IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


අද පරපුර භාෂා භූෂණය දූෂණය කරලා - කරුණාරත්න අමරසිංහ

සාමීචිය

 


 
කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්වන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු, ගුවන් විදුලි නාට්‍ය රචකයකු, වේදිකා නළුවකු, සිංහල සංස්කෘත පාලි භාෂා විශාරදයකු, ගුරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, රූපවාහිනී තිරපිටපත් රචකයකු හා හඬ කැවීම් ශිල්පියකු, ගුවන්විදුලි හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු, පූරකයකු ආදි ව⁣ශයෙන් විවිධ භූමිකා නිරූපණය කළ අමරසිංහයෝ  අද එකී ඇතැම් භූමිකාවන්ගෙන් ඉසිඹු ගෙන නිදහස් මාධ්‍යවෙිදියකු ලෙස තවමත් ක්‍රියාකාරීව සිටිති. සැබෑ උගත්කමින් මෙන්ම නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන් පිරිපැසුණු අපේ ජාතියේ පිනට පහළ වූ මෙි නිහතමානී භාෂාප්‍රේමී මාධ්‍ය චින්තකයා මතු පරපුරට සෙවණ සදන වනස්පතියකි.මහාකවි කාලිදාසයන්ගේ "සෘතු සංහාරය" ඔහුගේ අභිනව සාහිත්‍ය ව්‍යායාමයයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහගම සේකර ආදි ගලිවරයන් සෙවණේ   හැදී වැඩුණු    අමරසිංහයෝ යටකී සුධීමතුන් 
කුලුපගව ඇසුරු කිරීමට තරම් සුදුර්ලභ වාසනාවන්තයෙක් ද වූහ. අනාගත පරපුර පිළිබඳ ගැඹුරු හැඟීමකින් හා විදර්ශනාවකින් මුහුණුපොත ඔස්සේ පවා  විවිධ ලිපි පළ කරන ඔවුහු තරුණ මහලු කාගේත් ගෞරවාදරයට පත්වී සිටිති. ලංකාදීප 'මතුමහල' සයිබර් සාහිත්‍ය අතිරේකයේ ආරාධිත  ලේඛකයකු  ද වන අමරසිංහයෝ "මතක හා මතය" නමින් එහි සතිපතා ලිපියක් ද පළ කරති. මෙි වූකලි  භාෂාව හා සාහිත්‍ය අතර ඇති අවියෝජනීය බැඳීම පිළිබඳ  අමරසිංහයන් සමඟ කළ විශේෂ කතාබහකි.


මම

මහා කවි කාලිදාස සිංහල පාඨකයාට අමුත්තකු නොවෙි.ඔහුගේ ජනප්‍රිය කෘති කිහිපයක්ම සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. මේඝදූතය, රඝු වංශය,ශාකුන්තලය ඒ අතරින් ප්‍රමුඛ කොට ගිණිය හැකියි."සෘතු සංහාරය " කෘතිය ද මෙයට පෙර පියදාස නිශ්ශංක,මහාචර්ය සුචරිත ගම්ලතුන් වැනි සුධීමතුන් පද්‍යමය පරිවර්තන පළ කර තිබෙනවා.ඔබ මේ කරගසා ඇත්තේ බරසාර කාර්යභාරයකට. එහෙත් මේ කෘතිය කියවද්දි ඔබ ඊට විශාල සාධාරණයක් කර තිබෙන බව පෙනෙනවා. සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇති සෘතු සංහාරය ඔබට සුපුරුදු රමණීය බස් වහරකින් මුල් කෘතියේ රස නොමරා පාඨකයාට තිළිණ  කිරීමට ඔබ ගෙන ඇති ප්‍රයත්නය ප්‍රශංසනීය යි. ඔබ මෙබඳු කෘතියක් පරිවර්තනය කිරීමට කල්පනා කළේ ඇයි?

අමරසිංහ

අද ගිහි පැවිදි විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් අතරත් සංස්කෘත භාෂා සාහිත්‍යය හදාරන අය දුර්ලභයි. ඉතින් අනිත් විද්‍යාර්ථීන් ගැන කියන්න අවශ්‍ය නැහැනෙ. අද කවි ලියන තරුණ පරපුර ගුත්තිලය , සැලළිහිණිය වගේ අපේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති හැදෑරීමට උනන්දුවක් දක්වන්නෙ නෑ. සමහරු ඒ පොත් ගැන අහලත් නෑ. සමහරු හිතන්නෙ ඒවා යල් පැනපු සාහිත්‍ය පොත් කියලයි. ඒ නිසා ඒවායෙ රසය අඳුනන්නෙ නෑ. අද කවි ලියන තරුණ පරපුර අපේ පැරණි කවියන්ගෙ කවි බස නොදැන සිටීම තමන්ගේ මුල් සිඳගැනීමක්. ඒ නිසා තමයි ඒ අයගෙ කවි බස නීරස. අපේ පැරණි කාව්‍ය සාහිත්‍යයට සංස්කෘත කාව්‍ය සාහිත්‍යය තදින් බලපාලා තියෙනවා. ඒ නිසා සංස්කෘත කාව්‍ය සාහිත්‍යය හඳුනාගෙන සිටීම ඉතා වැදමගත්. ඒකට රුකුලක් වශයෙන් තමයි සංස්කෘත කාව්‍ය රසය ඔවුන්ගෙ සිත් සතන් වලට සමීප කරන්න මම කල්පනා කළේ. ඒකට යොදාගන්න හොඳම පොත හැටියට මට පෙනුණෙ මහා කවි කාලිදාසයන්ගෙ ඍතුසංහාර කාව්‍යයයි. ඒ කාව්‍යය ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේත් ස්වභාව සෞන්දර්යයේත් මධුර මිලනයක්. මුසුවක්. . එය තරුණ කවියන්ට පමණක් නෙවෙයි වැඩිහිටි කවියන්ටත් නිර්මාණ වාජීකරණයක්.


මම
සෘතු සංහාරය යනු සර්ග සයකින් සමන්විත කණ්ඩ කාව්‍යයක්.එය ග්‍රීෂ්ම,වර්ෂා, සරත්, හේමන්ත, ශිශිර සහ වසන්ත යන ඍතු ෂට්කයෙන් වර්ණිතයි.මෙහිදී  පෙම්වතා තම පෙම්වතියට ඒ ඒ සෘතුවෙහි සුන්දරත්වය පෙන්නා දෙන අයුරු සුවිශද වෙනවා.මෙි අපූරු සංස්කෘත භාෂා පද පෙරළියේදී ඔබ භාවිත කරන බස අතිරමණීය යි.මෙි බස් වහර නොවන්නට කාලිදාසයන්ගේ සෘතු සංහාරය භාෂා සංහාරයක් වන්නට ද ඉඩ තිබුණා.ඔබට මෙි ගැන මොකද හිතෙන්නේ?

අමරසිංහ

සංස්කෘත කාව්‍ය භාෂාව තරම් සංගීතාත්මක භාෂාවක් ලෝකයේ කිසිම සාහිත්‍යයක නැහැයි කියලයි මට හිතෙන්නෙ. ඒක සනාථ කරන පරම සාධකය තමයි කාව්‍ය කුරවීක ජයදේව කවියාගේ ශෘංගාර සාගරයක් වැනි ගීතගෝවින්ද කාව්‍යය. ඒ කාව්‍යය පෙර අපර දෙදිගම භාෂා රාශියකට පරිවර්තනය වෙලා තියෙනවා. ඒත් ඒ එකම භාෂාවක්වත් සමත් වෙලා නෑ මුල් ගීතගෝවින්ද කාව්‍යයේ සංගීතාත්මක මාධූර්යය ඒ අයුරින්ම ඉපදවීමට. සිංහල භාෂාවෙනුත් ගීත ගෝවින්දය පරිවර්තනය වෙලා තියෙන්නෙ මෙහෙමයි.


ලලිත ලවංග ලතා පරිශීලන කෝමල මලය සමීරේ

මධුකර නිකර කරම්බිත කෝකිල කූජිත කුඤ්ජ කුටීරේ.

(ගීත ගෝවින්දය)


ලලිත ලවංග ලතා පරිසේවන කෝමල මලය සමීරේ

කෝකිල කූජන බිඟු ගුමු ගායන

රැව්දෙන ලියමඩු මීරේ

(මුල්ලපිටියේ කේ.එච්.ද . සිල්වා)


ලලිත ලවංග ලතා පරිශීලන කෝමල මලය සමීරේ

මධුකර නිකර සුරංජිත කෝකිල කූජිත ගුල්ම කුටීරේ

, (සුචරිත ගම්ලත්)

 

අපේ සම්භාව්‍ය සිංහල කාව්‍ය භාෂාවත් රමණීය ගීතවත් වාග් මාධූර්යෙන් ආඪ්‍යයි.


රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා

රන් රසේ එක් වන ලෙසේ වෙණ

නාදනූ පා තබ තබා

(ගුත්තිලය)


පැහැ සරණිය මිණි පැමිණිය

කොත් අගට

බඳ කිකිණිය දද ගිහිනිය

විමන් වට

(සැලළිහිණිය)


අංග මංගජ මංගලෙන් වැඩි බිංග මෙන් මුනි පා කමල් වට

අංග තුංග මතංගජන් දෙන ඉංගකින් කවි බන් දනන් හට

(පැරකුම්බා සිරිත)

කාලිදාසයන්ගේ 'ඍතු සංහාර' කාව්‍යය සිංහල පද්‍යයට නැගීමේදී මට සපුරා ආභාසය , ආවේශය හා ආලෝකය ලබා දුන්නේ අපේ මධුර මනෝහර සම්භාව්‍ය සිංහල කාව්‍ය පදාවලියයි.

පහතින් ඔබ දකින්නේ මගේ අභිනව 'ඍතුසංහාර' පද්‍ය පරිවර්තනයේදී ශිශිර ඍතු වර්ණනයෙහි එන 15 වන සංස්කෘත පද්‍යය මවිසින් සිංහල පද්‍යයට නැගුණු අයුරුයි.


නඛපදචිත භාගාන් වීක්ෂමාණාඃ

ස්තනාන්තා

නධර කිසලයාග්‍රං දන්ත භින්නං

ස්පෘශන්ත්‍යඃ

අභිමත රතවේෂං නන්දයන්ත්‍යස්

තරුණ්‍යඃ

සවිතුරුදය කාලේ භූෂයන්ත්‍යානනානී


නිය වැදි ලකුණු තන තුඩු මත

බලමින්නේ

දත් වැද බිඳුණු තොල් දලු

පිරිමදිමින්නේ

රිසි ලෙස වින්ද රති රස සිහි

කරමින්නේ

ලද ලිය උදේ වත සරසනු

දිසි වන්නේ


'ඍතුසංහාරය' සිංහලට පෙරළුෑ

සෙසු විද්වතුන් එම සකු පැදිය සිංහලට නගා ඇති අන්දම මෙසේය.


සඳෙහි හිරු උදාවූ අංගනාවෝ හිමින්ගේ

නියගිනි වුණු සීරුම් තන් සහ තොල්හි බුන් තැන්

බලමිනි රතියේ මහිමේ සිතන්නෝ ඉකුත් රෑ

සතුටුව සැරසෙන්නෝ වත්සුණින් වත් සදන්නෝ

(ටී.එස්. ධර්මබන්ධු)


පියොවුරු පුඩුවේ සීරුම් නියෙන් වූ දැකීමෙන්

පිරිමැද දැන තොල්හී වූ රිදුම් දත් වලින් රෑ

විඳි රති සුව රිස්සේ සිත් නැඟී වී සතොස්නෙන්

සරසති මුව කාමී රූපිකාවෝ උදාකල්

(ග. ආරියපාල ගුණසේන)


පුන් තන මඬලැ නිය සලකුණු දැක නෙතින

බුන් තැන් දතින් දෙඅදර පිරිමැද

අතින

මන් තොස් වෙමින් ලද රති සුව සිහි කරන

සුන්දර දිගැසියක් සකසා සිය

උවන

(පියදාස නිශ්ශංක)


නියගිනි ලද සීරුම් බල බලා තන් අගෙහි වූ

අදර ද දසනින් බුන් පහසමින්

රතැඟිලිතුඩින්

සුරත කෙළි විලස් රෑ සිහිව ප්‍රමුදිත ලියෝ තුම්

හිරු නැඟ එන වේලේ භූෂණා දෙත් මුව කමල්

(සුචරිත ගම්ලත්)

 

මම
සෘතු සංහාරය කාලිදාසයන්ගේ කෘතියක් නොවෙිය යන්න  විචාරක මතයකුත් තියෙනවා.කාලිදාසයන්ගේ අනෙකුත් කෘතිවල විද්‍යමාන වන රචනා ශෛලිය,ප්‍රේමණීය හැඟීම් ප්‍රකාශ කිරීමෙි සංයත හාවය මෙි කෘතියේ නැතැයි යටකී විචාරකයන් තර්කයක් ලෙස මතු කරනවා.ඔබ මෙි කෘතිය පරිවර්තනය කිරීමට පෙර මෙි ගැන අවධානය යොමු කළාද?

 

අමරසිංහ

 මගේ ඍතු සංහාර කාව්‍ය පරිවර්තන කෘතිය උදෙසා මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ පඬිඳුන් විසින් සපයන ලද පෙරවදනෙහි ලා ඔබ විමසන කරුණට අදාළ සුලමුල සියල්ල සසාධකව සකාරණව විවරණය වෙයි. ඔබ වෙනුවෙන් මා එය උපුටා දක්වන්නේ සත් කීර්තිමත් තත් පඬිවරයාණන්ට ප්‍රණාම පිරිනමමිනි.


"මෙය කාලිදාස කවියාගේ ද නොඑසේ නම් වෙනත් කවියකුගේ නිර්මාණයක් ද යන ගැටලුව භාරතීය සංස්කෘත කාව්‍ය විචාරකයන් අතර ද තවම නොවිසඳි ගැටලුවකි. කාලිදාසයන්ගේ කර්තෘත්වය සම්බන්ධයෙන් අදටත් අවිවාදිත ග්‍රන්ථ ෂට්කය වන්නේ වික්‍රමෝර්වශී, මාලවිකාග්නිමිත්‍ර, අභිඥානශාකුන්තල යන නාට්‍ය ත්‍රිත්වය, කුමාරසම්භව, රඝුවංශ මහා කාව්‍ය ද්වය සහ මේඝදූතාභිධාන ඛණ්ඩ කාව්‍යය යි.

"ඍතුසංහාරය කාලිදාසයන්ගේ කෘතියක් නොවේ ය යන්න ප්‍රකාශ කරන විචාරක විද්වත්තු කරුණු තුනක් වෙත අපගේ අවධානය යොමු කරති.

1. කාලිදාසයන්ගේ නිර්මාණ ග්‍රන්ථ සයකට ව්‍යාඛ්‍යාන කළ මල්ලිනාථ නම් ප්‍රසිද්ධ ව්‍යාඛ්‍යානකරු විසින් ඍතුසංහාරයට ව්‍යාඛ්‍යාවක් සම්පාදනය කොට නොතිබීම.

2. ආලංකාරිකයන් විසින් ඍතුසංහාරයේ කාව්‍ය හෝ කාව්‍යෝක්ති නිදසුන් වශයෙන් උපුටා දක්වා නොතිබීම.

3. කාලිදාසකෘත අනෙක් ග්‍රන්ථ ෂට්කයේ විද්‍යමාන ගැඹුර, දියුණු රචනා ශෛලිය සහ අනෙකුත් කෘතිවල ප්‍රේමණීය හැඟීම් ප්‍රකාශයට පත් කිරීමෙහි ලා දක්නට ලැබෙන සංයත භාවය ඍතුසංහාරයේ විද්‍යමාන නොවීම.

"කාලිදාසයනට ම ඍතුසංහාරයේ කර්තෘත්වය හිමි කොට දෙනු රිසි බෙරිඩේල් කීත්, මහාචාර්ය ජයදේව තිලකසිරි ආදි කොට ඇති සංස්කෘත විද්වතුන් මෙන් ම අපගේ ආචාර්යෝත්තම මහින්ද පලිහවඩන මහාචාර්යතුමා සහේතුක ව පවසන්නේ මෙහි කර්තෘත්වය කාලිදාසයනට හිමි කොට නොදීම අයුක්තියක් බව ය. ඒ සඳහා ඔවුන් විසින් පෙන්වා දී ඇති පහත සඳහන් කාරණා ත්‍රය වෙත සහෘදය පාඨක ඔබගේ අවධානය යොමු කරනු රිසියෙමි.

1. ව්‍යාඛ්‍යාන අවශ්‍ය වන්නේ දුෂ්කර භාෂා ප්‍රයෝග සංකීර්ණ කාව්‍ය බන්ධන ආදිය ඇති කෘතීනට මිස සරල සුගම බසින් රචිත කෘතීනට නොවන බැවින් මල්ලිනාථයන් විසින් ඍතුසංහාරයට ව්‍යාඛ්‍යාවක් සම්පාදනය නොකරන්නට ඇත.

2. ආලංකාරිකයන් ප්‍රමුඛ සංස්කෘත කාව්‍ය විචාරවාදීන් ඍතුසංහාරයෙන් නිදසුන් නොගන්නට ඇත්තේ කාලිදාසයන්ගේ අනෙකුත් කාව්‍ය ග්‍රන්ථ හා නාට්‍ය ග්‍රන්ථ ආශ්‍රයෙන් ඒවා පැහැදිලි කිරීම වඩා පහසු වූ නිසා විය හැකි ය.

3. භද්‍ර යෞවනයේ සිටින කාව්‍ය රචකයකු අතින් පරිණත කවියකුට වඩා මතුපිටින් ශෘංගාරාත්මක කාව්‍ය ලියැවීම අපේක්ෂා කළ හැකි දෙයකි. කීත් පවසන අන්දමට තරුණ කවියකුගේ ප්‍රථම රචනයෙහි සොබාදහම සහ ලෝකය අවලෝකනය කරමින් ලියු ශෘංගාරාත්මක පද්‍ය අන්තර්ගත වීම සිදුවිය හැකි දෙයකි.

"මෙහි අවසන සඳහන් කරුණත් සමග අපට සිහිපත් වන්නේ සංස්කෘත ශතක ග්‍රන්ථ සාහිත්‍යාවලියේ නොමැකෙන සලකුණු තැබූ භර්තෘහරි නාමය යි. ඔහු සිය භද්‍ර යෞවනයේ දී ශෘංගාරශතකයත් මැදිවියේ දී නීතිශතකයත් සිය ජීවිතයේ අවසාන කාලයේ වෛරාග්‍යශතකයත් කළ බව සාමාන්‍ය පිළිගැනීම යි".

 

මම
   ඔබ මෑතකදී පළකළ "හිතක මතක" චරිත විත්ති කතා පොත අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. මානවසිංහ,මාර්ටින් වික්‍රමසිංහ, සේකර,මහැදුරු සරච්චන්ද්‍ර වැනි පතාකයන් ඇසුරේ වැඩුණු ඔබ මෙි කෘතිය තුළින් මෙරට සහෘද පාඨක සමාජය වෙත එල්ල කරන ප්‍රඥාලෝකය අතිශය ප්‍රබලයි. අපේ සාහිත්‍ය ලෝකය එකලු කළ යට කී පුරෝගාමීන් ගැන ඔබෙි ආකල්පය කුමක්ද?

අමරසිංහ 
   මගේ 'හිතක මතක' පොත අරයගෙන් මෙයාගෙන් අහගත්ත අතනින් මෙතනින් අහුලගත්ත තොරතුරු පුරවලා මගේ පූචානම කියා ගැනීමේ දොළ දුකෙන් පලිප්පු දාලා ගොතාපු විත්ති පොතක් නෙවෙයි. මේ පොතෙන් ඔබට මුණ ගැහෙන හැම පුද්ගල චරිතයක්ම මං ඉතාම ළැදිව ඉතාම ආදරෙන් ඉතාම කුලුපගව ඒ කියන්නෙ ඒ අයගෙ ගෙදර දොර නිතර ගැවසෙමින් ආශ්‍රය කළ උදවියයි. ඒ වගේම ඔවුන් තම තමන්ගේ ක්ෂේත්‍ර බැබළවූ අයයි. ඒ චිරරාත්‍රඥ පරපුරේ අගය මැනවින් වටහා ගත් ජනක ඉණිමංකඩයන් මහත් උද්‍යෝගයෙන් හා විදර්ශනාවෙන් යුතුව මගේ එම 'හිතක මතක' චරිත සංහිතා කෘතිය තම විදර්ශන ප්‍රකාශනයක් ලෙසින් එළි දැක්වීම ‍ප්‍රශස්ත පාඨක සංග්‍රහයක්. ඒ ගැන මම සාහිත්‍යාදි කලා රසඥ ජනකයන්ට අතිශයින් කෘතඥ වෙනවා. ඒ චිරරාත්‍රඥ චරිත අතරින් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මාර්ටින් වික්‍රමසිංහ සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යන අසදෘශ මහාශයන් තිදෙනා මගේ ජීවිතයත් චරිතයත් ඒකාලෝක කළ පහන් ටැම් හා සමානයි. මට කවදාවත් මාව 'මම' යන නමින් හඳුන්වන්න අයිතියක් නෑ. මගේ චරිත කාය අඹලා තියෙන්නෙ හුඟ දෙනෙක් එකතුවෙලා. ඒ අයගෙ ආවේශය ආභාසය හා ආලෝකය නොමසුරුව ප්‍රදානය කරලා. කරුණාරත්න අමරසිංහ කියන්නෙ එහෙම අඹාපු සාමූහික සත්වයෙකුගෙ චරිත කායට දීපු හුදු සංඥා නාමයක්. මට අයිති ඒ සංඥා නාමය පමණමයි. මගේ 'හිතක මතක' පොතේ එන චරිත ගැන ලියද්දි මම ඔවුන්ගෙ ගම රට ජාතිය ආගම ආදි තොරතුරු(Curriculum Vitae) හෙළි කිරීමට වඩා සැලකිලිමත් වුණේ ඔවුන්ගේ චරිතවලින් ලද හැකි අර මම කියාපු දුර්ලභ ආවේශයෙන් ආභාසයෙන් ආලෝකයෙන් බින්දු මාත්‍රයක් හරි ඔබටත් නොමසුරුව දායාද කිරීමටයි. ඒ හැම චරිතයක්ම එතරම්ම විශිෂ්ටයි. ප්‍රශස්තයි. අනන්‍යයි. අනනුකරණීයයි.

 

මම
   භාෂාව සංස්කෘතික ජීවියෙක්. මෙි සංස්කෘතික ජීවියා උස් මහත් නොකර කිසිවකුට කිසිදු මාධ්‍යයක නියැළෙන්න බැහැ.එහෙත් අද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය බස නසන හැටි  දුටුවම භාෂා ප්‍රේමියකු වන ඔබට මොකද හිතෙන්නෙ?

අමරසිංහ 
භාෂා භ්‍රෂ්ටයන් හැටියට උග්‍ර විවේචනයට පරිහාසයට ප්‍රහාරයට ලක් කරන වර්තමාන මුද්‍රිත විද්‍යුත් මාධ්‍යවල නිරත තරුණ පරපුරට මම එක හෙළා දොස් පවරන්න සාප කරන්න අපහාස උපහාස කරන්න ඉක්මන් වෙන්නෙ නැහැ. මේ රටේ දිගින් දිගටම පාසල් පද්ධතියෙන් මග හැලෙන විශාල තරුණ පරපුරක් ඉන්නවා. එය උග්‍ර සමාජ ආර්ථික අධ්‍යාපනික උවදුරක දුර්විපාකයක්. භාෂාව සම්බන්ධයෙන් වැලඳී ඇති මේ දුස්සාධ්‍ය මාධ්‍ය ව්‍යාධියේ රෝග නිදානය ඇත්තෙ විශේෂයෙන් 1977 මෙරටට උදා වුණු අවිචාර සමය තුළයි. එවක බිහිවුණු ආණ්ඩුවෙන් පාසල් පද්ධතියට ගුරු පත්වීම් දීමේදී අඩුවෙන්ම සැලකුවේ අධ්‍යාපන සුදුසුකමයි. සෙසු විෂයන්ට වගේම විශේෂයෙන් භාෂා සාහිත්‍යය විෂයටත් පත් කෙරු⁣ණෙ කලින් පාසල් පද්ධතියෙ හිටිය බහුශ්‍රැත මනා පුහුණුවකින් යුක්ත ගුරු පරපුරට අලගු තියන්නවත් බැරි අඳ බාල අල්පශ්‍රුත ගුරු පරපුරක්. ඒකෙන් සිද්ධ වුණේ මුළු පාසල් පද්ධතියම තනිකරම රස්සා සපයන සාමාන්‍ය තැනක තත්ත්වයට වැටීමයි. රටක අනාගත පරපුරේ ප්‍රඥා බීජය ප්‍රරෝහණය කරන ආලවාලය වන උච්ච පාසල් පද්ධතිය ඒ වගේ නීච තත්ත්වයකට හෙළීම අද සංස්කෘතික සාපයක් බවට පත්වෙලා. සාහිත්‍යය හා ඉතිහාසය යන විෂයන් පාසල් පද්ධතියෙන් පිට මං කළෙත් මේ දේශපාලන අවිචාර සමයේදීමයි. අද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි නවකතා කවි සින්දු ආදි නිර්මාණ ලේඛන කලා ක්ෂේත්‍රයේත් බහුලව ඉන්නෙ ඒ අබුද්දස්ස යුගයේ අනිවාර්ය ආදීනවයක් වශයෙන් පහළ වුණු අනාථ අසරණ සංස්කෘතික පරපුරක්. ඉතින් උන්ව හෙළා දැකීමෙන් පමණක් රෝග නිවාරණයක් කළ හැකිද?

 

මම
   සාහිත්‍යය කන්න දැයි ඇසූ දේශපාලනඥයන්  හිටපු  රටක අනාගත පරපුරේ චින්තන වින්දන ශක්තිය මොටවීම අරුමයක් නොවෙි. අද තිබෙන්නේ වින්දනය නිර්වින්දනය කළ සමාජයක්.එබඳු  සමාජයකින් රටට ලෝකයට බිහිවන්නේ  සහකම්පනය නැති විපරිත චරිත.මෙි සන්තෑසියට වගකිවයුත්තෝ කවරහුද?

අමරසිංහ 
   ඒකාධිපති ව්‍යවස්ථාවකින් සර්ව බලධාරිවී සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති එක්තරා රාජ්‍ය සාහිත්‍ය උත්සවයකදී අවධාරණයෙන් ප්‍රශ්න කර සිටියේ සාහිත්‍යයෙන් කාර් එකක්වත් ගන්න පුළුවන්ද කියලයි. (සාහිත්‍යය කන්නද කියා නෙවෙයි.) මම ඔහුගේ ගර්හිත ප්‍රකාශය කළ ගර්විත විලාසය රූපවාහිනියෙන් නැරඹුවෙ කෝපාග්නියෙන් දැවෙමිනුයි.එකල රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපතිව හිටියේ මගේ විශ්වවිද්‍යාල සිංහල ආචාර්යවරයෙක් වූ මහාචාර්ය මිණිවන්.පී.තිලකරත්නයනුයි. ඔහු තම කතාවෙදි ජේ.ආර්ගෙ ප්‍රකාශය අනුමත නොකරමින් තම අදහස් එඩිතරව ප්‍රකාශ කිරීම ගැන ඒ වෙලාවෙ මගේ හිතේ මගේ ගුරුවරයා ගැන පැහැදීමක් වගේම ආඩම්බරයක් ඇති වුණු හැටි මට අද වගේ මතකයි. ජේ.ආර්. ජනාධිපතිගේ ඒ අමනෝඥ සාවඥ ප්‍රකාශය තම විවෘත වෙළෙඳපොළ ආර්ථික න්‍යායේ පළමු සංස්කෘති ද්‍රෝහී විවෘත ජඩ අඬහැරයයි.

 

මම
  ඔබ තුළ සංස්කෘත භාෂා රසකාමීත්වය උද්දීපනය  කිරීමට මානවසිංහයන් විශාල රුකුලක් වුණා.ඔබෙි සියලු ලේඛන හැඩගැන්වී තිබෙන්නේ ද සිංහල - සංස්කෘත මිශ්‍ර රසමුසු භාෂා හරඹයකින්. ලේඛකයකුට කාව්‍යාත්මක බස් වහරක් ඇත්නම් සහෘද  රසික පාඨක ආකර්ෂණය ද වැඩියි. ඔබ මුහුණුපොතේ පළ කරන ඇතැම් රසවත් ලිපියක පවා භාෂාවෙි යටකී කාව්‍යාත්මක  ජීවගුණය රැකීමට වගබලා ගන්නවා.භාෂාවෙි රිද්මය අඛණ්ඩව පවත්වා ගැනීම ලේඛකයකුට කෙතරම් වැදගත් ද?

අමරසිංහ 
මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි, සාහිත්‍ය නිර්මාණක්ෂේත්‍රයේත් අද භාෂාව භාවිත වෙන්නෙ තම තමන් දන්නා භාෂාවට පමණක්ම සීමාවෙමිනුයි. සාහිත්‍යකරණය, මාධ්‍යකරණය නිරන්තරයෙන් භාෂාව ප්‍රගුණ කරගනිමින් පෝෂණය කරගනිමින් වර්ධනය කරගනිමින් කළ යුතු කාර්යක්ය කියලා ඒ ක්ෂේත්‍රවල අය හිතන්නෙ නැහැ. භාෂාව ආකර්ෂණීය විදියට විසිතුරු අලංකාර විදියට භාවිත කරන්න ඕනැ නම් ඒ භාෂාව හොඳට සුඛනම්‍ය කරගන්න ඕනැ. හොඳට ඔපමට්ටම් වෙච්ච මුදු මොළොක් වචන මාලාවක් නැතුව ඒක කරන්න බැහැ. එතකොට තමයි භාෂාවෙ කාව්‍යමය ගුණයක් ඇති වෙන්නෙ. ඒකට හොඳම පිළියම තමයි අපේ සම්භාව්‍ය සාහිත්‍යය අතැඹුල වගේ දැනගෙන ඉඳීම. ඔබ කියන කාව්‍යමය ගුණය පිළිබඳ රහස ඇත්තෙ එතනයි. මේ කාරණය සාරාංශ කරලා කිව්වොත් මෙහෙමයි. තියුණු සංවේදී භාවයකින් යුතුව අපේ සම්භාව්‍ය ගද්‍ය පද්‍ය කාව්‍ය භාෂාව හැදෑරිය යුතුයි. එතකොට ඔබට මේ කාව්‍යමය භාෂා රචන කෞශල්‍යය ඉබේම පහළ වෙනවා ඒකාන්තයි. භාෂා භූෂණයත් භාෂා දූෂණයත් සංසන්දනාත්මකව වටහාගන්න හොඳ නිදර්ශනයක් ඉදිරිපත් කරන්න කැමතියි. අපගේ විශිෂ්ට සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් වන විද්‍යා චක්‍රවර්ති පඩිඳුන්ගෙ 'බුත්සරණ' නමැති ගද්‍ය කාව්‍යයෙහි එන රමණීය කාව්‍ය භාෂාවෙන් රචිත නාලාගිරි දමන වර්ණනාවයි මේ.

   "ඈත ධූලින් වැසී ගිය ඇත් රජයැ. මෑත සවණක් ඝන බුදුරැසින් සැදී ගිය බුදු රජාණෝයැ. ඈත කෝපයෙන් රත්වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ. මෑත කරුණායෙන් තෙත්වැ ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝයැ. ඈත එබු එබූ පයින් මහ පොළොව පළා පියන්නාක් සේ දිවන ඇත් රජයැ. මෑත එබු එබූ පයින් මිහිකත සනහ සනහා වඩනා බුදු රජාණෝයැ."

   එෆ්.එම් දෙමුහුන් භාෂාව තම මව්බස කරගත් එකෙකුගේ කටින් කියවෙන කොට ඒ රමණීය කාව්‍යමය භාෂාවට යන කල මෙන්න බලන්න.

   "ඈත ඩස්ට්වලින් කවර් වෙච්ච එලිෆන්ට් කිංය. මෑත සික්ස් කලර්ස් 
ෂයින් වෙන ලෝඩ් බුද්ධය. ඈත හොට් අයන් බෝල් අයිස් තියෙන එලිෆන්ට් කිංය. මෑත වෙට් බ්ලූ ලෝටස් අයිස් තියෙන ලෝඩ් බුද්ධය. ඈත ග්‍රවුන්ඩ් එක බ්ලාස්ට් කරන් රන් එක දෙන එලිෆන්ට් කිංය. මෑත ග්‍රවුන්ඩ් එකේ කූල් පිට වෝක් එකක් දාන ලෝඩ් බුද්ධය."

   සංස්කෘත භාෂාවේ ආභාසය ඇතුව ප්‍රාණවත් මිශ්‍ර සිංහලයෙන් ලිවීමේ කුසලතාව ඇතිකර ගන්න අනිවාර්යයෙන්ම සංස්කෘත පාලි භාෂා ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නෙ  නෑ. ඒ සදහා විශේෂයෙන්ම අපේ පැරණි සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය පොතපත ළැදිව පරිශීලනය කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. අපේ පැරණි සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය කෘති වැඩිහරියක් ලියවිලා තියෙන්නෙ සංස්කෘත වචන සහිත මිශ්‍ර සිංහලයෙනුයි.

 

මම
   කරුණාරත්න අමරසිංහ නමැති විශිෂ්ට ගුවන්විදුලි හඬනළුවා අපට කිසිසේත් ම අමතක කරන්න බැහැ. එමෙන්ම වැඩසටහන් නිෂ්පාදකයකු, නාට්‍ය පිටපත් රචකයකු, නිවෙිදකයකු, පරිවර්තකයකු, ලේඛකයකු හැටියට නමක් දිනාගත් ඔබ කලක් ගුරු වෘත්තියේ ද නියැලුණා.ගෙවී ගිය කලදවස ගැන දැන් මොකද හිතෙන්නේ?

අමරසිංහ 
   විශේෂයෙන් ගුවන්විදුලි මාධ්‍ය ශික්ෂණය මගේ ලේඛන කෞශල්‍යයත් හඬ රංගන කලාවත් පරිවර්තන පරිචයත් නිර්මාණාත්මකව පොහොසත් කරගන්න විශාල පිටිවහලක් වුණා. බොහෝ කලකට පෙර ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගියත් මම තවමත් ශිෂ්‍ය ගුරුවරයෙක්. ඒ ගැන මං ආඩම්බර වෙනවා. "ගුරෝර් භාවං ගෞරවම්" කියලා සංස්කෘත විග්‍රහ වාක්‍යයක් තියෙනවා. 'ගෞරවය' කියන වචනයෙන් ප්‍රකාශ වෙන්නෙ 'ගුරුබව' නැත්නම් 'ගුරුකම' කියන භාවාර්ථය බවයි ඒ ‍විග්‍රහ වාක්‍යයෙන් ධ්වන්‍ය වෙන්නෙ.

 

මම
   මෙරට සිටින ඇතැම් විචාර විදූෂකයන් සිංහල භාෂාව අංගවිකල කරනවා.අද ජාතික  පුවත්පත්වල පවා පළ වන්නේ  සාවද්‍ය ව්‍යාකරණ සහිත ප්‍රවෘත්ති.ඇතැම් විශ්වවිද්‍යාල ඇදුරන්ට පවා  ව්‍යාකරණානුකූලව විශේෂාංග ලිපියක්වත් ලියා ගන්න බැහැ.ද්විභාෂික උගතුන් වඳ වී ගිය සංස්කෘතික කාන්තාරයක අප අතරමං වෙලා නේද?

අමරසිංහ 
   මේ ව්‍යාකරණ අන්ධභාවයටත් ද්විභාෂික වන්ධ්‍යභාවයටත් හේතුව මෙරට පාසල් පද්ධතියෙනුත් සාහිත්‍ය ක්ෂේත්‍රයෙනුත් බහුශ්‍රුත ප්‍රාඥ ද්විභාෂික ගුරු පරපුර හා ලේඛක පරපුර අතුරුදහන්ව යෑම මිසක් වෙන මොකක්ද? කෝ ඔවුන්ට ආවේශය ආභාසය ආලෝකය ප්‍රදානය කරන ප්‍රභවයක්.

 

මම
   භාෂාව සංකේත සමුදායකින් ගහන මෙවලමක්. මෙය මූලික වශයෙන් සිදුවන්නේ ශබ්ද සහ රූප මාධ්‍යයෙන්.ශබ්ද භාෂාව හැඳින්වීමට භාෂණය යන පදයත් රූප භාෂාව හැඳින්වීමට ලේඛනය යන පදයත් යොදාගන්නවා.නමුත් සමාජ පරිණාමයට සමගාමීව මේ දෙවර්ගයම පොදු ව්‍යවහාරය තුළ කිසියම් වෙනසකට බඳුන් විය හැකියි. මේ පිළිබඳ යම් විග්‍රහයක් කළොත්?

අමරසිංහ 
   ලේඛනය හා භාෂණය දෙකටම ආත්මය වෙන්නෙ භාෂාවයි. භාෂාව කියන්නෙ මෙවලමක් බඩුමූට්ටුවක් නෙමෙයි. ඒක සංස්කෘතික ජීවියෙක්. 'කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ' කියන යෙදුම ඇහෙන කොට අපේ හිතට දැනෙන සියුම් හැඟීම ඒක 
milk creepers milk creepers milk mother කියලා ඉංග්‍රීසියට පෙරළලා සුද්දෙකුට ඇස්සුවොත් ඌටත් එහෙමම දැනෙයිද? නෑනෙ. මොකක්ද ඒකට හේතුව? ඒ යෙදුම ඇතු⁣ළෙ තියෙන්නෙ අපේ සංස්කෘතිය.කවර ජාතියකට වුණත් අයිති සංස්කෘතික උරුමය ගලාගෙන එන්නෙ උන්ගෙ මව්බස දිගේමයි. Meanings are not in words, but in people කියලා ඉංග්‍රීසි ආප්ත වාක්‍යයක් තියෙනවා. ඒකේ අදහස 'තේරුම් තියෙන්නෙ වචන තුළ නෙමෙයි මිනිසුන් තුළය' කියන එකයි. වචනවලින් කරන්නෙ මිනිසුන් තුළ කලින් ඉඳලම තියෙන තේරුම් අවදි කිරීමයි. භාෂාවක ව්‍යක්ත, ශූර, චතුර භාවිතය දුක සේ චිර පරිචයෙන් ප්‍රගුණ කළ යුත්තක්. ඉබේ පහළ වෙන ශක්තියක් නෙමෙයි. ඒ වගේම එය ඉතා සංවේදීව ළැදිව අවංකව කළ යුත්තක්. බබළන භාෂාවකිනුයි ලේඛනයේ හා භාෂණයේ කාන්තිය විහිදෙන්නෙ. 

 

මම
   වියරණ ඇදුරා සහ වාග්විද්‍යාඥයා අතර අන්‍යෝන්‍ය සහයෝගයක් තිබිය යුතුයි. මෙහිදී වියරණ ඇදුරාගේ ව්‍යවහාරික  ශික්‍ෂණයත් වාග් විද්‍යාඥයාගේ විද්‍යාත්මක ශික්ෂණයත් කුමන අාස්ථානයක තිබිය යුතුද?

අමරසිංහ 
   භාෂාව පහළ වුණාට පස්සෙයි වියරණය පහළ වුණේ. මිනිස්සු නිදහසේ කතා කරන්න පටන් ගත්තා. ඒ ව්‍යවහාර විධි පරීක්ෂා කරලා මත ප්‍රකාශ කළ අය තමයි වාග් විද්‍යාඥයො. ඒ අනුව නීති රීති හදාපු උදවිය තමයි වෛයාකරණයො නැත්නම් වියරණ ඇදුරො. අදත් ඕකම තමයි සිද්ධ වෙන්නෙ. මළ භාෂාවක මිසක් මිනිස්සු කතා කරන ජීවමාන භාෂාවක වියරණය යුගයෙන් යුගයට වෙනස් වෙන එක පණ්ඩිතයන්ට වළක්වන්න බැහැ. ඒක අර්ථ විපරීත නොවෙන්න ඖචිත්‍යය අනුව සංඝටනය හෙවත් ගළපා ගැනීම තමයි ඥානවන්ත. විචාරවන්ත. වියරණයත් රමණයත් යන දෙකම ගතානුගතික නොවිය යුතුයි. නිර්මාණාත්මකම විය යුතුයි. රසාත්මකම විය යුතුයි. ජීවිතයත් අනිත්‍ය කොට වියරණේ ගැන කවර කතාද! පරිණාම වාදයෙදි Survival of the Fittest (නොගැළපෙන එකාට පැවැත්මක් නැත.) කියලා කිව්වෙත් ඕකමනෙ!

 

මම
   වරක් මෙරට ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය දැඩි දෝෂදර්ශනයට ලක්කළ මහැදුරු සුචරිත ගම්ලත්  මෙබඳු සම්මුඛ සාකච්ඡාවකදී මා සමඟ පැවසුවේ මෙරට විශ්වවිද්‍යාලවල කලාපීඨ තනිකරම හරක්මඩු බවයි.අපේ සරසවි මෙතරම් පිරිහීමකට ලක්වුණේ ඇයි?

අමරසිංහ 
  ගම්ලතුන් ඒ කතාව කිව්වෙ හේතු සාධක ඇතුවයි. මේ පරම පරිහානියේ රෝග නිදානය ගැන තමයි ඔබයි මායි මුලදිම කතා කළේ. බහුශ්‍රැත, ප්‍රාඥ, පරිණත ගුරු පරපුරක ආවේශය, ආභාසය, ආලෝකය අහිමිවූ කලක මෙරටෙහි සරසවිවලින් සරසවි දේවී තොමෝ අන්තර්ධාන වීමත් ඒ නිසාම ඇයගේ බැල්මෙන් අසෙකින් අසක්වත් නොලද සරසවි සිසුන් හා ඇදුරන් පරපුරක් බෝවීමත් කවර අරුමයක්ද!

 

මම
   මාධ්‍ය සංස්කෘතිය තුළ  භාෂාව භාවිත  කිරීමෙිදී විවිධ ව්‍යාකූලතා මතුවෙනවා. අද තිබෙන්නේ  ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතියක්. භාෂාව ජුගුප්සා ජනකයි. සිංහල සංස්කෘතියේ හැඩරුව හඳුනාගැනීමට ඉවහල් වන භාෂාවම එය විකෘති කිරීමටත් යොදාගෙන තිබෙනවා.එෆ්.එම් කුරුල්ලන්ගේ මෙි විපරිත කූජනය ඔබට කොහොමද දැනෙන්නේ?

අමරසිංහ 
මේ අතිඝෝර සංස්කෘතික ව්‍යසනය වනාහි විශේෂයෙන්ම ජාතික ශාපයක් වැනි මෙි ගර්හිත ව්‍යවස්ථා ඒකාධිපතිත්වය කරණ කොට ගෙන වැලඳුණු මාරාන්තික විවෘත ආර්ථික පිළිකාවේම දුස්සාධ්‍ය දුර්විපාකයක්මයි.

 



අදහස් (0)

අද පරපුර භාෂා භූෂණය දූෂණය කරලා - කරුණාරත්න අමරසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 416 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site