IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මේ රටේ වාමාංශික පක්ෂ විනාශ කළේ ගොයියන්ගේ බයියෝ - දීප්ති කුමාර ගුණරත්න

සාමීචිය

 

පශ්චාත් නූතනවාදය නමැති චින්තන සම්ප්‍රදායේ ප්‍රභවය හඳුන්වා දීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ පැරැණි X කණ්ඩායමේ නූතන ශාස්ත්‍රීය දායකත්වය බැහැර කළ හැකි ද? නො හැකි ද? යන්න වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි. මෙයට පෙර සමසමාජ පක්ෂය පුමුඛ වාමාංශික ව්‍යාපාරය පේරාදෙණිය සරසවියේ දායකත්වය හා 56 දේශපාලන පෙරැළිය තුළින් මෙකී නව දැනුම් සම්ප්‍රදායක් සමාජගත වී තිබිණි. එහෙත් අද එය සම්පූර්ණයෙන් ම අතුරුදන් වී ඇත. X කණ්ඩායමේ එළැඹුමත් සමඟ ම ලාංකික දේශපාලන සංස්කෘතිය තුළ නව කියැවීමක් ඇතිවීම අහම්බයක් නො වන්නේ මේ නිසාය.

නූතනවාදය නමැති සංකල්පය සහ නව දැනුම මෙරට විශ්වවිදද්‍යාල පද්ධතිය තුළ වෙසෙන ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් අතින් ගිලිහී යන අවදියක ඒ ඔස්සේ නව දැනුම් සම්ප්‍රදායක් එන්නත් කිරීමට යත්න දැරූ මෙකී දේශපාලන ව්‍යාපාරයේ න්‍යායාචාර්යවරයා දීප්ති කුමාර ගුණරත්න නම් වෙයි. X හී පිපිරුමෙි කම්පනය විසින් තවමත් විවිධ සමාජ අහුමුළු හි නව පිපිරුම් ඇතිකරමින් සිටි යි. එහෙත් X හී පිපිරුමත් සමඟ ම කලක් නිහඬ ව සිටි දීප්ති පෙරළා ස්වකීය දේශපාලන ව්‍යාපාරය X පක්ෂය නමින් ආරම්භ කොට ඇත.

මෙහිදී දීප්ති ගේ නව දේශපාලනය තුළ කිසියම් විපරිවර් තනයක් සිදුවී තිබේ ද? යන්න අපි නො දනිමු. එහෙත් න්‍යායික මතවාද, දේශපාලනය හා සංස්කෘතිය පිළිබඳ ඔහු සමඟ කළ කතාබහකි මෙි.


( 2004 දෙසැම්බර් 26 වැනි දින ලංකාවට පැමිණි සුනාමි උදම් රළ එකල ජනප්‍රිය දේශපාලන මතවාදී කණ්‌ඩායමක් වූ X කණ්ඩායම ද සුනුවිසිනු කළේය.මෙි සංවාදය සිදුවන්නේ එදින දෙකඩ වූ X කණ්‌ඩායමෙි පශ්චාත් සුනාමි අවදියේදීය.එවිට දීප්තිලා නිර්මාල්ලා දෙපිලකට බෙදී සිටියෝය.මෙි වූකලී එකල X කණ්ඩායමෙි නායක දීප්ති කුමාර ගුණරත්න මහතා සම්මුඛ වී රත්මලානේ සිරිමල් උයනේ පිහිටි  පක්ෂ කර්යාලයේදී  ඔහු සමඟ මා දිනමිණ පුවත්පතට කළ ලිබරල් දේශපාලන සංවාදයකි.)


මම

නූතන ලාංකික බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රමිතියකින් තොරව ඕනෑම පුද්ගලයකුට ඕනෑම ආකාරයක න්‍යායාචාර්යවරයකු වීමේ අවකාශය ලැබී තිබෙනවා. එහෙත් අද්‍යතන සමාජයට දැනුම ගලා වන විධිමත් විනයක් සහිත ප්‍රබල ශාස්ත්‍රාලයීය පසුබිමක් නැහැ. බුද්ධ නිර්මිතයේ ඇති වී තිබෙන මෙම භයානක නන්‍යායික දරිද්‍රතාව වත්මන් දේශපාලන ක්‍ෂේත්‍රයට පවා එල්ල කොට තිබෙන්නේ මරුපහරක් එමෙන් ම අලුතින් හඳුන්වා දෙන න්‍යායන් සහ සමාජ සැකැස්මේ සාමාජිකයන් ගේ ජීවමාන නිමේෂයන් අතර සුවිශාල පරස්පරයක් ද දක්නට ලැබෙනවා. සමාජ සැකැස්ම දැඩි ලෙස අර්බුදයට පත් වී තිබෙන මේ වැනි සන්දර්භයක් තුළ ඔබේ නව දේශපාලන ව්‍යාපාරය ගොඩ නගන්නේ කොහොමද?

දීප්ති

ලංකාවේ පවතින ආර්ථික ක්‍රමයට අනුකූලව බලන විට කෙනකුට නව දැනුම සොයා යෑමෙන් කිසිදු පලක් නැහැ. මේ රටේ මිනිස්සු දෛනික ජීවිතයේ දී කරන, කියන සරල සැහැල්ලු දේවල්වලට මහ
විඥානයක් අවශ්‍ය නො වන බව පෙනෙනවා. වත්මන් ආර්ථික ක්‍රමය විසින් ගොඩනගන ලද මේ දෛනික ක්‍රියාවලියට අවශ්‍ය වන්නේ ඉතා සරල විඥානයක්. ශාස්ත්‍රාලයීය සාම්ප්‍රදායික දැනුම්ක ප්‍රමිතිය අද පවතින ආර්ථිකයට අත්‍යවශ්‍යම සාධකයක් නෙවෙයි. කොළඹ කේන්ද්‍රීය සමාගම් විශාල සංඛ්‍යාවකට පිටරටින් ආනයනය කරන භාණ්ඩ අලෙවි කිරීම. පවතින ආර්ථික රටාවේ මුලික ක්‍රියාවලිය යි. මේ සඳහා අවශ්‍ය වන්නේ තරගකාරී විඥානයක් පමණයි. මෙබඳු සරල ක්‍රියාවලියකට ප්ලේටෝ ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන්, චින්තකයන් අවශ්‍ය නැහැ. අද සමාජය තුළ තිබෙන මූලික ප්‍රතිවිරෝධය මෙය යි. එහෙත් මේ පසුබිම තුළ ලාංකික සමාජය කිසියම් විපරිවර්තනයකට නතු කිරීමේ අටියෙන් නව දැනුම් සම්ප්‍රදායක් එන්නත් කිරීමට මා උත්සාහ කළා. එදා සමසමාජ පක්ෂයේ හිටපු බුද්ධිමතුන්ගෙන් පසුව මේ කාර්යභාරය සිද්ධ වන්නේ මා ඇතුළු පැරැණි X දේශපාලන ව්‍යාපෘතිය හරහා යි. එහෙත් 1960 ගණන් වන තුරු සමසමාජ පක්ෂය නව දැනුම් සම්ප්‍රදායන් සමාජගතකිරීමට උත්සාහ කළ බව කිව යුතුයි. මෙහි දී මාගේ අභිප්‍රාය වූයේ පූර්වෝක්ත කාර්ය දේශපාලනඥයකු හැටියට කරගෙන යාමට යි.

මට ඇකඩමික් බුද්ධිමතකු වීමේ අභිලාෂයක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම මා මෙහි දී මහජනයා සමඟ දේශපාලන ක්‍රියාවලියෙහි නිරත ව විවේචනාක්මකව ඔවුනට දැනුම ලබා දෙමින්, සමාජ දේශපා ලන සංවිධානයක් ගොඩනගන්නේ කෙසේ දැයි සොයා බැලීමට උත්සුක වුණා. පසුගිය වකවානුව තුළ අප පසුකරමින් සිටියේ මෙති දේශපාලන අදියරය යි. මෙහි දී මා ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන්ගේ සහ ඇතැම් පුද්ගලයන් ගේ දරුණු විවෙිචනයට ලක්වුණා. ඔවුන් මා ඇකඩමික් බුද්ධිමතකු හෝ දේශපාලනඥයකු වීමට ද අපහසු උභය ජීවියකු ලෙස හැඳින්නුවා. නමුත් මේ සාවද්‍ය මතය නිරවද්‍ය කිරීමට මට කිසිදු වුවමනාවක් තිබුණේ නැහැ. ඇත්තට ම මා ඉදිරිපත් කළ ය යම් න්‍යායික පර්යාවලෝකන කිසිවකු නිවැරැදි ව ප්‍රශ්න නො කිරීම මහත් අවාසනාවක්.

 

මම

 පැරැණි X කණ්ඩායමේ හිටපු සාමාජිකයන් තුළ මෙන්ම සිවිල් සමාජයේ ඇතැම් පුද්ගලයන්ට ද ඔබෙි "හෙජමොනිය" පිළිබඳ විවිධ මතවාද තිබුණු බව පෙනෙනවා. ඔබ ඉදිරිපත් කළ න්‍යායික පර්යාවලෝකන පවා ඔබ විසින්ම අධිනිශ්චය කර ගැනීමේ තත්වයක් ද දකින්නට ලැබුණා. ඔබේ දැනුමට අභියෝග කරන්න තරම් සුදුස්සකු නොසිටි බවද ඔබ කියන්නේ?


දීප්ති

කවුරු හරි මගේ දැනුමට නිසි අභියෝගයක් කළා නම් අපි දෙගොල්ලන්ම ප්‍රතිපෝෂණය වෙනවා. එහෙත් මට කිසිවෙකු නිවැරැදි අභියෝගයක් එල්ල කළේ නැහැ. මා දැන් වැඩ කරමින් ඉන්නේ X පක්ෂය වෙනුවෙන්. එහෙත් කලින් මා ගොඩනඟා ගත් X කණ්ඩායමෙන් එළියට ගිය කට්ටියක් පෙරළා මට අභියෝග කරන්න පටන් ගත්තා. නමුත් මේ අභියෝගය තුළ විශාල ගැටලුවක් තිබෙනවා. ඒ ගැටලුව මතු වන්නේ ඔවුන් මගේ සංඥා නාමය පාවිච්චි කරන නිසයි. දීප්ති වැරදියි" කියා සංඥානාමය පාවිච්චි කරනවා. මේ සඳහා මා සරල නිදසුනක් පෙන්නන්නම්. ජැක් ඩෙරීඩා වරක් හයිඩැගර් සම්බන්ධ ව ලියන ලිපි එකතුවකට සම්මුඛ සාකච්ඡාවක් දෙනවා. එහෙත් මේ ලිපි එකතුව පොතක් වශයෙන් පළ කරන සංස්කාරකවරයා හයිඩැගර් නාසිවාදයට උදව් කළ බව එහි පෙරවදනෙ හි සඳහන් කරනවා.

නමුත් ඒ මතයට එකඟ නො වන ඩෙරීඩා පොත නැවත මුද්‍රණය කරන විට ඒ ලිපිය ඉවත් කරන ලෙස, එම සංස්කාරකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. නමුත් මේ සංස්කාරකවරයා නැවත පොත මුද්‍රණය කරන්නේ " ඩෙරිඩාගේ ලිපිය නැති පොත " නමින්. එහෙත් පොත විකිණෙනවා. මෙය ඉතා හාස්‍යජනක සිද්ධියක්. ඔහු මෙහි දී ඩෙරීඩා ගේ සංඥා නාමය ඉතා කූට ලෙස පාවිච්චි කරනවා.

කෙනෙකු ගේ සංඥා නාමය තුළින් සමාජයට විශාල බලපෑමක් කරන්න පුළුවන්. කාල් මාක්ස් ගේ සංඥානාමය හරහා බොහෝ දෙනා බොහෝ දේ ප්‍රකාශ කරනවා. උදාහරණයක් හැටියට මට කියන්න පුළුවන් " මාක්ස් කී පරිදි " කියලා. නමුත් අහගෙන ඉන්න කෙනෙකුට මෙහි දී නොතේරෙන සහ අමතක වන දෙයක් තිබෙනවා. ඒ තම යි " දීප්ති තේරුම් ගත් මාක්ස් කී පරිදි " නමැති අර්ථය. මේ තමයි ලංකාවේ තිබෙන පියා ගේ අර්බුදය.
සංඥානාමයට දේශපාලනයක් තිබෙනවා. පුවත්පතක පළ කරන ලිපියකට අපි නම් පාවිච්චි කරන්නෙ නිකමට ම නෙවෙයි. නම් කියන්නේ  හිස් තැනක්.
නමුත් මේ හිස් තැන තම යි අපි ව ආකර්ෂණය කරන්නේ
උදාහරණයක් හැටියට ජයලාල් රෝහණගේ නාට්‍යයක් බලන්න කවුරුත් එන්නේ නැහැ. එහෙත් බර්ග්මාන් ගේ නාට්‍යයක් බලන්න ප්‍රේක්ෂකයෝ එනවා.
උක්ත ආකර්ෂණය තුළ තිබෙන්නේ සංඥානාමය යි. සංඥානාමය තුළින් බොහෝ දේවල් ජනිත කිරීමට පුළුවන්. මේ නම් කෙරුවාව එක්තරා ආකාරයක ක්ලෝනකරණයක්.
x කණ්ඩායමෙන් එළියට ගිය බොහෝ දෙනකුට surname හම්බවුණේ දෙසැම්බර් 26 වෙනිදාට පසුව යි. මගෙන් අයින් වුණාට පස්සෙ තමයි ඔවුනට වාසගම් හම්බ වෙන්නේ.ජයසේකරලා, පියසේකරලා වගේ බොහෝ දෙනෙක් ඊට පස්සේ මතු වුණා.එහෙත් මේ කණ්ඩායමට තමන් ගේ පියාගෙන් ලැබෙන වාසය මුල ඉඳට ලියන්න කවුරුත් තහනම් කර තිබුණේ නැහැ. පියා පිළිබඳ මා දකින මනෝලිංගික ගැටලුව මෙය යි.

 

මම

ලැකානියානු මනෝ විශ්ලේෂණය තුළ සංකේත පියාගේ අර්බුදය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් දක්නට ලැබෙනවා, ජැක් ලැකාන් ගේ විග්‍රහය ඔබට ගෝචර වන්නේ කෙසේ ද?

දීප්ති

සංකේත පියාගේ අර්බුදය තේරුම් ගන්න මහ ලොකු විශ්ලේෂණ අවශ්‍ය නැහැ. An Officer and Gentleman නමැති චිත්‍රපටයේ මේ අර්බුදය වඩාත් හොඳින් නිරූපණය කොට තිබෙනවා. කෙනකු මානුෂික වන්නේ සංකේතනය තුළින් නැත්නම් විවිධත්වය දැකීමෙන්, අපි පරිකල්පනීය බිත්තර කටුවෙන් එළියට පැමිණිය යුතු යි.

නමුත් ලැකාන් ගේ නිර්වචනය ම තුළ (දීප්තිට අනුව නිර්වචනය වුණු ලකාන්) මව ගේ ශරීරය සමග බැඳි සිටින දරුවා ශරීරයෙන් සහ වචනවලින් වෙන් කළ යුතු බව පැවසෙනවා.
ඕනෑ ම ඒජන්තයකුට මෙය කළ හැකියි. නමුත් මනෝ විශ්ලේෂණ දකම නමින් මා දන්නා හඳුතන කණ්ඩායමක් මේ පුංචි දේට මහාප්‍රාණ උත්තර දෙන් පටන් ගත්තා.


මම

අපේ සමාජය තුළ තවමත් පවතිනුයේ සංකේතික නොවන පරිකල්පනාත්මක ව්‍යුහයක්.න්‍යායෙන් බිඳ දැමිය හැකි සංකේතික ලෝකයක් අපට නැහැ. ලාංකික දේශපාලන සම්භාෂණය තුළ පවා භාවිත වන න්‍යායික මතවාද හා විචාර පෙරළා ප්‍රතිවිචාරයට ලක් නොවීමත් දැනුම තුළ අපට 'යථ' හමු නොවීමත් උභතෝකෝටියක්.ලංකාව තුළ න්‍යාය විවේචනයට ලක් නොවන්නේ ඇයි?


දීප්ති

අපි ඉදිරිපත් කරන න්‍යාය අන්ධ යි. මා විසින් ඉදිරිපත් කළ ඇතැම් න්‍යායන් පවා අන්ධ යි. එහෙත් මා මේ කාරණය අවබෝධ කර ගන්නේ පසුගිය දෙසැමිබර් 26 වෙනිදාට පසුව යි.

අප න්‍යාය නමින් හඳුනා ගන්නේ බාහිර ප්‍රායෝගික ලෝකය පිළිබඳ ඇති කරගන්නා පරිකල්පනීය සත්‍යයක්. එහෙත් මෙහි දී අවශ්‍ය වන්නේ ව්‍යවහාරිකත්වය සමඟ දයලෙක්තික ගනුදෙනුවකට යන න්‍යායක්. සරලව කිව්වොත් ප්රැක්සිස් (Pracxis) එකක්

 

මම

ලාංකික වාම ව්‍යාපාරය මේ වන විට පරිහානියට පත් වී අවසානයි.එදා වම මෙරට දේශපාලනය තුළ ඉටු කර තිබු ප්‍රගතිශීලි  කර්යභාරය අද සම්පූර්ණයෙන් ම අකර්මණ්‍ය වී ගිනින්. යමකුට මෙය දේශපාලන දෘෂ්ටිවාදය පිළිබඳ ප්‍රශ්නයක් යයි තර්ක කිරීමට ද පුළුවන්. එහෙත් ලාංකික දේශපාලන විපරිණාම දෙස අවධා නයෙන් බලන විට පෙනී යන්නේ පාර්ලිමේන්තුව සිවිල් සමාජය නියෝජනය කළ බුද්ධිමතුන්, සාමාජිකයන් අද අතුරුදන් වී ඇති බවයි. සිවිල් සමාජයට අයිති නැති දේශපාලක රැල්ලට ගසා ගෙන ආ මේ නව පන්තිය නියෝජනය කරන්නේ පාදඩයන්, රස්තියාදු කාරයන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, චණ්ඩින් වැනි වෙන ම කොට්ඨාසයක්. 1978 දක්වා සිවිල් සමාජය නියෝජනය කළ පංච මහා බලවේග මේ සමාජය කණ්ඩායමෙන් අතුරුදන්වීම පිළිබඳ ඔබව මොකද හිතෙන්නේ?

දීප්ති

මෙරට වාමාංශික ව්‍යාපාරය සතුව තිබූ දේශපාලන බලය අහිමි වුයේ ඇයි දැයි අප ප්‍රථමයෙන්ම සොයා බැලිය යුතුයි. ගමෙන් නගරයට සංක්‍රමණය වූ ගැමියන් කොළඹ කේන්ද්‍රීය වටපිටාව තුළ ආර්ථික හා රැ කියා අවස්ථා විශාල වශයෙන් ලබා ගත්තා. ඔවුනට මුදල් හම්බ කරන මාර්ග රාශියක් හම්බවුණා. නමුත් ගැමියන් කවදාවත් කාටවත් කඩේ යන පිරිසක් නෙ වෙයි. ඔවුන් කඩේ යන්නේ ඔවුන්ටමයි. අද ලංකාවේ ජීවත් වන උතුරු නැඟෙනහිර දෙමළ මිනිස්සුන්ට හැර අනෙක් කිසිවකුටවත් දේශපාලන පක්ෂයක් වුවමනා නැහැ. මේ රටේ වාමාංශික පක්ෂවල පදනම වී තිබුණේ වෘත්තීය සමිති විතරයි. එහෙත් ඒවා ආදායම නැති වුණා ම කඩා වැටෙනවා. ඒවා ඊට පස්සේ පවතින්නේ ඇයි දැයි කියා කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ලංකාවේ වාමාංශික පක්ෂ මූලික වශයෙන් විනාශ කෙළේ නගරයට ආපු ගැමියෝ. වරක් රෝහිත භාෂණ ලස්සන කතාවක් කිව්වා. දැන් කොහේ හරි පවතිනවා නම් වාමාංශික රොඩු බොඩු ටිකක්. ඒ රොඩු බොඩු සියල්ලම N.G.0. වලට කඩේ යන කාක්කන් බව ඔහු කිව්වා. මමත් ඒ කතාව පිළිගන්නවා. අද වාමාංශික යයි කියා ගන්නා සියල්ලෝ N. G. O. වලට කඩේ යන කාක්කෝ.


මම

බොහෝ ආසියාතික රටවල් අද තමන් ගේ සාම්ප්‍රදායික මූලයන් සමුල ඝාතනය කරමින් බටහිර ආදර්ශ ආකෘති හා මතවාද " උත්තරාරෝපණය " කර ගැනීමට ප්‍රෝත්සාහී වන බව පෙනෙනවා. මේ තත්වය තුළ ඒ ඒ රටවල සංස්කෘතික හර පද්ධතීන්ට වන බලපෑම් අති විශාල යි. ධනවාදී ආර්ථිකයේ මුහුකුරා ගිය මුහුණුවර මෙය ද?

 

දීප්ති

වත්මන් ධනේශ්වර අර්ථ ක්‍රමය ක්‍රමයෙන් වර්ධනය වන බව අපට පෙනෙනවා. ධනේශ්වර ක්‍රමයේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ මානසික සබඳතා පවා අපේ අතින් ගිලිහී යනවා. අද කෙනකු තවත් කෙනකු දිහා බලන්නේ පාරිභෝගික භාණ්ඩයක් දිහා බලන අදහසින්. තමන් ඇසුරු කරන පුද්ගලයා තමන්ට ප්‍රයෝජ්‍ය හුවමාරු වටිනාකමක් සහිතව සලකන කොට අපි බිය වනවා. මේ බිය තුළ කිසියම් රික්තයක් ඇති වෙනවා. මෙහි දී අපට කලින් තිබුණ දෙයක් අහිමි වී ගියා දෝ යන හැඟීමක් පහළ වෙනවා. හරියට පෙට්ටගමක තිබූ මුදල් නැති වුණා වගේ හැඟීමක්. නමුත් අපි මේ හිස්තැන පුරවන්න උත්සාහ කරන්නේ.අතීතයෙන් අපට මෙය අහිමි කළේ වෙන කවුරුවත් නෙවෙයි. නූතන වෙළෙඳ පොළ යි. ඒ උරුමය නැවත ගොඩ ගැනීමට අප අතීතයට ගමන් කළ යුතු නැහැ. ලංකාවේ නව ලිබරල්වාදීන් යැයි කියා ගන්නා සියලු දෙනා ම පෙරළා යන්නේ අතීතයට යි. මේ නිසා ඔවුනට අනාගත සැලසුම් ගොඩනඟන්න බැහැ. මෙය සටන් කර ජයගත යුතු අභියෝගයක්. එහෙත් අපේ දේශපාලන සංවාදවල දී නියම අභියෝගකරුවන් මුහුණට මුහුණ ලා හමුවන්නේ නැහැ. එකිනෙකාට නොතේරෙන ආස්ථානයක යි අපි ඉන්නේ. එහෙත් මං වගේ චරිතයක් මේ ගේම් එකට අවතීර්ණ වුණොත් ගේම් එකේ රූල්ස්  සියල්ල ම වෙනස් කරනවා.

කොළඹ කේන්ද්‍රීය සමාජය තුළ මහ පුදුම දෙයක් සිද්ධ වෙනවා. ගුණදාස අමරසේකර ගේ සතුරාත්, ඔහුට අතිශය පරස්පර මාක්ස්වාදියකු හැටියට ඉන්න මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ සතුරාත් මම. එමෙන් ම මහාචාර්ය නලින් ද සිල්වා, නිර්මාල් රංජිත් දේවසිරි, ජයදේව උයන්ගොඩ. සුමනසිරි ලියනගේ, සුනිලා ඔබේසේකර ආදී සියලු දෙනාගේ ම පොදු සතුරා බවට පත් වී ඇත්තේ ද දීප්ති කුමාර ගුණරත්න පමණයි. නමුත් මෙය ඉතා අවිඥානක ව සිදුවන දෙයක්. සුමනසිරි ලියනගේ, නිර්මාල් රංජිත්, ජයදේව උයන්ගොඩ, ආදීන්ගේ  දීප්ති එකිනෙකාට වෙනස්. එහෙත් මේ සියලු දෙනාට ම අයත් නො වන දීප්ති කෙනකු ඉන්නවා ඒ තම යි ජීවමානව වැජඹෙන මම. මගේ සංඥානාමය සමාජගත වී තිබෙන ආකාරය මෙකී මනෝගත නිර්ණායකයන්ගෙන් ගම්‍යමාන වෙනවා. නමුත් මෙය ජයගැනීමේ පරමාර්ථයෙන් නිර්මාල් රoජිත් පසුගිය කාලේ පත්තර වලට බොහෝ දේ ප්‍රකාශ කළා. දීප්ති ව ළඟින් ම අවුරුදු 10 ක් ඇසුරු කළ බව ඔහු කියා තිබුණා. මේ තමයි සමීප කේන්ද්‍ර වාදය. සමීප කේන්ද්‍රවාදය කියන්නේ කෙනකු තවත් කෙනකු වඩාත් සමීපව ඇසුරු කළා ම එයාව මට වැඩියෙන් තේරෙනවා යයි කියන වාදයට, දීප්ති ගේ අභිප්‍රායන් කාටත් වඩා හොඳින් මා දන්නවා යයි නිර්මාල් රංජිත් කියන්නේ ඒ නිසයි. නමුත් මේ සියල්ල පාරභෞතිකයි.

 

මම:

ලංකාවේ ප්‍රජාතන්ත්‍රය මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද?

දීප්ති

ලංකාවේ ප්‍රජාතන්ත්‍රය මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදී ද යන්න තීන්දු කරන්නේ ගැමියෝ. ගැමි ප්‍රජාවගෙන් පිරිසක් කොළඹට එන්නේ රැකියා සහ අධ්‍යාපනය සඳහායි. ඔවුන් කොළඹට එන්නේ නගරය හොඳ නිසා නොවෙයි.
නගරයේ ප්‍රාග්ධනය තිබෙන නිස යි. රැකියාව හෝ අධ්‍යාපනය නිසා ඔවුන් මේ සංස්කෘතිය සමඟ අනුරාගිකව බැඳෙනවා. විශේෂයෙන් ම මෙය ස්ත්‍රීන් කේන්ද්‍ර කොටගෙන සිදුවන විපරිවර්තනයක්. ලංකාවේ ප්‍රජාතන්ත්‍රය මොන තරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී දැයි මේ ඔස්සේ දැක බලා ගන්න පුළුවන්.

උපුටාගැනීම - දිනමිණ 
2005 සැප්තැම්බර් 22



අදහස් (0)

මේ රටේ වාමාංශික පක්ෂ විනාශ කළේ ගොයියන්ගේ බයියෝ - දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16927 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site