නෙත් සවන් සිත් නළවන තාත්තයි දුවයි - සත්මානි පතිරණ


“පුංචි පුතු මගේ
හිනැහෙන්නෙ මං වගේ
හැමදාම හැමදෙනාම කියනවා
ලස්සනයි පුතේ
ඔය රන් සිනා මුවේ
අම්මිටයි මටයි වාසනා...”

“සිතින් පතා ඉන්නම්
කුලුඳුල් පෙම් පැතුමන්
ඉතින් සිනාසෙන්නම්
ඔබගෙ රූ මවමින්...”

මෙවැනි වින්දනීය ගී දහරක් රැගෙන ප්‍රසංග වේදිකාවට ගොඩ වුණ මේ සුන්දර ගාන්ධර්වයා කුමාරසිරි පතිරණයි. කැසට් හා සංයුක්ත තැටි ක්ෂේත්‍රයේත් ඔහුගේ නද තාම රැව් පිළිරැව් දෙනවා.

ගේය පද රචකයකු, සංගීතවේදියකු, ප්‍රාසාංගික අධ්‍යක්ෂවරයකු මෙන්ම සුන්දර මිනිසකු වන තම පියාගේ ආශීර්වාදය, ආභාසය මෙන්ම සාමූහිකත්වය මැද ප්‍රසංග වේදිකාවට පිවිසි ඇය සත්මානි පතිරණ අද සඳැල්ල වේදිකාවේ. සත්මානිගේ මව චන්ද්‍රාණි, සොහොයුරන් වන සංගීතවේදි සිනෙත් මාලක හා සත්මිණ කුමාරසිංහ, ගීනෙත් මාලක පරපුර ආලෝකවත් කරමින් රැඳී ඉන්නවා.

සත්මානි කියලා ද කියන්නේ?

“මගේ සම්පූර්ණ නම නම්, සත්මානි චතුරිකා කුමාරසිංහ පතිරණ. හැබැයි සංගීත ක්ෂේත්‍රයේදී මං සත්මානි පතිරණ.”

කලා පරපුර ඇරැඹෙන්නෙ කාගෙන් ද?

“තාත්තාගෙන්ම තමයි. පුංචි කාලයේ ඉඳන්ම සින්දු කියන්න තමයි ආසා කළේ. තාත්තා තමයි ඒ ආසාව ඉටු කළේ. මගේ පවුලෙ හැමෝම කලාවට බරයි. ගෙදර කවුරුන් හෝ ගී ගයනවා නිතර ඇහුණා.

ඇත්තම කිව්වොත් මට ඕනෑ වුණේ හොඳ චිත්‍රපට පසුබිම් ගායිකාවක් වෙන්න. සිංහල චිත්‍රපට ගී අනුකරණය කරන්න නිතර උත්සාහ කළා. ඔය නිසාම නිතරම තාත්තා ළඟ දැවටි දැවටී සංගීතය හැදෑරුවා. තාත්තාත් ඉඩ ලැබෙන හැම වේලාවෙම මගේ හඬට පුහුණුව දෙන්න උත්සාහ කළා. ගෙදර ඉගෙනීම විතරක් මදි කියලා හිතලා වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා විශාරද මාලනි බුලත්සිංහල ගුරුතුමිය වෙතට පුංචි කාලෙම යොමු කළා. විශාරද නන්දා මාලිනිය යටතේ සංගීතය හැදෑරුවා.”

ප්‍රසංග වේදිකාවට එන්න කවුද අත දුන්නේ?

“මගෙ මුල්ම ගීය ‘කාටවත් ඇයි වේදනා ඔබ මගේ වේ නම්’ ලිව්වේ තාත්තා. තාත්තා දක්ෂ ගීත රචකයෙක් විදිහට ප්‍රසිද්ධයි. එයාම තමයි මගේ හඬට ගැළපෙන ගීත රචනා කළේ. එම ගීය ප්‍රචාරය වුණායින් පස්සේ මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. තාත්තා තවත් ගීත පහක Audio රිලීස් කරන්න මට උදව් වුණා. ඒවාටත් උසස් ප්‍රතිචාර ලැබුණා. 

ගිය අවුරුද්දෙ ‘තරු නීල දෑසේ’ නමින් ලස්සන මියුසික් වීඩියෝවක් රිලීස් කළා. ඒකටත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ සින්දුවේ ගීත රචනයත්, සංගීතයත්, Music Video direct කිරීමත් කළේ මගේ අයියා සිනෙත් මාලක. එතකොට මගේ අම්මා තමයි අපි හැමෝගෙම සෙවණැල්ල වගේ ඉඳගෙන උදව් කරන්නේ.”

පාසල් කාලෙත් කලාවට සම්බන්ධ වුණා ද?

“මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ Seventh Day Adventist High School පාසලේ. උසස් පෙළ කළේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවේ. මං පාසලේදී හොඳම ගායිකාව සම්මානය දිනාගෙන තියෙනවා. හැබැයි උසස් පෙළට කළේ මානව සම්පත් කළමනාකරණ විෂයය. ඉන්දියාවේ භාත්කණ්ඩ සරසවියේ සංගීතය හැදෑරුවා. ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියේ ගායිකාවක වීමට වාසනාව ලැබුවා.”

තාත්තා ගැන ආඩම්බර ද?

“ඇත්තෙන්ම එවැනි පියතුමකු ලැබීම ගැන හරිම සතුටුයි, ආඩම්බරයි. මොකද තාත්තා ලියන්න, සංගීත අධ්‍යක්ෂණය, ගායනය, වාදනය ආදි ක්ෂේත්‍ර කිහිපයකට අති දක්ෂයෙක්. ඩ්‍රම්ස් හා ගිටාර් වාදනය ප්‍රගුණ කළ කෙනෙක්. නවකතා හා ටෙලි පිටපත් රචකයෙක්. මෙම හැකියාවලින් එයා ආඩම්බර වුණේ නැහැ. ආදරණීය නිහතමානි චරිතයක්. ආධුනිකයන්ට අත දෙන්න ඕනෑම මොහොතක සැදී පැහැදී ඉන්නවා.”

ඔයා ගයන්නෙත් තාත්තාගේ නිර්මාණ ද?

“මං වේදිකාවට ගොඩ වුණාම පුළුවන් තරම් මගේම ගීත ජනගත කරන්න බලනවා. ඒත් බහුතර රසිකයෝ දිගින් දිගටම ඉල්ලන්නෙ තාත්තාගේ ගීතයි. මොකද මගේ හඬින් එයාගේ ගීත ඇහෙනකොට හරිම ලස්සනයිලු. ඉතින් ඒවාට මුල් තැන දීලා සිත් දිනාගෙන මගේ ගීත ගයනවා. මෙහිදී මගේ මුල් ගුරුවරුන් වන මාලනි බුලත්සිංහල සහ නන්දා මාලිනිය වැනි ගුරුතුමියන් ගැනත්, වේදිකාවේදී නිතර මට හමුවන ප්‍රවීණයන්, පාසලේදී මා ඔසවා තැබූ ගුරුවරුන් හා ගෙදර අයට මාගේ ප්‍රණාමය පුදනවා. ඒ වගේම තමයි තාත්තායි මායි කෙරෙහි විශ්වාසය තබන රසික කැළ. මගේ අයියා සිනෙත් මාලක සංගීත අධ්‍යක්ෂවරයකු මෙන්ම ගායන ශිල්පියෙක්. අනිත් සහෝදරවරු උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා.”

ඔබ ගයන්න කැමැති තාත්තාගේ ගීත මොනවා ද?

“තාත්තාගේ හැම නිර්මාණයකම සරල සුගම අර්ථවත් හා රසවත් බව පිරිලා උතුරලා කියලා මට හිතෙනවා. ජනප්‍රිය පැත්තෙන් ගත්තොත් ‘සිතින් පතා ඉන්නම්’, ‘සැමදා ඔබ ළඟ ඉන්නම්’, ‘පුංචි පුතු මගේ’, ‘ඉන්නම් ඉතින් මා සදාකල්’ වගේ ගීත උසස් තලයේ තියෙනවා. තරුණ හදවත්වලට කෙළින්ම ආමන්ත්‍රණය කරන පදවැල් හා ළයාන්විත හඬට මං ආසයි. මගේම ගීත ගැන ඇසුවොත් ‘කාටවත් ඇයි වේදනා’, ‘හද මාගේ රිදුම් දෙනවා’, ‘නුඹේ ආලකම්’, ‘තරු නීල දෑසේ ආදරී’ වැනි ගීත ඉදිරියෙන් තිබෙනවා.”

ආදරය ගැනත් පද මාලාව තුළින් ඉඟිබිඟි දැනෙනවා?

“ඒකනේ, රසිකයො පොරකකා ඉල්ලන්නේ. ඒත් මම නම් තාම single. තවම ඒ ගැන හිතලා නෑ. මම හොයන කෙනා හම්බ වුණ දාට සඳැල්ලට කියන්නම්.”

මොනවා ද මේ වසරේ වැඩ?

“ම්... මං අලුත් ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යනවා. ඒ වගේම අලුත් Music Video එකක් සැලසුම් කරගෙන යනවා. රට තුළ වගේ පිටරටත් indoor outdoor ප්‍රසංග කිහිපයක් සඳහා සූදානම් වෙමින් ඉන්නවා.”

තාත්තා ප්‍රසංග සංවිධායකයකු ලෙසත් ප්‍රසිද්ධයි නේද?

“ඇත්තෙන්ම තාත්තාගේ ධෛර්යය, කැපවීම, සහෝදර ප්‍රවීණ ශිල්පින් හා සංගීත ශිල්පීන් හා සංවිධායකයන් එක්ක තාත්තාගේ තියෙන්නේ පුදුම සබැඳියාවක්. තාත්තා ඔවුන් සමග ඉතා සුහදව ගනුදෙනු කරනවා. ඔවුන්ට විය යුතු ඉටුකම් නොපිරිහෙළා කලට වේලාවට ඉටු කරනවා. ඒ නිසා තාත්තා හා කණ්ඩායමට ප්‍රසංග සඳහා ඇරැයුම්වලින් අඩුවක් නැහැ. අපි රට වටේ සෑම ස්ථානයකම සංගීත ප්‍රසංග පැවැත්වූවා. යූටියුබ් නාළිකාවල මෙන්ම ජනමාධ්‍ය හරහා ඒ ගැන ප්‍රසිද්ධිය ලබා දෙනවා. පසුගිය හත් මාසය පුරාම කළ සංචාරවලට රසිකයන්ගෙන් අඩුවක් වුණේ නැහැ.” 

ළඟදී ප්‍රසංග කිහිපයක් පැවැත්වුණා මතකයි?

“ඔව්. තාත්තාගේ සහෝදර ශිල්පීන් හා නව පරපුරේ අය එකතු කරගෙන රට වටා ගියා ජුලි 5 දා මීගමුවේ දළුපොත ධාරා නයිට් හා ජුලි 15 දා අඟුරුවාතොට කොටළුගොඩකන්ද මහා සංගීත රාත්‍රිය ඒ අතරින් පළමු තැන ගන්නවා.

‘කාටවත් ඇයි වේදනා’ නම් මගේ ගීතයටත් ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. තවත් කරුණක් මතක් කළ යුතුමයි. තාත්තාගේ ගීවලට බැහැරව මං කැමැති ගායකයා කවුද කියලා ඇහුවොත් මට එකහෙළා මතකයට එන්නේ අපෙන් වියෝ වුණු ප්‍රින්ස් උදය ප්‍රියන්තයන්. එතුමා ගැයූ ‘සඳරේණු වෑහෙනා’ ගීතය මං ගයනවා සුන්දරයි කියලා රසිකයෝ කියනවා. එහි එන,

‘පියවී ලොවේ කිසිදා එක් වෙන්නෙ නෑ
එනමුදු මගේ හදින් වෙන් වෙන්නෙ නෑ...’ 

පදමාලාවට මං ආසයි.”

90 දශකයේ තාත්තාගේ ගී හරි ජනප්‍රියයි නේද?

“ඔව්. ‘තරුණ්‍යයේ දෙවිවරුන්’ යයි කලක් ඔවුන් හැඳින්වූවා. ඒත් තාත්තා නිතරම මියගිය සමකාලීන ගායක ශිල්පීන් සමරනවා. ජෝති, මිල්ටන් වැනි දැවැන්තයන් මෙන්ම නුවන් ගුණවර්ධන, නිහාල් නෙල්සන් වැනි විශිෂ්ටයන් අප අතර නැහැ. ඒ දුක වඩාත්ම දැනෙන්නේ තාත්තාටයි. ඒ වගේම තාත්තාගේ සමකාලීන මිතුරා වූ දිවංගත අතුල ශ්‍රී ගමගේගේ ගුණ සිහි කරනවා.”

නව පරපුරට ඔයාට දෙන්න පණිවුඩයක් තියෙනවා ද?

“ලොකුවට උපදෙස් දෙන්න නම් මං දන්නේ නෑ. හැබැයි මං පිළිපදින දෙයක් තමයි, තම තමන්ව විශ්වාස කරගෙන අනන්‍යතාවක් ගොඩනඟාගෙන එම ගෞරවය ආරක්ෂා කරගෙන නව නිර්මාණ තුළින් ඉදිරියට යන එක. එතකොට හොඳ නමක් හා හොඳ ගමනක් තමන්ට ලැබේවි. ඒක ටිකක් අමාරුයි තමා. ඒත් ඒක මගේ විශ්වාසය.”

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි