියන්නේ තෘප්තියෙනි.
ඇගේ මුළු ජීවිතයම වේදිකාවයයි කිවහොත් එය බොරුවක් නොවේ. ඇය රඟ නොපෑ වේදිකාවක් ලංකාවේ කොතැනකවත් නැත. ජොසී බබා, රන්කඳ, නීරෝගේ රඟ මඬල, ආතුරයා වැනි නාට්‍යවල ඇය විසින් කරන ලද රංගනය කාගේත් ප්‍රශංසාවට ලක් වූයේය.
නීතිීඥ ජෝන් ද සිල්වාගේ ශ්‍රී වික්‍රම නූර්තිය දැන් නිෂ්පාදනය කරන්නේ රත්නශීලා පෙරේරාය. පනහක පමණ විශාල නළුනිළි පිරිසක් යොදාගෙන කරන දැවැන්ත නිෂ්පාදනයක් වන මෙහි පැරණි නූර්ති ලක්ෂණ එලෙසින්ම පවත්වාගෙන යාමට ඇය උත්සාහ දරන්නීය. එම නිසාම එයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අතිවිශාලය. ජොසී බබා, ජීවන විල, සිරි රඟ සොබනා ආදියත් ඇගේ නිෂ්පාදනයන්ය.
මේ දිනවල ඇය සිය අලුත්ම නිෂ්පාදනය වන දුවපාාන් මචං වේදිකා නාට්‍යය සමඟ කාර්යබහුල වී සිටින්නීය.
“මම දර්ශනපති උපාධියට කරපු නිබන්ධනය කරළියේ ප්‍රහසනයේම දිගුවක් තමයි දුවපාාන් මචං.. මේක අවර ගණයේ එකක් නෙමෙයි.. යෞවනයේ ගැටලු ගැන ප්‍රහසනාත්මකව කතා කිරීමක්.. ප්‍රහසනය කියන්නෙ වේදිකාව මත දෙපිට කැපෙන කතා කීමවත්, දේශපාලනය හෙළා දැකීමවත් නෙමෙයි ඒ හරහා යම් ජීවන දර්ශනයක් ඉදිරිපත් කිරීම.. දුවපාාන් මචං එහෙම නාට්‍යයක්.. මේක නරඹපු ප්‍රවිණයෝ හුඟක් දෙනෙක් කිව්වේ නාට්‍යයට ගැළපෙනම නම යොදලා තියෙනවා කියලා.. ” රත්නශීලා පැවසුවාය.
මෙය අසභ්‍ය වදන්, දෙපිට කැපෙන විහිළු කිසිවක් නැතත් ආරම්භයේ පටන්ම ප්‍රේක්ෂකයන් හිනස්වන, රංග ශාලාවෙන් පිට වෙද්දී ඔළුවට බරක් දනවන බරපතළ ගණයේ ප්‍රහසන නාට්‍යයකි.
උඩරට, පහත රට, කතක්, බැලේ නැටුම් හදාරා ඇති, ගායිකාවක හා ගුවන් විදුලි නිවේදිකාව ද වන මේ අපූරු ගැහැනිය ටවර් හෝල් සියවස් පුරාණය නමින් පොතක් ද ලිව්වාය. එහි ඉංග්‍රීසි පරිවර්තනය සහ කරළියේ ප්‍රහසනය පොත් දෙකම පසුගියදා දොරට වැඩියේය.
‘‘ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත’’ යන පරසිදු කියමන රත්නශීලා පෙරේරා හමුවේදී බොරු වන්නේ නොවේදැයි විවිධ අංශවලට යොමු වුණ ඇගේ කුසලතා ගැන අසද්දී මට සිතිණි.
චන්දි කොඩිකාර