
මන්ද ඔතන හැංගී උඹ කරන්නේ
අන්ධකාර සළු පොරවා වැනෙන්නේ
නින්ද නැතුව මම පැදුරේ දපන්නේ
නින්ද සදාකාලික කොට දියන්නේ
පාන නිවා බිම පැදුරේ නිදන්නේ
මූණ උඹේ එතකොට මට පෙනෙන්නේ
පාන හිනා හඬ හීනෙන් ඇහෙන්නේ
හීන නොමැති නින්දක් මට දියන්නේ
උපන් දිනයේ සිට නැත අත්හරින්නේ
හෙමින් හෙමින් පස්සෙන් ලුහු බඳින්නේ
හොරෙන් තවත් මොකටද ඉඟිකරන්නේ
වරෙන් නුඹ තමයි මම මේ හොයන්නේ
ගන්න හුස්ම නැත පහළට ඇදෙන්නේ
පින්න ලෙසට ඇඟ සීතල කරන්නේ
ඉන්න වගේ අත අතපය දඬු ගැහෙන්නේ
යන්න එලොව මට තනියට වරෙන්නේ
මූද අහස පොළොවේ රැක සිටින්නේ
භේද නැතුව කොයි කාටත් බෙදෙන්නේ
ඒද කියා කෙදිනක නැත කියන්නේ
වාද නොකර - ආ කල බිම ළඟින්නේ
මහගම සේකර
( ව්‍යංගා කාව්‍ය සංග්‍රහය ඇසුරිනි )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd