චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
පොද නොකැඩි තෙත බරි ව හිරිකිතෙන් කිලිපොලන
පාර තොට, ගහ කොළ ද වසාගෙන හැම අතින
වහින වැහි වහින වැහි, නොපායන මුළු දවස

ගොහොරු මඩ ඇඟිලිකරු අතර චිරි චිරි ගාන
මඩ කඩිති හැම තැන ම මඩ පාට දිය රැඳුණ 
අලුත පස් දැමු පාර දණිහ තෙක් මඩ එරෙන
බැනියම ද ඇඟට ඇලි උදේ සිට තෙත බරි ව

තෙමුණ රෙදි ඇග ඇලුණු හබුරු කොල මලිපිටි ද
දෝර  ගොස් හැම තැනම වක්කලන් ඇලි හැදුණ
හැට්ට අත් කඳ කලව තෙත රෙද්ද ඇඟ එතුව
වහින වැහි, වහින වැහි නොපායන මුළු දවස

ඔළුව කෙස් තෙතබරි ව පිට දිගේ වැක්කෙරෙන
කාර් රෝදෙන් ‘චිරිස්’ ඇඟ පුරා මඩ ඉහෙන
ආයිමත් හිටි ගමන් තද කරන් එන සැණින 
වහින වැහි වහින වැහි නොපායන මුළු දවස

ගෙදර ගොස් ඇඳපු දේ මොහොතකින් ඉවර කොට
තුවායෙන් ඇඟපත ද පිස දමා හිස කෙස් ද 
තාන් සරමක් ඇඳන් උණට උණු තේ වතුර
ඇඳෙහි ඉඳ උණුසුමට බොන්නෙ කොයි මොහොතෙදැයි
වැහි පොදෙහි පෙඟුණු සිත හිත හිතා ළතැවේය

- ගුණදාස අමරසේකර 
( භාව ගීත කාව්‍ය සංග්‍රහය )