
සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
මල කා කළු ව ගිය ආයුධ කැබැලි පෙනේ
දෙවියෙක් නැත ද මෙහි බලයක් තිබෙනු දැනේ
බුදු ගුරු සනි හිරුට හිමි හැම දවස්වල
මේ සංහිඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් කළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්වල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගන'ඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇත
දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ
සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙලෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අයියනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
පත්තෑ කටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd