කළු ගැහී තරගයට ඉහළ ගිය
සිමෙන්ති බිත්ති මිසක
ඇසට නිලට
අහසක් ගහක් කොළක්
අවටක් නැත
නිව්යෝර්ක් නම් පුරවර
සියක් මහල් එක්ටැම් ගෙය මුදුනේ
දොර ජනෙල් වසා සිරකළ කාමරයක
ඇඳක්-පුටුවක්-මේසයක්
මම

මහපොළොවේ අනික් පැත්තෙ
සෙනෙහැති මාපියන්
නෑ මිතුරන් අඹු දරුවන්
මට සිහි වෙයි.
එළවන්නට මළ පාළුව
කවියක් හඬ නඟා කියමි
නින්නාදව ආපසු එයි මගෙ කටහඬ
මගෙ කනටම
යා යුතු අතක් නොදැන
කවුළුව හැර එබී බලමි
ප්‍රපාතයට එබී බලමි
මූණට කටු ඇනගෙන
සීතල කඩා පනින

අසුවී විදුලි එළිය පිටාරයට
මොර දීගෙන යයි වාහන ඒ මේ අත
ඉවසිල්ලක් නොමැතිව
දිවගෙන යයි ඒ මේ අත
කුරා කුහුඹු මිනිස් යන්ත්‍ර
මොහොතක් නැවතී මා දෙස
ආදරයෙන් බලන කෙනෙක්
වගතුග අසන කෙනෙක්
දන්නා හඳුනන්නෙක්
මෙතන නොමැත
ඒ හැම දෙන මහ පොළොවෙි අනිත් පැත්තෙ
මට සිහි වෙයි

මහා දුකින් ඉහළ බලමි


දිලිහි දිලිහි ආකාසේ
රන් පිඟාන සේ
හඳ..
මා දන්න හඳුනන
අපේ ගමේ වෙල් එළියට පායන හඳ
පෝය දාට බෝ මළුවට පායන හඳ

මහගම සේකර 
බෝඩිම කාව්‍ය සංග්‍රහය