චීනයේ සිට ලෝක සම්මානයක් දිනු ලාංකීය සුපවේදී - කටිකාචාර්යවරයා සුමින්ද ලියනගේ


චීනයේ යුන්නාන්හි සංචාරක අධ්‍යයනය පිළිබඳ තාක්ෂණික විශ්වවිද්‍යාලයේ පූර්ණකාලීන කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන ඔහු සුමින්ද ලියනගේය. ඔහු ගැන අද ජාත්‍යන්තරව කතා බහ වන්නේ, ලෝක සූපවේදී සංගමය ( World Chefs Certified Culinary Educator) විසින්  World Chefs Certified Culinary Educator- වෘත්තීය සූපවේදී අධ්‍යාපනඥ සම්මානය පිරිනැමීම නිසාය. සූපවේදියකු හට පිරිනමනු ලබන ඉහළම සම්මානයක් වන මෙම සම්මානය ශ්‍රී ලාංකීය සූපවේදියකු හට ලැබුණු ප්‍රථම අවස්ථාව වන්නේය.  ලෝක සූපවේදි සංසදය විසින් පසුගිය 4 වැනිදා මෙම සම්මානය සූපවේදී කථිකාචාර්ය   සුමින්ද ලියනගේ හට පිරිනමනු ලැබුවේ ප්‍රංශයේදීය.   චීනය දෙවැනි නිවහන කරගෙන එහි ජීවත් වන සුමින්ද ලියනගේ හට මෙම සුවිශේෂී සම්මානය ලැබී ඇත්තේ තම සරසවිය නියෝජනය කරමින් කරන ලද  ඉදිරිපත් කිරීම වෙනුවෙනි. ඒ අනුව චීනය වෙනුවෙන් මෙවැනි සම්මානයක් ලැබුණු ප්‍රථම අවස්ථාවද මෙය වෙයි. ලෝකයේ ආහාරපාන සහ සූපවේදී කලාව ගැන කතා කිරීමේදී චීනයට සහ එරට සූපවේදීන් හට ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇත. එවැනි පසුබිමක මෙම විශේෂිත සම්මානය ලද සුමින්ද ලියනගේ  සඳැල්ලට ලබාදුන් පිළිසඳරකි මේ.

ප්‍ර සුමින්ද ඔබ ගැන සඳහනකින් මේ පිළිසඳර අරඹමු?

මම සූපවේදියෙක්, වයස අවුරුදු හතළිස් හතක් වෙනවා. ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. පාසල් අධ්‍යාපනයෙන් පසුව මගේ කැමැත්ත තිබුණෙ, සූපවේදී කලාවට. ඒ වෙනුවෙන් හැදෑරීම පටන් ගත්තෙ, මහරගම තරුණසේවා සභාවෙන්. පසුව ලංකා සංචාරක මණ්ඩලය යටතේ ඇති ලංකා හෝටල් පාසලෙන්, සූපවේදය පිළිබඳව වසර කීපයක හැදෑරීමක් කළා. පසුව වෘත්තීය ජීවිතය පටන් ගත්තෙ කොළඹ හිල්ටන් හෝටලයේ පුහුණුවෙන ආධුනිකයකු ලෙසයි. එහි වසර කීපයක් සේවය කළා. පසුව හෝටල් කීපයකම වැඩ කළා. ඒ විදිහට ලැබූ අත්දැකීම් එක්ක වත්මනෙහි මම වැඩ කරන්නෙ චීනයේ යුන්නාන් ප්‍රාන්තයේ සංචාරක අධ්‍යයනය පිළිබඳ විශ්වවිද්‍යාලයේ.  එහි කථිකාචාර්යවරයකු විදිහට 2017 සිට මේ දක්වා කටයුතු කරනවා. මම පදිංචිවෙලා ඉන්නෙ  යුන්නාන්හි අගනගරය වන කුන්මින් නගරයේ.

ප්‍ර කොහොමද චීනයේ ගෙවන ජීවිතය?

අපේ ලංකාව එක්ක සැසඳීම කළොත් චීනය කියන්නෙත් ආසියාතික රටක්. සුහදත්වය කියන දේ මේ සෑම ආසියාතික රටකදීම මම දැක්ක සුවිශේෂී දෙයක්.  වැඩි හරියක්ම මට මෙහිදී හමුවෙලා තියෙන්නෙ හෘදයාංගම මිනිස්සු.

ප්‍ර චීනය සූපවේදයට සහ ආහාරපාන කලාවට නමගිය රටක්. එවැනි රටක ඔබ සුපවේදී අංශයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම විශේෂ දෙයක් නේද?

විවිධ හේතු නිසා ලාංකිකයින් චීනයේ සේවය කරන්නට යාම අදිමදි කරන බව පෙනෙන දෙයක්. ප්‍රධානම හේතුව එයාලා බොහෝ දෙනෙක්  කතා කරන්නෙ චීන භාෂාවෙන් විතරයි. ඉංග්‍රීසි භාෂාවට ප්‍රමුඛත්වය දෙන්නෙ නැහැ. ඒ නිසා රැකියා හෝ සංචාරයට හෝ වෙනත් ඕනෑම කටයුත්තක් වෙනුවෙන් චීනයට යනවානම්, ඒ භාෂාව ටිකක් හෝ දැන සිටීම හොඳ බවයි මගේ අදහස.  ලාංකිකයින් ජොබ්වලට අයදුම් නොකරන්නෙ ඒ නිසයි. මම සේවය කරන තැන පවා වැඩි දෙනෙක් කතා කරන්නෙ සහ සියලු කටයුතු කරන්නේ චීන භාෂාවෙන්. ඉගෙන ගන්න එන ළමුන් කතා කරන්නෙ චීන භාෂාව විතරයි. ඒ වගේම චීනය කියන්නෙ බටහිර සමාජ මාධ්‍යය ඇප් භාවිත නොකරන රටක්. ඒකත් එක් හේතුවක්. ඒ නිසා බාහිර රටවල් එක්ක තියෙන සම්බන්ධවීම් අඩුයි. චීන ආහාර ගත්තොත්, ඒවාට පොල්කිරි දාන්නෙ නැති තරම්, ඒ හැරත් අපි තරමට බත් කන්නෙ නැහැ. ශ්‍රී ලාංකිකයින් අඩුම පිරිසක් සේවය කරන රට චීනයයි.

චීන භාෂාව අමාරුද? පළවැනි දේ තමයි භාෂාවක් හැදෑරීමේදී සබකෝලය බය තමාගෙන් අයින්කර ගන්න ඕනෑ. ඒ වගේම භාෂාව ගැන නිතර අවධානයෙන් ඉන්නත් ඕනෑ. සමාජයේදී කතා කිරීම සහ එක එක පළාත්වලදී කතා කරන උච්චාරණය වෙනස්. ඒ නිසා සමාජයෙන්ම  ඉගෙන ගන්න උත්සාහ කිරීම කළ යුතු දෙයක්. වැරදී වැරදි හරි කතා කිරීම තමයි වැදගත්. එතකොට ඒ අයම අපි කතා කරන වැරදි දේ නිවැරදි කරනවා. මම චීන භාෂාව ඉගෙන ගත්තෙ පංතියකට ගිහින් නෙවෙයි. ඒ වගේ දේ අනුගමනය කිරීමයි. විදෙස් භාෂාවක් ඉගෙන ගැනීමේදී මුලින්ම ලිවීමට වඩා කතා කිරීමට පෙලැඹීම වඩා හොඳයි. කතා බහ කිරීමෙන් ලැබෙන ආභාෂය වඩා ප්‍රායෝගකයි.

ප්‍ර චීන සහ ලාංකීය ආහාර සැසඳීමක් කළොත්? වඩා ගුණදායක ආහාර මොනවද?

දෙරට අතර ආහාරපාන සැසඳීම කළොත්, අමුද්‍රව්‍යවල වෙනසක් නැහැ. හැබැයි චීන ජනතාව බත් කෑමට ගන්නේ ස්වල්පයයි. අපි එහි අනෙක් පැත්ත. බත් කෑම අඩු නිසා එයාලගෙ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩුයි. අපේ අය ප්‍රෝටීන් ගන්නෙ අඩුවෙන්. ඒත් එයාලා වැඩිපුර ගන්නෙ ප්‍රෝටීන්. චීන අහාර රටාවේ වැඩිපුර තියෙන්නෙ මාංශ වර්ග. අපේ රටේ බෝ නොවන රෝග වැඩිවීමේ ප්‍රවණතාව කාබෝහයිඩ්‍රේට් ආහාර වැඩිපුර ගැනීම නිසයි. සමස්තයක් හැටියට ගත්තොත්,  ලාංකිකයින් ව්‍යායාම කරනවා අඩුයි. මේ රටවල් දෙකේම ගුණදායි ආහාර තිබුණත්‌, අපේ රටේ ආහාර පුරුදු සහ ක්‍රමවල වෙනස තමයි මම දකින්නෙ. එය යහපත් ක්‍රමවේදයක් කරගැනීම වඩා හොඳයි.

ප්‍ර ලෝකයේම ගත්තොත් ආහාරපාන කලාවේ වෙනසක් වෙලාද?

අපි චීනය ගනිමු, චීන ජාතිකයින් වඩාත් කාර්ය බහුලයි. ඒ නිසා ඒ අය නිතරම පිටතින් ආහාර ගැනීමට වගේම ක්ෂණික ආහාර ගැනීමටත් පුරුදු වෙලා. ඒ වගේම උදේ ආහාර වේල ගැන එයාලා එච්චර හිතන්නෙ නැති බවක් මම දකිනවා. කාර්ය බහුලත්වය ඊට හේතුවක්. ලංකාවේ කාර්ය බහුල නොවූවට පිටතින් ආහාර ගැනීම වගේම, ක්ෂණික ආහාර ගැනීමේ ප්‍රවණතාව දකින්න පුළුවන්. අද වන විට ක්ෂණිකආහාර වෙනුවට චීන ජාතිකයින් ඉන්ස්ටන්ට් ෆුඩ් ක්‍රමයට එහා ගිහින් නිරෝගීකම ගැන හිතලා වෙනත් ක්‍රම භාවිත කරන බව පෙනෙනවා.  අපේ රටේ අපි අනිවාර්යය වේල් තුනක් කරගෙන කෑම ගැනීමේ පුරුද්ද චීනයේ නැහැ.

ප්‍ර අපි ලෝකයේ කොතැන ගියත් චීන ජාතික සූපවේදීන් දැක ගන්න ලැබෙනවා. ඒ වගේම අපේ සූපවේදීන් ලෝකයේ බොහෝ රටවල සේවය කළත්  චීනයේදී දකින්නට නැහැ නේද?

නැති තරම්. වෙනත් වෘත්තීන්වල වෘත්තීයවේදීන් දැක ගන්න ලැබෙනවා.  ලෙක්චරර්ස්ලා, ගුරුවරු, සහ ඉංජිනේරු වැනි වෘත්තීන්වල අය දැකගන්න ලැබුණත්, ලාංකීය සූපවේදීන් නම් චීනයේ නැති තරම්.

ප්‍ර ඔබගේ සූපවේදී ඉගැන්වීම්වලදී විෂය වී තිබෙන්නෙ?

බටහිර සූපශාස්ත්‍රය සහ ආසියානු සූප ශාස්ත්‍රය මගේ විෂයයි. මම උගන්වන්නේ ඒ විෂයයන්ට අදාළවයි.

ප්‍ර ලෝක සූපවේදීන්ගේ සංගමයෙන් මේ සම්මානය ලැබුණු හැටි විස්තර කරමු නේද?

ලෝක සූපවේදීන්ගේ සංගමය තියෙන්නෙ ප්‍රංශයේ පැරිස් නුවර. ලෝකයේ විවිධ රටවලට අදාළ සූපවේදීන්ගෙන් සමන්විත සංගමයක්. ඒ වගේම අනෙකුත් රටවල ඇති සූපවේදීන්ගේ සංගම් එහි සාමාජිකත්වය ලබා තිබෙනවා. ඒක විශේෂත්වයක්.  ප්‍රංශයේ මෙම සූපවේදී සංගමය යටතේ විවිධ අංශවලට අදාළව අයැදුම් කරන්න පුළුවනි. මම සේවය කරන්නේ ගුරුවර​ෙයක් සහ කථිකාචාර්යවරයකු ලෙසයි. ඒ අනුව  මම අයැදුම් කළේ  සූපවේදී අධ්‍යාපන අංශයෙන්. ආහාර සැකසීම සහ ඊට අදාළව ඉදිරිපත්විය හැකියි. ලෙක්චර් කෙනෙකුගෙන් එයාලා බලන්නෙ වෘත්තියේ පළපුරුද්ද, සහ එතෙක් ඔහු ලබා දී ඇති දායකත්වය සහ ඉගැන්වීම්වලදී සිසුන් හට උගන්වා ඇති විෂයපථය ගැන සහ සමස්ථ දායකත්වය පිළිබඳව සොයා බලා තමයි එයාලා සම්මානයට නම් කරන්නෙ. අපි ලබාදුන් දත්ත සියල්ලෙහි සත්‍යතාව සහ නිරීක්ෂණය බලා තමයි අවසාන නිගමනයකට එන්නෙ.ඒ අනුව තමයි ඔවුන් මාව සම්මානයට තෝරාගෙන තිබුණෙ. ලංකාව නියෝජනය කරන්න බැරි වුණේ, වසර අටක් සේවය කරමින් සේවා පළපුරුද්ද බැලීමේ දී මම ඒ සේවය ලබා දී තිබුණේ, චීනයට නිසයි. මට පුද්ගලිකව ලැබුණු සම්මානයක් වුවත් මම චීනයේ සිට අයැදුම් කළ නිසා, චීනයේ අයැදුම්කරුවකු ලෙස මගේ නම සඳහන් කෙරුණා.

ප්‍ර චීන රජයෙන් හෝ වෙනත් ආකාරයෙන් ඔබව අගැයීමට ලක්වුණාද?

චීන මාධ්‍යයේ පළ කරලා තිබුණා. මට ලබා දී ඇති නිවසට පවා අයකිරීමක් කරන්නෙ නැහැ. ඊටත් අමතරව තවත් පහසුකම් මට සපයා තිබෙනවා. ගුරුවරයකු ලෙස එයාලා මට ඉතා ඉහළින් සලකන බව කියන්න පුළුවනි.

ප්‍ර චීනයේදි ඔබගේ විවේක කාලය ගෙවන්නෙ මොන විදිහටද? 

චීනය කියන්නෙ අති විශාල දේශයක්. බලලා ඉවර කරන්න බැරි රටක්.

ප්‍ර අනෙකුත් රටවල් හා සැසඳීමේදී චීනය ගැන ඔබගේ අදහස මොනවගේද

චීනය අති සංවර්ධිත රටක්. ඒත් එයාලා කිසිවිටෙකත්, සංවර්ධිතයි කියලා කියන්නෙ නැහැ. නිරන්තරයෙන් නවෝත්පාදන සොයාගැනීම සහ අලුත් අලුත් දේ නිෂ්පාදනය කිරීම සිදුවෙනවා. ඇමරිකාව ලෝක බලවතා කියලා ප්‍රකාශ කළත් චීනය කිසි විටෙකත් එවැනි හැඳින්වීම් කරගන්නෙ නැහැ. ඇත්තටම මට හැඟෙන විදිහට ලෝක ආර්ථික බලවතා චීනයයි.

සඳුන් ගමගේ