කුරුල්ලො අඹලා
සත පනහේ කුලිය ගන්ට
ගල් දුන්නත් අතට අරන්
දවස පුරා වෙලේ රකින
පොඩි මල්ලියෙ

උඹේ කකුල් රිදෙනවා නම්
වෙල ඉද්දර ගල් ඇන්දේ වාඩි වෙයන්
ගල එතකොට පුටුවක් වෙයි

ළිප් දාහේ ඉර ඇවිළී
දන විට පොඩි මූණ නුඹේ
වෙල අද්දර නුග සෙවණේ ඈඳි ගනින්
ළා දළු චාමර සෙලවී
නුඹට පවන් සලයි මලේ
අතු අග හොටවල් සෙලවී
නුඹට ගීත ඇසෙයි මලේ

ඉර රතු වී නිවි යද්දී
දාඩිය කුණු කඳුළු එක්ක
තොටමුණ ළඟ ගඟට බසින්
සීතල රැළි අත් සීයෙන්
උඹ වට කර තුරුළු වෙවී
ගඟ පහළට ගලා යාවි
දිය සුළියේ ඔඩොක්කුවේ
නැළැවී ඉඳ කිමිදී ඉඳ
ගොඩට වරෙන්

මලේ මලේ අඳුර එද්දි
හෙල්මැලි සෙවණැලි නලියන
ගුරු පාරෙන් ගෙදර යමන්
වැලි කැට සුදු පලසක් වී
සිඹ ගනීවි දෙපා නුඹේ

ඈත සිටන් කඩුල්ල ළඟ කිකිළී හඬ ගා කීවේ
නැට්ටක් නැති ගෙඩියක් අද නුඹේ නමට දාපු වගද?

සඳ එළියේ රැළි විසිරෙන චීත්තෙ යට
ගුලි වෙන විට ලණු මැස්සේ
අන්න බලන් උඹෙ තනිවට
අහසෙත් මල් - පොළොවෙත් මල්
ගින්දර පාටින් බබළන

මලේ මලේ නින්දට පෙර
ඩිංගක් මේ ගැන හිතපන්
මේ සේරම තෑගි ලැබුණෙ ලොවින් නුඹට
මොනවද මල්ලියෙ දෙන්නෙ නුඹෙන් ලොවට?

එක පාරට
ටකේ ගසන්නෙපා මලේ
කුරුල්ලන්ට
ඉඩක් දියන්
එක කරලක් ඇන්න යන්ට

පරාක්‍රම කොඩිතුවක්කු 

( පොඩි මල්ලියේ කාව්‍ය සංග්‍රහය )