දුර බැහැර ගමනක්ය
දුක පිරුණු ගමනක්ය
අඳුරකින් අඳුරකට
මාරු වුණු ගමනක්ය

අඳුර සමග පොර බදිමින්
විඩාවේ හඬ නිහඬ කරන්
සැලෙන මසේ හති පෙරමින්

පැමිණියෙමි විකාරයෙන් ගෙවාගෙන දුරුකතර
නේරංජරාවෙන් ගොඩ වෙන්න විමසමින් සිහිනයක් ඇත එගොඩ 
සුදු සිනාවක් පිරුණු


ඉඳ හිට කිසිවෙක්
හිට ගෙන කන්දක
පඩි හුළුඅත්තෙන් දුන්නත් එළියක් 
කලාමැදිරියෙක් මෙන්
අඳුරු අවිද්‍යා ආකාසේ 
මොහොතින් නැවතත් අඳුරෙන් වැසුණා

එළිය සොයන මට පාර පෙන්නුවේ අන්ධකාරයයි 
මේ ගඟ අයිනට 

නේරංජරාවෙන් 
යා යුතුව එගොඩ වී 
නේරංජරාවෙන් 
යා හැකිද එගොඩ වී

මගේ මුළු ජීවයම හැර දමා මැදියමේ නේරංජරාවෙන් 
එගොඩ වී යන්නටයි 
මා මෙතෙක් දැඟලුවේ

ජීවිතය ගොරවමින්
කෙළ පෙරා නිරුවතින් 
වැතිරගෙන සිරියහන පල්ලේ 
ගුලිව කුණු පණුවන් ගොඩක් සේ

ගී නැටුම හැම ඉවර කරදා 
පැලි විවරව මරණයෙන්

නිදන අන්ත:පුර හැර දා
බිරිය හැර දා පුතුද හැර දා 
ආ නමුත් මැදියමේ 
ඒ මගේ එක ජීවයයි

නේරංජරාවෙන් එගොඩ ගොඩ ගොඩ ගැහී සුදු පැහැය බබුළුවාගෙන 
ඇත්තේ ආලෝකයයි කියා උන් කී නිසා හැර දමා ආමි මම 
අඳුරකැයි කී දිවිය

පරදු කළේ මෙි දිවිය
දිනන්නට ඒ එළිය

නොයෙක් හැඩරුව පපා 
පපා දහසක් රැඟුම් 
මිහිරි ගී නාදයෙන් 
ඇඟේ එල්ලුන නමුත් 
ජීවිතය හඬ නගා 
ගසා දා පැත්තකට 
මැදියම් කළුවරේ 
කෙළෙමි මහඅබිනික්මන

දෙපා බැඳ තිබූ මගේ ජීවිතයේ දම්වැලත් බිඳ දමා 
ණයට ගත් අසුපිටින් 
ආමි වේගයෙන් 
බුද්ධියේ ඇල් වතුර ඉරක් 
ගෙල වටෙි ගා 
ජීවිතයේ හිස රැගෙන 
දුනිමි දන් 
ලබන්නට එගොඩ ගොඩ ඇති එළිය හදවතේ පුළිඟු ඇස් 
උගුල්වා දුනිමි දන්

ජීවිතේ  හැම සැපත
හැම රසම ජීවිතේ
බුද්ධියේ පූජකට
ඇඹෙනි කොට
දුනිමි දන්

අලුයම කෙළ ලෙසින් 
ජීවිතය විසි කෙළෙමි

නෙරංජරාවෙන් එගොඩ 
සදාකල් නොමැරී ඇති 
ජීවයක් ලබන්නට 
මා ඉලිප්පුණු නිසා 

මහාචාර්ය සිරි ගුණසිංහ 

අබිනික්මන කාව්‍ය සංග්‍රහය - 1958