සිහිනය වෙනුවෙන් කැපවුණ කොන්දොස්තර දුව


පිරිමින් ආධිපත්‍යය පතුරවමින් සිටි රැකියාවන්ද දැන් දැන් කාන්තාවෝ ආක්‍රමණය කරමින් සිටිති. ඒ එම රැකියා කළ හැක්කේ පිරිමින්ට පමණක් යයි හංවඩු ගැසි තිබූ නිසාමය. ඒ එදාය.අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. නූතන කාන්තාව – එතෙක් පිරිමින් පමණක් කළ රැකියා එකින් එක කිරීමට  උත්සුකවීමත් සමගම, මේ තත්ත්වය වෙනස්වී තිබේ. මේ ඊට කදිම නිදසුනකි.
අසරණවූ දෙමාපියන් රැකබලා ගැනීමටත්, තමාගේ වැඩිදුර වෘත්තීය පුහුණු කටයුතු කර ගෙන යාමටත්, සතිඅන්ත සෙනසුරාදා සහ ඉරිදා දෙදින බස් කොන්දොස්තර රැකියාව කරන තරුණියක් - අම්බලන්ගොඩ ප්‍රධාන බස්නැවතුම් පොළේදී අපට මුණගැසිණ.
 
ඇය අන්කවරෙක්වත් නොව -  රත්ගම, මොන්රෝවියාවත්ත ප්‍රදේශයේ පදිංචි විසිදෙහැවිරිදි අසේකලා මධුවන්තිය.
සෑම සතියකම සතිඅන්ත සෙනසුරාදා සහ ඉරිදා අසේකලා මධුවන්ති අවදිවනුයේ අලු‍යම හතරට පමණය. ඒ තමාගේ තාවකාලික රැකියාව වන කොන්දොස්තර රැකියාව සඳහා පිටත්වීමටය. එම දින දෙක ඇය රාත්‍රියේ නවාතැන් ගනුයේ, සිය ඥාති නිවසකය. ඒ රත්ගම සිට කිලෝමීටර හත අටක් දුරින් පිහිටා ඇති දුෂ්කර ගමක් වන මොන්රියාවත්තේ සිට අලු‍යම් කාලයේ රත්ගම නගරයට ඒමට වෙනත් විකල්පයක් නැති නිසාය.
අසේකලා සිය බස්රථය සමග හරියටම උදෑසන හය වනවිට අම්බලන්ගොඩ බස් පොළේ සිටියයුතු නිසා, ඇය එසේ කරන්නීය.බස් රථය හිමිදිරියේ හාපුරා කියා අම්බලන්ගොඩ බස්පොළට ගෙන ඒමේදී කොන්දොස්තර කෙනෙකු කළ යුතු කාර්යයන් බොහෝමයක් තිබේ. බස් රථයේ පැතිකණ්ණාඩි වතුර දමා පිරිසිදු කළ යුතුය. එමෙන්ම ඉදිරිපස වීදුරුවද වතුර දමා පිරිසිදු කොට, පිසිය යුතුය. ඒ විතරක්ම නොවේ. බස් රථයේ තෙල් වතුර තිබේ දැයි පරීක්ෂා කළයුතුය.
 
බුදුන් අදහන රටක් බැවින්, බස් රථයේ ඇති බුදුපිළිම වහන්සේ සඳහා මල්පූජා කිරීම මෙන්ම හඳුන්කූරු ගසා බස්රථය සුවඳවත් කළ යුතුය. මේ කාර්යයන් මේ සියුමැලි දෑතින් කෙරෙනුයේ කොන්දොස්තර මලයෙකුට නොදෙවෙනි ආකාරයටය. ඉතා කඩිසරව පිළිවෙළකටය.
එසේ අසේකලාගේ සියුමැලි දෑතින් කෙරුණු වැඩවලින් පසු ඇයගේ විධානයෙන් බස්රථය අම්බලන්ගොඩ බස්පොළට අප දුටු දා අලු‍යම් කාලයේ පැමිණියේ, අපේ දෑස් ඉදිරිපිට දීය. ඊට අපේ දෑස ද හොඳ සාක්ෂියකු වූ බව නොලියාම බැරිය. අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ ගාල්ල නැවතුමට උදෑසන 6.15ට බස්රථය ගාල් කෙරුණේ 6.30ට ගාල්ල බලා යාමට සිටි මගී ජනතාව බස්රථය තුළට නැගීම සඳහාය.
කොල්ලන්ට උරුමව තිබූ මේ කොන්දොස්තර රැකියාව තරුණියක වූ අසේකලා තාවකාලික රැකියාවක් කරගත්තේ හේතු කිහිපයක්ම තිබූ නිසාය. රැකියාවක් කරගැනීමට නොහැකිව සිටින දෙමාපියන්ට සැලකීම ඒ අතරින් ප්‍රධානය. රෝගීවූ පියාට ප්‍රතිකාර ගැනීමට ගත් ණයතුරුස් බේරා ගැනීම එයින් ප්‍රමුඛය. අනෙක නම් -  බූස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තමා හදාරනු ලබන මෝටර් කාර්මික පුහුණු පාඨමාලාවට අවැසි මුදල් සපයාගැනීමටය.
 
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් උසස්පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති අසේකලා - අනෙක් තරුණියන් මෙන්  තමා ඉගෙනගත් විෂයට අදාළව රැකියාවක් ලැබෙන තෙක් බලා නොසිට මේ තාවකාලික කොන්දොස්තර රැකියාව කිරීම තුළින් අපේ රටේ අනෙක් තරුණියන්ට ඉගෙනගත හැකි පාඩම් බොහෝය. ඒ අද කාලයේ දිරියෙන් නැගීසිටීමට ස්තී පුරුෂ බේදයක් සත්‍ය ලෝකය තුළ නැති බවය. ඇයගේ ඊළඟ පිම්මද ඊට හොඳම නිදසුනකි. ඒ ඇය හදාරන වෘත්තීය පාඨමාලාවය.
සාමාන්‍යයෙන් මෝටර් කාර්මික පාඨමාලා හදාරනුයේ පිරිමි ළමයින්ය. නමුත් අසේකලා තෝරාගෙන ඇත්තේද, මෝටර් කාර්මික පාඨමාලාවකි. කොන්දොස්තර බලපත තමා ලබාගත්තත් - තමා අපේක්ෂා කරනුයේ ඉදිරියේදී හොඳ මෝටර් කාර්මික ශිල්පිනියක වී ඒ තුළින් තමාත් තමාගේ දෙමව්පියනුත් ගොඩදැමීම යැයි, ඕ අපේක්ෂා සහගතව පවසන්නීය. 
අසේකලා මධුවන්තිගේ මව වන එච්. ඥාණවතී සිය දියණිය පිළිබදව මෙසේ කීවාය.
“ඇත්තටම දුව මේ රස්සාව කරන්න යනවයි කියලා කිව්වම මම පුදුම වුණා.මොකද මම අහලාවත් දැකලාවත් තිබුණේ නැහැ කෙල්ලෙක් කොන්දොස්තර රස්සාව කරනවයි කියලා. මම දූට ඒබව කිව්වාම ඇය කිව්වා, මට ඒක කරන්න පුලු‍වන් කියලා. දුව ඒ අභියෝගය භාර ගත්තා. දැන් මාස කිහිපයක්ම මේ දරුවා මේ රස්සාව කරනවා. සතියේ දවස්වල මෝටර් කාර්මික පුහුණුව සඳහා බූස්සට යනවා.සති අන්තයේ දවස් දෙකේ කොන්දොස්තර වැඩේටත් යනවා. කර්මික පුහුණුවට අවශ්‍ය මුදල් සොයා ගත්තෙත් දුව විසින්මයි.පියා ලෙඩ වුණාම ඒ සඳහා වියදම් කළෙත් ඇයයි.
 
මගේ දුවගේ හිත හයියයි. පිරිමියෙකුටවත් නැති හයියක් කෙල්ලෙක් වුණු දුවට තියෙනවා. මම හිතන්නේ ඇය වෘත්තීය පුහුණු මධයස්ථානයෙත් මෝටර් කාර්මික පුහුණුව හොඳට හදාරනවා. පුත්තු නැති මට මේ දුව පුතෙක්වගේම දුවෙක්ගෙත් භූමිකාව හොඳට කරනවා. මේ වගේ දියණියක් ලබන්න අම්ම කෙනෙක් පින්කරලා තියෙන්න ඕනෑ” යැයි  ඇය වැඩිදුරටත් කීවාය.
මේසා දිරියක් ඇති දියණියන් මේ රටේ ඇතැයි ඇසීමත් වාසනාවකි. අපේ රට වැටීඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම්  මෙවැනි අසේකලා එක්කෙනෙක් හෝ දෙන්නෙක් නොව දුසිම් ගණන්  බිහිවීම අනිවාර්යයෙන්ම විය යුත්තක් බව නොලියාම බැරිය.
කරන්දෙණිය 
එම්. සුසිල් ප්‍රියන්ත