පඩිපෙළින් උඩඟු කළ මහගෙදර ආලින්දේ
ලී කුලුනු යා කර ලීස්තර වැට මැදින්
නෙත් හෙලමි අදත් මම කුඩා දරුවකු ලෙසින්
පාළුවෙන් පුරන් වූ ඈත වෙල්එළිය වෙත

මෝස්තර කැටයමින් බැබළෙනා ලී පටිද
අලුත් බීරළු සේම දිලෙන සැමදා සුදද
වට කළේ ජීවිතය බෝධි කොටුවක් ලෙසින්
සැම දේම මා දුටුවේ ලීස්තර වැට මැදින්

පාන ළඟ වැඳ වැටෙන අම්මාගේ මුව මඬල
පසුපසින් පෙළ ගැසෙන නැගණියන්ගේ පිළිම
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටියෙමි තනිව ලීස්තර වැට මැදින්

වසරකට වතාවක් පිළිසකර කර වැටම
පාට ගෑවේ සුදට සාර්ලිස් බාස් විත්
මගේ සිත අලුත් වී ලීස්තර වැට සමඟ
අමුතු එළියක් වැටින එවිට මිදුලට සිතට

මා අවට ගලා ගිය ජීවිතය දෙස නිතර
සුදු ලීස්තර මැදින් බලා සිටියා මිසක
උස් පිලෙන් බිමට බැස ඒ දිවිය වෙත එළැඹ
වෙළෙන්නට ගැටෙන්නට හරස් විය මේ වැටම

පාළුවෙන් පුරන් වූ ඈත වෙල්එළිය මෙන්
මගේ සිත පුරන් වී ඇත මෙදින ශෝකයෙන්
කොළ හැලුණු මිදුල මත නගා සර සර හඬක්
පාන් පැල ළඟට යන අම්මාගේ සේයාව
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටියෙමි අදත් ලීස්තර වැට මැදින්