ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙළින හැටි පුංචි මාළුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරගයට මෝරන්ට
හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට

සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර                                    

දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය
මිහිරි මවුකිරි වගේ පොවන්නෙමි නුඹලාට

රමණීය වන ගැබෙහි  මොනරුනට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැහි වතුර ඉහිනවානම් ඔවුන් විහිළුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට

වැහි වලාකුළු  රංචු කඳු මුදුන්වල ලගින
දැන් ඒවි තැනි බිමට සීතලයි මගෙ හිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න

ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිතය
කටුපොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස

රත්න ශ්‍රී විජේසිංහ